“ඒ මිනිස්සු හදන්නෙ ගෙයක්ද මාළිගාවක්ද මන්දා?”
උත්තරා එහෙම කිව්වෙ තමන්ගෙ ගේ ඉස්සරහ පොඩි කඳු ගැටේ මුදුනෙම වගේ හදාගෙන යන අලුත් ගෙදර දිහා බලාගෙන. සාමාන්‍යයෙන් කන්දක් උඩ ගෙයක් හදද්දි තැනිතලා බිමක වගේ උසම උස තට්ටු ගණන් ගෙවල් හැදිලි කෙරෙනවා අඩු වුණත් මේ ගේ නම් හැදෙන්නෙ ඒ තාලෙට නෙවෙයි කියලා දකින ඕනම කෙනෙක්ට හිතිච්ච තරම්.
උත්තරාලගෙ ගේ තිබ්බෙ පාරෙ අයිනෙ. ඒ පාර පැනලා එහා පැත්තට ගියාම තිබ්බෙ වසන්ත අංකල් ලගෙ ගෙදර. වසන්ත අංකල්ලගෙ ගෙදර උත්තරාලගෙ අම්මාලා පොඩි කාලෙටත් කලින් හදපු පරණ තාලෙ, හැබැයි ලස්සන, ඒත් හොඳට මේන්ටේන් කල ගෙයක්.
“මං මේ කල්පනා කලේ ඔහොම තැනක ඔය වගේ ගෙයක් හදන්න නගරසභාවෙන් අවසර දෙනවද අනේ?”
“ඒක තමයි අපි ඔන්න පොඩි පහන් පැලක් වගේ හැදුවනම් නගරසභාවට ඕක කම්ප්ලේන් කරන්න ඕන තරම් මිනිස්සු ඉඳීවි නේද?” කියලා කතාවට එක්කහු වුනේ අයියගෙ නෝන පබසරා.
“ඒකතමයි, දැන් මේ පිටිපස්සෙ ගෙදර වාසල අංකල් ලගෙ ගේ හදන කොට ස්ලැබ් එක දෙපාරක් දාන්න උනාලුනෙ නගර සභාවෙන් වැඩ නවත්තන්න කිව්ව නිසා. එයාලා ඊටපස්සෙනෙ ඒ ගල් තලාව විදලා ආයෙ වතාවක් ස්ලැබ් එක දැම්මෙ” කියාගෙනම බීල ඉවර වෙච්ච තේ කෝප්පෙ අරගෙන අම්මා ගෙට ගියා.
නෑනො දෙන්නා මිදුලට වෙලා හදාගෙන යන කන්දෙ මාලිගාව දිහා බලාගෙන මොන මොනවදෝ කල්පනා කලා.
දවස් ගෙවිලා ගියා. උත්තරා කසාද බැඳලා කොළඹ ගියා. කාලෙ එක්කම කන්දෙ ගෙදර පොඩ්ඩ පොඩ්ඩ ඉස්සුණා. ඒ ගෙදර තිබිච්ච ගෙට ගෙවිදීමේ උත්සවේට ගිහින් ඇවිල්ලා අම්මා කිව්වෙ “පැත්තම හොඳටම පේනවා ඒ ගෙට. ඒ වුනාට පාතාලෙ වගෙ ඉතින් පල්ලෙහ බලද්දි බයත් හිතෙනවා. කෙලින්ම පේන්නෙ වසන්ත අංකල්ලගෙ ගේ වහල” කියලා.
ඔහොම ඉද්දි තමයි කවදාවත් නැති විදියට අවුරුද්දෙ මුල් මාස කීපයේ ධාරාණිපාතෙන් වහින්න ගත්තෙ. සමහර පැතිවලට ගං වතුර එද්දි, සමහර පැතිවල පාරවල් එහෙම යටවෙද්දි, ඉස්කෝලෙ වැහෙද්දි උත්තරාලගෙ ගෙවල් පැත්තෙ මිනිස්සු කවදාවත් නැති විදියට බය වුනේ අලුතෙන් අහන්න ලැබිච්ච බය හිතෙන ආරංචියක් හන්දා.
ඒ ආරංචිය උත්තරාගෙ කනට ආව අම්මා ගත්ත කෝල් එකක් හන්දා.
“බලන්න පුතේ අර කන්දෙ ගෙදර වැස්සෙන් පස්සෙ ඩිංගක් ඇලවෙලා. පතල් හා කැණීම් එකෙන් ආව බලන්න. අපෙ වත්තටත් ඇවිල්ල මොනවද මැනලා බැලුවා”
“මාර වැඩේනෙ, දැන් ඒ ගෙදර ඉන්න මිනිස්සු මොකද කියන්නෙ?”
“මොකද කියන්නෙ කියන්නෙ, පුදුම දේ කියන්නෙ නගර සභාවෙන් අවසර ගන්නෙ නැතුව ඒක හදලා තියෙන්නෙ. ගෙවල් වලින් අයින් වෙන්න කියලා. ඒ ගෙදර අයට විතරක් නෙවෙයි, ඒ අහල පහල ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගෙ ගෙවල් වල තාප්ප වල පවා ඉරි තලලා ගිහිල්ලලු. වහාම ආයින්වෙන්න කියලා නිවේදන දීලා”
“මාරයිනෙ, ඉතින් කොහෙද ඒ මිනිස්සු යන්නෙ?”
“අනේ මන්දා ලමයො. මං බය උනේ ඔය කන්ද කඩං වැටුනොත් අපෙ ගෙවල් එහෙමත් යට වෙයිද කියල. මං ඒත් අර පතල් හා කැණීම් එකෙන් ආව ළමේක්ගෙන් ඇහුවා. ඒ ළමයත් කිව්වෙ පස් කන්ද ආවෙ නැතුවට ඔය පාරෙ තියෙන ලයිට් කණු එහෙම එන්න පුලුවන් නෙ කියලා.
පව් වැඩේ කියන්නෙ මෙච්චර අවුරුදු ගාණක් පරම්පරා කීපයක් ජීවත්වෙච්ච වසන්ත අංකල්ලට පවා ගෙවල් වලින් අයින් වෙන්න වෙච්ච එක කන්දෙ ගෙදර හන්දා”
ඔය කතාව වෙලා මාස කීපෙකට පස්සෙ උත්තරා අම්මා බලන්න ගමේ ආව වෙලාවක තමයි මහ සද්දෙට කන්දෙ මාලිගාවෙ, වැස්සට ඉරිතලලා ඇද වෙලා තිබිච්ච තාප්පෙ වසන්ත අංකල්ලගෙ අවුරුදු ගාණක් පරණ ගෙට කඩං වැටුණෙ.
මහ සද්දෙට, පලාතම සද්ද කරගෙන, ඉන්පස්සෙ විනාඩි ගාණක මහා නිස්සද්දෙකට මුලු ගමම යට කරගෙන තාප්පෙ කඩං වැටුණෙ අවුරුදු ගණන් ගොඩනගපු දේවල් වුණත් ලෝක ධර්මතාවෙ අනුව කවදහරි දවසක විනාස වෙලා යනවා කියලා කියන්න වගේ.
“වසන්ත අංකල් අන්තිමට ආව වෙලේ රට ගියේ ගේ ගැන අදහස හිතෙන් අතෑරලලු. පව් ඒ මිනිස්සුන්ගෙ ආච්චිලගෙ ආච්චිලා සීයලා පවා ජීවත්වෙච්ච මහ ගෙවල්නෙ ඉතින්” කියලා අම්මාගෙ කටහඬෙන් පිටවෙච්ච වචනවල රැඳිලා තිබුණෙ මහ වේදනාවක්. හරියට තමනුත් සාක්කිකාරයෙක් වෙච්ච අතීතයක් තමන්ගෙ ඇස් ඉස්සරහම විනාස වෙලා යද්දි බලන් ඉන්න අමාරුකම නොකිය කියන්න වගේ.
“කන්දෙ ගෙදර කට්ටිය දැන් මොකද කියන්නෙ? වන්දි ගෙවන්න වෙයිද වසන්ත අංකල් ලට?”
“මොන වන්දිද ළමයො? ඒ මිනිස්සු දැන් එයාලගෙ ගමේ ගෙදරක ඉන්නවලු.කන්දෙ ගෙදර රෙන්ට් අවුට් කරන්න දාලාලු” කියාගෙන අම්මා ගේ ඇතුලට යද්දිත් උත්තරා තාමත් දූවිලි වලාවෙන් වැහිච්ච වසන්ත අංකල්ලගෙ පරම්පරා ගෙදර දිහා බලන් උන්නා.