අහේතුක සැකයක් නිසා බිඳෙන්නට ගිය කැදැල්ලක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“ඔයා ඇයි මාව දැන් ගණන් ගන්නෙවත් නැත්තේ”

චේතනා එහෙම කෑගැහුවෙ මලිත් ට. 

මලිත් වැඩ කරේ හයි ටෙක් ලංකා ඇපරල් එකේ එම් ඩී විදියට. කැම්පස් එකේදි යාලුවෙච්ච චේතනා මලිත් දෙන්නම කරේ එකම ඩිග්‍රි එක. කැම්පස් එකෙන් අවුට් වෙද්දිම ඔෆිස් එකක ජොබ් එකක් ලැබිල චේතනා ගියාට මොකද මලිත් නම් දිගටම ඉගෙන ගත්තා. අන්තිමේ මිනිහා නතර වුනේ ඉන්ටර්න් විදියට ගියපු හයි ටෙක් ලංකා ඇපරල් එකේ එම් ඩී වෙලා.

දෙන්නට දෙන්න ආදරේ කරල කසාද බැඳලා දැන් අවුරුදු 5කටත් කිට්ටුයි.

පහුගිය දවස්වල ඔෆිස් එකට ආව ලොකු ඕඩර් එකක් නිසා මලිත් හරිම බිසී වෙලා හිටියේ.

චේතනාට මලිත් ගේ ඒ කාර්‍යබහුලකම ලොකුම ලොකු ප්‍රශ්නයක් වුණා.

“මම ඔයාව ගණන් ගන්නේ නෑ නෙවෙයි චේතනා. ඇයි ඔයා එහෙම දෙයක් කියන්නෙ. මම කොච්චර ආදරේද ඔයාට? මම කිසිම අඩු පාඩුවක් කරනවද ඔයාට?”

මලිත්ට හිතාගන්න බැරිවුණා චේතනා අහපු දේට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා.

“ඔයා හිතන්නෙ ගෑණියෙක්ට කන්න බොන්න දුන්නම ඔක්කොම හරි කියලද? මලිත් මමත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක්? ඔයාම කල්පනා කරල බලන්න අපි පහුගිය දවස් වල හරියට දෙයක්වත් කතා කරාද කියලා?

මම දවස් කීයක ඉඳල ඔයාට කියනවද මධුරි අක්කගේ ඇනිවසරි පාටි එකට අඳින්න ඇඳුමක් ගන්න යන් කියල.

ඔයාට මම එහෙම කිව්ව කියලවත් මතකද අඩුම ගාණෙ?”

චේතනා මේ රණ්ඩුව ඇදල ගත්තෙ මලිත් රෑ වෙලා ගෙදර ආව දවසක. මේ දවස් ටිකේම මලිත් ගෙදර එද්දි රෑ දහයට කිට්ටුයි.

මේ ගතවෙච්ච අවුරුදු පහටම මලිත් මෙච්චර රෑ වෙලා ගෙදර ඇවිල්ලා නෑ. ඒ වගේම තමන්ව මේ වගේ ගණන් ගන්නෙ නැතුව ඉඳලත් නෑ. චේතනා හිටියේ මහ බයකින්.

“මලිත් ඔෆිස් එකේ වෙන කෙල්ලෙක් එක්ක පැටලිලද?”

ඒ බය චේතනා දන්නෙවත් නැතුව මලිත්ව සැක කරන තැනකට ඇවිත් තිබුණා.

“මම ඔයාට කී දවසක් කිව්වද ළමයො ඔෆිස් එකේ අලුතෙන් ආපු ඕවර්සීස් ඕඩර් එකක් නිසා අපිට මේ දවස් ටිකම බිසී කියල.

ඇයි ඔයා මම ඒක නොකිව්ව වගේ හැසිරෙන්නේ?

මම මොනතරම් මහන්සි වෙලාද ගෙදර එන්නෙ? මම ගෙදර එන්නෙ නිදාගන්න බලාගෙන. ඔයාට පොඩ්ඩක්වත් තේරෙනවද මට දැනෙන මහන්සිය මොන තරම්ද කියලා”

“ඇයි මලිත් ඔහොම බොරු කියන්නේ?ඔයා හිතන්නේ මම මේ ඔයා තරම් ලොකු රස්සාවක් නොකරට දෙයක් තේරුම් ගන්න බැරි ගෑණියෙක් කියලද?

මේ පහුගිය අවුරුදු පහටම තිබ්බෙ නැති බිසී එකක් දැන් කොහෙන්ද ඔයාට ආවෙ

කාවද ඔයා මේ රවට්ටන්න හදන්නේ?”

මලිත් හිටියෙ පුදුමාකාර මහන්සියක.

පහ්‍ය්ගිය කොවිඩ් කාලෙ වැටිල තිබුණ ඇපරල් ට්‍රේඩ් එක යන්තම් හරි පණ ගහන්න ගත්තෙ මේ මෑතකදි. මොකද්දෝ වාසනාවකට ආව ඕවර්සීස් ඕඩර් එකක් වෙන කම්පනි එකකට යන්න නොදී තමන් ළඟටම ගන්න මුලු හයි ටෙක් ලංකා ඇපරල් එකේ මැනේජ්මන්ට් ස්ටාෆ් එකම පුදුමාකාර විදියට මහන්සි වුණා.

රෑ තිස්සෙ තිබුන ඉන්ටර්නැශනල් කෝල්ස්, මීටින්ග්ස් එක්ක ගෙවිල ගිය දවස් ටිකේ තමන්ට චේතනා ගැන වෙනදා වගේ හොයන්න බලන්න බැරී වුන එක වරදක් බව දැනගෙන හිටියත් මලිත් හිටියේ කරගන්න වෙන දෙයක් නැතුව.

තමන්ගෙ රස්සාවෙන් තමයි තමන්ගෙ ගෙදර වගේම චේතනාගෙයි මලිත්ගෙයි අම්මල තාත්තලට වුණත් උදව් පදව් කරගෙන දෙන්නා සන්තෝසෙන් හිටියේ.

ඒ හැම කරදරයක්ම අස්සෙ චේතනා මේ අලුතෙන් පටන් ගත්ත විකාර එක්ක මලිත් උන්නෙ පුදුම තරම් ලොකු පීඩනයක. එහෙන් ඔෆිස් එක මෙහෙන් චේතනා. මේ දෙකම තමන්ගෙ ජීවිතේට අනිවාර්‍යෙන්ම ඕන. 

එක පැත්තක් තෝරගන්නත් බෑ චේතනා තමන්ව තේරුම්ගන්නෙත් නෑ.

අනික් අතට චේතනා හිටියෙත් පුදුමාකාර වේදනාවක.

වෙනදට නිදාගන්න ගියාම පැය ගණන් කතා කර ෆිල්ම් බලන මලිත් දැන් ගෙදර එන්නෙම නිදාගන්න බලාගෙන. වෙනදට දෙන්නම එකතුවෙලා කෑම කනවා. මලිත්ට කලින් ගෙදර එන චේතනා කෑම හදාගෙන මලිත් එනකම් බලාගෙන ඉන්නව කන්න. ඒත් දැන් ඒ කිසි දෙයක් නෑ. මලිත් ගෙදර එනවා මහන්සි කියල නිදාගන්නවා.

“කසාද බැඳපු ගෑණියෙක්ට තමන්ගෙ හස්බන්ඩ් ඉද්දිම මේ තරම් පාලුවක් දැනෙනවනම් ඒ කසාදෙන් වැඩක් තියෙනවද?”

දුක දරාගන්න බැරිම තැන චේතනා එහෙම මේ ප්‍රශ්නෙ ගැන බෙදාගත්තෙ තමන්ගේ හොඳම යාලුවා වුණ අංජලී එක්ක.

“මට හිතෙන්නේ මලිත් වෙන කාත් එක්ක හරි අෆෙයාර් එකක් තියෙනවා. නැත්තම් මැරි කරල අවුරුදු පහක් ගියාට පස්සෙ එකපාර මෙහෙම බිසී වෙන්න පුලුවන්ද?”

මලිත් – චේතනා ආදර කතාවෙ මුල ඉඳලම කොටස්කරුවෙක් වුණ අංජලී චේතනාව මගේ ළඟට මනෝ උපදේශනයට යොමු කලේ ඒ විදියට.

චේතනා හිටියේ තමන් ආදරේ කරල විවාහ කරගත්ත සැමියා කාර්‍යබහුලත්වය නිසා තමන්ගෙන් පොඩ්ඩක් ඈත් වීම ගැන වේදනාවකින් සහ සැකයකින්. වේදනාවට වඩා එතන ප්‍රභලවම තිබුණෙ සැකය. තමන්ගෙ සැමියා තමන්ට දැන් ඉස්සර තරම් ආදරේ නොකරන්නෙ වෙනත් කාන්තාවක් ඔහුගේ ජීවිතේ ඇතුලෙ ඉන්නවා කියල හිතේ ඇතිවුණ සැකය.

ආදරයකදි හෝ විවාහයකදි සැකයක් තිබිම ලොකුම ලොකු ප්‍රශ්න ඇති කරන්නක්.

“මලිත් පහුගිය සති කීපයේ ඔයාට ආදරේ පෙන්නුවෙ අඩුවෙන් කියන කතාවට මම එකඟ වෙනවා. මලිත් කියනවනෙ එයා බිසී නිසා තමයි එහෙම වුණේ කියල. ඔයා ඇයි ඒක පිළිගන්නෙ නැතුව මලිත් ඔයාව රවට්ටනවා කියල හිතන්නේ?”

මම චේතනා එක්ක කතා කරන්න පටන් ගත්තේ ඒ ප්‍රශ්නෙත් එක්ක.

“අපි කසාද බැඳල දැන් අවුරුදු පහක්. මේ අවුරුදු පහක කාලය ඇතුලෙත් මලිත් වැඩ කලේ ඔය කම්පනි එකේමයි. ඒත් මේ පාර මෙහෙම වෙනකම් මීට කලින් කවදාවත්ම එහෙම දෙයක් එයා අතින් වෙලා නෑ. මට හිතුනෙ ඒකයි එයා මාව රවට්ටනවා කියලා”

“ඔයාට හිතුනේ නැද්ද අවුරුදු පහක් තිස්සේ ඔයාට වචනයකින්වත් වරදක් කරේ නැති, ඒ වගේම මේ ප්‍රශ්නෙ වෙලාවෙදි ඔයා එයාව සැක කරනව කියල දැනගත්තම වුණත් බොහොම ඉවසීමකින් කටයුතු කරපු මලිත් ඇත්තටම පහුගිය ටිකේ ටිකක් ඈත් වෙලා හිටියෙ එයා ඇත්තටම, අවංකවම බිසී නිසා කියලා?”

මගේ ඒ ප්‍රශ්නයත් එක්ක තමන් අතින් නොකිවිය යුතු බොහෝ දේ මලිත්ට විරුද්ධව කියවුණු බවට වගේම තමන් මේ ප්‍රශ්නෙ දිහා බැලුවෙ වැරදි කෝණයකින් කියන එකත් තේරුම් ගන්න චේතනාට පුලුවන් වුනා.

මේ වගේ අවස්තාවන්වලදි සැමියන් බිරින්දෑවරුන්ව රවටන කතා බොහොමයක් අපි අහලා දැකලා තියෙන නිසා ඉතාම ඉක්මනින් අපි ඒ වගේ තීරණ වලට එලඹෙනවා.

ඒ වුනාට හැම ප්‍රශ්නයකටම අපි දකින කතාවට වඩා වෙනස් කතාවකුත් තිබෙන බව අපි තේරුම් ගන්න ඕන.

චේතනාගේ හිතේ සැකය නිසාම ඇය මලිත් ගැන හොයල බලද්දි ඇයට දැනගන්න ලැබුණා ඇත්තටම ඇය මලිත් දිහා බැලුවෙ වැරදි ඇසකින් කියලා. කාලෙකට පස්සෙ ඔෆිස් එකට ආව විශාල ඕඩර් එකක් නිසා තමයි මලිත් ඇත්තටම කාර්‍ය බහුල වෙලා තිබුණේ.

ඉතින් චේතනාවට උවමනා වුනා දැනගන්න ඒ වගේ වෙලාවක බිරිඳක් විදියට රාජකාරි කටයුතු බහුල කාලෙක වුනත් තමන්ගෙ සැමියා එක්ක හොඳ සබඳතාවයක් අරගෙන යන්නෙ කොහොමද කියන එක ගැන.

ආදරේ හිතේ හංගන් ඉන්න තරමට ඈත් වීම වැඩියි සහ ආදරේ පෙන්නන තරමට, ආදරේ කියන තරමට එකිනෙකාට ළං වෙන්න පුලුවන් බව අපි ඕන තරම් අහල තියෙනවා. 

ඒ කතාව ඇත්ත. අපි අතර නිතරම කතාබහට ලක්වෙන දෙයක් තමයි මේ Work + Life Balance එක. රැකියාවේ වැඩ ගෙදරටවත් ගෙදර ප්‍රශ්න රැකියාවටවත් අරගෙන යන්න එපා කිව්වට සමහර කාර්‍යබහුල කාල වලදි ගෙදර වෙනුවෙන්, ගෙදර සාමාජිකයන් වෙනුවෙන් අපිට රාජකාරි වැඩ වලට වැඩි කාලයක් වැය කරන්න වෙනවා. 

ගෙදරට වඩා ඔෆිස් එකේ ඉන්න කාලය වැඩි කරන්න වෙනවා.

ඒ වගේ මොහොතකදි අපිට දැනෙනවා නම් “එයා මේ දවස්වල මට ආදරේ දෙන්නෙ අඩුවෙන්, මම ගැන සොයන්නෙ බලන්නෙ අඩුවෙන්” කියල අපි මුලින්ම කරන්න ඕන තමන්ගෙ සහකරුව එක්ක ඒ ගැන බොහොම ඉවසීමකින් කතා කරන එක. 

දෙවනුව ඔහු හෝ ඇය ඉන්න තත්ත්වය ගැන තේරුම් ගන්න එක. සැකයක අංකුරයකට පුලුවන් කාලයත් එක්ක මහ ගහක් වෙන්න. ඒ නිසා සැකය හිතේ පැළකරගන්න කළින් ඔහු ඒ දිනවල ගෙවන කාර්‍යබහුල ජීවන රටාව ගැන පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න.

රාජකාරි ජීවිතය අපහසු කාලයක ගෙදර ජීවිතය පහසු කරන්න. ඔයාටත් පුලුවන් තමන්ගෙ සහකරුවා කාර්‍යබහුල වෙලාවක ලැබෙන ඉඩෙන් ඔයා වෙනුවෙන් යමක් කරන්න, චිත්‍රපටයක් බලන්න, යාලුවෙක් එක්ක එලියට යන්න, පොතක් කියවන්න වගේ දෙයක්.

සමහර දේවල් තියනව කතා බහ කරල වෙනස් කරගන්න ඕන. එකට ඉන්නකොට කරන්න බැරි සහ කරන්න අපහසු. හැබැයි ඒ වෙනස් කිරීම් කරන්න පහසුයි, ඒක කියන හෘදයාංගම විදියත් එක්ක.

ආදරේ කියන්නේ මානසික සහනයක් ලබා දෙන දෙයක් වෙන්න ඕන. එක්කෙනෙක්ට විතරක් නෙවෙයි දෙන්නටම.

හැබැයි අපි හොඳින්ම මතක තියාගන්න ඕන දෙයක් එතන තියෙනවා.

ඒ තමයි මානසික සහනයක් ලබන්න නම් අපි මානසික සහනය ලබා දෙන්නත් ඕන කියන කියන දෙය.

Related Articles

Don't Miss


Latest Articles