මියුරු පෙම් වසන්තේ – 63

ඩී එන් ඒ පරීක්ශාවට සියල්ල සූදානම් කරන අතරවාරයේත් අමයුරුත් ක්ලීටසුත් මේ සියල්ල ධම්මිකාගෙනුත් මියුරුගෙනුත් සඟවා තබාගන්නට හැකි උපරිමයෙන් කටයුතු කලේය. ඒ අමයුරු කිව්ව දේවල් හන්දාය.

“තාත්තා මේක අම්මටවත් මල්ලිටවත් කියන එකක් නෑ කියලා මං හිතනවා. මට ඕන නෑ බොරුවට ඒ දෙන්නව කලබල කරවන්න” කියා අමයුරු කිව්වාම හා කියන්නට ඔලුව හෙලෙව්ව නමුත් තමන් ඇත්තටම හිත යටින් ඒකම හිතූ බව දන්නේ ක්ලීටස් පමණකි. මියුරු මේ ගැන දැනගන්නවාටත් වඩා නරක ධම්මිකා මේව දැනගන්න එකය.ධම්මිකා නදී ඉන්න තැන දැනගන්න එක නදීගේ ආරක්ශාවට තර්ජනයක් බව දන්න නමුත් තාත්තා නිසා ඕනවටත් වඩා හිත රිද්දගෙන ඉන්න දරුවාට අම්මා ගැනත් හිත රිදෙන කතා කියන්න ක්ලීටස් හිතුවේ නැත. මොක උනත් ඒ මේ කොල්ලො දෙන්නාම වැදූ අම්මාය.

“ඩී එන් ඒ ටෙස්ට් එකෙන් නදී කියන්නෙ ආන්ටි කිව්ව විදියට ඒ අංකල්ගෙ දරුවෙක් කියල ඔප්පු උනොත් විතරක් අපි මල්ලිට මේ ගැන කියමු. හැබැයි ඒක කියන්න ඕන මං නෙවෙයි තාත්තම තමයි. හිත රිද්දුවෙ තාත්ත නම් හිත සනසන්න ඕනත් තාත්තම තමයි” කියා අමයුරු කාමරයෙන් එළියට ඇවිද ගියේය.

ක්ලීටස් උන්නේ ඒ කතාව කියන්නේ කොහොමද කියා හිතාගන්න බැරුවා. එහෙත් මේව හිතන්න තිබුණේ දැන් නොවේ වසන්තා එක්ක සම්බන්ධයක් පටන් ගන්න වෙලාවේ බව අමතක කරන්නාට ක්ලීටස්ට පුලුවන්කමක් තිබ්බේ නැත. අමයුරුත් ක්ලීටසුත් නදීත් හිත අස්සෙන් නිහඬ අරගලයක යෙදෙද්දී ධම්මිකා උන්නේ මේ තිබෙන නිහඬතාවය ගැන හිතාගන්න බැරුවය. ඒ නිහඬතාවය වනාහී මහා දරුණු ඛේදවාචකයක ආරම්භය විය හැකි බව ධම්මිකාට නිකමට මෙන් හිතුනි.

“මට ඇත්තටම හිතාගන්න බෑ මැඩම් ක්ලීටස් සර් මෙච්චර හොඳට කොහොමද ඒ කෙල්ලව අපෙ ඇහැට පේන්නෙ නැති තැනක හැංගුවෙ කියලා” රොඩ්‍රිගුට පවා ඒ සොයාගන්නට බැරිවෙච්ච තැන ධම්මිකා තව තවත් ඒ කුතුහලය අස්සේ දැවුණාය.

“මට වෙලාවකට හිතෙනවා ක්ලීටස් ඒ කෙල්ලාවයි ඒකිගෙ පවුලෙ අයවයි මරලා හැංගුවද කියලත්” කියා ධම්මිකා හීන් හඬින් කිව්වේ ඒ කතාව රොඩ්‍රිගුට කියන්නක් මෙන් නොවේ තමන්ට විතරක් ඇහෙන ලෙසින් නමුත් ඒ වචන රොඩ්‍රිගුට ඇහුණේය.

“කෙල්ලව විතරක් මිසින් උනානම් අපිට ඒක හිතන්න තිබ්බා. ඒ උනාට තුන්දෙනෙක්ව එහෙම මිසින් කරන එකනම් මට හිතාගන්න බෑ මැඩම්”

“ඇයි ඒ?”

“ක්ලීටස් සර් එච්චර වැඩ්ඩෙක් නම් මැඩම් තමයි වසන්තව මිසින් කර සීන් එක පස්සෙ ඉන්නෙ කියන එක හොයාගන්න බැරිවෙන්නෙ නෑනෙ”

“කවුද දන්නේ ඔය මිනිහා ඉන්නෙ ඒ ඔක්කොම දැනගෙන මාව තොලොංජි කරවලා අර ගෑණියි ළමයයි එක්කල ආපහු පූට්ටු වෙන්නද කියලා” ඒ වචන ධම්මිකා හිතුවා පමණකි. කියන්න හිතුවේ නැත. කොච්චර හිතවත් කෙනෙක් උනත් රොඩ්‍රිගුගෙන් පවා තමන්ගේ සමහර සිතුවිලි හංගගෙන ඉන්න එක වඩා හොඳ බව ධම්මිකා හිතුවාය. ගෑණුන්ට ඔහොම හැමෝගෙන්ම හංගගෙන ඉන්න සිද්ද වෙන කතන්දර ජීවිත කාලය තුල අනන්ත වාරයක් තියෙන එක ඇත්තකි. කෙනෙක්ට කිව්වානම් සමහරවිට හිත සනසගන්න ඒක හේතුවක් උනත් එහෙම නොකර කබොල්ලක් කඩද්දී ඇතිවෙන වේදනාත්මක තෘප්තිමත් බව මෙන්ම හද පෙලන යම් දෙයක් හිත අස්සේ හංගගෙන විඳව විඳව ලබන තෘප්තිය ගැහැණියකට සැනසීමකි.

“නදීව හොයාගන්න බැරිවුණාද අයියෙ?” කියා මියුරු අහද්දී තව දවසකින් දෙකකින් මේ සියල්ල මොකක් හෝ විදියකින් විසඳෙන්න තියෙන බව දන්නවා උනත් ඒ බව වචනවලට හරවගන්න බැරි හන්දාම අමයුරු මියුරුගේ හිත සනසන්න දෙයක් කියන්න දහ අතේ වචන හෙව්වේය.

“මං මගේ උත්සහය අතෑරල නෑ මල්ලි. ඔයා දන්නවනෙ මං දෙයක් පොරොන්දු උනොත් ඒක නොකර ඉන්නෙ නෑ. මම මැරිල හරි ඔයාට ඒක කරල දෙනවා. ඒ උනාට මට තව ටික දවසක් දෙන්න. මම කොහොම හරි මොනවහරි කරල නදීව හොයාගන්නම්” අමයුරු කිව්වේ මියුරුගේ උරහිස මත අත තබාය. වෙනදා උදේ හවා ව්‍යායාම කර මනාව සික්ස් පැක්ස් මේන්ටේන් කල සිරුර දැන් සෑහෙන කලකින් ව්‍යායාම උපකරණ ඇහැටවත් දැක තිබ්බේ නැති නිසාදෝ වෙනදා මල්ලිගේ උරහිස් වල තිබූ ශක්තිමත් බව වෙනුවට දැන් අමයුරුට දැනෙන්නේ මුදු බවකි.

ඒ වනාහී හිත ඇතුලෙන් මියුරුව කෙතරම් සංවේදී කරන්නට මේ සියල්ල හේතුවක් වූවාද කියා පෙන්වන්නට හදන සලකුණක් වැනිය.

“මට වෙලාවකට හිතෙනව අයියෙ මමවත් අයියවත් තවදුරටත් මහන්සිවෙලා ඒක හොයන්න ඕන ද කියලා” මියුරු වෙනදා වගේ අඬා වැටෙමින් “අනේ මට නදීව හොයල දෙන්න” කියා කිව්වානම් මීට වඩා හොඳ බව අමයුරුට තිබුණේ ඔහු කිව්ව වචන වල තැවරී තිබුන මෙතෙක් දවසක් මල්ලීගෙ කටහඬෙන් අසා නොතිබුන අන්දමේ සංවේදී වූද, සියල්ල අත හැර දැමුවා වූද අපේක්ෂාබංගත්වයට පත් වූ ද හඬ ඇසුණු තැනය. ඒ වනාහී ජීවිතේ තිබූ වටිනකම් සියල්ල අහිමි වූ මිනිසෙක් “මම ඉන්නෙ පුදුම කලකිරීම” යැයි නොකියා කීමක් වැනිය.

“ඇයි මල්ලි එහෙම කිව්වේ?”

“මම පණ දාගෙන හෙව්වට, අයියා පණ දාගෙන හෙව්වට අපිට එහෙම හොයාගන්න බැරි තරම් පරිස්සම් තැනක නදී හැංගුණේ එයාට මාව ඒතරම් එපාවෙච්ච හන්දා වෙන්න බැරිද අයියෙ? එයාට වෙන කරදරයක් උනානම් මේ වෙද්දි පොලිසියට හරි මීඩියාවලට හරි ඕක ආරංචි නොවී තියෙන්නෙ නෑනෙ. එයා අතුරුදහන් කියල අපි හිතුවට ඇත්තටම වෙලා තියෙන්නෙ එයා අපෙන් හැංගිලා ගිය එක නේද? එයාට එහෙම හැංගෙන්න, මගෙන් ඈත්වෙන්න උවමනාවක් තිබ්බ නම් මම තවදුරටත් එයාව හොය හොය විඳව විඳව ජීවත්වෙන එකේ තේරුමක් තියෙනව කියල අයියා හිතනවද?

එයා මාත් එක්ක ඉන්න අකමැති හන්දනම් එහෙම එකපාර කිසිම හේතුව කාරණාවක් කියන්නෙ නැතුව හැංගිලා ගියේ එයාට ඇත්තටම මාත් එක්ක ලයිෆ් එකේ ඉස්සරහට යන්න ඕන නැති හන්දනම් ආයෙ එයාව හොයාගෙන ගිහින් එයාගෙන් මේ හැමදේටම තේරුම ඇහුවා කියල ඒක අපි දෙන්නටම ඵලක් වෙන්නෙ නෑ නේද අයියෙ?”

“එහෙම කියලා මල්ලිට පුලුවන්ද නදීව අමතක කරලා ඉන්න?”

“නදීට උවමනා මම එයාව අමතක කරලා ඉස්සරහට මූව් ඔන් වෙන්න නම් එයාට තාම ආදරේ කරන හන්දම මට ඒක නොකර ඉන්න බැරි නෑ අයියෙ. ආදරේ නම් මම කරන්න ඕන එයාව සන්තෝසෙන් තියෙන එකනෙ. එයාගෙ සතුට තියෙන්නෙ මම ඈත්වෙලා ඉන්න තැනක නම් ඒ වෙනුවෙන් මට ඒක කරන්න බැරිකමක් නෑ

මම ඉස්සරහ හිතාගෙන හිටියෙත් කෙනෙක්ට ආදරේ කරනව කියන එකේ තේරුම් එයාව අයිතිකරගන්න එක මැරේජ් එකකට යන එක කියල.සමහරවිට අපේ ලයිෆ් සර්කල් එක ඇතුලෙම කෙනෙක් එක්ක රිලේශන්ශිප් එකකට ගියා නම් මම තාම ඒ අදහසේම ඉන්න ඉඩ තිබුණා. ඒ උනාට නදීවගේ වෙනස්ම තැනකින් ආව කෙනෙක් එක්ක යාලුවෙච්ච එකෙන් මම මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්තා අයියෙ

සමහර දේවල් තියෙනව අපි කොච්චර ආස කරත් අපිට ඒව අපේ ලඟ තියාගන්න බෑ. සමහර දේවල් අපිට ලංවෙන්නෙම වෙන් වෙන්න බලාගෙන”

“මල්ලි මොකද්ද කරන්න හදන්නේ?”

“මම හිතුවෙ ආපහු කැනඩා යන්න අයියෙ. මෙහෙ හිටියොත්, ඔෆිස් ගියොත් මට නදීව අමතක කරන්න අමාරුයි. මම හසරංගටත් කතා කරා. ජොබ් හොයාගන්න ලේසි නෑ කියල කිව්වා. ඒ උනාට ආවට පස්සෙ නම් මොකක් හරි කරගන්න පුලුවන් වෙයි කිව්වා”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles