එය පළි ගැනීම නොවේ යුක්තියයි – Badla

2016 වසරේ නිකුත් කෙරුණු ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන The invisible guest නම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස Badla චිත්‍රපටය 2019 වසරේ දී නිකුත් කෙරෙනවා .අභිරහස් සහ ත්‍රාසජනක ගණයට අයත් චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටයේ අමිතාබ් බච්චන් ,තාප්සි පන්නු , ටෝනි ලුක් සහ අම්‍රිතා සිං යන දක්ෂ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වනවා

නයිනා සේති කියන්නේ දක්ෂ ,බුද්ධිමත් සහ සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්.සමාජයේ හොඳ පිළිගැනීමක් දිනාගෙන ඉන්න ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන බව දකින්න තිබුනත් අර්ජුන් නැමැති තරුණයෙකු සමග ඇය අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා .තමන්ගේ සැමියාට රහසේ පවත්වාගෙන යන අනියම් සම්බන්ධතාවය නිසා නයිනාගේ ජීවිතය නොසිතූ මොහොතකදී උඩු යටිකුරු වෙනවා.ඒ හෝටල් කාමරයක් තුළදී අර්ජුන් ඝාතනය වීමත් , එම ඝාතනයට සැකපිට නයිනාව අත්අඩංගුවට පත්වීමත් සමඟ ම යි

නයිනාගේ නීතිඥවරයා වන ජිමී පන්ජාබි මෙම සිදුවීම සම්බන්ධයෙන් නයිනා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ,කිසිදිනක කිසිදු නඩුවකින් පරාජයට පත් නොවුනු ,අති දක්ෂ නීතිඥවරයකු වන නීතිඥ බඩල් ගුප්තාව සම්බන්ධ කරගන්නවා.අත්අඩංගුවට පත්වන නයිනා ඇප මත නිදහස් කෙරෙන අතර ඇය වෙනුවෙන් පෙනී සිටීම සඳහා පැමිණෙන නීතිඥ බඩල් සමග ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරන්නට නයිනා කටයුතු කරනවා

badla

මේ සාකච්ඡාවේදී නයිනා නීතිඥවරයා වෙත කියා සිටින්නේ තමන්ගේත් අර්ජුන්ගෙත් සම්බන්ධතාවය ගැන කවුරුන් හෝ දැනගෙන අදාළ තැනැත්තා ඔවුන්ව blackmail කිරීමට පෙළඹුණු බවයි.එම තැනැත්තා ඉල්ලා සිටි මුදල් ලබාදීමට තමන් අර්ජුන් සමඟ අදාළ හෝටල් කාමරය වෙත ගොස් සිටි අවස්ථාවේදී ඔහු ඝාතනයට ලක්වූ බවත් නයිනා කියා සිටිනවා.නමුත් පොලිස් පරීක්ෂණවලින් පෙනී යන ආකාරයට එම කාමරයට පිටතින් කිසිවෙක් ඇතුළු වූ බවක් හෝ ඇතුලේ සිට කිසිවකු පිටවූ බවක් පෙනෙන්නට නෑ.ඒ හේතුව නිසා අදාළ මිනීමැරුමට නයිනා වෙත සම්පූර්ණ සැක පහළ වනවා

නීතිඥවරයා සමග සාකච්ඡා කරන අතරතුර දී නයිනා අවංක නොවන බව නීතිඥවරයා වරින් වර පවසනවා. ඒ නිසා තමා ගේ සිත තුළ සඟවාගෙන සිටින කරුණු සියල්ලම නීතිඥවරයා ඉදිරියේ පැවසීමට , එනම් පාපොච්චාරණය කිරීමට නයිනාට සිදු වෙනවා.

මාස කිහිපයකට පෙර තමන් තමන්ගේ සැමියාට ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටත්වන බව පවසමින් අර්ජුන් සමඟ ගිය චාරිකාව පිළිබඳව නයිනා කරුණු පවසන්නේ ඉන් අනතුරුවයි .ආපසු එන අතර මඟදී අහම්බෙන් සිදුවන අනතුරක් මේ සියලු සිදුවීම් වලට හේතු වන බව නයිනා කියනවා. අදාල අනතුරේදී තමන්ගේ මෝටර් රථයේ ගැටුනු මෝටර් රථයේ සිටි තරුණයා මිය ගිය බවත් , ඒ පිළිබඳව පොලීසියට දැනුම් නොදෙන ලෙස අර්ජුන් තමාට බල කළ බවත් , සියලු සාක්ෂි සඟවා දැමීමට අර්ජුන් සමඟ එකතු වී කටයුතු කල බවත් නයිනා පාපොච්චාරණය කරනවා

Badla

අදාළ මෝටර් රථයේ සිටි තරුණයාව මෝටර් රථය සමගම මඩ වගුරකට තල්ලු කර දමන නයිනා එනතුරු අර්ජුන් මාර්ගය අසලට වී බලා සිටිනවා .ඒ අතරතුර දී පැමිණෙන යුවලක් අර්ජුන් එම ස්ථානයේ සිටින්නේ ඇයි දැයි විමසන විට මෝටර් රථයේ ගැටලුවක් බව පවසමින් අර්ජුන් ඔවුන්ව මඟහැරීමට උත්සාහ කලත් එම උත්සාහය සාර්ථක වන්නේ නැහැ. අර්ජුන් එම යුවල සමග ඔවුන්ගේ ආරාධනයකට අනුව ඔවුන්ගේ නිවසට යනවා.මැදි වයසේ පසු වන රාණි නැමති කාන්තාව තමන්ගේ පුතු ඒ වනවිටත් ගෙදර නොපැමිණි බව පවසමින් ඔහුගේ දුරකථනයට අමතන විට අදාල දුරකථනය නාද වන්නේ අර්ජුන්ගෙ සාක්කුවේ තිබියදී.එය සැඟවීමට උත්සාහ කරන අර්ජුන් පවසන්නේ තමා වාඩිවී සිටි පුටුවේ එම දුරකථනය තිබුණු බවයි.තමා සහ නයිනා අතින් සිදු වූ අනතුරෙන් මියගොස් ඇත්තේ එම යුවළගේ පුතු වන සනී බව අර්ජුන් දැනගන්නේ ඒ අවස්ථාවේදීයි.

කෙසේ හෝ එම ස්ථානයෙන් අර්ජුන් ගැලවී එනවා. තවත් සිදුවීම් දාමයක ආරම්භය සනිටුහන් වන්නේ එතැන් සිටයි.

අතුරුදහන් වන සනී පිළිබඳව පොලිස් විමර්ශන සිදු කෙරෙන අතරතුර රාණි තමන්ගේ පුතුගේ මරණය සහ ඔහුගේ මෘත දේහය ඇති තැන පිළිබඳව සොයා යාමද ආරම්භ කරනවා.

හදිසියේ සිදුවන අර්ජුන්ගෙ මරණයට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව පුන පුනා කියන නයිනා එම නඩුවෙන් ගැලවීමට නීතිඥ බඩල්ගේ සහය පතනවා. නීතිඥවරයා සමඟ කෙරුණු සාකච්ඡාව අවසානයේදී ඔහු පිටව ගිය පසු සිදුවන සිදුවීමේදී නයිනා අතිශය භීතියට පත් වනවා

Badla

සැබැවින්ම නීතිඥ බඩල් යනු කවුරුන්ද ?

සනීගේ මරණයට වගකිව යුත්තේ අර්ජුන් සහ නයිනා බව රාණි දැනගනීවි ද ?

අර්ජුන්ගේ ඝාතනයට වගකිවයුත්තේ නයිනාද ?

අවසානයේ දී සියලු සිදුවීම් වලට වැරදිකරු බවට පත් වන්නේ කවුරුන්ද ?

මේ සියලු ගැටලු වලට පිළිතුරු ලබා ගැනීමට නම් ඔබට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා.ඊළඟට සිදු වන්නේ කුමක්දැයි සිතාගත නොහැකි කුතුහලය පිරුණු මෙම චිත්‍රපටය නිකුත් කෙරෙන්නේ 2019 වර්ශයෙ මාර්තු මස 8 වන දින දීය.චිත්‍රපටයෙහි සම්පූර්ණ කාලය මිනිත්තු 118 ක් වන අතර මෙම අපූරු චිත්‍රපටය රචනාකර සහ අධ්‍යක්ෂණය කර ඇත්තේ සුජෝයි ගෝෂ් විසින්.

සමාජයේ පිළිගැනීම , ධනය සහ බලය ඇති නයිනා සහ තමන්ගේ පුතුගේ මරණය පිළිබඳව සොයා යන මවකගේ ආදරය අතර දෝලනය වන මෙම අපූරු චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම එකක්

Related Articles

Don't Miss


Latest Articles