සඳක් තනියම – 7

0
5017

නර්මදා අකලංකගේ කාමරයට එබුණේ ඔහු කණ්නාඩිය ඉදිරිපසට වී ටයිපටිය පළඳමින් සිටියදීය.විශ්වට සේම ඔහුටත් වූයේ තේජවන්ත කඩවසම් රුවකි.සොහොයුරෙකු හෝ සොයුරියක නොමැති වීමේ හිතේ අඩුව පිරවූයේ ඔහුය.එනිසාවෙන්ම නර්මදා ඇගේ සිතෙහි අකලංකට දී තිබුණේ විසල් ඉඩකඩකි.

” මොකෝ නිකං මූණ ඇඹුල් වෙලා ගිහිල්ලා..”

නර්මදා  අකලංක අසලට ගියේ එසේ අසාගෙනය.උදේ කෑම මේසයේදී වගකීම් පැහැර හරින බව පවසමින් තාත්තා ඔහුට මදක් තදින් කතා කළේය.ඒ වදන් වලින් සොහොයුරා සිත රිදවාගත් බව විශ්වාසය.අද දිනයේ පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණයට ඔහුගේ සහභාගි වීම අනිවාර්යය යැයි පැවසුවේත් තාත්තාය.අකලංක හේතු දහසක් කියද්දී තාත්තා කෝපගෙන කෑම මේසයෙන් නැගී සිටියේය.

” අර පිස්සව ටිකක් බලලා එන්න බබා…”

විශ්ව මින් විනාඩි කිහිපයකට ඉහතදී පැවසූයේ ඔහුට කාර්යාලයට යාමට සූදානම් වීමට ඇවැසි ඇඳුම් තෝරා දෙද්දීය.

” එතනදි මං වෙනුවෙන් වචනයක්වත් කතා කරන්න කාටවත් බැරි වුණා. දැන් එනවා ශේප් කරගන්න..තමුසෙත් දැන් මේ ගෙදර ගානටම හැදිලා අක්කේ…”

ඔහු පැවසූයේ කන්නාඩියටත් රවාගෙනය.නර්මදා තරුණයා ඉදිරිපසින් සිට ගත්තේ මුවෙහි  වූ සිනහව තද කරගෙනය.

” වැඩේමයි මට ෂේප් කරගන්න..ඔය බලනවකෝ හැටි..ටයි එක ඇදේට දාලා ෂර්ට් එකේ අත් දෙක පොඩි කරගෙන..එහෙමද කොල්ලෝ ඉන්නේ.”

” මට මෙහෙම ඒවා හරියන්නෙ නෑ හලෝ..ටයි කෝට් තද  කරගෙන පිස්සු හැදෙනවා.ඉස්කෝලේ ටයි එකත් සාක්කුවේ දාං ගිහින් පිනා දකිද්දී බෙල්ලේ දා ගත්තු කොල්ලෙක් මං…හලෝ..මේ… මං අද පොඩි වැඩක් දාගෙන හිටියේ.” 

” මොකක්ද පොඩි වැඩේ..”

නර්මදා එවර ඇසූයේ ඔහුගේ ටයිපටිය සකසමින්ය.අකලංක පිළිතුරක් දෙන්නට ප්‍රථමව ඇය ඔහුගේ කමිසයත් පිළිවෙලකට සකස් කළාය.

” අද ගීත්මාගේ බර්ත් ඩේ එක. පොඩි සප්‍රයිස් එකක් දෙන්න හලෝ ලෑස්ති වෙලා හිටියේ..බලනවකෝ සෙට් එකම අනාථයිනේ මං නැතුව..”

” කතා කරන කැත..මගේ මනුස්සයගේ සහෝදරයා උනාට ඒ මනුස්සයා අහලකින්වත් තියන්න බෑ…ඉතින් ඒක හවසනේ තියෙන්නේ.උදේ මේ වැඩේට ගිහිල්ල පැය දෙක තුනක් ඉන්න බැරි කමක් නෑනේ.නිකං මොකටද තාත්තව කේන්ති ගස්සන්නේ..”

” මං මොකටද හලෝ ඉන්ටර්විව් එකට.මොකෝ මට කසාද බඳින්න කෙල්ලෙක්ව තෝරන්නයෑ..⁣”

” ඒවා ඉතින් කියන්න බෑ..හොඳම කෙනා මේ ඉන්ටර්විව් එකේදි හම්බවෙන්නත් පුළුවන්…”

නර්මදා  පැවසූයේ මඳක් උස් හඬින් සිනහසෙන අතරේය.විශ්ව කාමරයට එබුණේ එවේලෙහිය.⁣දුඹුරු පැහැ කලිසමටත් වෙනස්ම රෝස පැහැයක් වූ කමිසයටත් ඊට ගැලපෙන්නට තෝරා දුන් රත් පැහැ ටයි පටියටත් ඔහුගේ රුව කැපී පෙණින.කලිසමටම ගැලපෙන දුඹුරුපැහැ කෝට් එක වූයේ ඔහුගේ දකුණතේය.

” ඔය එන්නේ අනිත් එක්කෙනා. එයා විතරයි අඩු වෙලා හිටියේ..ඌ නම් යන්නේ හොඳම එක හොයා ගන්න වගේ තමයි. නෑනා ..මේ මූ තමයි තාත්තට පෝර දාලා අවුස්සන්නේ..මූට ඕනේ තාත්තගෙ හොඳ පුතා වෙන්න.”

” වෙන්න දෙයක් නෑ  මම තමයි තාත්තගෙ හොඳ පුතා..”

” මෙයාගේ කේස් එක ගැන මං ඔයාට හෙමින් කියන්නම් නෑනෝ..කෙල්ලෝ ටික මැද්දට ගියාම හෙන වැඩකෑලි මුගේ තියෙන්නේ .”

” මේ…මේ..එයා මගේ විතරයි හරිද.”

” මගේ ගෑනිට මාව විශ්වාසයි. උඹ  මොනවා කිව්වත් වැඩක් නෑ..”

” ඕක තමයි නෑනා මුල් පියවර..දැන් ආයේ කිසි දෙයක් අහන්න බෑ.මුරුංගා අත්තේ උඩම තියලා තියෙන්නේ…”

” වරෙන් යන්න..දැනටමත් පරක්කුයි.තාත්තා ගියත් එක්ක.”

සොයුරා එවර පැවසූයේ සිනහමුසුවය.ඉස්සර වූයේ අකලංකය.මඳක් පමා වූ විශ්ව තම බිරිඳගේ නළලත මත සිය දෙතොල් තැබුවේ ඇයව තුරුළු කරගෙනය.අකලංක යළි හැරුණේ කාමරයෙන් පිට වීමට ප්‍රථමවය. 

” දරුවෙක් ඉඳලාත් උඹලගෙ මනමාලකමනං අඩුවෙලා නෑ…දැන් මෙතන පරක්කු වෙනවා කියලා මැරෙන්න හැදුව නේද..”

” දරුවෙක් ඉන්නකොට මනමාලකම් අඩුවෙන්නෙ නෑ වැඩි වෙනවා මිසක්කා..එතකොට මේ ඉන්නේ මගේ දරුවගේ  අම්මනේ කියලා තවත් ආදරේ හිතෙනවා.අපිට ඉරිසියා කරන්නේ නැතුව උඹත්  එහෙම ආදරය කරන්න පුළුවන් කෙනෙක් හොයාගනින්..”

විශ්ව එවර පැවසූයේ තම බිරිඳගේ නළලත යළිත් වරක් සිපගෙන ඈ තම වතින් මුදා හරිමින්ය.සොයුරාගේත් නෑනන්ඩියගේත්  ආදරණීය ඉරියව් ඕනෑතරම් දැක තිබූ අකලංකට ඔවුන්ව අමුත්තක් වූයේ නැත.සොයුරාත් ඇයත් දෙදෙනාම සිටින්නේ ඔහුගේ හදවතේය.

” අම්මත් ඇහුවා…..”

“මොනවද..”

” මල්ලි කවුරුහරි ගෑණු ළමයෙක් ගැන විශේෂයෙන් හිතනවද කියලා..”

” මේ මේ ඔන්න මං දැම්මම කිව්වා.නැන්දම්මලා ලේලිලා එකතුවෙලා මෙතන මට මඟුල් කතා කරන්න නම් ලෑස්ති වෙන්න එපා. “

” මඟුල් කතා කරන්නේ නෑ අපි මේ ඉන්නේ කාගේ නම කියන්නද කියලා හිතා ගන්න බැරුව නේද බබා.කෙල්ලෝ කී දෙනෙක් කියලද..”

” හා.. හා.. යං යං…නැත්තං තාත්තගේ හොඳ පුතාගේ කාර්ඩ් කුඩු..”

නර්මදා  සිනහසෙමින් බලා සිටියේ සොයුරන් දෙදෙනා කාමරයෙන් පිටවී යන ආකාරයය. .මිතුරන් සේ ලෙන්ගතු වූ සොයුරන් දෙදෙනා සිටින තැන පාළුවක් නොවේ.මේ නිවස සුරපුරයක් සේ දැනෙන්නේත් ඒ ලෙංගතුකම් නිසාය.ආපසු හැරුණු නර්මදා කාමරයේ තැන තැන දමා ගොස්  තිබූ අකලංකගේ කිලිටි රෙදි සියල්ල කූඩයකට දැමුවේ පරණ ඇද ඇතිරිලිත්  ඉවත් කලාට පසුවය.සේවිකාවක සිටියාට දැන් නිවසේ බොහෝ වැඩ කටයුතු සොයා බලන්නේ නර්මදාය.ඇය ඒවා කැමැත්තෙන්ම තමා වෙත පවරා ගත්තේ තේජානිව නිදහස් කළ යුතු නිසාමය. වසර කිහිපයකට ඉහතදී බයිපාස්  සැත්කමකට මුහුණ දී උන් ඇය විවේකයෙන් සහ නිදහස් මනසකින් සිටිය යුතුයැයි නර්මදා සිතුවාය. මේ නිවස තමාට පිට තැනක් නොවූයේ මවක,  යෙහෙළියක සේ ඈ තමාට ලෙන්ගතු වූ නිසා බැව් නර්මදා දනී. විවාහ වී නිවසින් පිටවන බොහෝ ගැහැණු දරුවන්ට තමා සේ සතුටින් ජීවත් වීමට සුදුසු වටපිටාවක් නොවනබව ඈ දනී. එනිසාම සිය නැන්දණිය  වෙනුවෙන් උපරිමයෙන්ම තම වගකීමත් යුතුකමත් ඉටුකිරීමට ඕ පසුබට නොවූවාය.

ජෑම් සහ කෝඩියල් වර්ග නිෂ්පාදනයේ ප්‍රසිද්ධ සන්නාමයක් සනිටුහන් කළ කර්මාන්ත ශාලාවට අයත් කාර්යාලය ඉදිරිපස දී දිනාරා ත්‍රී රෝද රථයෙන්  බැස ගත්තාය. මේ ඇගේ ජීවිතයේ මුහුණ දෙන ප්‍රථම සම්මුඛ පරීක්ෂණයයි.ආයතන ආරක්ෂක නිලධාරීන්ගේ  පිළිගැනීම ඉතා සුහදශීලී එකක් වූ නිසා යුවතියගේ සිතෙහි වූ බිය සැක මදකට පහව යන්නට විය.ඉන්පසු ඈ නතර වූයේ පිළිගැනීමේ නිලධාරිනිය ඉදිරිපිටය.

” ගුඩ් මෝර්නින් ඉන්ටර්විව් එකට නේද ආවේ..”

දිනාරා  යමක් විමසන්නටත් පෙර ඇය ඇසුවේ ලෙන්ගතු සිනහවක් මුවගෙහි රඳවාගෙනය.ඇයට සිහි වූයේ ප්‍රියංකාය.සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමක් ලැබුණු දිනයේ සිට ඈ  මිරකල්  ෆුඩ්ස්  ආයතනය ගැනත් එහි අයිතිකරුවන් ගැනත් බොහෝ දේ පවසා තිබිණ.ජයසුන්දර වලව්වට අයත්  තේ වතුත් කර්මාන්ත ශාලාවත්  පිළිබඳව යම් අවබෝධයක් වූ ඇයට ආයතන ප්‍රධානීන් ගැන එතරම් පැහැදීමක් වූයේ නැත .බාප්පාගේ සිට එහි සේවය කරන ආරක්ෂක නිලධාරියා දක්වාම කෝප නොගත් මොහොතක් නැති තරම්ය.බොහෝවිට ඒ කෝපය පිටවන්නේ අහිංසක කම්කරුවන් මතින්ය.ඔවුන් සෑම විටකම හැසිරෙන්නේ මහා බරක් හිසමත පටවාගෙන සේය.යළිත් පිළිගැනීමේ නිලධාරිනියගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලූ දිනාරා ඔව්  යැයි පැවසූයේ ඇයට ඇසෙන නෑසෙන තරම් මද හඬකින්ය.

” අතනින් ඉඳගෙන ඉන්න මිස්..තව හතර දෙනෙක් ඇවිත් ඉන්නවා.තව කීප දෙනෙක් එන්නත් ඉන්නවා.සර්ලා ආවෙ දැන් තමයි.තවම ඉන්ටර්විව් එක පටන් ගත්තෙ නෑ.ආපු පිළිවෙලට මිස්ට කතා කරයි..”

ඇය පැවසූයේ සවිස්තරාත්මක විස්තරයකි.ඒ වදන් පැහැදිලි ඒවාය.දිනාරාට  දැන ගැනීමට අවැසි වූ සියල්ලම ඒ කෙටි විස්තරය තුළ විය.ඇයට ස්තුතිවන්ත වූ යුවතිය  ඉදිරිපස වූ අසුනකට බර වූයේ සැහැල්ලුවේ මදහසක් මුවග තවරාගෙනය.ගතව ගියේ අඩ පැයකටත් වඩා අඩු කාලයකි.දිනාරා වූයේ ආයතනයේ නිෂ්පාදන ගැන සඳහන් වන සඟරාවක් කියවමින්ය.

“එක්ස්කියුස් මී මිස්  දිනාරා සන්ධිපනී ජයසුන්දර…”

ඈ  තිගැස්සී ගියේ මදක් උස් හඬින් තමාගේ නම ඇසෙද්දීය.ඒ තිගැස්මෙන්ම දිනාරා  බැලුවේ පිළිගැනීමේ නිලධාරිනිය දෙසය.ඈ උන්නේ රිසීවරය එක් අතකින් වසාගෙනය  යුවතිය දෙස බලාගෙනය.

” මිස් , දිනාරා කියන්නේ මම…”

” ඔයාට ඇතුලට එන්න කිව්වා…ඔය දොරෙන් ඇතුලට ගියහම ඔයාට හම්බවෙන පළවෙනිම රූම් එක “

යළිත් පිළිගැනීමේ නිලධාරිනියට ස්තූතිවන්ත වූ යුවතිය වීදුරු දොරටුව පසු පසට කර කාර්යාලය සංකීරණය තුළට පිවිසියේ බිඳී විසිරී තිබූ සිතුවිලි එක්තැන් කරගෙනය.දෑස් පියාගෙන දිගු හුස්මක් ගත් ඈ සියල්ලටම හොඳින් මුහුණ දීමට සිතා ගත්තාය.

දිනාරා ඇතුළු වූ මදක් විසල් වූ කාමරය සාකච්ඡා පවත්වන එකක් යයි ඕ  නිගමනය කළේ එහි ස්වරූපය නිසාය.එකවර විසිදෙනෙකුට පමණ අසුන් ගත හැකි දිගු මේසයක් වටා තිබුනේ සුවපහසු ආසනය.ඒවා සුවපහසුත් පිළිවෙල වූ ඒවාත් විය.එහි එක් පසෙක මැදිවියේ  පුද්ගලයෙකුත්, තරුණයන් දෙදෙනෙකුත් අසුන්ගෙන සිටියහ.ඊට ආසන කිහිපයක් එහායින් සුදු පැහැ සමක් , නවීන මෝස්තරයට සැකසූ කෙටි කොණ්ඩයක්  හිමි සුන්දර  තරුණියක අසුන්ගෙන සිටියාය.

මහින්ද ,විශ්ව , අකලංක… ප්‍රියංකා ආන්ටි දින කිහිපයක සිට පැවසූ නම් වලින් ඔවුනොවුන්ව අනුමාන කළ යුවතිය මඳ සිනහවක් මුවගට නගා ගත්තේ ” ගුඩ් මෝර්නින් ..” යැයි පවසනා ගමන්ය.

පෙරලා සුබ පැතූ මැදිවියේ උන් පුද්ගලයා ,

” ඉඳගන්න දරුවෝ..”

යැයි  පැවසූයේ ඔහු ඉදිරිපිට වූ ආසනය දෙසට සිය දකුණත දිගු කරමින්ය.

” ස්තුතියි ” යැයි කියූ දිනාරා අසුන් ගත්තේත් ඇයටම ආවේණික වූ ඒ සොඳුරු මදහස මුවඟෙහි තබාගෙනය. ඇගේ  සොඳුරු වතට ඒ සිනහව එකතු වූවාට පසුව මැවෙන්නේ සුරඟන රුවකි.

” එක්ස්කියුස්මී මිස්…ඔයාගේ නම මොකක්ද…”

මඳක් එහාට වන්නට උන් යුවතිය ඇසුවේ ලිපි ගොණුවක් පෙරලා බලන අතරේය.රත් පැහැ නිය ආලේපන ගල්වා තිබූ ඇගේ දිගු අතැඟිලි ලිපි ගොනුව මත එහෙටත් මෙහෙටත් ඇවිද ගියේ වේගයෙන්ය.

” නෑ හිමාෂා…කලින් එයාගේ ඇප්‍රිලිකේෂන්  එකක් අපිට ඇවිල්ලා නැහැ.මේ අපි අඳුරන කෙනෙක්ගේ  දුවෙක්..”

දිනාරා යමක් පවසන්නට පෙර ඉස්සර වූ මැදි  වියේ  පුද්ගලයා එහාපස උන් තරුණියට  පැවසූයේ මඳක් උස් වූ හඬකින්ය.

” ඔය ළමයා ඇප්ලිකේෂන් එකක් ගෙනාවද.”

දිනාරා තමා අත වූ ෆයිල් කවරය තුළ තිබූ ඉල්ලුම්පත්‍රය ඔහු වෙත දිගු කලත් ඔහු එය එහා පස උන් තරුණයා අත තැබුවේය.

” මීට කලින් කොහෙවත් වර්ක්  කරලා නැහැ කිව්ව නේද.”

” නැහැ සර්..”

” හොඳයි… මොනවා වගේ ජොබ් එකක්ද බලාපොරොත්තු වෙන්නේ “

” ඒක මට හරියටම කියන්න බැහැ සර්.මේක මගේ ෆස්ට් ඉන්ටර්විව් එක.ඇත්තටම මට ඕනේ උනේ වර්කින් එක්ස්පීරියන්ස්  එකක් ගන්න විතරයි..ඒ නිසා සර්ලා මගේ සුදුසුකම් වලට මට ජොබ්  එකක් දෙන්න..”

” හොඳයි …මේ ළමයා ජොබ් එක කරන ගමන් හයි එඩියුකේෂන් මොනවා හරි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද.”

” ඔව් සර්…ප්‍රයිවට් කැම්පස් එකකට ජොයින් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා”

” කොහොමද ඔයාගේ ඉංග්ලිෂ් , කම්පියුටර් නොලේජ් එක..”

” සර් මට හොඳට  ඉංග්ලිෂ් කතා කරන්න පුළුවන්..කම්පියුටර්  ගැනත් සාමාන්‍ය දැනුමක් තියනවා..”

ප්‍රශ්න ඇසුවේ මැදිවියේ පුද්ගලයාත් එහාපස උන් තරුණයාත් පමණි.ඔහු විශ්වයැයි දිනාරා නිගමනය කළාය. ඉන් එහා පසු උන් තරුණයා දිගින් දිගටම වූයේ සිය ජංගම දුරකථනය මත ඇඟිලි තුඩු දුවවමින්ය.අඩුම තරමින් ඔහුට මේ සිදුවන්නේ කුමක්දැයි පිළිබඳවවත් වගක් නොවූ තරම්ය.

” හරි ..ඔයාට පුළුවන් අපි එක්ක වැඩ කරන්න.කොහොමත් ප්‍රියංකාගේ වචනය අහක දාන්න පුළුවන්කමක් අපිට නැහැ..ඔයාට වැඩ කරන්න වෙන්නේ මගේ මේ පොඩි පුතා අකලංකත් එක්ක.ඇත්තටම මට ඕන උණේ විශ්වාසවන්ත දරුවෙක්. ප්‍රියංකාව විශ්වාස කරලා තමයි අපි මේ තනතුරට ඔයාව සිලෙක්ට් කර ගන්නේ.මේ ඉන්නේ විශ්ව, මගේ ලොකු පුතා. එයාගේ ප්‍රයිවෙට්  සෙකට්‍රි  තමයි මේ ඉන්න හිමාෂා..හිමාෂා යටතේ තමයි ඔය දරුවට පුහුණුවීම් තියෙන්නේ.අකලංක සර්ගේ ප්‍රයිවෙට් සෙකට්‍රි  විදිහට තමයි අපි ඔයාව තෝරගත්තේ.හිමාෂා  ඔයාට මොනවද කරන්න ඕන වැඩ කියන එක ගැන පැහැදිලි කිරීමක් කරයි.හිමාෂා පිළිවෙලට වැඩ කරන දරුවෙක්…ඔයාගෙනුත් අපි ඒ පිළිවෙල බලාපොරොත්තු වෙනවා.හෙට ඉඳලා වැඩ බාර ගන්න පුළුවන් ද..”

” පුළුවන් සර්..”

” සාමාන්‍යයෙන් සතියේ  දවස් පහම උදේ අට පහ තමයි අපේ වර්කින් ටයිම්  වෙන්නේ සෙනසුරාද වරුවක් සහ ඉරිද නිවාඩුයි..ඔය ළමයාගේ ලෙක්චර්ස් වැටෙන විදිහ අනුව සෙනසුරාද නිවාඩුවක් දෙන්න අපිට බැරිකමක් නැහැ.නමුත් ඒ ගැන කලින් මැනේජ්මන්ට් එක දැනුවත් කරන්න.ඒ වගේ හයි එඩියුකේෂන් කරන දරුවෝ කීපදෙනෙක්ම අපිත් එක්ක වැඩ කරනවා.

අපි සාමාන්‍යයෙන් තර්ටි තවුසන් වලින් වගේ තමයි සැලරි එක ස්ටාර්ට් වෙන්නේ.ඊට අමතරව ලැබෙන දීමනා සියල්ලක්ම ඔය දරුවටත් ලැබෙනවා..හිමාෂා ඒ ගැන ඔයාව දැනුවත් කරයි..”

” හොඳයි සර්..”

” අකලංක මොනවා හරි කියන්න තියෙනවද..”

දුරකථන තිරය දෙස බලා උන් තරුණයා හිස එස වූයේ එවේලෙහිය.දිනාරා දෙස නොසැලකිල්ලෙන් බැලූ ඔහු  මහින්ද දෙසට හැරුණේ “ඉට්ස් ඕකේ…යුවර් ඩිෂිෂන්  තාත්තා ” යැයි පවසමින්.

” මේ දරුවා වැඩ කරන්නේ ඔයා එක්ක.ඒකයි මම ඇහුවේ මොනවා හරි කියන්න තියෙනවද කියලා..”

” සාමාන්‍යයෙන් අනිත් අයට තියෙන රෑල්ස්මනේ  තාත්තා මෙයාට තියෙන්නෙත්..හිමාෂා ඒ ගැන දැනුවත් කරයි නේ..මට ප්‍රශ්නයක් නෑ. අනික ප්‍රියංකා ටීචර් එවපු කෙනෙක් නං කොහොමටත් ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ තාත්තා..”

ඔහු එසේ පැවසුයේ පෙර වූ නොසැලකිල්ලෙන්මය.

ඒ අතරේම ඕ ” මොනව හරි කරලා මාව මෙතනින් බේර ගන්නවා…” යනුවෙන් කෙටි පණිවිඩයක් නර්මදාට යැව්වේය.

” එහෙනම් ඔය දරුවා  හෙට ඉඳලා එන්න.මම ප්‍රියංකාට කතා කරන්නම්.ප්‍රියංකා කියන්නේ අපේ පවුලේ හොඳම හිතවතියක්.ඔය දරුවාගේ කොලිෆිකේෂන් වලට වඩා අපි මෙතනදි විශ්වාස කලේ  ප්‍රියංකාව..”

” තැන්කියු සර්…” එසේ පැවසූ යුවතිය නැගී සිටියේ පෙර වූ සොඳුරු සිනහවෙන්මය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here