දෙවනියා

“තරුණ වයසෙදිම මනුස්සයා මැරෙනවා කියන එක මිනිස්සු ගෑණිගෙ අවාසනාව විදියට දැක්කට ඔයා මිලින්ද පුතාව බඳිද්දිත් ඒ ලමයට ඔහොම ලෙඩක් තියෙන බව ඔයා දැනගෙන ඉඳලා තියෙනවා නෙ පුතේ. පුතාලා අපෙන් ඒක හැංගුවෙ එහෙම දැනගත්ත නම් අපි ඔය කසාදෙට විරුද්ධ වෙයි කියලා හිතලා වෙන්නැති.

ඒක එහෙම වෙන්නෙ නෑ කියලා මං කියන්නෙ නෑ. මොන අම්මා තාත්තද කැමති පුතේ තමන්ගෙ දරුවා කසාද බැඳලා අවුරුද්දක් එකහමාරක් යන්න කලින් මනුස්සයා මැරෙනවට.

ඒව ඉතින් දැන් අපි කොච්චර කතාකරත් ආයෙ හරිගස්සන්න පුලුවන් දේවල් නෙවෙයිනෙ. එහෙම එකේ මං කියන්නෙ පුතේ මිනිස්සු මොන දේ කිව්වත් ඔයා ආපහු මැරේජ් එකක් ගැන හිතන්න. ඔයා තාම තරුණයි. තව ජීවිතේ ඉස්සරහට ලොකු කාලයක් ඉතුරුවෙලා තියෙනවා ඔයාලට ගෙවන්න. එහෙම එකේ නිකන් මිනිස්සු කියන දේවල් හන්දා තනියම ජීවිතේ ඉතුරු ටික ගෙවන්න ඕන කියලා හිතන්න එපා”

අම්මා ඔහොම කතාව දිගටම කියාගෙන යනකම් දිනුලි කලේ හොඳටම් ඇල්වෙච්ච තේ කෝප්පෙ දාරෙ වටේට ඇඟිල්ල එහෙ මෙහෙ ගෙනිච්ච එක. මිලින්ද නැති උනේ බඩේ තිබිච්ච කැන්සර් එකකින්. මිලින්දයි දිනුලි යාලු උනේ කැම්පස් එකේ දි. කැම්පස් එකේදි කිව්වට කැම්පස් ඉඳලා ගෙදර යද්දි කෝච්චියෙදි තමා කට්ටිය මුලින්ම යාලුවො විදියට කතා බස් කරලා පස්සෙ ඒ යාලුකම ආදරයක් දක්වා දුර දිග අරගෙන ගියේ.

මිලින්දට අකමැති වෙන්න දිනුලිලගෙ ගෙදර අයටවත් දිනුලිට අකමැති වෙන්න මිලින්දගෙ ගෙදර අයටවත් කිසිම හේතුවක් තිබ්බෙ නෑ. ලස්සන වසන්ත කාලයක් වගේ ගෙවිච්ච ආදර කතාව මැද්දට හෙනයක් පාත් වුනේ දවසක් ලෙක්චර් එකක් වෙලාවෙදි එකපාර ආව බඩේ කැක්කුමක් එක්ක අමාරු වෙලා මිලින්දව හොස්පිටල් ගෙනිච්චා කියලා දැනගත්තයින් පස්සෙ.

ඒ බඩේ අමාරුව තව ටික කාලයකින් සදාකාලික හිතේ අමාරුවක් ඉතුරු කරන්න හේතුවක් වෙන බව දැන උන්නට දිනුලි ඒ හිතේ අමාරුව වෙනුවෙන් තමන්ගෙ ආදරේ අතාරින්න හිතුවෙ නෑ. ගෙවල් වලට නොකිව්ව කතා දාහක් එක්ක මිලින්ද – දිනුලි කසාදෙ ලස්සනට වුනා.

“මං හින්දා ජීවිතේ විනාස කරගන්න එපා දිනූ” කියලා මිලින්ද දහස් වතාවක් කිව්වත් මිලින්ද කියන හැම දේකටම ආදරෙන් කන් දුන්න දිනුලි ඒ කතාව විතරක් නෑහුනා වගේ උන්නා.

ඒත් නොහිතපු දවසක, “අනේ නෑ මිලින්දට කරදරයක් වෙන එකක් නෑ” කියල හිතපු දේ එහෙමම වුනා.

දිනුලි නෙවෙයි ඇස්වලින් එක කඳුලු බිංදුවක් වැට්ටුවෙ.

මිලින්ද නැතිවෙලා දැන් අවුරුද්දක්. අවුරුද්දෙ දානෙ දීලා ඉවරවෙලා දිනුලි ආපහු ගෙදර ආවම තමයි අම්මලා හවස් වරුවෙ මේ විත්තිය කතාකරන්න හිතුවෙ.

“අච්චර හොඳට උන්නු කොල්ලා මැරෙන්න ඇත්තෙ දිනුලිගෙ කරුමෙට, ඔය කලින් ඉඳල අසනීපෙන් හිටියෙ කියල කියන්නෙ කතා අහගන්න වෙනවට බයේ” වෙන්නැති කියලා දාහක් කතා කිව්වෙ තමන්ගෙ පැත්තෙ අය වෙච්ච එකයි දිනුලිට ලොකුවටම දරාගන්න බැරි උනේ.

අනේ කියන්නෙ, මිලින්දගෙ පැත්තෙ මිනිස්සුන් නම් දිනුලිට ආපහු බඳින්න කියලා කියන්න ගත්තෙ තුන් මාසෙ දානෙ ඉවර උනාත් එක්කමයි.

ඒත් දිනුලි නම් එදා ඉඳලා අද වෙනකම්ම දුන්නෙ එකම උත්තරයක්.

“මට ආපහු බඳින්න කියන්න එපා අම්මෙ, මට බඳින්න බෑ. මට මිලින්දව අමතක කරන්න බෑ”

“ඔයා ඔහොම බෑ කිව්වට අපි කොහොමද ලමයො දවසක ඔය තනියෙන් දාලා මේ ලෝකෙන් යන්නෙ, මොකෝ අපි කියලා සදාකාලිකව ජීවත් වෙන්නද? අපිට කියලා වෙන ලමයි ඇත්තෙත් නෑ” කියලා අම්මා කඳුලක් පිහගනිද්දි දිනුලිගෙ හිතට දුකක් ආවෙ නැතුව නෙවෙයි.

ඒත් එහෙමයි කියලා දෙවනියෙක්ව කොහොමද හිත අස්සට අරගෙන එන්නෙ තාම ඒ හිත අස්සෙ පලවෙනියා හුස්ම ගනිද්දි?

“ඔයා අපිට ඉන්න එකම දරුවා පුතේ, ඔයාට හොඳක් වෙනවා දකින්නයි අපිට උවමනා. ඔයා කොච්චර කිව්වත් ඔයා සන්තෝසෙන් ඉන්නෙ කියලා අපි කවුරුවත් නැති වෙලාවට ඔයාඈත බලාගෙන කල්පනා කර කර ඉන්නවා අපි දකින්නෙ නෑ කියලද ඔයා හිතන්නෙ?

ඔය හැම වේදනාවක්ම හිතේ තද කරගෙන ඔයා කොච්චරකල් ජීවත්වෙන්නද? ඔයාට ඔය ප්‍රශ්න අපිත් එක්ක බෙදාගන්න අමාරු ඒව ඇති. ඒව කියන්න කෙනෙක් ඔයාටම කියලා ඉන්න ඕන. ඒකයි අපි මෙච්චර කියන්නෙ”

“මං ආපහු කසාද බඳිනවනම් බඳින්නෙ මට එයාට මගෙ හිතෙන් සහමුලින්ම ආදරේ කරන්න පුලුවන් වෙච්ච දවසට විතරයි අම්මෙ. මිලින්දව හිතේ තියාගෙන තව මනුස්සයෙක්ව නමට කසාද බැඳගෙන ඒ මනුස්සය එක්ක මගේ දුකයි ප්‍රශ්නයි විතරක් බෙදාගන්න මට බෑ අම්මෙ.

මං ආපහු කසාද බඳිනවනම් බඳින්නෙ මට තව කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් කියලා හිතිච්ච දවසකට විතරයි. මට එයා එක්කම එක්කහු වෙලා මිලින්දගෙ දාන දෙන්න පුලුවන් කියලා හිතෙන මනුස්සයෙක් එක්ක විතරයි.

තමන්ගෙ ජීවිතේ එක්කෙනෙක් ඉද්දි තව කෙනෙක් ගැන ආදරේ හිතුනොත් අපි තෝරගන්න ඕන ඒ දෙවනියව කියල මිනිස්සු කියනවා. ඒක ඇත්තක් වෙන්නැති. ඒ උනාට මට එහෙම දෙවනියෙක් තෝරගන්න ඕන නෑ අම්මෙ.

මං ආපහු තෝරගන්නවනම් තෝරගන්නෙ පලවෙනියෙක්. මං වෙන කෙනෙක්ගෙ පලවෙනියා වෙනවානම් ඒ මනුස්සයව මගේ දෙවනියා කරගන්න මට බෑ අම්මේ. ඒක හරි වැරදියිනෙ.

ඒ නිසා මට තව කල් දෙන්න, මං මගේ හිත හදාගත්ත දවසක මං කෙනෙක් හොයාගන්නවද, අම්මලා කෙනෙක් හොයලා දෙනවද කියලා අපි කතා කරමු. ඒ දවස වෙනකම් මට මිලින්ද එක්කම ඉන්න දෙන්න අම්මේ”

දිනුලි හිස් තේ කෝප්පෙ සින්ක් එක ඇතුලෙන් තියලා තමන්ගෙ කාමරේ දිහාවට ඇවිද ගෙන යනකම්ම අම්මයි තාත්තයි කලේ දිනුලි දිහාම බලන් උන්නු එක.

“සමහර ආදර කතා තියෙනවා මැණිකෙ මරණෙන්වත් අහවර වෙන්නෙ නැති” කියලා තාත්තා කිව්වෙ හීන් සැරේ හුස්මක් හුලඟට එක්කහු කරන ගමන්!

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles