ගැහැනියක් විසින් තවත් ගැහැනියකගේ ජීවත් වීමේ අයිතිය නැති කළ අවස්ථාවක් – Cold Case

” ගැහැනියකට වළ කපන්නේ තවත් ගැහැණියක්මය ” යන සමාජ සම්මතය තව දුරටත් සනාථ කරමින් දිග හැරෙන චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ .

ගවේෂණාත්මක සහ සහ අද්භූත යන අවස්ථා දෙක අතර දෝලනය වන මලයාලම් චිත්‍රපටයක් වන cold case නිකුත් වෙන්නේ 2021 වර්ෂයේ ජූනි 30 වෙනිදාය.

ධීවරයකු ගේ දැලට අනපේක්ෂිත ලෙස හසුවන මිනිස් හිස් කබලක් ඔස්සේ පොලිස් පරීක්ෂණ දියත් කරන පොලිස් පරීක්ෂකයෙකු වන සත්‍යජිත්ගේ පරීක්ෂණ අතරතුර , විවාහයෙන් වෙන් වී තම දියණියත් සමඟ නව නිවසක පදිංචියට යන ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් වන මේධා නව නිවසේ දී මුහුණ දෙන අද්භූත අත්දැකීම් අවසානයේ දී එකට එකතු වන චිත්‍රපටයක් වන මෙහි පොලිස් නිලධාරියාගේ චරිතයට පණ පොවන්නේ Prithiviraj වන අතර සාර්ථක ලෙස මේධාගේ චරිතයට පණ දෙන්නේ අදිති බාලන් ය.

ධීවරයාගේ දැලට හසුවන මිනිස් හිස් කබල විවිධ පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව එය අවුරුදු 25 – 30 ත් අතර කාන්තාවකගේ බව සොයා ගැනෙනවා . එම ඝාතනය වසරකට පෙර සිදු වී ඇති බවත් පරීක්ෂණ වලින් හෙළි වන නිසා පොලිස් පරීක්ෂක සත්‍යජිත් හිස් කබලෙහි අයිතිකාරිය ගේ අනන්‍යතාව සොයා යනවා . ඒ අනුව එහි අයිතිකාරිය ඊවා මරියා වන බවත් , ධනවත් පවුලක තරුණියක වන ඇයගේ පියා මියයාමට පෙර විශාල ධනස්කන්ධයක් ඇය වෙත පවරා ඇති බවත් සොයා ගැනෙනවා .

ඊවා මරියාගේ සුළු මව පවසන ආකාරයට ඇය උතුරු ඉන්දියානු තරුණයෙකු සමග විවාහ වී ඔවුන්ගෙන් ඈත්ව සිටි බවත් , පියාගේ මරණයෙන් පසුව පැමිණි ඇය දේපල සියල්ල විකුණා දැමූ බවත් හෙලිවනවා

මේ අතර තම දියණිය සමග නව නිවසක පදිංචියට ගිය මාධ්‍යවේදිනියක වන මේධාට මුහුණ පෑමට සිදුවන යම් යම් අද්භූත යැයි කිව හැකි සිදුවීම් සහ නිවසේ ශීතකරණය හා බැඳුනු යම් අනපේක්ෂිත සිදුවීම් නිසාත් ඇය මානසික හා ගුප්ත විද්‍යා පරීක්ෂකවරියක වන සාරාගේ සහාය පතා යනවා . මේධාගේ නිවසට පැමිණෙන දෑස් නොපෙනෙන සාරා, කිසියම් හේතුවක් මත මේධාගේ උදව් ලබා ගැනීම සඳහා ඇය වටා සැරිසරන ආත්මයක් නිවසේ ඇති බවත් ,ඇය ඊවා මරියා නම් වන බව සොයාගන්නවා.

ඊවා මරියා ගැන තොරතුරු සොයා යන මේධාට තමාගේ දික්කසාද නඩුව භාරදී ඇති නීතිඥවරිය වන හරිතාගෙන් ඉතා වැදගත් තොරතුරක් දැනගන්නට ලැබෙන්නේ මේ අතරතුරදී. උතුරු ඉන්දියානු තරුණයෙකු සමග විවාහ වූ බව පැවසුණ ඊවා මරියා පසුකලෙක දික්කසාද වීම සඳහා හරිතාගේ සහය ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඊවා මරියා විවාහ වී සිට ඇත්තේ තමන් සේවය කරන මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා සමග බව මේධාට දැනගන්නට ලැබෙනවා. මේධාගේ නීතිඥවරිය වන හරිතා , ඊවා මරියා ඇගේ අවසාන කාලයේ දී ආධ්‍යාත්මික සංචාරයක් යාමට අදහස් කරගෙන සිටි බවත් ඇය නේවාසිකාගාරයක සිටි බවත් මේධාට පවසනවා .

මේධා එසේ තොරතුරු සොයා යන අතර පොලිස් පරීක්ෂක සත්‍යජිත් ද නාළිකා ප්‍රධානියා ව සොයා එනවා. එහිදී ද වැදගත් තොරතුරු රැසක් සොයා ගන්නා පොලිස් පරීක්ෂකවරයා ඊවා මරියාගේ ෆේස්බුක් ගිණුමද පරීක්ෂාකර පසුගිය කාලය පුරාවට ඇය ආ ගිය තැන් පිළිබඳවද විශ්ලේෂණය කර යම් යම් නිගමන වලට එළඹෙනවා. ඊට අමතරව ඊවා මරියා ඝාතනය වී ඇතැයි සැක කෙරුණු කාලයෙන් පසුවද ඇගේ ජංගම දුරකථනය ඝාතකයා විසින් භාවිතා කර ඇති බව ද පොලිස් පරීක්ෂකවරයා සොයාගන්නවා .

ඊවා මරියාගේ ෆේස්බුක් ගිනුමේ පළ කර තිබූ ඡායාරූප අනුව බාරානාසි ප්‍රදේශයේ සිට පැමිණි විශේෂ බස් රථ වල තොරතුරු පරික්ෂා කරන පොලිස් පරීක්ෂකවරයාට ඊවා මරියාගේ නමින් ඝාතකයා එම බස් රථ වල ගමන් කර ඇති බව ද සොයා ගන්නවා . එම බස් රථයේ ගමන් කළ පුද්ගලයෙකුගෙන් ඊවා මරියාගේ ඡායාරූපයක් පෙන්වා ප්‍රශ්න කරන විටදී තමන් සමඟ බස් රථයේ පැමිණි ඊවා මරියා රූපයේ සිටින තැනැත්තිය නොවන බවට එම පුද්ගලයා පවසනවා. මෑතකදී ඇයව නැවත දුටු බවත් දුටුව ස්ථානය මතක් කර පසුව පවසන්නට හැකි බවත් එම පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයාට පවසනවා .

පෙර හමු වූ මිනිස් හිස් කබල මෙන්ම කලකට ඉහත දී මිනිස් අතක කොටසක් එක් ප්‍රදේශයක තිබී සොයා ගැනුණු බව පොලිස් පරීක්ෂක සත්‍යජිත්ට සැලවීමත් සමග ඔහු ඒ පිළිබඳව ද විමර්ශනය කරනවා .එහිදී එම අතෙහි රැඳී තිබූ කෙස් පරීක්ෂාවට ලක් කෙරෙන අතර මෙම ඝාතනයට සම්බන්ධ ඝාතකයා කාන්තාවක බවට සැක පහළ වනවා . එම කාන්තාව ඉතා බුද්ධිමත් , නීතියේ අඩුපාඩු පිළිබඳව හොදින්ම දන්නා තැනැත්තියක බවත් පොලිස් පරීක්ෂකවරයා නිගමනය කරනවා .

පොලිස් පරීක්ෂකවරයා ඊවා මරියා ඇගේ අවසාන කාලයේ දී නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරය පාලිකාව ගෙන් ප්‍රශ්න කරන විට ,මීට පෙර තවත් කාන්තාවක ඊවා මරියාගේ තොරතුරු සොයා මෙසේ පැමිණි බව ඔහුට පවසනවා . ඒ අනුව පොලිස් පරීක්ෂකවරයා අවසානයේදි මේධා සොයා පැමිණෙනවා . ඒ අවස්ථාවේ දීම ඊවා මරියා සමග බස් රථයේ ගමන් කළ පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයාට ඇමතුමක් ලබා දී තමන් සමග බස් රථයේ ගමන් කළ තැනැත්තියව පසුව දුටුවේ දිසා අධිකරණය ඉදිරිපිට දී යැයි පවසනවා .

පොලිස් පරීක්ෂකවරයා සනාථ කරගත් කරුණු වල ආකාරයටම ඊවා මරියාව ඝාතනය කළ කාන්තාව කවුදැයි අවසානයේ දී හෙළි වනවා .

මේ අතරතුරදී ඊවා මරියාගේ ඝාතකයා මේධාගේ නිවසට යන්නේ ඇය විසින් ඊවා මරියා පිළිබඳව රැස්කළ සාක්ෂි ලබා ගැනීම සඳහා යි .එහිදී ඉතා අනපේක්ෂිත වීමකට මුහුණ පාන ඊවා මරියාව ඝාතනය කාන්තාව අවාසනාවන්ත ලෙස මරණයට පත්වෙනවා .

කෙසේ හෝ ඊවා මරියාගේ ඝාතකයා වන්නේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවන කාන්තාවක් වන අතර තමාව ඝාතනය කළ කාන්තාවට දඬුවම් දීම සඳහා මේධාගේ සහාය පතා පැමිණි ඊවා මරියාගේ ආත්මය තමන්ගේ අරමුණ ඉටු කර ගන්නවා .

සැබැවින්ම ඊවා මරියාව ඝාතනය කළ කාන්තාව කවුද ?

ඇය එම ඝාතනය සිදු කළේ කුමන හේතුවක් නිසාද ?

ඊවා මරියාගේ ආත්මයට සහ මේධාගේ නිවසේ තිබෙන ශීතකරණයට ඇති සම්බන්ධය කුමක්ද ?

කාන්තාවකට එවැනි දරුණු ගණයේ අපරාධයක් තවත් කාන්තාවකට සිදු කළ හැකිද ?

මේ සියලු කාරණා වලට පිළිතුරු ලබා ගැනීම සඳහා ඔබට මෙම චිත්‍රපටය නරඹන්නට ම සිදු වෙනවා .

ශ්‍රීනාත් වී නාත් විසින් රචනා කරන ලද මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ තනු බලක් විසින්. ඇන්ටෝ ජෝශප්, ජොමන් ටී ජෝන් සහ ශමීර් මුහම්මද් යන අය විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙනවා .

අවසාන මොහොත දක්වාම ඝාතකයා කවුරුන් දැයි සිතාගත නොහැකි වන පරිදි ප්‍රේක්ෂකයා වෙත කුතුහලය ඉතිරි කරමින් නිර්මාණය කර ඇති මෙම සිනමා නිර්මාණය තුළ ත්‍රාසය, භීතිය සහ කුතුහලය මෙන්ම ආත්මානුකම්පාව යන හැඟීම් සියල්ලම අවසානය තෙක්ම ප්‍රේක්ෂකයා වෙත නොඅඩුව ලබා දෙයි.

Related Articles

Don't Miss


Latest Articles