සියදිවි නසා ගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණ දෙන අත්භූත සිදුවීම් මාලාවක් වටා ගෙතුණු – The night house

හදිසියේම සිය දිවි නසාගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණදෙන අද්භූත සිදුවීම් සහ ඒවා පසුපස සැඟව ඇති රහස් රැගත් The night house නැමැති ඇමරිකානු මනෝ විද්‍යාත්මක චිත්‍රපටය නිකුත් වන්නේ 2020 වර්ෂයේ දීයි.

චිත්‍රපටයේ ” බෙත් ” නැමති ප්‍රධාන චරිතය නිරූපණය කරන රෙබෙකා හෝල් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ තමන්ගේ මියගිය සැමියා ඉදිකරන ලද නිවසක සැඟව යන්නට තිබූ රහසක් සොයාගන්නේ ඔහුගේ මරණයෙන් සති කිහිපයකට පසුවයි.

 The Night House

ඕවන්ගේ හදිසි සියදිවි නසා ගැනීමෙන් පසුව කම්පාවට පත්වන බෙත් ,වැව අසල ඉදිකරන ලද ඔවුන්ගේ නිවසේ රාත්‍රිය ගත කරන්නේ තනිව මත්පැන් පානය කරමින්.බෙත්ගේ මිතුරිය වන ක්ලෙයාර් සහ අසල්වැසි මෙල් ,බෙත් පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලන්නේ ඇය සිය සැමියා සමග වසර ගණනාවක්ම ඉතා ආදරයෙන් ජීවත් වූ නිසායි.මේ අතරතුර ඕවන් දිවි නසාගැනීමට පෙර ලියන ලද සටහන බෙත්ව තව තවත් අවුල් සහගත තත්ත්වයකට පත් කරනවා

” You were right. There is nothing. Nothing is after you. You’re safe now “

තම සැමියාගේ අවසාන සටහනෙහි අර්ථය පිළිබඳව කුතුහලයෙන් පසු වන බෙත් හට හදිසියේම ඔහුගේ දුරකථනයේ තිබී තමන්ට සමාන රූපයක් ඇති කාන්තාවකගේ ඡායාරූප හමුවනවා.මියයාමට පෙර ඕවන් අනියම් සම්බන්ධයක් පවත්වන්නට ඇතැයි බෙත් සැක කරන්නට පටන් ගන්නේ ඉන්පසුවයි

තමන්ගේ හොඳම මිතුරිය වන ක්ලෙයාර් සහ තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ කාලය ගත කරන බෙත් නැවත නිවසට පැමිණෙන විට ක්ලෙයාර් ද ඇය සමග නිවසට පැමිණෙනවා.තරමක් බීමතින් සිටින බෙත් , ඒ අවස්ථාවේදී තම මිතුරිය හට විවිධ දේවල් පවසනවා .වසර ගණනාවකට පෙර රිය අනතුරකින් තමන් විනාඩි ගනනාවකට මිය ගිය බව බෙත් පවසන්නෙ ඒ අතරතුරදීයි.ඒ අවස්ථාවේදී තමාට දැනුන හැඟීම් පිළිබඳව ඕවන් නිතර නිතර විමසුවත් ඒ පිළිබඳව තමා කිසිවක් ඔහුට නොපැවසූ බවත් බෙත් තම මිතුරියට කියනවා.ඒ සිදුවීම සම්බන්ධයෙන් තමා තුළ වූ අදහස් වෙනස් කිරීමට ඕවන් නිතරම උත්සාහ කළ බවත් , වසරකට පමණ පෙර ඇය මානසික අවපීඩනයෙන් පෙළෙන විට ඕවන් නින්දෙන් ඇවිදීමට පටන් ගත්තේ තමන් තුළ වූ නිෂේධාත්මක අදහස් ඔහු තුළද ඇති වීමට පටන්ගෙන තිබූ නිසා බවත් බෙත් හෙළි කරනවා.

 The Night House

කතාබහ අතරතුර සෙමෙන් සෙමෙන් නින්දට වැටෙන බෙත් මද වේලාවකට පසුව එකවරම නින්දෙන් අවදි වනවා.එවිට තම මිතුරියව දකින්නට නොලැබෙන නිසා බෙත් අවට පිළිබඳව විමසිලිමත් වෙමින් මිදුලට පැමිණෙනවා.එකවරම ඇයව පසුකර වේගයෙන් දිව යන කාන්තාවන් කිහිපදෙනෙකු නිවස ආසන්නයේ පිහිටි ගඟට පනින ආකාරය බෙත් දකිනවා.ගඟ අසලට යන බෙත්ට , තම සැමියා වෙඩි තබාගෙන සියදිවි නසා ගත් බෝට්ටුවේ රුධිරය තැවරී තිබෙනු දකින අතර කුමක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් තමා අසල සැරිසරන බව ඇයට දැනෙනවා.

ගඟෙන් එපිට විදුලි පහන් දැල්වෙන දකින බෙත් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ගඟ තරණය කරනවා.එහිදී තමන්ගේ නිවසට සමාන පෙනුමක් ඇති නිවසක් බෙත් විසින් සොයා ගන්නා අතර ඕවන් තවත් කාන්තාවන් සමග සිටින ආකාරය ඇය දකිනවා. එය සැබැවින්ම සිදුවන්නක්ද එසේත් නැතිනම් තම නොසන්සුන් මනසේ හටගත් දෙයක්ද යනුවෙන් හඳුනා ගැනීමට බෙත් අපොහොසත් වන අතර ඇය නැවත අවදි වන්නේ තමන්ගේම නිවසේදීයි.

සිහිනයෙන් මෙන් දුටු නිවස පිළිබඳව සොයා යන බෙත්ට වනාන්තරයේ දී අසල්වැසි මෙල් ව හමුවනවා.ඔහු කිසියම් දෙයක් තමා ගෙන් සඟවන බව වටහාගන්නා බෙත් නැවතත් ඔහුව සොයා ඔහුගේ නිවසටම ගොස් ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ තමා සිහිනයෙන් දුටු තමා ජීවත්වන නිවසට සමානම නිවසක් වනාන්තරයේ මැදදී දැකීමත් සමගයි.බෙත්ගේ ඒ රුවට සමාන හැඩරුව ඇති වෙනත් කාන්තාවක් සමඟ ඕවන්ව වනාන්තරයේදී දුටු බව මෙල් පවසන්නේ එවිටයි.තමන්ගේ නිවස මෙන්ම ඉදිකරන ලද නිවෙසට යන බෙත්ට එහිදී අමුතු හැඩයක කුඩා ප්‍රතිමාවක් හමු වෙනවා .එය නිවසට රැගෙන එන බෙත් , ඕවන්ගේ ලැප්ටොප් පරිගණකය පරීක්ෂාවට ලක් කරනවා. එහි තිබී තමන්ගේ රූපයට සමාන තවත් කාන්තාවන් රැසකගේ ඡායාරූප බෙත් සොයාගන්නවා.ඕවන් පරිහරණය කරන ලද පොත් පරීක්ෂාකරන බෙත් හට , වනාන්තරය මැද තිබූ නිවසේ දී හමු වූ ප්‍රතිමාව පිළිබඳව සහ භූත ආත්ම පිළිබඳව සඳහන්ව තිබූ පොත් දක්නට ලැබෙනවා.ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීමට තම සැමියා වන ඕවන් උත්සහ කර ඇති බව බෙත් වටහා ගන්නවා.

 The Night House

ඕවන් එම පොත් මිලදී ගන්නා ලද පොත් සාප්පුව කරා යන බෙත් එහිදී අහම්බෙන් මෙන් තමන්ගේ හැඩරුවට සමාන හැඩරුව ඇති කාන්තාවක් දකිනවා.ඒ ඕවන්ගේ දුරකථනයේ තිබූ ඡායාරූපවල සිටින කාන්තාව බව ඇය හඳුනා ගන්නවා.මැඩලින් නැමති එම කාන්තාව, ඕවන් සහ තමන් අතර තිබූයේ කුමන ආකාරයේ සම්බන්ධයක් දැයි බෙත් හට පවසන්නේ ඕවන් සියදිවි නසාගත් බව බෙත් විසින් ඇයට පැවසූ විටයි .

සිදුවෙමින් පවතින පැටලිලි සහගත සිදුවීම් සහ තමාට මුහුණ දීමට සිදුවන අද්භූත සිදුවීම් වල අර්ථය හිතාගැනීමට නොහැකි වන බෙත් වනාන්තරය මැද පිහිටි නිවසට රාත්‍රියේදී යන්නේ බීමත්ව යනවා.ඇයව පුදුමයෙන් පුදුමයට පත්කරමින් එම නිවසේ පොළොවේ පිහිටි ලී කිහිපයක් ඉවත් කළ විට බිම් මහලේ සඟවා තිබූ තමන්ගේ හැඩරුවට සමාන හැඩරුව ඇති කාන්තාවන්ගේ මළ සිරුරු කිහිපයක්ම දකින්නට ලැබෙනවා .

විශාල ලෙස අවුල් සහගත තත්ත්වයකට පත්වන බෙත් නැවත තමන්ගේ නිවස කරා දිව එනවා. එහිදී තමාව වැළඳ ගැනීමට කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් උත්සාහ කරන බව බෙත්ට දැනෙනවා. තමා අසල ගැවසෙන්නේ තමාගේ සැමියා වන ඕවන්ගේ ආත්මය බව බෙත් සිතන නමුත් ඇත්ත වශයෙන්ම එය එසේ නොවන බව පසුව සිදුවන සිදුවීම් වළදී බෙත් වටහා ගන්නවා.

 The Night House

සැබවින්ම බෙත් වටා සැරිසරන ආත්මය කවුද ?

ඕවන් විසින් බෙත්ගේ හැඩරුවට සමාන හැඩරුව ඇති කාන්තාවන්ව හඹාගියේ ඇයි ?

ඕවන්ගේ සියදිවි නසා ගැනීමට හේතුව කුමක්ද ?

නොසිතූ අවසානයක් කරා ප්‍රේක්ෂකයාව රැගෙන යන මෙම අපූරු චිත්‍රපටය රක්ෂණය කර ඇත්තේ ඩේවිඩ් බෲක්නර් විසින්.ඩොලර් මිලියන 15කට අධික ආදායමක් උපයා ඇති මෙය විනාඩි 110 ක් පුරාවටම ත්‍රාසය , භීතිය සහ කුතුහලය ප්‍රේක්ෂකයා වෙත නො අඩුවම ලබා දෙනවා

Related Articles

Don't Miss


Latest Articles