ජයග්‍රහණය.

2020 වසර ඇරඹුණේ මගේ හැම ශක්තියක්ම මගෙන් උදුරා ගනිමින්. නව වසර ඇරඹී දින කිහිපයක් යද්දී මගේ පෙම්වතා මා දකින්නට ආවේ වෙනදා වගේ ආදර වදන් රැගෙන නෙවෙයි.

“ලෝරා…අපි බ්‍රේකප් වෙමු..”

ඒ වචන ගැහැනු ළමයෙකුට පහසු නැහැ.ආදරය කරන්නට අප්‍රමාණ මිනිස්සු ලෝකයේ සිටින බව ඇත්තක්.නමුත් ඔහු මගේ වසර පහක ආදරය බව මට අමතක කර දමන්නට හැකි වුණේ නැහැ.

“ජෝර්ජ්..මම කොහොමද ඒකට හිත හදාගන්නේ?”

අනන්ත වාරයක් එහෙම එහෙම ඇහුවත් ඔහු යන්න ගියා.මං දිහා නොබලාම යන්න ගියා.ඔහු නැවත නොඑන බව විශ්වාසයට ගන්න මට මත්ද්‍රව්‍ය වගේම කෑම පිඟන් පවා උදව් කරා.නොනවත්වා කමින්,මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් අඬමින් නිදි වර්ජිතව හිඳින මා වට කරගෙන රාක්ෂයෙක් ඉන්න බව මුලින්ම ඉව වැටුණේ මගේ මිතුරිය රියානාට.

“ඔයා ඉන්නේ විශාදයට ලක් වෙලා..”

එය එසේ වුණත් මට ප්‍රතිකාර ගන්න ඕනෑ වුණේ නැහැ.විනාශයට පත් වෙමින් ජෝර්ජ්ට එය දකින්න ඉඩ දීම මගේ එකම අරමුණ වුණා.

ඒ වසර ලෝකයට වෛරසයක් ළඟා වූ වසරක්.මගේ පරිස්සම්‍ රහිත ජීවිතය මා වෛරසය වෙත කැඳවාගෙන ගියා.හුස්ම ගන්න අපහසුවෙන් රෝහලේ ගෙවී ගිය අසීරු කාලයේ මට යමක් අවශ්‍ය වුණා.

“ජීවිතය!”

ජීවිතය අත් හැර දමන්නට සිතමින් නොනවත්වා හැඬූ විවිධ අහිතකර දේවල් කළ මම ජීවිතය අයදියන්නියක බවට පත් වුණා.හුස්ම හිරවෙන වාරයක් පාසා මම ජීවත් වෙන්නට අවශ්‍ය බව කියමින් දෙවියන් යදින්නට පටන් ගත්තා.ජීවිතය කියන්නේ අත්හැරිය යුතු දෙයක් නොවේ යැයි මා තේරුම් ගත්තේ ඒ අසීරු දවස් කිහිපයට පස්සේ.

රෝහලෙන් ගෙදරට ආ මම කැඩපතක් අසලට ගියේ කාලයකින්. ඒ කාලයේ විලාසිතා වලට බොහෝ ඇලුම් කළ මම දශකයකින් පමණ මේ මාසයේ කීපයේ වයසට ගොස් අවසන්.මිතුරියන් ඊර්ෂ්‍යා කළ මගේ සිහින් සිරුර කිලෝ කිහිපයකින් වැඩි වෙලා.ගිලුණු ඇස්,හැකිලුණු කම්මුල්,අපිළිවෙල වරලස දිහා මම බලා සිටියේ වේදනාවෙන්.

“ඔයාට මේ අවුරුද්දේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න වෙන්නේ නෑ.කණගාටුයි.”

මගේ විශ්ව විද්‍යාලය එවැනි අදහසක් සහිත ඊමේල් පණිවිඩයක් එවූ බව පවා සිහිවුණේ මගේ මිතුරන් උපාධිය ලබා ගනිද්දී.

මට මා මඟ හැරී අවසන්. එය සිහිපත් වෙමින් මම මා වෙත හැරෙද්දී 2021 වසර ලබා තිබුණා.

මම ඉලක්ක තබා ගන්නට පටන් ගත්තා.මගේ මත්ද්‍රව්‍ය පුරුදු ද විශාදය ද නවතන්නට නම් ප්‍රතිකාර අවශ්‍ය බව මම මුලින්ම තේරුම් ගත්තා.ඒ මගේ පළමුවැනි හැරවුම් ලක්ෂ්‍යය.

බර වැඩි වූ සිරුර රැගෙන මම පෝෂණවේදියෙකු මුණ ගැසුණා.ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීම පහසු නෑ.නමුත් මම සටන් කළා.කායවර්ධන මධ්‍යස්ථානයට දිනපතා යමින්,ව්‍යායාම කරමින් මම මගේ සිරුර නැවත ලබා ගන්නට මා සමඟම සටන් කළා.

රූපලාවණ්‍ය ශිල්පිනිය නැවත මා සොයා ගන්නට සැබෑ ලෙසම උපකාර කළා.මට අහිමි වූ මා නැවත පැමිණෙමින් සිටින ආකාරය මා දුටුවේ රූපලාවණ්‍යාගාරයේ විශාල කැඩපත මගින්.අහිමි වූ පෙම්වතෙක් නිසා මට රිදවා ගැනීම වෙනුවට මම මට ආදරේ ආදරය කිරීමට පටන් ගත්තා.අතීත තුවාල බිහිසුණු වුවත් කැළැල් මැකී යන්නේ කාලය මතින්.කාලය මගේ වියැකුණු රූපය නැවත මා වෙත රැගෙන ආවා.

මගේ අධ්‍යන වර්ෂය වසරකින් ප්‍රමාද වූ බව සැබෑවක්.නමුත් මා නැවත මගේ විශ්වවිද්‍යාලය වෙත ගියා.වසරකින් මගහැරුණු පාඩම් තනිව ඉගෙන ගන්නට සිදු වෙද්දී තනිව සටන දියත් කිරීමේ වටිනාකම මට පැහැදිලි වුණා

තවදුරටත් ජෝර්ඡ් මා සමග නැති බැවින් මගේ කාලය ඕනෑවටත් වඩා මා සමග තිබෙන බව මට දැණුනා.ඉතිරි වන කාලය පොත්පත් කියවන්නට චිත්‍රපටි වලට වැය කළත් මට කුමක්දෝ අඩුවක් දැනුණු තරම්.”තෑගි සකසා අලෙවි කිරීම” ව්‍යාපාරයක් ලෙස අරඹන්නට මා පටන් ගන්නේ ඒ කාලයේදී.

සැලසුම් කිහිපයක් සමඟ මා නැවත ගොඩ නැගෙන්නට ගත්තේ ඒ ආකාරයෙන්.
මේ සටහන ලියවෙන්නේ 2021 වසර අවසන් වන දවසේ දී.වසරකට පෙර මෙවැනි දවසක ජීවිතය අතැර ගන්නට සිතූ මම අද හිඳින්නේ කොතැනදැයි ඔබ දන්නවා ද?

මගේ ව්‍යාපාරයට කෙළවරක් නැතුව ඇණවුම් ගලා එනවා.ඒවා සමඟ මා හිඳින්නේ සම්පූර්ණයෙන් කාර්යබහුල ජීවිතයක් ගෙවමින්.මගේ උපාධි ප්‍රදානෝත්සවය දා ගත් ඡායාරූපයේ හිනැහෙමින් හිඳින ලෝරා මට අතීත ලෝරා සිහිපත් කරනවා.බියෙන් ද තැතිගැන්මෙන් ද අනාගතය අතැර පලා යන්නට සිතූ මම නව වසරක් උදා වන දා ගත් නව ආරම්භය ගැන මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්.

සුන්දර යුවතියනි,

ජීවිතය අසීරු බව මේ මොහොතේ ද ඔබ සිතමින් සිටිනවා ඇති.ඒ තමයි අලුත් ආරම්භය.වසරක් ඇරඹෙන්නේ අපව පරිණත කරමින්.රිදවුම් ලැබෙන්නේ ජීවිතයට පන්නරය ලැබීමට බව ඉගෙන ගන්නට මේ සටහන කියවන මොහොත තමයි හොඳම මොහොත.රිදවීම් සහ ඇදවැටීම් සහිතව ගෙවූ වසරක් අවසන් වී ඔබ හති හලමින් සිටිනවා විය හැකියි.

එහෙත් නැගිටින්න.නැවත ගොඩ නැගෙන්න!

මගේ ඇද වැටීම ගැන කතාව දිගු වෙහෙසකර එකක්.නමුත් මගේ ගොඩ නැගීමේ කතාව කෙටි නමුත් පැහැදිලි කරුණු සහිත බව ඔබ දුටුවා ද?

ජීවිතය කෙටියි.එය පැහැදිලි කරගන්න.අරමුණු වෙත ඇවිද යන්න.ඔබ ඔබට ආදරය කරන්න.ඔබ සුන්දර ගැහැනියක්.ඔබ පරාජය කරන්න කිසිම දෙයකට ඉඩ තබන්න එපා.ඔබ ශක්තිමත් බව සිතමින් ඔබ ශක්තිමත් කරන ආකාරය සැලසුම් කරමින් මේ නව වසර දිග ඇවිද යන්න.

සුබ පැතුම්! ඔබට ජය නියතයි!

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles