නවීන විලාසිතා කරන, නව පන්නයට ජිවත්වන, දරුවන් අන්තර්ජාතික පාසැල් වලට මෙන්ම ඉංග්‍රීසි කතාකරවිමේ තරගයෙන් පෙළෙන බොහෝ අම්මාවරුන් දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා ඉදිරියේ අතිශය ගෝත්‍රිකව හැසිරෙන අයුරු මා අනන්තවත් දැක ඇත. “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය සිය මව වෙනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් සොදුරු ගේය පද රචකයා අතින් ලියවීම පුදුමයක් නොවන බව මට පසක් ව වූවේ දායා ද අල්විස් විසින් රචිත එකෝමත් එක දවසක් කියවීමෙන් පසුවයි. ඒ අම්මා මේ තීරණය ගෙන තිබුණේ හැත්තාව දශකයේ බව ඔබට පිළිගන්නට පුලුවනිද ?
මේ ඒ ආදරණිය පුතුට ජිවය දුන් අම්මා ගැන වරක් ඇයගේ ලේලියකව සිටි ගැහැනියක විසින් කියන කතාවක්. අම්මා කෙනෙක් ලෙස ගැහැනියක ලෙස ඔබ කියවිය යුතුම කතාවක් ..
“අන්න අපේ අම්මා ඇවිත් ඉන්නවා ඔයාව හම්බවෙන්න .වැඩ පටන් ගන්න වෙලාව තියෙනවනේ. ගිහින් හම්බවෙලා එන්න.”
“ඇයි අම්මා ආවේ තවත් කරදරයක්ද ?”
අම්මා හිටියේ කැන්ටිමේකොනේ මේසයක් ළග වාඩිවෙලා. මා දුටු ඇගේ මුහුණේ ඇදුණේ හැමදාමත් මං දකින ආදරණිය හිනාවමයි. ඒ හිනාවෙන් ඈ වසාගෙන ඉන්නේ ළග ළග එන තින්දුවක හැඩ ද ? අපි දෙන්නා මැදින් කැන්ටිමේ පීරිසි, හැදි, කෝප්ප සද්ද ගලාගෙන යන්න ඇති. ඒත් මට ඒ කිසිම දෙයක් ඇහුණේ නැහැ...
“දුවේ, මං ආවේ ඊයේ සිද්ද වෙච්ච දෙයක් ගැන කියන්න. ඊයේ දවල් දහයට විතර මහත්තයෙක් ආවා අපේ ගෙදර. කමිස කලිසම් ඇදපු ටයි දමපු වැදගත් පෙනුමක් ඇති මහත්තයෙක්. කොහේදිවත් දැකලා පුරුදු කෙනෙක් නෙවෙයි. පුතාගේ නම කියලා මං ඒ අම්මාද කියලා අහලයි ගෙට ගොඩවුණේ. ඊට පස්සේ දිග කතාවකට මුල පිරුවා. මගේ පුතා ඉතාම හොද අනාගතයක් තියෙන ගුවන් විදුලියේ ලොකු තානාන්තරයකට යන්න පුළුවන් දක්ෂ මනුස්සයෙක් කියලා කතාව පටන් ගත්තා. ඒත් දැන්නම් තත්වය හොද නැහැලු. ලොකු මහත්තුරුත් පුතාගේ වැඩ කටයුතු ගැන කලකිරිලලු. කොයි වෙලාවේ හරි පුතාව එලියට ඇදලා දාවිද දන්නේ නැහැලු. ඉස්සර හිටපු මනුස්සයා නෙවේලු දැන් ඉන්නේ. ඉතාම නරක නමක් හදාගෙනලු”. පටන් ගත්ත ස්වරයෙන්ම අම්මා කතාව කිව්වත් කතාවේ ඇතුලාන්තය දන්නා මගේ මුහුණේ ඉරියව් මොහොතින් මොහොත වෙනස් වූ බව නොකියා බැහැ. පැහැයත් විටින් විට වෙනස් වෙන්න ඇති. කතාවේ ඉතිරි කොටස ඉතා බියකරු වෙන්න පුළුවන් …
“පුතා කන්තෝරුවේ ඉන්න ගෑනු කෙනෙක් එක්කත් සම්බන්ධයක් පවත්වනවාලු. එයා දරුවෙකුත් ඉන්න අම්මා කෙනෙක්ලු. ඒ විතරක් නෙවෙයි චරිතෙත් ඉතාමත් නරකලු”. මෙතැනදී මොහොතක් කතාව නතර කල අම්මා පුංචි විරාමයක් අරගෙන ලේන්සුවෙන් මුහුණ පිස දමා ගත්තා. අම්මාගේ සුදු මුණ රතුවී තිබුණා. තම එකම පුතු ගැන මෙහෙම සිදුවීමක් ගැන මේ වැනි බරපතල චෝදනාවක් ඇහෙද්දී අම්මා වාවාගෙන හිටියේ කොහොමද අම්මේ ? එහෙත් ඈ ඉතා ඉවසිලිවන්තව ඉතිරි ටික කියන්න උත්සාහ කළේ මේසය මත තිබුණ වතුර වීදුරුවෙන් බිදුවක් තොල තබාගත්තාට පසුවයි.
“ඉතින් දුවේ, අන්තිමේ ඒ මනුස්සයා මට කිව්වා අද ඔන්න අම්මේ ඒ ගැනු කෙනා හතර හමාර වනතුරු වැඩ. අම්මා රේඩියෝ සිලෝන් එකට ගිහින් එයාව ඉස්සරහට ගෙන්නාගෙන හැමෝටම පාඩමක් වෙන්න එයාට දෙන්න හොද කම්මුල් පාරක්. නැත්තං ඉතින් අම්මට අම්මගේ පුතා නැතිවේවි”.
කැන්ටිමේ එහා මෙහා යන කලබල දෑස් අපි දිහා බැලුවත් අම්මගේ මුහුණේ සෙනෙවන්ත කම නිසා අමුතු අමුතු අර්ථකථන දෙන්නට හැකියාවක් නොලැබෙන බව පැහැදිළියි.
“ඉතින් දුවේ මං කිව්වේ මෙච්චරයි. ඔය කියන දැරිවිට අද මං ඔය දේ කළොත් මගේ පුතා ගෙදර ඇවිත් මේ ගල් පඩියේ ඔලුව ගහගෙන දිවි නහගනිවී. මගේ පුතාට මගේ පණටත් වඩා මං ආදරේ බව තමුන්නහෙට වැටහෙනවා ඇති. මං ඒ දැරිවි අදුනනවා. ඒ දැරිවිටත් මං ආදරෙයි. එයාගේ පුංචි පුතාත් මොනතරම් හුරතල් ළමයෙක්ද ? ඒ පුංචි දරුවත් රටේ නමක් දිනාගත්ත තාත්තා කෙනෙකුගේ පුතෙක් නේ..”
“මගේ පුතාගේ ඉරණම ඕක නම් අපි ඇයි ඒ ඉරණම වෙනස් කරන්න දගලන්නේ ?”
අම්මාගේ දෑසින් මතුවුණ පුංචි කදුළු බිංදු ලේන්සුව උරා ගත්තේ කාටත් හොර රහසේමයි…
එකෝමත් එක දවසක, 137,138,139 පිටු
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිනෙන්නෙමි
සුළඟිල්ලේ එල්ලී …
සඳ දිය කොට කිරි වතුරෙන් –ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළවිලි ගීයෙන් –මතකයි මා නැළවූවා
ජිවිතයෙන් ජීවිතයක් ගෙනදී –ඒ ජිවිතයට කිරි දී පණදී
මා දැඩිකළ අම්මා …
තුරුලට ගෙන අත් පා හැඩගන්වා නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවදක් වාගේ සිහිවෙයි ඒ කිරිසුවද ඔබේ
දවසින් දවසට සෙනෙහස ලැබදී ගෙනදී දිවියට නව පණ ලැබදී
මා දැඩිකළ අම්මා …
ඉතින් එවන් අම්මා කෙනෙකුට මෙවන් උපහාරයක් පුතකු හදින් බිහි නොවේද ? ඔබ මෙවන් නවීන, මානසිකව දියුණු මවක් වන්නේ කවදාද ?
– චම්මි –