ඇයි ඌට අත් දෙකක් – 16

0
3967

මගේ ඇස් දෙක මටම විශ්වාස කරන්න බැරි විදිහට එක පාරටම මම දැක්කේ දොර ගාව හිටගෙන ඉන්න අප්පු.හැබැයි ඒ නිකන් නෙමෙයි.අඩි හයක් විතර දිග තනි කළු පාට මම ජීවිතේ කවදාවත් දැකලා නැති විදිහේ විශාල සර්පයෙක්වත් අතේ තියාගෙනයි.ඒ සර්පයා බොහොම හීලෑ විදිහට අප්පුගේ බෙල්ලේ එතිලා හිටියා..

“අප්පු… මොකක්ද උඹ ඔය කරන්න ලෑස්ති වෙන්නේ..අප්පු.. සේනාදීර  වගේ මම නම් උඹව අතාරින්නේ නෑ…”

මට සිහිය ඇවිල්ලා මම හොඳ තත්වේ ඉන්නවා කියලා දැක්කහම අප්පු ටිකක් පස්සට ගියා. අප්පු හිතුවේ මට තාමත් සිහිය නැති වෙලා කියලයි.අනික මම එහෙම කියලා කෑ ගැහුවම මෙච්චර කාලයක් සිද්ධ වෙලා තියෙන දේවල් මම ඔක්කොම දන්නවා කියලා අප්පුට තේරෙන්න ඇති..

“උඹේ ඔය කාලකන්නි සර්පයාට කියලා මගේ කටේ බිත්තර දම්මන්න උඹට හම්බවෙන්නේ නෑ.. උඹ එහෙම කලොත් මම සේනාධිර වගේ නිකන් ඉන්නෙත් නැහැ..මං උබව මරනවා… මමත් සියදිවි නසා ගන්නවා.. “

මම එහෙම කියලා කෑගහනකොටත් තාමත් යන්තම් මගේ අත් දෙක පුටුව පිටිපස්සට වෙලා පැටලිලා තිබිච්ච හින්දා අප්පු දැනගත්තේ නෑ මම අත් දෙක ලිහාගෙන හිටියයි කියලා..තවත් අඩියක් දෙකක් අප්පු මගේ ළඟට එන්නට පටන් ගත්තේ ඒකයි..

“අප්පු.. උඹ මහ තිරිසනෙක්..ඇත්ත කියපන් උඹ අර එළියේ හිටපු මගේ යාළුවට මොකද කළේ?.
කතා කරපන් මිනිහෝ..එළියේ හිටපු මනුස්සයාට මොකද කළේ..මං උබව ලේසියෙන් අත අරින්නෙ නෑ මිනිහෝ…”

මම එහෙම කියලා කෑගහනකොට තවත් ලාම්පුවක් අරගෙන අප්පු පිටිපස්සෙන් ආවේ වෙන කවුරුවත් නෙමෙයි සමන් මහත්තයයි..

මට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියා.

“ස..ම.න්.. මහත්තයා … ඔයා…”

මම එහෙම කියනකොට අප්පු හකහක ගාලා හිනා වෙන්න පටන් ගත්තා.

“ලංකා මහත්තයා..මෙච්චර දවසක් ඔයාව රවට්ටන්න වීම ගැනනම් මට සමාවෙන්න..අප්පු විතරක් නෙමෙයි මමත් පරම්පරා බෝ කරන්නෙක් තමයි.
අපිට අපේ පරම්පරාවේ කෙනෙක්ගෙන් බිත්තර වලින් පැටව් ගන්න බැහැ.අපේ බිත්තර පැටව් කරගන්න පුළුවන් සාමාන්‍ය මනුස්සයෙකුගේ බඩට දැම්මොත් විතරයි.අප්පුගේ බෙල්ලෙ මේ එතිලා ඉන්න සරපයා වෙන කවුරුත් නෙමෙයි මගේ නෝනා..අපි අපේ වර්ගයා බෝ කිරීම වෙනුවෙන් පණ උනත් දෙන්න ලෑස්තියි.. අද පුර පෝය බව අමතක කරන්න එපා..මේ හඳ බැහැලා යනකම් මට මගේ නෝනව ආපහු මනුස්ස වේසයෙන් දකින්න හම්බවෙන්නේ නැහැ..මේ කියන කිසිම දෙයක් කවුරුවත්ම විශ්වාස කරන්නෙත් නැති බව අපි දන්නවා..ඒක අවිශ්වාස කරන තාක් කල් අපි අපේ පරම්පරාව බෝ කරනවා.. මේ ගැන මහත්තයා පොලිසියට පැමිණිලි කළත් ඇති වැඩක් වෙන්නේ නෑ..මහත්තයට සිද්ධ වෙන්නේ මානසික රෝහලෙන් බෙහෙත් ගන්න විතරයි..
මහත්තයාට කිසිම සැකයක් ඇති නොවෙන්න ආපහු සැරයක් නග්‍රැක්  බංගලාවට ගෙන්න ගන්න එක තමයි මගේ එකම රාජකාරිය වුණේ.. මම මගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කළා.”

එහෙම කියපු සමන් මහත්තයා මහා හයියෙන් හිනාවෙනකොට මම මේ දකින්නේ හීනයක්ද ඇත්තක්ද කියන එක මට හිතාගන්න බැරුව ගියා.මගේ බය වෙච්ච මූන ගොළු වෙච්ච කටහඬ දැකපු අප්පු මං ගාවට ආවේ අර සර්ප දේනුව උස්සගෙන…

” පලයන් කාලකන්නියා අහකට..අප්පු තෝ මගෙන් මැරුම් කන්නයි හදන්නේ..පලයන් ඔය කාලකන්නි වැඩේ මට කරන්න එන්න එපා..”

එහෙම කියාගෙන මම එකපාරටම බැමි බුරුල් කරගෙන පුටුවෙන් නැගිටිනකොට සමන්ටයි අප්පුටයි දෙන්නටම හිතා ගන්න බැරුව ගියා මොකක්ද උනේ කියලා.මගේ ආරක්ෂාවට දැං මම මොකක්ද කරන්න ඕන කියලා මට හිතාගන්න බැරුව ගියා.මම නැගිට්ටයි කියලා දැක්කහම සමන් එක පාරටම එයාගේ අතේ තිබිච්ච ඉටිපන්දම එතන තිබුන මේසය උඩින් තියලා විදුලි වේගයෙන් මගේ පැත්තට පැන්නා. මගේ අතට මගේ ආරක්ෂාවට කියලා අල්ලගන්න අරගන්න කියලා  කිසිම දෙයක් තිබුණේ නෑ…
එක පාරටම විදුලියක් කොටනවා වගේ මට මතක් උනේ උදේ තාපසතුමා මට දීපු පිරිත් පැන් කුප්පිය. මම සමන්ගෙන් අහකට පැන්නා.. ඉලක්කය වැරදිච්ච සමන් කළුවරට වැඩි බරක් තිබ්බ කාමරේ ඇතුලේ මොකක හරි හැප්පිලා ඇදගෙන වැටුනා .  මං හිතන්නේ ඒ මම බිම පෙරලල තිබිච්ච පුටුවෙ…ඒ හම්බවෙච්ච තත්පරයක ඉඩ තමයි හොඳම ඉඩ කියලා හිතිච්ච මට  වෙන කරන්නම දෙයක් නැති හින්දා අසරණ වෙච්ච මනුස්සයා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ සාක්කුව ඇතුලට අත දාලා ඒ බෝතලේ අරගෙන ඒකෙ මූඩිය ගලවලා තුන්දෙනාටම වදින විදිහට වතුර ඉස්සා.
තුන්දෙනා කිව්වේ  කවුද ඉතින්..

අප්පුවයි සරපයයි පාවා දෙන්නයි…

හිතාගන්න බැරි තරම් වේගයෙන් ඒ බෝතලේ ඇතුලෙ තිබුණ වතුර සමන්ගෙයි අප්පුගෙයි ඇස් වල වැදුනා.. තත්පරයෙන් දහයෙන් පංගුවක වේගයෙන් සමන් හු තියාගෙන එළියට දුවනකොට අප්පු මරු විකාරයෙන් කෑ ගහන්නට පටන් ගත්තා.
අප්පුගේ බෙල්ලේ එතිලා හිටපු සරප දේනුව අප්පු එකපාරටම අව සිහියෙන් වගේ මගේ බෙල්ලට වීසි කරනකොට හිතාගන්න බැරි විදිහට සර්ප දේනුව මාව වෙලා ගත්තා.  ඇත්තටම සර්පයෙක් නම් සමහර විට මෙච්චර වේගවත් නොවෙන්නත් ඇති.
මට ඇතිවුණු අප්‍රසන්නතාවය මෙතෙකයි කියලා කියන්න බැරුව ගියා.සර්පයත් එක්කම මාව බිම ඇදගෙන වැටුණා.ඇසිල්ලකින් වාගේ මගේ ඇහැ ගැහුනේ අප්පු මට ගහපු පොල්ල දොර අස්සේ හංගලා තියෙන විදිහයි.සීතලට සීතලේ මාව තව තවත් වෙලා ගන්නා සරප දේනුවගේ අස්සේ මම බොහොම අමාරුවෙන් පොල්ල ඇදලා ගත්තා.. සරප දේනුවගේ මුළු ඇඟ පුරාම තිබුණු සුදු පාට සෙවල සෙවල මගේ ඇඟ හැම තැනම ගෑවෙන්න පටන් ගත්තා .. අප්පිරියාවෙන් මගේ ඇඟ සීතල වෙලා ගියා..
ඈතට විසිවෙලා තිබිච්ච පිරිත් පැන් කුප්පිය මම බොහොම අමාරුවෙන්  පොල්ලෙන් ඇදලා ගත්තා. බොහොම අමාරුවෙන් මම ඒ කුප්පිය ඇතුළේ තිබිච්ච අන්තිම බිංදු දෙක තුන සරප
දේනුවගේ ඇඟට හැලුවා. දඬුඅඬුවක් වගේ මාව හිර කරලා හප කරන්න හදන සරප දේනුවගේ බැම්ම එකපාරටම ලිහිල් වෙන්න පටන් ගත්තා.
හොඳ තිත්ත කුණුහරුප දෙක තුනක් කියවෙච්ච මට මළගිය ප්‍රාණ කාරයෙක් දුන්නු ශක්තියකින්ද කොහෙද වෙලාගෙන හිටපු සර්ප දේනුව ඈතට වීසි කරලා නැගිට ගන්න පුළුවන් උනා..ඇත්තටම ඒ වෙලාවේ මමත් හිටියේ මරු විකලින්…ඊට පස්සේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම හරියට හීනයක් වගේ..විශාල සර්පදේනුව
සරාස්..සරාස්ස් ගාලා  කාමරය පුරාම ඇදෙන්න පටන් ගත්තේ අර වැටිච්ච පිරිත් වතුර බිංදු වලට ඌව පිච්චෙන පටන් අරන් තිබිච්ච හින්දා..දුවන්න හදන මගේ කකුල එකපාරටම මරුවිකලෙන් දඟලන අප්පු බදාගන්නකොට කපපු කෙහෙල් ගහක් වගේ මාව ඇදගෙන වැටුනේ මගේ නළලත් පලාගෙනයි..අප්පු සරපයෙක් විදිහටම මගේ කකුල හපාගෙන හිටියා.මට පුදුම වේදනාවක් දැනුනා.නළලෙනුත් ලේ වැක්කෙරෙන කොට කකුලේ නහරයකිනුත් ලේ විදින්න පටන් ගත්තා..අප්පුට තිබුනේ පුදුම ශක්තියක් කියල මට හිතුනා.ඇත්තටම ඒක අමුනුස්ස ශක්තියක්..
සරාස් සරාස් ගාලා සරප දේනුව ආපහු මම ඉන්න පැත්තට ඇදිලා එනවා කියලා මට පේනකොට සුද්ද සිංහලෙන්ම කියනවනම් මට නීචිචි නිනව්  නැතිවුනා.
කිසිම අරමුණක් නැතුව බිම අතගාන මට සමන් බිම ඇදගෙන වැටුණ  පුටුව කෑලි වලට කැඩිලයි කියලා අහු උනා.මම දන්නෙ නෑ ඒක මගේ අතට කොහොම අහු උනාද කියල.ඒක ලී කෑල්ලක්ද පොල්ලක්ද   කියන්නවත් මට හරියට මතක නෑ… මම පුළුවන් වෙර වීරිය දාලා ඒ ලීයෙන් අප්පුට ඇන්නා.ලී කෑල්ල කැඩිලා තිබුණේ අග්ගිස්ස උලක් වෙන හැටියට හින්දා අප්පුගේ උරපත්ත හිල් කරගෙන කෑල්ල බැස්සා..මරහඬ දීපු අප්පු හපා ගෙන හිටපු මගේ කකුල අත ඇරියා..
පිස්සුවෙන් වගේ නැගිට්ට මම ඇනපු උල ගලවන්නේ නැතුව ආපහු සැරයක් කැඩිච්ච පුටුව උස්සලා අරගෙන ගණන් කරන්න බැරි තරම් වාර ගණනක් අපපුගේ ඔළුව කුඩු චප්ප වෙනකම් ගහගෙන ගහගෙන ගියා. මම ඒ දේ කොහොම කළාද කියලා මට හිතාගන්න බැරුව ගියා. ඒ වෙනකොට පත්තු වෙවී තිබිච්ච ඉටිපන්දම ඉවර වෙලා තිබිච්ච හින්දා සරප දේනුව  කොහාට අන්තර්ස් දාන උනාද කියලා මට හොයාගන්න බැරුව ගියා.. අතගාගෙන අතගාගෙන එළියට එනකොට මගේ කකුල හැප්පුනේ පාස්පෝට් වීසා දාලා තිබිච්ච පුංචි බෑග් එකේ.මගේ මැරිච්ච ආච්චිට පින් දීල බෑග් එකත් අහුලගෙන පිස්සුවෙන් වගේ මම එළියට දුවගෙන ආවේ සමන් කාරයා මොන අහුමුල්ලක ඉඳලා මගේ ළඟට පනීද  කියලා බයෙන්…ඒත් සමන් කාරයට වෙච්චි දෙයක් තිබුණේ නැහැ..හොඳින් හඳ පායලා තිබිච්ච ඒ රාත්‍රියේ අපි ආපු සනිය ඒ විදිහටම මිදුලෙ නවත්තලා තිබුණා.. මම පිස්සුවෙන් වගේ දුවගෙන ගිහිල්ලා කාර් එකේ දොර ඇරලා බලනකොට යතුරු කටේ යතුර ඒ විදිහටම එල්ලි එල්ලි තිබුණා.තවත් තත්පරයක්වත් හිතන්නෙ නැතුව මම කාර් එක ස්ටාට් කරගෙන මේ මර උගුලෙන් ඈතට පියාඹන්න පටන් අරගෙන තිබුණා. කාර් එකේ පිටිපස්සෙ සීට් එකේ ….. දෙයියනේ …… 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here