දෙහිවල මුහුදු තීරය අනන්තය තෙක් විහිද තිබේ. වැල්ල රන්වන් පැහැති ය. සයුර වර්ණ තීර හතරකින් සමන්විත ය. ඈත ම සිතිජ මායිම කොළපාට මැණික් හෙවත් පච්ච වර්ණය දරයි. ඊළඟට ගැඹුරු සාගර නිලැති තීරයක් ද අනතුරුව ලා නිල් පැහැති සයුරු තීරයක් ද අවසාන වශයෙන් සුදු පෙණ රළ නගන සයුරක් ද දැකිය හැකි වේ. සුදු පෙණ රැල්ල හා තඹ පාට වැල්ල හමු වෙන තැන අයස්කාන්ත ය. වෙනස් වෙන සුළු ය. බිඳෙන හා බිඳී යළි ගොඩනැගෙනා සුළු ය. වෙරළබඩ අවන්හලෙහි ලෑලි හාන්සි පුටු මත වැතිරගෙන සිනා කතා සයුරක කිමිදෙමින් ද ඒ අතරේ බීර උගුරක තිත්ත මිහිරි ඇපල් රසය විඳිමින් ද අපි අනන්ත සාගරයට මුහුණ ලා සිටියෙමු.
අප තිදෙනාගේ මිතුරුකම් දශක දෙකක් ඉක්මවා තිබේ. එබැවින් ඒ බන්ධන නො බිඳෙනා සුළු ශක්තිමත් ඒවා වේ. අප වූ කලී උනුන් ගේ ජීවිත වල කැඩපත් සේ ය. සිය ජීවිත මත්තෙහි වර්තමානය තුළ සිදු වන දේ ද අතීතයෙහි සිදු වූ දේ ද අපි දනිමු. හඳුනමු. එබැවින් රහස් නැත. සංවෘත වූ කිසිත් නැත. සියල්ල විවෘත ය. අප යනු එක ම හදවතක් බිඳී තුන් තැනෙක රැඳුණු හදවත් කොටස් තුනක් යයි කිව හැකි තරමි.
“දැන්නං බඩගිනියි අප්ප. කමුකො”
කියමින් මම – සකී ආන්යා තඹරවිල – අසුනෙන් නැගී සිටියෙමි. මගේ ඇපල් රසැති බීර කෑනය එහෙම ම ය. යන්තම් ඉන් උගුරක් දෙකක් තොල ගෑවා පමණකි. ඒ සුවඳට මොකක්දෝ කැමැත්තක් තිබිණි ද වැඩිපුර ඒ රසයෙන් රස නහර පිනවන්නට මා බිය ය. මගේ පාලනය ඇල්කොහොහොල් අඩු මාත්‍රාවකින් වුව ගිලිහී යන්නට බැරි නැතැයි මට සැක ය.
“එහෙනං කෑම ඕඩර් කරමු”
කියාගෙන පීහු නැගී සිටියේ මුද්‍රා ගේ අතකින් අල්වා අදිමිනි. මුද්‍රා මේ වෙත්දී බීර කෑන් දෙකකට ආසන්න ප්‍රමාණයක් බී අවසන් කොට තිබේ. පීහු එක් බීර කෑනයකින් සෑහීමට පත්ව සිටියා ය.
“දැංම කන්න ඕනද… මටනං තව බියර් එකක් බොන්න පුළුවන් වගේ”
මුද්‍රා අදිමදි කළා ය.
“ඔය ඇති බේබද්දි. තව එකක් බිව්වොත් තෝව කුදලගෙන යන්න අපි දෙන්නට බැරි වෙනව”
“පිස්… සුද… මට ඕවර් නෑ. ගෑනියෙක් වුණාම අඩු ගානෙ බියර් තුනක් බොන්න පුළුවන් වෙන්න ඕනෙ. මොනාද අප්ප. උඹලත් ගෑනුද…”
මුද්‍රා අදිමදි කරමින් නැගී සිටියා ය. එතකොට ඇය සමතුලිත ද කියා මම අඩ සිනහවකින් බලා සිටියෙමි.
“මේකිට වෙරි”
පීහු මගේ ඇඟේ එල්ලෙමින් හඬ නගා සිනහ වූවා ය. ඒ සිනහ සර මුහුදු සුළඟ විසින් ඉන්දියන් සාගරයේ ඈතට ඈතට ගෙන යන්නට ඇත.
වෙරළබඩ අවන්හලෙහි මේස පනවා තිබෙනුයේ වැටකේ පඳුරු සෙවනේ ය. ඉඳහිට විවේකී දිනෙක මෙතැනට විත් කා බී රැල්ල පාගා, ඇතැම් විට මුහුදේ නා යන එක අපට වන සතුටු කාරණාවකි. අප තිදෙන ක්ශේත්‍ර තුනක් තුළ කාර්ය බහුල ය. රාජකාරී දිවියේ වෙහෙස දුරු වී යනුයේ මෙවන් හමුවීමකිනි. එබැවින් අපි එවන් මොහොතක් අපේක්ෂාවන් සිටිමු.
අපේ අත් බෑග ඇතුළු අඩුම කුඩුම තබා තිබූ සෙවනැති මේසය වෙතට යන විට යාබද කුඩා මේසය අස තරුණයෙක් හිඳ සිටියේ ය. ඔහු එහි පැමිණියේ කවර වෙලාවක දැයි නිශ්චිත නැත ද බියර් කෑන් දෙකක් ම මේසය මත වූයෙන් පැමිණ සැලකිය යුතු වෙලාවක් වන්නට ඇතැයි නිගමනයකට එළඹිය හැකි විය.
“බලන්නෑ එකෙක්වත්… ඔන්න එයා මගේ”
පීහු කල් ඇතිව ම තරුණයාට වන අයිතිය තහවුරු කරගත්තා ය.
“අඩේ මිස්ට හැන්ඩ්සම් කෙනෙක්. ඇයි එයා තනියම…”
“දෙකක් නෑ හොඳ බූට් එකක් කාල ඇති”
මම අඩ සිනහවකින් මිමිණීමි.
“ඔන්න ඔය පරණ ඒව අමතක කරමු වස්තුවේ. ඔයාට මේ මං ඉන්නෙ”
“හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන් ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්”
“හොඳට අඬන්නත් පුළුවන් නාඬම ඉන්නත් පුළුවන් ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නං”
පීහු ගේත් මුද්‍රා ගේත් විකාර වලට මට සිනහව නතර කරගත නො හැකි විණි. හුදෙකලා කොල්ලා අපේ සද්දයට එකවරක් හිස හරවා බැලුවේ ය. ඔහු අපව බුදුන් දුටු නළඟනන්ගේ විකාර සේ දුටුවා ද කියා ඒ මොහොතේ මට සිතිණ. ඒ සිතිවිල්ල මා තව තවත් සිනහ තොටමුණේ අතරමං කරවී ය.
“මක් වෙලාද ඒ ගමන මේ හොල්මනට… හරියට පරණ මොරිස් මයිනර් එකක් ස්ටාට් කරල වගේ…”
“මේ… සිරාවට මං කියන්නෙ. මේ වගේ කොල්ලෙක්නං හා අප්ප”
“තමුසෙට හා වුණාට ඒ කොල්ල අපි දිහා බැලුවෙ නිකං මොක්කුද මේ බේබද්දියො වගේ බැල්මකින්”
“බේබද්දි ඉතිං වෙන කවුරුත් නෙවෙයි තමුසෙනෙ. ඒ කොල්ලව වට්ටගන්න මට බැරිවෙන එකක් නෑ”
“ඕන්නං මං ප්‍රපෝසල් එක ගෙනියන්නං එයාට”
“එපා එපා. තෝ වගේ බේබද්දියෙක් අතේ ප්‍රපෝසල් එකක් යවන්න මට ඔල්මාදෙ නෑ”
වාද කරගත්තේ ඔවුන් දෙදෙනා ය. මා කළේ සිනහව නතර කරගත නො හැකි ව යළි යළිත් සිනහ වෙන එකයි. අප සිනහ වෙන්නේත් කතා කරන්නේත් ඔහු ගැන යයි සිතාදෝ දෙතුන් වරක් තරුණයා හිස හරවා බැලුවේ ය. එහැම වරෙක ම මගේ ඇස් ඔහු ට හසු වූ බවට සැකයක් නැත. ඇත්තට ම ඔහු වන් තරුණයෙකු මෙසේ තනිව වෙරළට වී සිටින්නේ මන්ද යන පැනය මා තුළ ඇති වී නැති වී ගියේ ය.
ආහාර ඇනවුම් කරන හා කෑම කන අතරේත් අපේ සිනහවෙන් සයුරු තෙර දෝරෙ ගැලුවේ ය. හරියට පාසල් වයසේ දැරියන් කිහිප දෙනෙකු එක් වූ විට මෙනි. එක අතකට අපට තවමත් මෙලෙස හඬ නගා සිනහ විය හැකිව තිබීම ම කෙතරම් වාසනාවක් ද? විවිධ අවස්ථා වලදී අප ඕනෑ තරම් හඬා තිබේ. අපේ කඳුළු අප විසින් ම පිසදමාගෙන තිබේ. අපේ රිදුම් තැලුම් හා සීරුම් අප ම පිරිමැදගෙන තිබේ. එහෙම වීත් අපට තවමත් තැනක් නො තැනක් නො බලා සිනහ වෙන්නට පිළිවන. සිනහවට අප අමතක වී නැත. අපට සිනහව අමතක වී ද නැත.
“මේ… අරකා ටිකක් බකයෙක් කියල හිතෙන්නෙ මට විතරද…”
කෑම කන අතරේ මුද්‍රා එසේ කීවේ සිනහව හිර වී පීහු ට කෑම පිටි උගුරේ යන සේ ය. මම ඇගේ පිටට හයියෙන් තඩිබෑවෙමි.
“යකූ හිස්මොල්ලෙ ගියාට වැඩිය අමාරුයි ඔහොම තඩිබානකොට”
ඇය පිට පිරිමැදගත්තා ය.
“අපි වගේ කෙල්ලෙක්ට ලව් කළානං තනියම බීච් එකට වෙලා බොන්න වෙන්නෑ”
“ඒකනෙ. එහෙනං අපි බලාගන්නෙ නිකං යශෝදරා සිදුහත්ව බලාගත්ත වගේ”
“ඒ කියන්නෙ අතරමගදි කලකිරිල අභිණිෂ්ක්‍රමණය කරන්න වෙනව”
එසේ කියා මම හයියෙන් සිනහ වීමි. සිනහ වෙත්දී මගේ දෑස් යොමු වී තිබුණේ වැටකෙයියා කොළ වලින් නිරාවරණය වූ ආකාස පැල්ලම් වෙතට ය. මද්දහන් අහස සුදු පුළුන් වලාවන්ගෙන් හා ලා නිලක් මුසු වූ සළු පිළි හැඳ සිටී. ඒ සිනහවේ කෙලවර මා හිස පහත් කරත්දී ඒ සිතිජ දෑස් මා නතර කරගත්තේ ය. දෙවියනි ඒ කොහොම දෑසක් ද? මගේ යටිහිත මඳ සසල බවක් අත්විඳි බැව් සැබවි. නමුත් උඩුහිත බල කොට සිටියේ සිනහවක් නගා ගන්නටයි. ඉතින් මම අඩ සිනහවකින් ඒ ඇස් මගහැරියෙමි.
“ආ…”
පීහුත් මුද්‍රාත් දෙදෙනා ම එකවර එසේ හඬගෑහ. මගේ කොපුල් වලට ලේ පුරනු මට දැනිණ.
“මො… ක… ද…”
කියා කොඳුරමින් යළි අනන්ත සාගරය වෙතට නෙතු පා කරන අතර මගදී මට ඔහු හමු විය. ඒ දෙතොල් මත්තේ දඩබ්බර සිනහ රැල්ලක් හිර වී තිබිණ. ඔහු බිම බලා බියර් කෑන් එක අතට ගනිමින් ඒ සිනහව සිර කුටියක දමා අගුළු ලෑවේ ය.
“මිත්‍රද්‍රෝහී වෙන්න ඔට්ටු නෑ ඔන්න ආන්යා”
මුද්‍රා තොල පිට පෙරළුවා ය.
“කමන්නෑ කමන්නෑ. අපි පොඩි ගෲප් ක්ලාස් එකක් දාගමු සකී”
අපේ සිනහවන් සාගර සුළඟටවත් නතර කළ නො හැකි විණි. පීහු මා බදාගෙන සිනහ වූවා ය. ඇය ‘ගෲප් ක්ලාස්’ යනුවෙන් අරුත් ගන්වන්නේ ‘ගෲප් සෙක්ස්’ යන අදහස බව දන්නා මගේ සිනහව හොඳට ම පුපුරා ගියේ ය.
නාඳුනන තරුණයා ගේ මේසය වෙතට කෙලින් ම පැමිණි තරුණයෙකු ඔහු ට යාබද පුටුවට බර වූයේ ඒ වෙලාවේ ය. අපේ සිනහව ඇසිල්ලකින් තුනී ව යන්නට ඇත. අප උනුන් දෙස බැලුවේ රහස් සිනහවකට වුව ඉඩක් නො දෙමිනි. සිනහ වෙන්නට නොව මට ක්ෂණිකව ඕනෑ වූයේ වැල්ලේ වළක් හාරාගෙන හැංගෙන්නටයි. ඒ පැමිණ සිටියේ වෙනකෙකු නොව මගේ අසල්වැසි නිවසේ නිවසන පවුලෙහි පිරිමි ළමයා ය. කලින් සිටි තරුණයා ඔහු ට මොනවා ද කියමින් සිහින් ව සිනහ වෙමින් සිටියේ ය. මගේ අසල්වැසි තරුණයා, සචින්, වරින් වර අප දෙස හැරී බැලුවේ ය.
“සකී රෙද්දක් ඇඳං ගෙදර ගිහිං ඉවරයි වගේ”
“තමුසෙල දෙන්න මගෙ ආත්ම ගෞරවේද මොකද්ද කියනඑක චකබ්ලාස්ට් කළා හොඳේ”
මම මේසයෙහි මුහුණ ඔබාගතිමි.
“හායි ගර්ල්ස්”
කියාගෙන සචින් අයියා අප සිටි මේසය වෙතට පැමිණ තිබුණේ ඒ මොහොතේ ය. මට හිතුණේ ම හිස ඔසවා ඔහු දෙස බලන්නට බෑ කියා ය.
“ඒයි පින්ක් ගර්ල්. නැගිටපං. බබා වගේ හිටියට රෝස පාට කෙල්ල කොල්ලංව බයිට් එකට ගන්නත් දන්නව නේ…”
“අනේ සචින් අයිය මන්නං මුකුත් කළේ නෑ. මේ දෙන්න තමයි…”
මට කියා නිම කරන්නට ලැබුණේ නැත. ඒ සිතිජ ඇස් වල සිට දඩබ්බර බැල්මක් පාව ආවේ ය. මම තරමක අපහසුවක් තුළ හිර වී සිටියෙමි.
“මොනාද සචින්… එක්කො පිටේ බෝඩ් එකක් ගහං යන්න කියනවකො කාගෙ කවුද කියල. අපි දන්නෙ කොහොමද එයා ඔයාගෙ යාළුවෙක් කියල”
“අනේ ඇත්තට උඹල කෙල්ලොද බං… උඹල වගේ කෙල්ලො තුන්දෙනෙක්ට අහු වෙනවට වැඩිය ලේසියි එක කෙල්ලෙක් කොල්ලො රංචුවක් මැද්දෙ තනි වෙන එක”
“මේහ්. බැඳල නැතුවැති නේද…”
ඒ ප්‍රශ්නය මුද්‍රා වෙතිනි. පීහු හිචිස් ගා සිනහව ගිලගත්තා ය. සචින් අයියා මිතුරා වෙතට හැරී “ආදිල්” කියා කතා කළේ ය. අසුනෙන් නැගිටගන්නා ගමන් එදා දවසේ කී වෙනි වතාවට ද මන්දා ඒ සිතිජ දෑස් යළිත් මා මංමුලා කරවී ය. ග්ලැසියරයක් තුළ කිඳා බසිනා සීත හැඟීමකින් මම සීතල වෙමින් සිටියෙමි.
ආදිල්!
ඒ දෙඅදර මත්තෙහි වූයේ දඩබ්බර මඳහසකි. නමුත් දෑස් මත සැබවින් වූයේ ත්‍රස්තවාදී ප්‍රේමයකි.