නෙතු විවර වීමට පෙර මට නොයෙකුත් ශබ්ධ ඇසිණ. කාක්කන් ගේ ද වෙන්කොට හැඳිනගත නො හැකි වෙනත් කුරුල්ලන් ගේ ද ලේනුන් ගේ ද හඬවල් ඒ අතරේ විය. ඈතකින් බල්ලෙකු ගේ බිරුම් හඬක් හා කුකුළෙකු ගේ හඬලෑමක් නැගී ආවේ ය. අනතුරුව ආසන්නයෙන් ම නැගෙනා සිවිලිමෙහි කැරකෙන විදුලි පංකාවේ ගුම් හඬ ඇසෙන්නට ගති. මම අසීරුවෙන් නෙතු විවර කිරීමට උත්සාහ කළෙමි. ඒවා මත රාත්තල් ගණනක බරක් පැටවී ඇතිවා මෙන් යළිත් පියවී ගියේ ය. සිරුරට දැනුණේ තලා පෙළා දැමුවා වන් කෙඩෙත්තුවකි. තුනී හිසරදයක් ඉස්මතු වෙමින් ආවේ ය. නිදිබර වෙන ඇස් වලට ඉඩ දී මම එහෙම ම සිටියෙමි. එළි වූවා කියා අවදි විය යුතු ම නැත. නිදන්නට ඕනේ කියා සිරුර කියනවා නම් ඒ අවස්ථාව ඊට ලබා දිය යුතු ය. නිදහස කියන්නේ එයටයි. මේ මගේ සිරුරයි. මේ මගේ ගෙදරයි. මගේ සිරුරට මගේ ගෙදරදී තරම් නිවහල් ලෙස වෙනත් කිසිදු තැනෙකදී හැසිරිය හැකි නොවේ. ඉතින් ඕනෑ තරම් නිදි සුව විඳ ඕනෑ වෙලාවක අවදි වෙන්නට ඊට අවස්ථාව ලබා දිය යුතු වේ.
මේ ශාරීරික අපහසුතා වලට හේතුව පෙර දා සැඳෑවේ බීර ඔස්සේ දේහගත වූ ඇල්කොහොල් බව සිහිපත් වූයේ හදිසියේ ය. ඒ සිතිවිල්ල පසාරු කරගෙන ඔහු සිහියට ආවේ ය. ආදිල්! මම හීගසක් වාගේ නැගී යහන මත හිඳගතිමි.
“මේ නංගිල උඹ බැඳලද කියල අහනව ආදිල්”
ඔහු ඔවුන් සිටි මේසය වෙතට පැමිණි වෙලාවේ සචින් ප්‍රසිද්ධියේ කීවේ ය. මුද්‍රා ඇල්කොහොල් මතින් හඬනගා සිනහ වූවා ය. පීහු ගේ ඇස් ගිලින්නට වාගේ ඔහු වෙතට යොමු වී තිබිණ. මා සිටියේ සිනහව ගිලගෙනයි. දරුණු ලැජ්ජාවක් ද මා වට කොට නොතිබුණා නොවේ.
“බැඳල වුණත් මොකෝ… ඕන්නං තව එක්කෙනෙක් බඳින්න බැරි නෑනෙ”
ඔහු දෑත් පපුව මත බැඳගනිමින් කීවේ ය. ඒ බැල්ම තුළ ගැහැනු ආත්මයක් ඇද බැඳ වශී කරගන්නා සරාගී බවක් එතී නො තිබුණා විය නො හැකි ය.
“හප්පතසිලි. කොහොමද ඒක…”
පීහු මැදින් පැන්නා ය.
“නෑ නෑ මූ බැඳලනං නෑ. හැබැයි තොපි වගේ කෙල්ලෙක්ව බඳින්නෙත් නෑලු”
“ආ…”
පීහු ද මුද්‍රා ද ඒ ‘ආ’ එක තත්පර කිහිපයක් ඇදගෙන ගියහ. අනතුරුව ඔවුන් ඉක්මනින් වෙරළබඩ අවන්හලෙන් නික්ම ගියේ අත්‍යාවශ්‍ය වැඩ කටයුතු බොහොමයක් ඇති බව පවසමිනි. සමුගන්නා වෙලාවේත් ආදිල් ගේ සිතිජ ඇස් මට යමක් කියා නො කියා ගියේ ය. මට ඒ ගැන දුරට දිගට සිතන්නට ඕනෑ වූයේ ම නැත. නමුත් වෙනදාට වැඩි බීර ප්‍රමාණයක් බොන්නට ඒ සැඳෑවේ මා පෙළඹුණේ ඇයි?
පිරිමි ඇසුර ගැන මට වන්නේ ඇල්මැරුණ හැඟීමකි. විශ්වාසය බිඳී ගිය ඉක්බිති, විවාහ වීමේ අරමුණෙන් ඇසුරු කළ පිරිමියා පමණකුදු නොව පිරිමි සංහතිය ම විශ්වාස නොකරන්නට මම දැඩි තීරණයක් ගතිමි. හසන්ත ට ඕනෑ වූයේ මා නොවේ. මගේ මව්පියන් මා වෙනුවෙන් ඉතිරි කොට තබා ගිය දේපලයි.
“දේපල බලාගන්න මට පුළුවන්. මට ඕනෙ මාව බලාගන්න පුළුවන් පිරිමියෙක්”
මම ඔහු ට අනන්ත වාරයක් පවසා ඇත්තෙමි. බැරි ම තැන මම ඔහු අත්හැරියෙමි. ඒ වූ කලී දිග කතාවකි. ඒ කතාව හැල්මේ කියන්නට ගියෝතින් ඔබට මේ කතාව එපා වී යනු ඇත. එබැවින් මගේ කතාවේ අතරමග යම් යම් තැන් වලදී ඔබට ඒ අතීතයේ රහස් අහුමුළු හෙළිදරව් කරන්නට පොරොන්දු වෙමි.
වෙලාව උදේ නවය පසු වී තිබේ. ආච්චා මා එනතුරු උදේ ආහාර ගන්නට බලා සිටිනු ඇතැයි සිහි වී මම විගස නාන කාමරයට වැදී දිය නාගතිමි. ආච්චා ට ඉව තිබේ. ඇය බීර සුවඳ හඳුනන්නී ය.
“හම්මේ… නැගිට්ටද ගෑනු ළමය… මං හිතුව අද දොළහටවත් නැගිටින්නෙ නැතිවෙයි කියල”
මා පියගැට පෙළ බැස එත්දී ආච්චා විද්‍යුත් රෝද පුටුවෙන් මවෙත පැමිණියා ය. මම ඈ ළඟ පහත් වී ආච්චා ට හාදුවක් දුනිමි.
“ක්‍රිස්ට්මස් වලටවත් වයින් ටිකක් බොන්නැති කෙල්ල ඊයෙ හොඳටම බියර් බීල මොකද කියල මං ඒත් හිතුව”
“අනේ නෑ ආච්ච. එක බියර් කෑන් එකක්වත් ඉවරවෙන්න බිව්වෙ නෑ. ඔයා දන්නවනෙ මට ඇල්කොහොල් සෙට් නෑ කියල. අර දෙන්නගෙ වදේට උගුරක් දෙකක් තමයි බිව්වෙ”
“හ්ම්… බ්‍රෙක්ෆස්ට් ගමුකො එහෙනං”
“ආච්චා තාම කෑවෙ නැද්ද…”
“ඔයා ඊයෙ රෑටවත් නොකා නිදං ඉද්දි මං කොහොමද සකී කන්නෙ… හ්ම් යමුකො ඩයිනිං ටේබල් එකට”
මට යම් වරදකාර හැඟීමක් දැනිණ. ආච්චාත් නැතිනම් මට මගේ කියන්නට කිසිවෙකුත් නැත. මීට පස් වසරකට පෙර අම්මා හදිසි අසනීපයකින් මිය ගියාට පස්සේ තාත්තා ජීවත් වූයේ සිව් මසක් පමණකි. ඔහු හෘදයාබාධයකින් මිය ගියේ ය. පවුලේ එක ම දරුවා වූ මට ආච්චා හැරෙන්නට කාත් කවුරුත් නැති විය. සැබවින් කවුරුවත් නැති වූවා ම නොවේ. මව් පස සේ ම පිය පස ද ඥාතීන් තැත් කළේ තාත්තා ස්ථාවර ගිණුම් තුළ ඉතිරි කළ මුදල් ද අම්මා ට දායාද ලෙස ලැබුණ කඩ කාමර දෙක ද ඔවුන් ගේ පාලනය යටතට ගන්නටයි. ඔවුන්ට ඊට ඉඩ දෙනවා කියන්නේ මට මව් පියන් සේ ම ජීවත් වීමේ මගක් ද නැතිව යාමය කියා වටහා ගත හැකි වූයෙන් මා ඒ කිසිවකට ඉඩ දුන්නේ නැත. එබැවින් ඔවුහු මා අත්හැර දැමූහ.
“බලමුකො කොහොමද කරගන්නෙ කියල තනියම. කොහෙහරි යන එකෙක් රවට්ටල ඔක්කොම අයිති කරගත්තහම කඳුළු පෙරාගෙන එන්නෙපා අපිව හොයං”
ඔවුන් බලා සිටියේ මට වරදින තුරු ය. මා ඔවුන් ගේ පිහිට පතනා තුරු ය. මගේ ඥාතීන් කීවා සේ ම හසන්තට උවමනා වූයේ ද මා නොව මගේ භාරයට පැවරුණ තාත්තා ගේ ස්ථාවර ගිණුම් වල ඇති මුදලින් පිස්සු නටන්නටයි. තාත්තා ගේ මෝටර් රථය විකුණා දමා තව මුදල් ද යොදවා අලුත් ම පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථයක් මිල දී ගන්නට ඔහු මාන බැලුවේ ය. මුදල් වලට වඩා ප්‍රේමය අගනා බව ඉඳුරා දැන සිටිය ද ප්‍රේමයේ නාමයෙන් පිරිමියෙකුට රැවටිය යුතු නැති බව ද මම විශ්වාස කළෙමි. බැංකු ගිණුම් වල ඇති මුදල් ටික ඔහු වෙත ලබා ගැනීම වෙනුවෙන් හසන්ත විසින් අල්ලන ලද රණ්ඩු නිමා වූයේ මට ඔහු එපා කරවමිනි. ඔහු පමණකුදු නොව පිරිමියෙකු, ප්‍රේමයක් හෝ විවාහයක් ද එපා කරවමිනි.
“සකී… දැං ඉතිං ඔයා පිළිවෙළක් වෙන්න ඕනෙ දරුවො. මේ නාකි මං හෙට මැරෙයිද අද මැරෙයිද කියල කියන්න බෑ”
“මොනාද ආච්චා කියන්නෙ… මගෙ ආයුෂත් අරං ආච්චා ජීවත් වෙන්න ඕනෙ”
“ඒත් ඒව එහෙම වෙන්නෙ නෑනෙ සකී. කවුද හිතුවෙ ඉටි රූපයක් වගේ හිටිය ඔයාගෙ අම්ම ඒ තරං ඉක්මනට ජීවිතේ අත්අරියි කියල… ඊළඟට තාත්ත… ඒ තරුණ ජීවිතත් එහෙම කෙළවර වුණානං රෝද පුටුවකටත් වැටිල ඉන්න මේ මං ගැන මොන කතාද… ප්‍රශ්නෙ ඒක නෙවෙයි දරුවො. මාත් ඇස් දෙක පියාගත්ත දවසක කවුද ඔයාට ඉන්නෙ… ඔයාව මෙහෙම තනිකරල මං වුණත් යන්න හිත හදාගන්නෙ කොහොමද… මේ බරෙං මාව නිදහස් කරන්න පුතේ. අපි පත්තරේක මංගල යෝජනාවක් දාමුද… නැත්තං කපුවෙකුට වැඩේ බාර දෙමුද… මොනව කරන්නත් තව වැඩි කාලයක් ඉතිරි වෙලා නෑ මැණිකෙ”
“අනේ ආච්ච. ආච්ච දන්නවනෙ… මට පිරිමි ගැන කිසිම විශ්වාසයක් ඉතුරු වෙලා නෑ. එච්චර කාලයක් ආශ්‍රය කරපු හසන්තත් ඒ වගේ මනුස්සයෙක් වෙච්ච එකේ… මං කොහොමද නොදන්න මිනිස්සු විශ්වාස කරන්නෙ…”
“කසාදයක් බැන්දට පස්සෙ අඳුරගන්න පුළුවන් ළමයො. මොකද මං ඔයාගෙ සීයාව බැන්දෙ කලින් අඳුරගෙනද… මගුල් දවසෙ තමයි හරියට මූණ වුණත් දැක්කෙ. එහෙමයි කියල අපි දරු මල්ලො හදාගෙන යමක් කමක් හරිහම්බ කරගෙන හොඳට ජීවත් වුණේ නැද්ද…”
“අනේ මන්දා ආච්චා. ඒ කාලෙ එහෙම වෙන්න ඇති. ඒත් මේ කාලෙ ඉන්නෙ විශ්වාස කරන්න පුළුවන් පිරිමි නෙවෙයි”
“එක මිනිහෙක් එහෙම වුණයි කියල හැමෝම එහෙම නෑ මැණිකෙ. මං කියනවට අපි කපුවෙක්ට කතා කරමුකො. ම්…”
මා නිහඬ වූයේ එකඟ වීමක් මත නොව තව දුරටත් ආච්චා ගේ වියපත් හිතට වද දිය යුතු නැතැයි සිතාගෙන යි. ඊයේ මා තරමක් වැඩිපුර බීර බී ගෙදර පැමිණීම මත, මේ තනිකඩ ජීවිතය ගැන මා දුක් වෙනවායි ආච්චා තීරණය කරන්නට ඇත!
මම මිදුලේ රවුමක් ඇවිද්දෙමි. අපේ ගෙදර වින්ටේජමය පෙනුමකින් යුත් පැරණි එකකි. අභිමානවත් වලව්කාර පෙනුමක් එහි දිස් වේ. දොර ජනේල වලට මත්තෙන් කැටයම් බිත්ති ය. දැවැන්ත දෙපළු දොර ජනේල මේරූ තේක්ක අරටු වලින් නිමවා තිබේ. පොළොව කුඹුක් ලෑලි සවිකොට පොලිශ් කර ඇත. සිවිලිම ද ලෑලි ය. වහලයට සේ ම උළුවහු සඳහා ද ගෙන තිබෙන්නේ ඝණකමැති සවිමත් ලී දඬු බව බැලූ බැල්මට පෙනේ. අවුරුදු පණහකට හැටකට කලින් ඉදිකරන ලද ද තවමත් නිවසෙහි එක දැව කොටසකටවත් ගුල්ලන්ගෙන් හානියක් වී හෝ දිරාගොස් හෝ නැත. වහළට රට උළු සෙවිලි කොට ඇති අතර මෑතක දී පැරණි උළු ඉවත් කොට අලුත් පන්නයේ රට උළු වලින් එය සෙවිලි කොට තිබේ. වැහි පිනි වලින් ජනේල ආවරණය වන සේ ඉදි කළ වැහි කූඩු ද රට උළු වලින් මැනවින් නිර්මිත ය. වහල හා පියසි දාර කලාත්මක මල් කැටයම් ලෑලි වලින් නිමා කොට තිබේ. බිත්ති තනි සුදු තීන්තයෙන් ආලේපිත ය. විසල් ඉඩමක පාරට කිට්ටු වන්නට නිවස ඉදි කොට ඇති අතර අඹ, රඹුටන්, මැංගුස්, ජම්බු වැනි පළතුරු ගස් වලින් මුළු මිදුල ම සෙවන වී ඇත. ආච්චා ට සවි ශක්තිය ඇති කාලයේ හා අම්මා සිටි කාලයේ මල් උයනක් වූ ගෙමිදුල, තවමත් ඉතිරි වී තිබෙන්නේ ඒ මල් ය. දේශීය පළතුරු වර්ග සියල්ල අපේ මිදුලේ පළ දරයි. ගෙයි පිටුපසට වන්නට ඇති වැඩි ඉඩ කොටසෙහි කෙසෙල්, පොල්, කරාබුනැටි, කරපිංචා, රම්පේ, දෙහි, නාරං වැනි ගෙදරට අවශ්‍ය සියලු දෑ වැවේ.
මිදුලේ මඳක් එකල මෙකල වෙමින් හිඳ මම යළිදු ලෑලි පියගැට පෙළ නැග මගේ කාමරයට ගියෙමි. මේ ගෙයි උඩු මහලේ හැම කාමරයකට ම තනි තනි කුඩා සඳලුතලා වේ. ඒවා මල් කැටයම් ලෑලි වලින් සමලංකෘත ය. මේ දින වල මගේ විනෝදාංශය වන සැන්සවේරියා හෙවත් ස්නේක් ප්ලාන්ට් යනුවෙන් හැඳින්වෙන පැළෑටි වර්ගයෙහි ප්‍රභේද වලින් සඳැල්ල පිරී තිබේ. මම ඒවා ගැන විමසිලිමත් වෙමින් සිටියෙමි. අපේ ගෙදරට දකුණු පසින් පිහිටන අසල්වැසි නිවස වන සචින් ලා ගේ මතු මහලේ ප්‍රංශ ජනේලය විවර වනු මට පෙනිණ. මා කෙසේ එය විශ්වාස කරන්නද? ආදිල් තේ කෝප්පයක් තොල ගාමින් සඳැල්ලට පැමිණියේ ය.
එක අතකට එහි විශ්වාස කළ නො හැකි බවක් වන්නේ කොහි ද? ආදිල් සචින් ගේ මිතුරා නම් ඔහු මෙහි එන්නට බැරිකමක් නැත.
“ගුඩ් මෝනිං”
අමුතු සිනහවකින් ඔහු උදෑසනට සුබ පතනු ඇසුනාටත් වඩා මට දැනිණ. මම ඒ සුබ පැතුම පිළිගනිමින් ඉක්මන් සිනහවක් පා කොට යවා විගස කාමරය දෙසට හැරුණෙමි. ඒ මොහොතේ මගේ සිරුරේ ඇඩ්රිනලින් හෝමෝනය ශ්‍රාවය වෙමින් මට බල කොට සිටියේ පලා යාමේ ප්‍රතිචාරය දක්වන ලෙසයි. කාමරයට යත්දී අමුතු හතියක් දැනෙමින් තිබිණ. නමුත් මම එය නො සලකා හැර සමූහ දුරකතන සංවාදයකට පීහුවත් මුද්‍රාවත් සම්බන්ධකොට ගතිමි.
🩷කතාව ගැන ඔබට වන හැඟීම දැනගන්නට මම නො ඉවසිල්ලේ පසුවෙමි. ඔබ ඇවිත් එය කියවා ගිය බවට සලකුණක් හෝ තබා යනු ඇතැයි සිතමි.