ඩිජිටල් කැලෑ පත්තර

“ඕකි කළින් කසාදෙ ළමයයි, මිනිහයි දාලා ඇවිල්ලා තමයි මේ මිනිහව බැන්දෙ”

“නිළියො ඉතින් කොහොමත් වනචරයිනෙ”

“පව් අර අහිංසක ළමයයි මිනිහයි”

“ඒ කසාදෙ කැඩුණෙ මේ සම්බන්ධෙ හන්දලු”

“අන්තිමේ මේ ගෑණු හන්දා දුක් විඳින්නෙ අහිංසක දරුවො”

උත්තරා මුහුණු පොතේ පළවුණු තමන්ගේ මංගල ජායාරූපය යටින් වැටුණු හිත රිද්දන කමෙන්ට්ස් දිහා බලාගෙන හිටියෙ ඇස් වලින් කඳුලු වක්කර වක්කර.

මේ උත්තරාගේ දෙවනි කසාදෙ.

මේ ලෝකෙ දෙවනි කසාදයක් කරගත්ත පළවෙනි ගෑණි උත්තරා නොවුනට රටේ මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් වුනේ උත්තරා රටම අඳුරන ජනප්‍රිය නිළියක් වෙච්ච හන්දා.

අවුරුදු කීපයක් එක දිගටම ජනප්‍රිය වගේම හොඳම නිළිය සම්මානය දිනාගත්ත උත්තරා කළින් විවාහ වෙලා හිටියෙ එයාව මේ රංගන ක්ෂේත්‍රයට එක්කරගෙන ආව තරුණ අධ්‍යක්ෂකවරයෙක් වුණ භූමික එක්ක.

භූමික එක්ක විවාහ වෙද්දිත් උත්තරා රටේ තරුණ හිත් අස්සෙ සිහින කුමාරියක් වෙලා ඉවරයි.

ඒ තරුණ හිත්වලට දාහක් වේදනා අරගෙන එන ගමන් තමන්ගේ රංගන ජීවිතයේ හොඳම කාලයේදි උත්තරා භූමික එක්ක විවාහ වුණා.

හරියට ඉන්දියාවේ මධුරි ඩික්සිත් වගේ.

ඒත් ඉන්දියාවෙ මධුරිට වගේම උත්තරාටත් ජනප්‍රියත්වයේ අඩුවක් තිබුණෙ නෑ.

බැඳල අවුරුද්දකට පස්සෙ හම්බුණ පුංචි පුතා තමයි ක්‍රිශ්.

දරුවෙක් කියන්නේ ඕනම විවාහක ජෝඩුවකට සතුට වැඩි දියුණු කරගන්න හේතුවක් වුනාට භූමික ඒ සතුට ඇත්තටම වින්දේ තවත් අවුරුද්දක් යනකම් විතරයි.

කැළණියෙ පුංචි මැහුම් වැඩපලක වැඩ කර කර හිටපු උත්තරාව පාරෙදි දැකලා රංගන ක්ෂේත්‍රයට එක්කරගෙන ආව වගේම කසාද බැඳල, දරුවෙකුත් හම්බෙලා කාලයක් ගියාට පස්සෙ භූමික තවත් නිළියක්ව අරගෙන ආව ක්ෂේත්‍රයට.

ඒ වින්දනා.එහෙම නැත්තම් හැමෝම දන්න වින්දි.

ඒත් වින්දි රඟපාන්න ආවෙ ටෙලි නාට්‍යවල විතරක්ම නෙවෙයි. ටෙලි නාට්‍යවල ඉඳල, භූමිකගේ වාහනේ ඉස්සරහ සීට් එකට වගේම, ටික ටික හොටෙල් රූම්ස් වලත් වින්දි රඟපාන්න පටන් අරගෙන බව උත්තරා දැනගද්දි ඒ වින්දි – භූමික සම්බන්ධෙ සෑහෙන දුර දිග ගිහින් ඉවරයි.

භූමික තේජවර්ණගෙ ඉතාම ඉහළ කලාත්මක චිත්‍රපටවල රඟපාන “වින්දි” ඒ විදියට තමයි උත්තරාව තමන්ගෙ කුල ගෙදරින් එළියට ඇදලා දැම්මේ.

“ප්ලීස් මට උසාවි ගානෙ බඩගාන්න යන්න තියන්න එපා. ඔයා ලෝයර්ට කතා කරලා ඩිවෝස් එක ගන්න. මට දරුවව විතරක් දෙන්න” කියල උත්තරා අඬා වැළපුණා.

අඳුරන ලෝයර් කෙනෙක්ට කතා කරලා, උත්තරාට දරුව නොදෙන තරමටම නඩුව අමාරු කරන්න භූමිකට අමාරු වුණේ නෑ.

දරුවව දන්දීලා කුල ගෙදරින් එළියට බැස්ස උත්තරා හීන් සැරේ ආය රඟපාන්න හිත හදාගත්තේ අහිංසක අම්මටයි තාත්තටයි කන්න බොන්න දෙන්න ඉන්නෙ තමන් විතරක් හන්දා.

ඉබාගාතේ යන්න, සිය දිවි නසාගන්න තමාට හිතිච්ච බව තියා තමන්ගෙ දික්කසාදෙට ඇත්තටම හේතුව වුනේ මොකද්ද කියන එක ගැනවත් කිසිම පත්තරේකටවත්, ටීවී ඉන්ටර්විව් එකකදිවත් නොකිව්ව උත්තරාව හැමෝම දැක්කෙ කසාදෙ කඩාගෙන, දරුවවත් දාලා ආව වනචර ගෑණියෙක් විදියට.

භූමිකට තිබුණ ඉහල සම්බන්ධකම් නිසා ලැබෙන නාට්‍ය ප්‍රමාණෙ අඩු වුණාට ගෑණියෙක්ගෙ පින කුණුමුල්ලෙ කියන්නෙ බොරු නෙවෙයි කියන කතාව ඔප්පු කරගෙන වගේ තමයි ඉන්දියාවේ ඉඳල ලංකාවට ආව අලුත්ම නිෂ්පාදන සමාගමක් යටතේ ඇරඹුණ අලුත්ම චිත්‍රපටයක ප්‍රධාන නිලි චරිතෙ කරන්න උත්තරාට අවස්තාව හම්බුණේ.

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කියල කියන්නවත් බැරි තරමෙ ලස්සනක් වගේම ඇත්තටම නිලි රැජිණකට තියෙන අන්දමේ දක්ෂකම්ක් තිබුන උත්තරාව ලංකාවෙ තමන් කරපු පළවෙනි චිත්‍රපටයටම තෝරගත්ත ඒ ඉන්දියානු අධ්‍යක්ශක වරයා ආයෙ එන්න බලාගෙන ලංකාවෙන් ගියේ උත්තරාගේ හිතත් අරගෙන.

ඉන්දියානු අධ්‍යක්ෂක වික්‍රම් රානේ එක්ක එකතුවෙලා උත්තරා බුලත්සිංහල ප්‍රධාන චරිතයෙන් දායක වුන පළවෙනි චිත්‍රපටය ලංකාවේ වගේම ජාත්‍යන්තරවත් පැසසුම් ගණනක් ලබා ගත්තා.

ඉන්දියාවෙ තිබුණ සම්මාන උලෙලකදි පවා ජාත්‍යන්තරව ඇගයීමට ලක්වුණ උත්තරා එදා ආයෙම ලංකාවට එන්න ගුවන් යානෙට නැග්ගෙ සම්මාන දෙකක් අරගෙන.

අනිත් සම්මානෙ දුන්නෙ වික්‍රම්.

“මම මේ යෝජනාව කරන්නේ ඔයා වගේ දක්ෂ නිලියක් මගෙ ළඟ ඉන්න එක මට හොඳ නිසා නෙවෙයි. ඔයා වගේ සුන්දර ගැහැණියක් මගෙ ජීවිතේ ඉන්න ඕන නිසා. මම කැමතියි ඔයාව කසාද බඳින්නෙ. ගෙදර ගිහින් හොඳට හිතල බලල, ගෙදරිනුත් අහල මට උත්තරයක් දෙනවද?”

“මම කළින් කසාදෙන් වෙන් වෙලා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. කෙල්ලෙක් නෙවෙයි. මම වගේ කෙනෙක්ව කසාද බඳිනවට ඔයාගෙ ගෙදරින් ඔයාට ඉඩ දෙන එකක් නැහැ”

“ඒක ගැටලුවක් නෙවෙයි. මගෙ අම්මා නැහැ තාත්ත විතරයි ඉන්නේ. මේ ගැන දැනටමත් තාත්තා දන්නවා. ඒ නිසා ඔයා ඒ කිසි දෙයක් ගැන හිත රිද්දගන්න එපා”

ඒ විදියට ඇරඹිච්ච උත්තරා වික්‍රම් ආදර කතාව තවත් ලස්සන වුණේ ඉන්දියානු ක්‍රමයට ලංකාවෙදි ගත්ත ලස්සන ශාදී උත්සවය නිසා.

ගාල්ල පැත්තෙ මූද අද්දර හෝටලේක එළිමහනෙ තිබුන ඒ උත්සවේ පුරා පැතිරිලා තිබුන වර්ණවත් ගතිය උත්තරාගෙ හිතෙත් තියෙන බව උත්තරාගේ මූන බලපු හැමෝම එදා දැක්කා.

හැමෝම ඒ ගැන සන්තෝස වුණා.

උත්තරා වගේ ලස්සන, දක්ෂ නිළියක්, ගැහැණියක් ඒ වගේ යහපත්ම තැනක නතර වීම ගැන.

“මං නිසා ෆීල්ඩ් එකට ඇවිල්ලා, අන්තිමේ මාව දාල ගිය ගෑණි මේ තරම් සන්තෝසෙන් ඉන්නෙ කොහොමද?” කියල හිතට දැනිච්ච වෛරය රට පුරා පතුරුවන්න භූමික කටයුතු කරේ ඒ ශාදී උත්සවේ පින්තූර වල උත්තරාගෙ මූණෙ තිබුන හිනාව දරාගන්න අමාරු නිසා.

“දැන් උඹල ඩිවෝස් වෙලත් අවුරුදු එකහමාරකට දෙකකට වැඩි එකේ උඹ ඕක පස්සෙ එලවන්නෙ මොකද ඔය තරම්?”

ඒ ප්‍රශ්නෙ ඇහුවෙ, භූමිකගෙන් ඇත්තටම උත්තරාට අසාධාරණයක් වුනා කියල දැනගෙන හිටිය භූමිකගෙ ළඟම යාලුවෙක් වුණ ප්‍රසාද්.

“ඒකි එහෙම මාව දාල ගියෙ කොහොමද?”

“ඒකි උඹව දාලා ගියේ උඹ වින්දි එක්ක නටන්න තියාගත්ත නිසානේ. අන්තිමේ දැන් උඹට උත්තරත් නෑ වින්දිත් නෑ”

“කසාද බැන්දම ගෑණු දැනගන්න ඕන පිරිමියව හදාගන්න”

“ඔව් උඹ තොත්ත බබානෙ අරං හදාගන්න”

වෛරය සමාජෙ අස්සට අරගෙන යන්න භූමික ළඟ තිබුණ සල්ලිවලට පුලුවන් වුණා.

ඒ සල්ලිවලින් ලියවිච්ච ඩිජිටල් කැළෑ පත්තර එලියට එන්න පටන් ගන්නෙ උත්තරා වික්‍රම් කසාදෙන් සතියකට විතර පස්සෙ.

මිනිස්සු මොන තරම් නම් දේවල් කිව්වද?

අලුත බැඳපු මනමාලි උන්නෙම ඇස් වලින් කඳුලු වක්කරගෙන.

ඔක්කොටම වඩා එයාට තිබුන ලැජ්ජාව වික්‍රම් වගේ හොඳ මනුස්සයෙක්ට තමන් වගේ ගෑණියෙක් හින්දා කතා අහන්න වීම ගැන.

ඒත් වික්‍රම ඒ කිසිම දෙයක් ගැන හිතුවෙවත් නෑ.

“මට සමාවෙන්න. මේ හැමදේම මං වගේ කෙනෙක් ඔයාගෙ ජීවිතේට ආව නිසා”

උත්තරා වික්‍රම් ගෙන් එහෙම සමාව ඉල්ලුවෙ සිංහල කියවන්න බැරි වුණාට මේ එහෙට මෙහෙට පියඹන ඩිජිටල් කැලෑ පත්තර වික්‍රම්ට රහසක් නොවෙන නිසා.

“ජාන්, ඔයා ඒ කසාදෙන් වෙන්වුනේ ඇයි කියන එක මම නොදන්නව නෙවෙයිනෙ. ඒ නිසා ඔයා මගෙන් සමාව ඉල්ලන්න ඕන නෑ. ඔයා කිසිම දෙයක් මගෙන් හංගලා නෑනේ.

අනික මම ඔය වගේ මිනිස්සු කියන බොරු කතා පොඩ්ඩක්වත් කෙයාර් කරන මනුස්සයෙක් නෙවෙයි. ඒක ඔයා දන්නවනෙ.

ලංකාවෙ වුනත් ඉන්දියාවෙ වුනත් මිනිස්සු හරිම කැමතියි අනිත් මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතවල දේවල් එළිපිට කතාකරන්න. ඒකට තව දේවල් එකතු කරලා. හැම කතාවකටම දෙපැත්තක් තිබුණට මිනිස්සු කැමති තමන් කැමති කතාව ප්‍රසිද්ධ කරන්න.පතුරුවන්න.

ඒ වගේ පදනමක් නැති කතාවකට බෑ මගෙ හිතේ ඔයා ගැන තියෙන ආදරේ බිංදුවකින්වත් අඩු කරන්න.

ඒ නිසා දුක් වෙන්න එපා”

ආදරේ පිරිච්ච පොරොන්දුවක් එක්ක, හිත සනසගත්ත උත්තරා ඉන්දියාවට ගියා.

තනියම නෙවෙයි වික්‍රම් සහ එයාලා දෙන්නගෙම පුතා ක්‍රිශ් එක්ක.

More Stories

Don't Miss


Latest Articles