ආකාස මෝස්තර – 57

පැහැබර උදයෙක ලොන්ඩරිවත්තේ රෙදි වේලන අවකාශයෙහි පැවැත්වූ චාම් උත්සවයකදී, කොළඹ නගරාධිපති  ගඟුල් විජයවීර ගේ අතින් මහල් නිවාසයේ ගෙවල් හිමියන්ට පැවරුම් සහතික පිරිනැමිණ. ඒ වූ කලී සියවසක් තිස්සේ ඔවුන් ට දකින්නට අකැප වූ සිහිනයකි. සිහින වල කුළීන ද කුළ හීන ද කියා ලේබල් ගසා ඇතිවා නොවේ. නමුත් ප්‍රභූ පන්තිය නතු කරගෙන සිටි දේශය පාලනය කිරීමේ අයිතිය විසින් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවත් වීමේ මූලික අවශ්‍යතා පවා උල්ලංඝණය කරනු ලැබ තිබිණි. ලොන්ඩරි වත්තේ මිනිසුන් ට සනීපාරක්ෂක පහසුකම් සහිත වඩා හොඳ තත්වයේ නිවහනක ජීවත් වීමට අයිතිය ඇතැයි සිතන්නට පවා මෙතෙක් බලයට පත් වූ කිසිදු රාජ්‍ය යාන්ත්‍රණයකට අමතකව ගියේ ය. අසීරු වෑයමකින් ඒ ජයග්‍රහණය ලබාගන්නට ගඟුල් ට හැකි වූයේ ඔහු සටන අත් නො හැරි නිසාවෙනි. අදිසි දේශපාලන හස්තයන්ට බිය නොවූ නිසාවෙනි. ජීවිතය ඇති තුරා ජරාජීර්ණ දේශපාලනය තුළ රැඳෙමින් මහජන මුදලින් කම්සැප වළඳන්නට ඕනෑ යයි නො සිතූ නිසා ය. සිය ධුර කාලය තුළ,  ජීවත් වීමේ අයිතිය උදුරා ගත් මේ මිනිස් සමූහයා වෙනුවෙන් මනුෂ්‍යත්වයේ අවම යුතුකම හෝ ඉටුකරන්නට ගඟුල් දැරූ වෑයම මෙසේ කූටප්‍රාප්ත විය.

පැවරුම් සහතික ලබා දී අවසන ඔහු පාරුල් වෙතට පැමිණියේ අධිරාජ්‍යයක් දිනා පැමිණෙන සක්විති රජෙකුගේ ජයග්‍රාහී අඩ සිනහවෙනි.

“තව මොනාත් ඉල්ලන්න එහෙම තියනවද… ම්…”

ඔහු වෙත පිදිය හැකි ලස්සන ම සිනහවෙන් ඈ ඔහු ව හදවතින් වැළඳගත්තා ය.

“ඉල්ලීම් නෑ. අපිට පුළුවන් විදිහට මිනිස්සු වෙනුවෙන් අපේ යුතුකම් ඉටුකරමු. මිනිස්සු දිනවමු. මිනිස්සු මනුස්සයො කරමු. එච්චරයි”

අව් රැල්ලක් වැටී පාරුල් ගේ ඇස් අඩ වශයෙන් පියැවිණි. සුළඟ සමගින් පොරබැදූ කෙහෙ රැල්ලක් ඇය අතැඟිල්ලකින් කන් පෙති අතරේ රැඳවූවා ය. මුළු වත්ත ම කඩි ගුලක් සේ ඇවිස්සී තිබේ. ඔවුන්ට මේ දරාගත නො හැකි සතුටු මොහොතකි. පාරුල් පසෙක සිටි උමා ගේ අතකින් අල්වා ගත්තා ය.

“සමහර දේවල් තියනව… සතුටත් එක්ක මහ අමුතු දුකකුත් කලවං වෙලා තියන. මේකත් එහෙම දෙයක්. මං මේ කෝස්ටික් සුවඳ වත්තට මහ පුදුම තරං ආදරෙයි. ඒක අත්ඇරල යනව කියන එක… හිතාගන්නත් බෑ. ඒත් ඉතිං නොගියොත් එන්න බෑ කියනවනෙ. මේ මිනිස්සු මේ විදිහට පිළිවෙළ වුණාට පස්සෙ යන්න පුළුවන් වුණ එක තමයි  තියන එකම සැනසීම”

ඇය ඈත බලාගෙන ඇස් පිය සැළුවා ය. කවුරුවත් කතා කළේ නැත. හැමදාමත් ආ ගිය මග දිගේ ඇය උමා හා ගඟුල් සමගින් ගඟුල් ගේ මෝටර් රථය වෙත පැමිණියා ය. ඔහු සිටියේ රාජකාරී අතරේ බැවින් තවදුරටත් ලොන්ඩරි වත්තේ රැඳිය හැකි වූයේ නැත.

“මං පුළුවන් තරං ඉක්මනට එනව. දුක් වෙන්නෙපා. ඔයාව මට හම්බුණ මේ වත්තට ඔයා වගේම මාත් ආදරෙයි. ඔයා මෙහෙ නැති වුණත් වෙන්න ඕන යුතුකම් ඒ විදිහටම වෙයි”

ඔහු රියට නැගී රිය පණගැන්වීමට පෙර එසේ කීවේ ය. පාරුල් ඇස් වලින් සිනහ වූවා ය. ගඟුල් ගේ රිය හෙමිහිට ඉදිරියට ඇදී ආමර් වීදියේ රිය පෙළ අතරට එක් විය. පාරුල් හා උමා සංඝබෝධි විහාරයේ ආමර් වීදියට මුහුණ ලෑ බුදු පිළිමය අසලට පැමිණියහ. අලුත් බලු පැටවුන් කිහිප දෙනෙකු එහි අතැර ගොස් තිබේ. පාරුල් පහත් වී පැටවුන්ගේ හිස් මුදුන් පිරිමැද්දා ය.

“චණ්ඩිකමට පාරට දුවන්නැතුව පරිස්සමෙන් ලොකු වෙන්නෝනෙ හොඳේ”

මෙතැන දී කොයි තරම් බලු – බළල් පැටවුන් වෙනුවෙන් ඇගේ හිත උණු වී වැගිරෙන්නට ඇත්ද? ලොන්ඩරි වත්තේ මිනිසුන් ට මෙන් ම රැක බලා ගන්නා රජෙකු නැති ඔවුන් ගේ පණ නල වෙනුවෙන් කොයි තරම් දුක් ගන්නට ඇත්ද? කවදත් ඇගේ හිතට ශාන්තිය ගෙනා බුද රුව දෙස බලා හිඳි ඕ බරැති සුසුමකින් නිදහස් වූවා ය.

“මේ කිසි දෙයක් කවදාවත් වෙනස් වෙන එකක් නෑ පාරු. ලොන්ඩරි වත්තෙ පරණ ගෙවල් වල නැතත් ෆ්ලැට් එකේ අලුත් ගෙවල් ඇතුළෙ පරණ විදිහටම ජීවිත ගෙවෙයි. මේ පරණ ගෙවල් පේළි විතරක් ඩෝසර් වෙලා මෙතන ලොන්ඩරිවත්ත කියල තැනක් තිබුණද කියලත් හුඟක් මිනිස්සුන්ට අමතක වෙලා යයි. අපි නැතත් වෙන අය මේ තැන් වල මෙහෙම ඉඳී. අපිටත් කොතනක හිටියත් මතක කන්දක් පපුවට කිඳාබැහැල තියෙයි. යන මිනිස්සුන්ටයි අමාරු පාරු. ඉන්න අයට නෙවෙයි”

උමා හෙමිහිට මිමිණුවා ය. පාරුල් ඇගේ අතින් අල්වාගෙන ආමර් වීදියේ පාර මාරු වූවා ය. ශාරුක් පළතුරු කරත්තය ළඟ හිඳී. ඔහු වෙත එන යුවතියන් දැක ශාරුක් දෑස් වඩාත් කුඩා කරගෙන බලා සිටියේ ඔවුන් එන්නේ ඔහු වෙතට යයි සිතා ගත නො හැකිව ය.

“අපි අද යනව ශාරුක්”

පාරුල් හිතේ කහටක් නැති සිනහවක් නගාගත්තා ය.

“මං දන්නව පාරො”

ශාරුක් ගේ හඬ බිඳී ගියේ ය. කිළිටි ගැහුණු ප්ලාස්ටික් බංකුව මතින් ඔහු නැගිටගත්තේ අන්ත දුර්වලයෙකු සේ ය. ඔහු ගේ ශක්තිය වී තිබුණේ ඔහු ගේ ආදරයයි. නමුත් එය ඔහුගෙන් ගිලිහිණි. දැන් ඒ ශක්තිය නොමැතියෙන් ඔහු ට දැනෙන්නේ දුර්වල බවකි.

“වෙලාවකට මං ඔයාට කෑගැහුව තමයි. ඒ ඔයා ගැන මගෙ හිතේ එහෙම අදහසක් තිබුණෙ නැති නිසා. හැබැයි ශාරුක් ඔයා හරිම හොඳ කොල්ලෙක්. මං ඒක දන්නව. මං කොච්චර අකමැති වුණත් ඔයා කවදාවත් කිසිම බලහත්කාරකමකට ඇවිත් නෑ. තර්ජනේ කරල නෑ. ඒ ඔයා ඇත්තටම ආදරේ කරපු නිසා. හැබැයි මට ඔයා සහෝදරයෙක් වගේ. ඔයා හොඳ ගෑනු ළමයෙක්ව බඳින්න. වෙඩින් එක මටත් කියන්න. කොහේ හිටියත් මං එදාට එනවමයි”

ශාරුක් හිටියේ වේගවත් ඇස් පිය සලමින් කඳුළු වළකමිනි. නමුත් ඔහු කඳුළට පැරදිණ. ශාරුක් ගේ දෑස් වලින් ඉක්මන් කඳුළක් ගලා ගියේ ය.

“අනේ”

පාරුල් ට කියැවී තිබිණ.

“මාත් එක්ක තරහ වෙන්නෙපා ශාරුක්. සමහර වෙලාවල් වල මගෙ අතින් ඔයාගෙ හිත රිදිල ඇති. ඒකට සමාවෙන්න. සමහර දේවල් එහෙම තමයි. මාව තේරුං ගන්න ශාරුක්”

“මට තේරෙනව පාරෝ. දොස්තර මහත්තුරු නගරාධිපතිතුමාල වගේ අය පාරොව ඉල්ලං එද්දි… ඇත්තටම මේ මං කව්ද… මං ඒක තේරුං අරං තමයි පහුගිය කාලෙ හිටියෙ. දෙයියම්ප මං පාරො එක්ක තරහ නෑ. ඊළඟ ආත්මෙක හරි… මං පාරොට ගැලපෙන මිනිහෙක් වෙලා ඉපදෙනව”

පාරුල් ගේ හදවත බර වී තිබිණ. වෙනදා සේ ඇය ශාරුක් බෑගයකට දමා දුන් පළතුරු ටික ප්‍රතික්ෂේප කළේ නැත. මීට පෙර එසේ කිරීමෙන් ඔහු ගේ හිත රිදුවීම ගැන අවංක පසුතැවීමක් පාරුල් ගේ හදවතට වේදනා දුනි.

සමහර හැඟීම් කොයිතරම් මානුෂීය ද කියා දැනෙන්නේ ඒ හැඟීම් දැරූ මිනිසුන් වෙතින් දුරස් වන්නට සිදු වෙත්දී යි!

අලුත් නිවස සඳහා අත්‍යාවශ්‍ය ගෘහ උපකරණ මීට පෙර චන්දුල හා උමා ද ගඟුල් හා පාරුල් ද ගොස් මිල දී ගෙන තිබිණ. එහෙම අලුත් ගෘහභාණ්ඩ සහිත අලුත් නිවෙසක් යනු ඔවුන්ට ඉතා දුරින් තිබූ සිහිනයකි. පාරුල් වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබුවාට පසු යම් තරමකට ඒ හීනය සමීප වූයේ ය. නමුත් බලාපොරොත්තු නොවූ පරිදි දැන් ඒ හීනය හැබෑවක් වී තිබේ. ඉරණම කියන්නේ එහෙව් ආශ්චර්යයකි.

අලුත් ගෙදරට රැගෙන යන්න තරම් වටිනා දේවල් පරණ ගෙදර වූයේ ම නැති තරමි. එබැවින් අවශ්‍ය පත පොත හා ඇඳුම් කැඩුම් ටික හැරුණු විට ගෙදර තිබූ අනිත් අඩුම කුඩුම, අවශ්‍ය අසල්වැසියන්ට ගෙන යන්නට දුනි. ඔවුන් ට ගෙන යන්නට තිබුණේ චන්දුල ගේ අලුත් මෝටර් රථයෙහි ඩිකියේ පටවා ගත හැකි තරම් අල්ප වූ බඩු ප්‍රමාණයකි.

වත්තේ සහෝදර කැළගෙන් සමුගැනීම හිතුවාට වඩා දුෂ්කර වූයේ ය. ඔවුන් ජීවත් වූයේ ගහට පොත්ත සේ දැඩි බැඳීමකිනි. නමුත් සියලු දෙනා ගේ හදවත් අලුත් ගෙවල් ලැබීමේ සතුටෙන් පිරී තිබූ නිසා එය තරමක් පහසු විය.

“රාජාවනං ටීවී එකේ සින්දුවක් කියද්දි හරි අපි දකී. පාරොව දකින්න වෙන්නෙ ඉතිං අහම්බෙන් ඉස්පිරිතාලෙකදි තමයි”

ඒ කතා පාරුල් ව රිදවී ද ඇය පුරුදු මඳහස මුහුණේ එල්ලාගෙන සිටියා ය. කාලයක් එක ම හදවතක් ඇති ශරීර සමූහයක් සේ ලොන්ඩරි වත්තේ ඉසිර විසිර රෙදි ඇපිල්ලූ මිනිසුන්ගෙන් දුරස් වී යන එක මේ තරම් රිදුම් ඇති කරවායි සිතුණේවත් නැත. යමක් කමක් තේරෙන කාලයේ පටන් ඔවුන් සිහින දුටුවේ වත්තෙන් ඉවතට ඉගිල යන දවසක් ගැන යි. නමුත් දැන් ඊට තටු හයිය නැති ගාන ය.

“අපිව බලල යන්න පුළුවන් වෙලාවක ඇවිත් යන්න පාරෝ. බෙහෙත් උගුරක් ඉල්ලගෙන බොන්න අපි දන්න දොස්තර නෝනා කෙනෙකුට ඉන්නෙ පාරො විතරයි”

“එහෙම හිතන්නෙපා නැන්දෙ. ඉස්සරහට අපේ අය අතරෙං තව ගොඩක් දොස්තරල විතරක් නෙවෙයි ඉගෙනගත්ත ළමයි බිහිවෙයි. හොඳම ජොබ් කරන අය ඇති වෙයි. එදාටත් ඕගොල්ලොන්ට මාව මතක තියෙයි කියල මට විශ්වාසයි”

චන්දුල රියට ගොඩවූයේ ය. රිදී හා ජුලී එහි පසුපස අසුනෙහි හිඳගත්හ. සිය ජීවිත කාලය තුළ එවන් රියක ගමනක් යන්නට වාසනාව ලැබෙතැයි ඔවුන් ගේ තුන් හිතකවත් සිතිවිල්ලක් වූයේ නැත. ඇතැම් විට ජීවිත මත්තේ නො හිතනා දේවල් සිදු වේ!

පාරුල් උමාව වැළඳ ගත්තා ය. ඔවුන් ගේ සමුගැනීම තාවකාලික එකක් බව දන්නවා වුණත් දෙදෙනා ගේ ම හදවත් උණු වී ඇස් පෙඟුණේ ය. ඉපදුණාට පසු ඔවුන් එකිනෙකා ගෙන් වෙන් වූ එක දවසක් හෝ ගෙවුණේ නැත.

“ගෙදර බඩු අදින වැඩ ඉවර වුණාට පස්සෙ අපේ ගෙදර එන්න දවසක් ඉක්මනටම දාගන්න ඕන හරිද…”

පාරුල් සිහිපත් කළා ය. උමා ගේ ඇස් චන්දුල ගේ ඇස් මත නතර විය. කියා ගන්නට බැරි දහසක් හැඟුමන් ඒ ඇස් අතරේ සංසරණය විණි.

“පරිස්සමෙන්”

උමා මිමිණුවා ය. චන්දුල යන්තමින් හිස වනා රිය පෙරට ගන්නට ඉදිරිය බලත්දී ම ඔවුන් ඉදිරියේ අයිනකට කොට ත්‍රීරෝද රියක් නැවතිණ. සිසිර ඇල්ලගේ ඉන් බැසගත්තේ විශ්මයෙන් වාගේ ය. ත්‍රිරෝද රිය පසුපස ඇපිල්ලීම සඳහා රෙදි පොට්ටනියක් ම විය. ඒ ඔහු විසින් බාර ගන්නා ලද ජයතිස්ස ගේ ලොන්ඩරියට ලැබුණු ඇඳුම් ය. කුමක් කරන්න දැයි සිතා ගත නො හැකි ව මොහොතක් ගෙවී ගිය ඉක්බිති සිසිර මෝටර් රථය අසලට ම ආවේ ය.

“අපි අලුත් ගෙදර පදිංචියට යන්න කියල”

රිදී දොරට අතක් තැබුවේ ඉන් බැසගැනීමේ අවශ්‍යතාවයක් පෙන්වමිනි.

“බහින්නෙපා බහින්නෙපා. සුබ ගමනක් යන්න හදන එකේ බැහැ බැහැ හැරි හැරි යන්න ඕන නෑ. හරි හරි ඔහොම යන්න පුතා. සුබ ගමං ඈ. ජය වේවා… වාසනා වේවා… දෙයියන්ගෙ පිහිටයි”

සිසිර ට ඒ වදන් පෙළ කියවුණේ මූණිච්චාවට නොවේ. හදවතින් ම ය. තාත්තෙකු ගේ හයියක් නැතිව ඇති දැඩි වූ ඒ කුරුලු පවුලට යහපතක් ම විය යුතු යයි ඔහු ගේ හදවත මොර ගා කියයි. චන්දුල රිය පෙරට ගත්තේ ය. මුළු වත්ත ම ඔවුන් සමග අඩියක් දෙකක් පසු ගමන් ගියේ ය. සිසිර ඉදිරියෙන් ම සිටියේ ය.

අන්තිමට ඔවුහු ලොන්ඩරි වත්ත අතැර ගියහ. සිසිර යළිත් එහි පැමිණ තිබේ!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles