දිළිසෙන වීදුරු

“සමහර ගෑණු ඉන්නවා තමන් කසාද බැඳං ඉන්නෙ, තමන්ට එහා පැත්තෙ බුදියගන්නෙ ලෝකෙ හොඳම මනුස්සය වුණත්, ඇස් අස්සෙ මායාවල් හංගන් ඉන්න වෙන පුරුසයෙක් දැක්කම ඒ ඇත්‍තා තමන්ගෙ කසාද පුරුසයට වඩා හොඳයි කියලා රැවටෙනවා.

කෝමත් සමහර ගෑණු ළඟ තියෙන මැණිකට වඩා, ඈතින් තියෙන වීදුරු කෑල්ලට අව්ව වැටුණම දිළිහෙද්දි රැවටෙනවා!”

ඒ කතා පොත කියවල ඉවර කරලා ඇඳ එහා පැත්තෙ බෙඩ් සයිඩ් කබඩ් එක උඩින් තිව්වට පස්සෙත්, ඉන් දවස් ගාණකට පස්සෙත් මිහාලිට පොතේ එක තැනක ලියව්ලා තිබිච්ච ඔය පරිච්ජේදෙ එහෙමම මතක තිබුණා.

ලියවිලා තිබුණෙ පොතක් අස්සෙ වුණාට ඒ කතාව තමන්ගෙ ජීවිත කතාව ඇතුලෙ කොච්චර ඇත්තක්ද කියලා නොහිත ඉන්න පුලුවන්කමක් ඇත්තටම මිහාලිට තිබ්බෙ නෑ.

“මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමි වූ” කියල මිහාලි වෙඩින් එක දවසෙ රෑ, තමන්ගෙයි දේවින්දගෙයි ෆොටෝ ඉන්ස්ටග්‍රෑම් එකට අප්ලෝඩ් කරේ පුදුම සන්තෝසෙන්. ලෝකෙ ඉන්න හොඳම ස්වාමි පුරුෂයව තමන්‍ට හම්බුනා වගේ ආඩම්බරේකින්.

එක පැත්තකින් ඒ කතාවෙ ඇත්තක් නැතුවත් නෙවෙයි. ලෝකෙ ඉන්න හොඳම කෙසේ වෙතත් මිහාලිගෙ ලෝකෙට ලැබෙන්න තිබ්බ හොඳම හස්බන්ඩ් වෙන්න දේවින්දට අමාරුවක් තිබ්බෙ නෑ. දේවින්ද ඇත්තටම හොඳ මනුස්සයෙක්.

කසාද බැඳල ගෙවිච්ච පලවෙනි අවුරුදු දෙක ඇතුලත් මිහාලි – දේවින්ද කියන්නෙ හැමෝම අගයපු ජෝඩුවක්. ලස්සනට පර්සනල් ලයිෆ් එකයි වර්ක් ලයිෆ් එකයි දෙකම බැලන්ස් කරගෙන ගිය පවර් කපල් එකක්. ඒත් නොහිතපු විදියට පැණි වරකා ගහට හෙණ ගැහුවෙ ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකකට තමන්ගෙ ඔෆිස් එකේම වෙන බ්‍රාන්ච් එකක ටීම් එකක් එක්ක පිටරට යන්න වෙච්ච එකෙන්.

ඒ ගමනෙදි තමයි මිහාලිට කුශාල්ව හම්බුණේ.

මිහාලි වැඩකරේ කොළඹ බ්‍රාන්ච් එකේ වෙද්දි කුශාල් වැඩ කරේ නුවර බ්‍රාන්ච් එකේ. නුවර හොඳම හොඳ රදල පවුලක කොල්ලෙක් වෙච්ච, දළදාව පේන්න නොපෙනෙන මානෙ ලස්සන ගෙයක් තිබ්බ, අවුරුදු තිස් පහක් උනත් විසි පහක ලුක් එකක් තිබ්බ කුශාල් කියන්නෙ කෙල්ලෙක්ගෙ විතරක් නෙවෙයි කසාද බැන්ද ගෑණියෙක්ගෙ උනත් හිතක් හොල්ලන්න පුලුවන් විදියෙ පර්සනැලිටි එකක් තියෙන පොරක් බව කට්ටිය කිව්ව කතා ඇත්තක් වුනේ කුශාල්ගෙ වචන වලට, හැසිරීමට මිහාලි වහ වැටුණයින් පස්සෙ.

ටුවර් එක තිබ්බෙ ඉන්දියාවෙ ඔෆිස්  එකට. උදේ වරුවෙම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට සහභාගි වෙලා හවස් වරුවෙ විවේක වෙලාවල කට්ටිය ඉන්දියාවෙ ලස්සන තැන්වල ඇවිදින්න ගියා. ලස්සන ජුම්කා කරාබු, සල්වාර්, සාරි, කුර්තා ගන්න තව සෙට් එකක් ගියා.

ඔය අතරවාරෙ මිහාලි කුශාල් එක්ක චායි බොන්න ගියා. ටජ් මහල බලන්න ගිහින් ආදරේ ගැන, ආදරේ කියන්නෙ කැපකිරීමක් බව කියන්න කාලෙ වෙන් කරා. ඒ වෙලාවල් වලට “තාම ට්‍රේනින් ද බබා?” කියලා දේවින්දගෙන් එන මැසේජස් පවා මිහාලිට දැනුනෙ තමන්ගෙයි කුශාල්ගෙයි නමක් නැති, තමන්ගෙ හිත අස්සෙන් විතරක් පටන් ගත්ත බැඳීමට කරන බාධාවක් වගේ.

ලස්සන ජුම්කා කරාබුයි, වලලුයි එල්ලපු කඩ අස්සෙන් මිහාලි එක්ක ඇවිදන් යද්දි, සෙනග පිරිච්ච තැන්වලදි තමන්ගෙ අතින් අල්ලගන්න දික්කරපු කුශාල්ගෙ අත හිමින් අල්ලගනිද්දි මිහාලි හිතින් උන්නෙ හින්දි චිත්‍රපටයක් රඟපාන ගමන්. ඇත්තටම කිව්වොත් මිහාලි කුශාල්ව දැක්කෙ ෆනා චිත්‍රපටයෙ අමීර් ඛාන් වගේ. කාජල් උනේ මිහාලි.

ට්‍රේනින් පීරියඩ් එකේ ගෙවිච්ච සති දෙක ඇතුලත මිහාලිගෙ හිතේ දේවින්දට තැනක් තිබ්බෙම නෑ. ඇත්ත ජීවිතේ වගේම මිහාලි දැක්ක හීනවල පවා උන්නෙ මිහාලි – කුශාල් විතරයි. මිහාලි බලන් උන්නෙ කුශාල් අද තමන්ට කැමතියි කියයි කියලා. එහෙම කිව්වම දේවින්දගෙන් අයින් වෙන්නෙ කොහොමද කියල පවා මිහාලි හිතුවා.

ට්‍රේනින් ඉවර වෙලා ගෙදර ආවෙ ගෙදරින් ගිය මිහාලි නෙවෙයි.කුශාල් අද කතා කරාවි කියල බලන් හිටියට මිහාලිට කුශාල්ගෙන් මැසේජ් එකක්වත් ආවෙ නෑ. මිහාලි උන්නෙ පුදුම දැවීමක. හැමතිස්සෙම කුශාල්ව මතක් වෙද්දි ඇයි කුශාල් කතා නොකරන්නෙ කියල නොහිත ඉන්න මිහාලිට බැරිවුණා. ඒ තරහ පිටවුනේ දේවින්ද එක්ක පොඩි දේටත් රණ්ඩු වෙලා.

රෑට නිදාගන්න ගියාම, දේවින්ද නින්දෙන් ඇවිත් තුරුල් වෙද්දි “අනේ මේ කුශාල් වුනානම්” කියල නොහිත ඉන්න මිහාලිට බැරිවුණා.

තමන්ට කතා නොකරට ඩේලි ස්ටෝරිස් දාන්න, ඉන්ස්ටග්‍රෑම් එකේ ෆොටෝ දාන්න කුශාල් අමතක කරේ නෑ.

මිහාලි ඇත්ත තේරුම් ගත්තෙ අන්න එතනදි.

“පිරිමියෙක් පස්සෙන් යන්න ගෑණියෙක්ට සිද්ද වෙනවනම් ඒ කියන්නෙ ඒ ගෑණිව පිරිමියගෙ හිතේ තදට ලියවිලා නෑ. ගෑණියෙක්ව හිතේ තදට ලියාගත්ත පිරිමියෙක්ගෙ පස්සෙන් යන්න ආයෙ අමුතුවෙන් ගෑණුන්ට සිද්ද වෙන්නෙ නෑ. මොකෝ තමන්ගෙ හිත ගිය ගෑණි පස්සෙ යන එක පිරිමියෙක්ගෙන් ඉබේම වෙනවා” කියලා ෆේස්බුක් එකේ කොහෙද ලියවිලා තිබුණා.

ඈතින් තිබ්බ අව්ව වැටිලා දිලිහිච්ච වීදුරු කෑල්ල ලඟ තමන් මග ඇරගන්න හදලා තියෙන්නෙ, හිතෙන් චීට් කරලා තියෙන්නෙ ඇත්තටම වටින මැණික් ගලකට නේද කියලා හිතෙද්දි හයියෙන් කෑගහලා අඬන්න මිහාලිට හිතුණා.

“ගිල්ට් එක කියන්නෙ දරාගන්න අමාරු හැඟීමක්” කියලා තමන් හිතෙන් හරි වෙන කෙනෙක්ට බැඳුනා කියල නොදැන දවස පුරා ආදරේ වස්සන දේවින්ද දිහා බලන හැමවෙලාකම හිතිලා මිහාලි හිතෙන් ඇඬුවා.

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles