සත්‍යය හෙළි කිරීමට මළවුන්ගෙන් නැගිට ආ ගැබිණියක්.

“මට ලැබෙන්න ඉන්නේ දුවෙක්.ඒත් මගේ නැන්දම්මාටත් මහත්තයාත් ඕනෑ පුතෙක්.මට මොකුත් හිතා ගන්න බෑ..”

අපේ Smartlady ෆේස්බුක් සමූහය ඇතුළු බොහොමයක් කාන්තා සමූහ වලට යොමුවෙන නිර්නාමික ගැටලු අතර ඉහලින්ම තියෙන ගැටළුවක් තමයි මේ.ඇත්තටම මේ ගැටළුවක් කියලා හිතන සමාජයක ඔබත් මමත් ජීවත් නොවෙනවා වෙන්න පුලුවන්.ඒත් ආසියාතික ගැහැනු බොහොම දෙනෙක් මේ ප්‍රශ්නයෙන් දරුණු ලෙස පීඩා විඳිනවා.

Chhorii ත්‍රිලර් සහ හොරර් ශානරයට අයත් ඉන්දීය චිත්‍රපටියක්.Chhorii කියලා හින්දියෙන් කියන්නේ ගැහැනු දරුවට කියලා අපි කවුරුත් දන්නවා.මේ ගෑනු දරුවෝ ගැන සුන්දර කතාවක් නම් නෙවෙයි.මේ චිත්‍රපටිය 2017 දී තිරගත වූ Lapachhapi කියන මරාටි සිනමා නිර්මාණයේ ප්‍රතිනිර්මාණයක්.ඇමසන් ප්‍රයිම් ඔස්සේ නිකුත් කෙරුණු මෙහි අධ්‍යක්ෂණය විශාල් ෆූරියාගේ.චිත්‍රපටියේ කතාව ඔබ බියට පත් කරන්නට සමත් එකක්.ඒ නිසා සහ සමහර සංවේදි දර්ශන නිසා ගර්භනී ඔබ මෙය නැරඹීම ගැන දෙවතාවක් හිතන්න.

ඔබත් මමත් හොඳින්ම දන්න කතාවක් ආයෙම මතක් කරන්නද? ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල ගැහැනු දරුවන් කළල අවස්ථාවේදීම ගබ්සාවට ලක් වෙනවා.

ඉතින් ඒ කතාව මතක් කරගෙනම Spoil alert නොදී මේ ගැහැනු ළමයින්ගේ කතාවේ මුල් භාගය ගැන මෙහෙම ඔබට කියන්න අපි හිතුවා.

සාක්ෂි සහ හේමන්ත් අලුතින් විවාහ වෙලා සතුටින් ඉන්න ජෝඩුවක්.සාක්ෂි අට මස් වියැති ගැබිණියක්.හදිසි මුදල් අර්බුදයකට ලක් වෙලා හේමන්ත් සතුරු ප්‍රහාරයකට ලක් වෙන්නේ ඒ අතර.තවදුරටත් ඒ නිවසේ රැඳී නොසිට කොහේ හෝ යන්න හේමන්ත් තීරණය කරනවා.ඔවුන්ගේ වයස්ගත රියදුරාගේ මඟ පෙන්වීම එක්ක දුෂ්කර ගමකට යන්න ඔවුන් තීරණය කරනවා.

උක් යායක් මැද තියන කුඩා නිවසක සාක්ෂිව නවත්තලා හේමන්ත් ව්‍යාපාර සඳහා පිටත් වෙනවා.මේ අතර සාක්ෂිට පුංචි පිරිමි ළමයින් තුන් දෙනෙක්ව දකින්න ලැබෙනවා.සාක්ෂි ඒ ගැන අහන්නේ රියැදුරාගේ බිරිඳගෙන්.ඇය ඒ ගැන කතා කරන්නට කැමැත්තක් නෑ.ඔවුන් හොල්මන් යැයි රියැදුරු බිරිඳ කීවත් සාක්ෂි ඒ කතාව විශ්වාසයකට ගන්නේ නෑ.රියදුරාගේ ලේලියක වූ රාණි ද සාක්ෂිට මුණ ගැහෙනවා.ඇයගේ කුස මත කැපුම් කැලලක් තිබෙනවා.රාණි දුක්ඛිත සහ නිශ්ශබ්ද ගැහැනියක්.ඇය සාක්ෂි සමඟ මිත්‍ර වූ පසු අපරාධයක් ගැන හෙළිදරව් කරනවා.ඒ අනුව මේ සාපලත් ගැහැනියක් සැරිසරන භූමියක්.අර කුඩා දරුවන් ද මලගිය ආත්ම.රතු පැහැබ්සාරියක් ඇඳි මළගිය කාන්තාව ගමේ ගර්භනියන්ගේ දරුවන් විනාශ කරන්නියක්.රාණිට ද දරුවා අහිමි වූයේ ඒ ලෙස බව රාණි පවසනවා.

නමුත් පවසන සියල්ල සත්‍යය නොවෙන බව ඔබ මෙය නැරඹූ පසු දැන ගන්න පුලුවන්.

ගැහැනියක විනාශ කරන්නේ තවත් ගැහැනියක්ම බව මේ චිත්‍රපටිය තුළ කියැවෙනවා.නමුත්, ඒ ඛේදවාචකය අතරම ප්‍රේමය නිසා රැවටීමට ලක් වෙන ගැහැනුන්ගේ ඛේදවාචකයක කදුලු කතාවක් ද මේ චිත්‍රපටිය තුළ ඔබට හමු වෙනවා.

ඔබ ආදරය කර විවාහ වූ මිනිසා බොරුකාරයෙක් නම්? ඔහු මව පියා ගැන පවා පවසා ඇත්තේ අසත්‍යය නම්? ඔහුට ඔබ අමතන නම පවා සත්‍යයක් නොවේ නම්? ඔහු බහු විවාහකයෙකු නම්!!

සාක්ෂිගේ නූපන් ළදැරිය පමණක් නෙවෙයි.ඇයත් ඛේදවාචකයක කොටසක්.
ආදරය,මව්වත්කම තුළ ගැහැනුන් පාවිච්චියට ලක් වීම ගැන කතාවක් මේ චිත්‍රපටිය තුළ ඔබට මුණ ගැසෙන බව ලියා තබන්න හැකි ඒ නිසාමයි.

සමහර වෙලාවට සත්‍යය හෙළි කරන්නට මිනිසුන් අපොහොසත්නම් මළගිය ආත්ම හෝ ඔබට නිවැරදි මාවත පෙන්වාවි.ගැහැනියක සතු අප්‍රමාණ ශක්තිය මිටින් ගෙන ඒ මාවතේ සාක්ෂි මෙන් ඇවිද යන්නට ලෝකයේ සිටින හැම ගැහැනියකටම හැකි වේවා!

Related Articles

Don't Miss


Latest Articles