මේ කොන්ක්‍රීට් පුරවරයට හුරුවීම සිතූ තරම් ලෙහෙසි පහසු නොවූවත් දිනාරා ඒ ජීවිතයට හුරු වෙමින් උන්නාය.ඉවසන්නට බැරි වූයේම දහවල ගත දවාලන දාහයය.නුවරිනුත් කිලෝ මීටර් කිහිපයක් එහා කදුකර පෙදෙසක වූ ජයසුන්දර වලව්වේ මේසා රස්නයක් නොවේ.සමහර දිනක දිනාරා පවා නින්දට යන්නේ ලොම් කබායක් ඇදගෙනය..
වසර දෙකක නිවාඩුවක් දමා තමාත් සොයුරාත් වෙනුවෙන් ප්‍රියංකා ආන්ටි විසින් මේ කරන්නේ ලෙහෙසි පහසු කැපකිරීමක් නොවන බව විශ්වාසය. තමාගේ මිනිසුනුත් තමාට අහිමිව ගිය කල පිටස්තර සිතක මේ සා කරුණාවක් , ලෙංගතුකමක් ,ආදරයක් ඉපදීමම පුදුමයකි. ආත්මාර්ථකාමී , දුර්ජන , කුහක මිනිසුන් ජීවත්වන මේ ලෝකයේම අත්තම්මා ,ප්‍රියංකා වැනි සුන්දර හිත් ඇත්තවුන් ජීවත් වීමම පුදුමයකි.
මහනුවර උසස් බාලිකාවේ ඈ හා අධ්‍යාපනය හැදෑරූ යෙහෙළියන් අතරින් මදක් හෝ ඇයට සමීප වූයේ රුක්ෂානාය.පසුගිය දින කිහිපයේදීම ඈ කතා කරමින් සැප දුක විමසූයේ කොළඹ යන්නට තමා ගත්තේ මෝඩ තීරණයක්යැයි කියමින්ය.
ඈ පවසන්නේම ජයසුන්දර වලව්වේ අයිතිවාසිකම් ඉල්ලා කතා කලයුතු බවයි.එහෙත් දිනාරාට ඕනෑ වූයේ නිදහසේ හුස්මක් ගන්නටය.
හිතුවාටත් වඩා ඉක්මනින් සචින් ප්‍රියංකාට හුරු වෙමින් උන්නාය.
‘ මගේ සිතෙහි වූ පාළුව නැතිව ගියා’ යැයි ඈ නිරතුරුවම පැවසුවාය.පසුගිය දින කිහිපයේදීම ඕ දිනාරා ප්‍රිය කරන කෑම බීම සාදා දුන්නාය. කන්‍යාරාමයේ ළමා නිවාසයේ කාලය ගත කරද්දී අම්මාත් ඇයත් අතර වූ සොඳුරු සිදුවීම් සිහිකරමින් සිනහසුනාය.විටෙක දෑස්වල කදුළු පුරවා ගත්තාය.
සැබවින්ම තමා යළිත් ජීවත් වනවාවන් හැඟීමක් දිනාරාට දැනෙමින් තිබිණ.අත්තම්මා හැරෙන්නට ජයසුන්දර වලව්වේ ඇයට අමතක කළ නොහැකි දෙයක් වුයේ නැත. එනිසාම සිතුවාට වඩා වැඩි වේගයකින් ඈ ප්‍රියංකාට සමීප වෙමින් සිටියාය. හවස් වරුවේ සොයුරාවත් වඩාගෙන කොළඹ වීදි ඔස්සේ ඇවිදින්නට ගියාය. පුදුමය උපදවන , දෑස් විසල් කරවන මිනිස් ජීවිතවල බොහෝතැන් ඇස් පනාපිටම දක්නට තිබිණ.කොළඹ නගරය යනු හොඳත් නරකත් එක සේ සම්මිශ්‍රව ඇති තැනක්යැයි ඇයට කිව්වේත් ප්‍රියංකාමය.
සමහර රාත්‍රියක ධවලගිරියට ගොඩ වැදී උණු උණු තෝසේ එකකුත් උළුඳු වඩයකුත් කෑම ඇයට අලුත් අත්දැකීමක් විය. මරදානේ පාලම උඩට වී දුර අහසේ වළාකුළු සිප ගන්නා නෙළුම් කුළුණේ පියාපත් දෙස බලා සිටින්නට ඇය ආසා කළාය.පිටකොටුවේ විසිතුරු වීදි ඔත්සේ ඔහේ ඇවිද යන්නට දිනාරාගේ සිතෙහි වූයේ කැමැත්තකි.
” තව අපිට ඇවිදින්නට තැන් ගොඩක් තියනවා” යැයි
ප්‍රියංකා පවසද්දී ඈ ආදරයෙන් ඒ අත අල්ලා ගත්තාය.ප්‍රියංකා යුවතියගේ සිනිඳු අතැඟිලි අතරේ තම අතැඟිලි පටලවා ගත්තාය.රොබරෝසියා මල් වැටුණු දළඳා වීදියේ අම්මාගේ අත අල්ලාගෙන ඇවිද ගිය අයුරු සිහිව ඒ දෑසේ උපන් කඳුළක් ඕ පිසදා ගත්තේ හොර රහසේමය.
ඉතින් මේ ඇරඹි ජීවිතය නැවුම් එකක් විය.
වැරදි හොයන්නට, දෝෂාරෝපණය කරන්නට හෝ ඇනුම් පද පවසන්නට කෙනෙකු වූයේ නැත.සීමා මායිම් පනවා නිවසේ කොටස් කිසිවෙකු වෙන්කර තිබුණේ නැත.දිනාරා හිතේ හැටියට ප්‍රියංකාගේ කුඩා නිවස තුළ ඇවිද ගියාය..ඇයට ඇවැසි පරිදි පුංචි පුංචි වෙනස්කම් සිදු කළාය.අලුත් කෑමක් බීමක් සාදන්නට ප්‍රියංකාගෙන් අසා දැනගත්තාය.දවසේ පැය විසි හතරේදී ඇයට කරන්නට ඕනෑ තරම් දේ විය.
දුකකට වූයේ අත්තම්මා සිහිවී දෑස් මුල එකතුවන කඳුල පමණි.
ප්‍රියංකා හෙමි හෙමින් දිනාරාට ජීවිතය ගැන කියා දෙමින් උන්නාය. කේතකීට වැරදුණ තැන පහදා දුන්නාය. අම්මාට වඩා ප්‍රියංකා ආන්ටී මේ ජීවිතයෙහි පරිණත ගැහැණියකයැයි දිනාරා සිතුවේ ඒ වදන් ඔත්සේ ජීවිතය දකිමින්ය.
” අපිට තිබුනේ හොස්ටල් එක ඇතුලෙ හරි ඒකාකාරී ජීවිතයක්.කාල සටහනකට ගෙවුණු ජීවිතයක්. ඔයාගේ තාත්තා හරි ලස්සන හීනයක් ඔයාගේ අම්මට පෙන්නුවා.මං දන්නෑ කොතනද වැරදුනේ කියලා. කසුන් අයියා ඒ දවස්වල ඔයාගේ අම්මට කිව්වේ පුංචි සුරංගනාවියක් කියලා.ඒ දවස්වලත් අම්මා හරි ලස්සනයි දුව.කසුන් අයියා මුලින්ම කැමති වෙලා තිබුනේ අම්මගේ ලස්සනට.ඒ සුරංගනාවිව දාල යන්න කොහාම හිත හදා ගත්තද මන්දා..දුක හිතුණු වෙලාවට ඇස් දෙකේ කඳුළු පුරවා ගන්නව ඇරෙන්න රණ්ඩු කරලා අයිතිවාසිකම් දිනා ගන්න අම්ම දැනගෙන හිටියේ නෑ පුතේ. ගෑනියෙක්ට වැරදෙන තැනත් එතැනද මන්දා…ජීවිතය ගැන මොනම දෙයක් වත් නොදැන එදා ඔයාගේ අම්මා ඒ වලව්ව ඇතුලේ ගොඩක් අසරණ වෙන්න ඇති පුතේ…”
වරෙක ප්‍රියංකා පැවසූයේ දෑස්මුල කඳුලක් තබාගෙනය.
“හොස්ටල් එකෙන් එළියට ඇවිල්ලා ජීවිතේට මුහුණ දෙද්දී තමයි මට තේරුනේ ජීවිතේ කියන්නේ අපි අර බිත්ති හතරේ දැක්කට වඩා හරිම අමාරු දෙයක් කියලා. ඒක හරියට අමාරු ප්‍රශ්න පත්තරයක් වගේ. කල්පනාවෙන් සීරුවෙන් උත්තර ලිව්වෙ නැත්නම් අපි මේ මුළු ජීවිතේම ෆේල් වෙනවා පුතේ…”
ප්‍රියංකා ජීවිතය පහදා දෙන අයුරු අසා සිටින්නට දිනාරා ප්‍රිය කළාය.පැය කිහිපයක් තිස්සේ ඇය කතා කළත් ඒවා නීරස වදන් වූයේ නැත. මල්ලි නෑවීමේ සිට ඔහුට කවා පොවා නිදි කිරීම දක්වා වූ සියලු කර්තව්‍යයන් ඈ තමා වෙතම පවරා ගත්තාය.
” තනියම ගතවෙන මේ නිහඬ නිස්කලංක ජීවිතයට තව කවුරුහරි එකතු කරගෙන දුක් විඳින්න වෙයි කියලා මං හරි බයේ හිටියේ පුතේ.පවුලක ආදරේ නොදැකපු ගෙදරක ලස්සන නොදැකපු අපෙන් ජීවිතේ ඇතුලේ අඩුපාඩුකම් ගොඩක් වෙයි කියලා මං බය උනා. ඒ නිසා කසාදයක අවශ්‍යතාවයක් කවදාවත් මට දැනුනේ නෑ.ඒත් දැන් මට හිතෙනවා ඒක එහෙම නොවුනේ අපි හැමෝගෙම වාසනාවට කියලා. එහෙනම් මට ඔයාලට උදව් කරන්න බැරි වෙන්න තිබුණා..අපිට මේ වගේ එකතු වෙන්න බැරි වෙන්න තිබුණා.”
ඕ තවත් වරෙක එසේ පැවසූයේ තමා ගත් තීරණ පිළිබඳව කිසිදු පසුතැවීමක් නොමැති බව හඟවන්නට සේය.
” අපි හොස්ටල් එකෙන් එළියට බැහැලා ලෝකේ සොයාගෙන පියාඹගෙන යද්දී ඔයාගේ අම්මට සිද්ධ වුණේ තටු කපාපු කිරිල්ලියක් වගේ ජයසුන්දර වලව්වේ හිරවෙන්න…ඒකට හේතුව උනේ නොමේරූ වයසකින් අම්මා ගතපු තීරණය.”
ඈ එසේ පවසද්දී දිනාරාට සිහි වූයේ අම්මාත් තමාත් ගෙවුණු අතීතයේ ජීවත් වූ ආකාරයය. අම්මාගේ භූමිකාවේ සිටියාට වඩා ඇය තමාට සමීප වූයේ සම වයසේ යෙහෙළියක ලෙසය.
” ඔයාට ලස්සන ජීවිතයක් තියෙනවා පුතේ ඔයාට විතරක් නෙමෙයි මේ චූටි පැටියටත්.අපි තුන්දෙනා එකතු වෙලා ඒ ලස්සන ජීවිතේ හොයාගමු.”
අඋ තවත් විටෙක පැවසූයේ දිනාරාගේ හිස අතගාමින්ය.
මියගිය සිහිනවලට යළිත් පණ ලබාදෙන්නට ඈ සිතුවේ ඉන්පසුවය.
***********========*********-========
අඩ හෝරාවක් පමණ වූ දුරකතන සංවාදය නිම කළ තේජා ගලප්පත්ති පහත මාලයට පැමිණෙද්දී සිය ලේලිය වූයේ දරුවාත් සමග විසිත්ත කාමරය තුළය.මිල මුදල්, දේපළ යහමින් තිබූ පවුලක නොවූවත් නර්මදා ගුණ යහපත්කමින් පිරි සුන්දර යුවතියක වූවාය.ඒ සියල්ලටම වඩා ඈ මෙම පවුලට දියණියකසේ ලෙන්ගතු වූවාය. කුඩා සිඟිත්තිය රශාරා තේජාට සිය දෑත් පෑවේ ඇයව දුටු හැටියේමය.ඕ ඇයව වඩා ගත්තා පමණක් නොව ඒ නළලත් කොපුළුත් ආදරයෙන් සිප ගත්තාය.ඇය දැන් මේ ගලප්පත්ති පවුලේම සුරතලයයි.
“චූටි පුතා එළියට ගියාද දුව…”
” කෝල් එකක් ආවා අම්මා ඊට පස්සේ ගියා.මෙච්චර වෙලා බාප්පයි දෝණියි දෙන්නම හුරතල් වෙවී හිටියේ.”
” අනේ මන්ද දරුවෝ මේ ළමයාගේ සෙල්ලක්කාරකමේ නම් අඩුවක් නෑ. තාත්තා ඊයේ මටත් එක්ක දොස් කිව්වේ චූටි පුතාට බුරුලා දෙනවා වැඩියි කියලා..”
” එයා තාම පොඩි එකෙක් වගේ අම්මා..විශ්ව නම් කියන්නේ එහෙම නරක යාළුවෝ ආශ්‍රය කරන්නේ නෑ කියලා.”
” ඒ උනාට විශ්ව පුතා මේ වයස වෙද්දි තාත්තත් එක්ක හරි හරියට මේ බිස්නස් වලට සම්බන්ධ වෙලා හිටියා. තාත්තා කියනවා පැය බාගෙකට වඩා ඔෆිස් එකේ ඉන්න කැමති නැහැලු.මොකක් හරි බොරුවක් කියලා එළියට පනිනවලු.”
” විශ්වත් මට ඒකනම් කිව්වා අම්මා..කියන්න දෙයක් නැත්නම් බඩේ අමාරුවක් හරි කියලා යනවාලු…”
එවර නැන්දණියත් ලේලියත් සිනහසුනේ උස් හඬින්ය.රශාරා සිය මිත්තණිය දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය..
” බාප්..පි බනි..න්න එපා…..පව්…”
පසුව ඈ තාලයකට පැවසූයේ කඩින් කඩ වදන් අමුණමින්ය.
” පෙනේද මේ හොර ගෙඩියා ඔක්කොම අහන් ඉඳලා බාප්පිට බනින්න එපාලු..දැන්මම බාප්පව බේරන්න හදනවා…”
“ඒක නේන්නං අම්මේ අපිට කිසි දෙයක් කතා කරන්නත් බැරි වෙයි.ඔක්කොම කේලම් ටික බාප්පිගේ කනේ තියයිද දන්නෑ..”
” දුව ඔයා එක්ක ගෑණු ළමයි ගැන එහෙම කතා කරලා නැද්ද..විශේෂ කෙනෙක් ගැන එහෙම..”
” එහෙම විශේෂයෙන් කියලා කා ගැනවත් කතා කරලා නෑ අම්මා.කැම්පස් එකේ ඉඳපු කෙල්ලෝ තමයි ඉතින්. ඔක්කොම යාළුවොනේ..එයාට ගෑණු ළමයිද පිරිමි ළමයිද කියලා වෙනසක් නෑ අම්මා.”
” දැන් එහෙම කියලත් බෑ දුව අවුරුදු විසි හතක්නේ.ඔයාල දෙන්න මැරි කලෙත් අවුරුදු විසි හතේදී..”
” මං හෙමින් අහලා බලන්නම් අම්මා ,එහෙම කවුරුහරි ගැන විශේෂත්වයක් තියෙනවද කියලා.”
” ඔව් ඒක හොඳයි. මට නොකියන දේවල් ඔයා එක්ක කියයි..කියන්නෙත් අරූ මගේ මස්සිනා මේකි මගේ අක්කා කියලනේ …ඔයාම අහගන්න.
සුදු මැණික…අපි දෙන්නා ගාර්ඩ්න් එකේ ඇවිදින්න යන්ද..අම්මිට දැන් වැඩ ඇති තාත්ති එන වෙලාවත් ළඟයිනේ..”
කුඩා සිඟිත්තිය හිස වැනුවේ ‘ හා ‘ යැයි හඟවමින්ය.ඉන්පසුව තේජා නැගී සිටියේ දියණියගේ දකුණතින් අල්ලාගෙනය.
” ඔයා තියෙන වැඩක් කරගන්න දුව…”
අත්තම්මාත් මිණිබිරියත් හෙමින් ගමනේ ගෙවත්තට ඇවිද යන අයුරු නර්මදා බලා සිටියේ සිනහවකින් මුව විකසිත කරගෙනය.ලේලියට දියණියක සේ ආදරය කළ හැකි අම්මාවරුන් හමුවන්නේ කලාතුරකින්ය. ඒ අතින් තමා වාසනාවන්තියකයැයි නර්මදා විශ්වාස කළාය.
වෙනදාට වඩා මදක් වේලාසනින් නිවසට පැමිණුන මහින්ද ගරාජයට වාහනය ඇතුළු කර කෙලින්ම පැමිණියේ ගෙවත්තටය. බොහෝ දිනවල ඔහු නිවසට පැමිණෙද්දී සවස අත්තම්මාත් මිණිබිරියත් කාලය ගත කරන්නේ මෙතනය. ඇගේ සුරතලයට දවසේ වෙහෙස අතුරුදන්ව යන්නේ හිරු දුටු පිණි බිඳුවක් සේ වේගයෙන්ය.කාර්යාලීය බෑගය ගෙවත්තේම වූ සිමෙන්ති බංකුවක් මතින් තැබූ මහින්ද සිය බිරිඳට මුහුණලා ඉදිරිපස වූ අසුනක අසුන් ගත්තේය.
” අද මට ප්‍රියංකා මිස් කතා කළා..’
“ආ… ගොඩ කාලෙකින්…”
” ඔව්…ප්‍රියංකා මිස් අපෙන් පොඩි උදව්වක් ඉල්ලුවා මහත්තයා.”
” කවදාවත් නැතුව..එහෙනම් අපි ඒක කොහොම හරි කරල දෙන්න ඕනෙ තේජා.”
ප්‍රියංකා තේජාගේ මිතුරියක වූයේ සිය ජීවිතයේ වූ අහඹු සිදුවීමකින් පසුවය.එය අහඹු සිදුවීමක් යැයි පැවසුවාට අදටත් ඒ සිදුවීම සිහිවද්දී තේජා බියෙන් වෙව්ලා යයි.
මින් වසර කිහිපයකට ඉහතදී අකලංකගේ පාසලේ පැවැත්වෙන දෙමව්පිය රැස්වීමකට සහභාගී වූ තේජා රැස්වීම අහවරව මදක් වේලා රැඳී සිටියේ ගුරුතුමිය සමග පුද්ගලිකව කතාබහ කර අකලංකගේ අඩුපාඩුකම් දැන ගැනීමේ අටියෙන්ය.තවත් ඇය ඉදිරිපසින් එම කාර්යය සඳහා කිහිපදෙනෙක් පෙළ ගැසී සිටි නිසා ඈ ඉවසා බලා සිටියාය.වරින් වර ඇඟට දැනෙන්නා වූ අපහසුතාවය පරිසරයෙහි වූ උණුසුම් දේශගුණික තත්ත්වය නිසා ඇති වූ එකක් යැයි සිතුවත් අවසන තේජාට දරාගත නොහී වූ පපුවේ වේදනාවක් දැනෙන්නට විය.පපුව මිරිකාගෙන අසල වූ පුටුවකින් අසුන් ගන්නට සැරසුණත් තමා ක්ලාන්ත වී බිම ඇදුණු ඇද වැටුණු බවක් තේජා දැන ගත්තේ පසුවය.
පන්තිභාර ගුරුතුමියව උන් ප්‍රියංකාගේ ඉක්මන් වීම නිසාත් රෝහලට ගෙනියන විනාඩි කිහිපය තුළ ඈ ලබා දුන් ප්‍රථමාධාර නිසාත් ඇගේ ජීවිතය බේරුණු බව ගලප්පත්ති පවුලේ අයට පැවසූයේ වෛද්‍යවරයාය.එතැන් සිට ප්‍රියංකා ටීච ගලප්පත්ති නිවසේ ගෞරවනීය හිතවතියක විය.
” ප්‍රියංකා මිස් කවදාවත් කාටවත් කරදර කරන කෙනෙක් නෙමෙයි මහින්ද.ඇත්තටම අවුරුදු ගානකට පස්සේ ඒ මනුස්සයා අපෙන් මේ උදව්වක් ඉල්ලුවමයි.ඒකත් එයා වෙනුවෙන් නෙමෙයි.”
” එහෙනම්…”
” එයාගේ හිටපු හොඳම යාළුවාගේ දුව කොළඹ ඇවිත් ඉන්නවලු ජොබ් එකක් බලාපොරොත්තුවෙන්.ඒ දරුවගේත් අම්මයි තාත්තයි දෙන්නම දැනට ජීවතුන් අතර නැහැලු..ඉතින් අපේ ඔෆිස් වල වේකන්සි එකක් තියෙනවනං, පුළුවන්නම් ඒ දරුවට දෙන්න කියලා ඉල්ලීමක් තමයි කලේ..”
” අපි මොනවා හරි බලලා දෙමු තේජා..ඒක අපි කළ යුතු දෙයක්නේ..දැන් ඔය අනිද්දා තියෙන ඉන්ටර්විව් එකට ඒ ළමයටත් එන්න කියන්න.”
” මං කියන්නම් මහින්ද…”
” කෝ චූටි පුතා…”
” අද නම් දවල් ඉඳලම ගෙදර හිටියා.දැන් පැය බාගෙකට විතර කලින් යාළුවෙක්ගෙන් කෝල් එකක් ඇවිල්ලා ගියා කියලා තමයි මට නර්මදා කිව්වේ.”
” බලන්න තේජා මේ ළමයට මං කිව්වා කෝඩියල් පැක්ට්‍රිඑක පැත්ත චුට්ටක් ගිහිල්ලා එන්න කියලා.අපේ මිනිස්සු මේවා බලන්නේ නැත්නම් කවුද මේව බලන්නේ?.මං හිතන් ඉන්නවා අකලංක පැක්ට්‍රි එකට ගියා කියලා. අන්තිමට බලනකොට මේ ළමයා ඔෆිස් එකෙත් නැහැ..එතනට ගිහිල්ලත් නැහැ”
” මං ටිකක් අවවාද කරන්නම් මහින්ද.අපි ගෙට යමු ඔයා එනකල් බලන් හිටියේ මමත් තේ බිව්වේ නෑ..මේ සුරංගනාවි හවස මුකුත් කාලත් නෑ..ඒක නෙමෙයි..
ඔයා දන්නවද වැඩක්..මමයි නර්මදා දුවයි හවස චූටි පුතා ගැන කතා කර කර ඉඳිද්දි කෙල්ල කියනවා බාප්පට බනින්න එපාලු..”
” ආ ..දැම්ම ඉඳලම එයා බාප්පගෙ පැත්ත අරගෙනද.”
” ඒකනේ…අපි දෙන්නටත් හිනා ඉතින්..”
තේජා නැගී සිටියේ එසේ පවසමින්ය.මහින්ද ‘ සීයා මට මොනවද ගෙනාවේ ‘ යනුවෙන් අසමින් ඉදිරියට දිව ආ දියණියව වඩා ගත්තේ සිය කාර්යාලීය බෑගය බිරිඳ දෙසට දිගු කරමින්ය.
( යළිත් හමුවෙමු දයාබරව )