සඳක් තනියම  – 8

0
5753

සෞම්‍යාත්,  සුනේත්‍රාත් වූයේ ජයසුන්දර වලව්වේ උඩුමහලේ ය. කිසිවෙකුටත් නොඇසෙන්නට කරන  මෙම කතාබහ මින් විනාඩි කිහිපයකට ඉහතදී ඇරඹූ එකකි.වරින් වර පහත මාලයට යන පඩිපෙළ දෙස බැලුවේ සෞම්‍යාය.සුනේත්‍රා වූයේ පඩිපෙළට පිටුපා ගෙනය.

” අනේ පිස්සුනේ අක්කේ ඔහොම කරනවද මිනිස්සු..ඒ ගෑනිට මොළේ අමාරුවක් තියෙන්න ඕනේ  රස්සාවට යන්නේ නැතුව මේ ළමයෙක් බලාගන්න.තමන්ගේ ළමයෙක් නෙමෙයිනේ..එහෙම කරපු වෙස්සන්තරලා දැන් කාලේ නෑ..ඔය ඔක්කොම ඕකිගේ බොරු.”

” ඒකම තමයි මමත් හිතුවේ.ගෙදරක ගිහින් තියාගෙන , ඔච්චර ගරු නම්බු දීලා රකින්න ..අම්මා කියන්නේ කටපුරා පුතේ කියලලු කතා කරන්නේ..හරි ආදරේලු..”

” මං හිතන්නේ ඔය කෙල්ල අපේ අම්මටත් බොරු කියනවා. ඒ බොරුව කොහොමහරි අපේ කනටත් එනවා කියලා ඒකි දන්නවා.උඹලා නැති උනාට මාව බලා ගන්න කට්ටිය ඉන්නවා කියන එක වෙන්න ඇති කියන්නේ “

” අක්කේ දැන් ඒක නෙමෙයි වැඩේ..අම්මා කියනව නේද මේ දේපළ බෙදද්දී  කසුන් අයියගෙ කොටසත් වෙන් වෙනවා කියලා ඒක සම්පූර්ණයෙන්ම දිනාරාගේ නමට ලියනවා කියල.”

සෞම්‍යා පැවසූයේ යළිත් වටපිට බලනා ගමන්ය.

” ඔව් මමත් එක්කත්  කිව්වා.මමත් ඒ වෙලාවේ බැන්නා.

“අපි බැන්නත් මොනවා කළත් අම්මා ඒවා අහන්නේ නෑ අක්කේ.අපේ එක්කෙනත් හරි කේන්තියෙන් ඉන්නේ..එයා කියනවා අක්කා ඉන්න හින්දා මිසක් මේ වළව්වේ විනාඩියක් ඉන්න හිතෙන් නෑ කියලා මේ කරන අසාධාරණ වැඩ වලට”

” මේකට මොනවා හරි කරන්න ඕනේ. එහෙම කොහොමද තමන්ගේ දේවල් කාටවත් ඕන විදිහට දාල ගිහින්”

” මටත් නින්දක් නෑ අක්කේ මමත් දහ අතේ කල්පනා කරනවා ඒ වුනාට කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ.එදා අපි හිතුවා කේතකීව වලව්වෙන් පන්න ගත්තොත් මේ ප්‍රශ්න ඉවරයක් වෙයි කියලා.ඒ උනාට ඒකි ගියේ අම්මට ඉනාවක් ගිල්ලවලා..මතකද කේතකී ගෙදරින් ගිය දවස්වල අම්මා ඔයාගේවත් මගේවත් මූණ බැලුවේ නෑ.මේ පොඩි එකී  ඊට හපන්..එයා හොඳම නිලේ බලලා වැ⁣ඩේ දීලා තියෙන්නේ”

” නෑ නෑ එහෙම කියල බෑ. ඉන්නකෝ මං මොනවා හරි දෙයක් කරන්නම් අපේ දරුවන්ට යන්න තියෙන දේවල් ඒකිට දීලා බෑ..අම්මා එ ටික නොහිතනවනම් අපි කතා කරමු..”

” ඒකම තමයි මමත් හිතුවෙ .අක්ක චුට්ටක් හිතන්න කවද හරි අක්කගේ සැප දුක් බලන්න ඉන්නෙත් අපේ දරුවො තුන්දෙනා..හැම තිස්සෙම කියනවා ලොකු නැන්දට තනි වෙන්න දෙන්න බෑ කියලා..අත්තම්මා බලාගන්න ඉන්නෙත් අපේ මෙ දරුවෝ නේද අක්කේ .”

” ඒක මං දන්නවා නංගි..ඒ ළමයින්ගෙ බොරු චාටු කතා නැතිවුණාට බොරුවට ඇගෑළුම්කම් පාන්න නාවට ඒ දරුවන්ගේ හිත්වල යුතුකම් වගකීම් කියන එක හොඳට තියෙනවා.නංගි බයවෙන්න එපා. මං මේකට මොනවාම හරි දෙයක් කරන්නම්..වැඩි අයිතිය තියන පැත්ත කොහොමටත් අම්මට ගන්න වෙනවනේ…”

“අද හෙටම කරන දෙයක් කරන්න වෙයි අක්කේ.ඒ කෙල්ල ගෙදරින් ගියපු වෙලේ ඉඳලා අම්ම නිකං ඉන්නේ සාංකාවෙන් වගේ.අක්කට ඒක දැනෙන්නෙ නැද්ද කියන්න මං දන් නෑ.මට බය අයිතිවාසිකනුත් දීලා ආපහු ගෙන්නව ගනියි කියලා..එහෙම අයිතිවාසිකම් ලැබුණට පස්සේ අක්කටවත් මටවත් කරන්න දෙයක් නැතුව යනව.”

” ඔව්…ඒක ඇත්ත.කරන දෙයක් හෙට අනිද්දම කරන්න වෙයි.නංගි  බය නැතුව ඉන්න මං මේ ගැන අම්මත් එක්ක කෙලින්ම කතා කරන්නම්.මට වඩා දිනාරාව වටිනවා වෙන්න බෑනේ”

එසේ පැවසූ සුනේත්‍රා උඩුමහලේ ලී වැටට වාරු වූයේ දෑත් බැඳගෙනය. උඩු මහලේ සිට බලද්දී පෙනෙන්නේ එක යායට වූ කොළ ඈපැහැය පමණි.තේ වතු වලත් කර්මාන්තශාලාවේත් සියලු වැඩ කටයුතු සොයා බලන්නේ සොහොයුරාය.වැඩිමහල් සොහොයුරා සිටියදී ඔහු ඒවාට මැදිහත් වුවත් දැන් එසේ නොවේ.තනි පාලනය සෞම්‍යාගේ සැමියා අතින් සිදු වේ.තවමත් ගිණුම්කරුවන් සමග එක්ව සියලු ආදායම් වියදම් ගණන් බලන්නේ අම්මාය.

ඉන් කොටසක් කේතකීගේ දරුවන් වෙනුවෙන් වෙන්වන බවත් ඈ දනී..සුනේත්‍රාත්  සෞම්‍යාත් ඒ කටයුත්ත වලක්වන්නට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. ම්ලීනාගේ තීරණ වලට බලපෑම් කලහැකි ක්‍රමය ඈ තවමත් නොදනී.

” මං කියන්න එයාට මේවා බෙදන්න ඕනෙම නෑ.අපේ එක්කෙනාට හැමදේම පැවරුවනම් නිදහස්නේ.අක්කා කොහොමත් ඉන්නේ අපි ලඟ. අක්කාව බලන්නේ අපි .අක්කට දෙයක් දුන්නත් ඒකත් කවද හරි අපේ දරුවන්ට බව අපි දන්නවනේ.අනික අපි අම්මා එළවනවද එහෙම උනා කියලා.මට තේරුම් ගන්න බැරි අම්මගේ මේ විදිහ. වෙන මිනිස්සු නං මේ වෙද්දි තමන්ගේ තියෙන දේපළ දරුවන්ට බෙදලා දීලා බණක් භාවනාවකට යොමු වෙනවා..මේ මනුස්සයා එන්න එන්නම තණ්හාවෙන් මේවා රකිනවනේ අක්කේ.අනේ මං ගැන වැරදියට හිතන්න එපා මෙහෙම කිව්වට..”

” නෑ ..නෑ ඔයා කියන්නේ බොරුවක් නෙමෙයි.මං ඒ ගැන බලාගන්නම්කෝ.හැමදාම අම්මට හිතුමතේට වැඩ කරන්න දෙන්න බෑ නංගි..”

සුනේත්‍රා දෙස  බලා උන් සෞම්‍යාගේ මුවෙහි ඇඳේ ගියේ සැනසුම් සහගත සිනහවකි. බොහෝවිට ඈ ජයග්‍රහණය ලැබුවේ නෑනන්ඩියගේ සිතට විෂ පිරවීම තුලින්ය.ඉන්පසු ඈ වයින් කල  බෝනික්කියක සේ මිලීනා සමග ආරවුල් ඇතිකර ගනී.බොහෝ විට ඒ ආරවුල් කෙලවර බලාපොරොත්තු වූ ජයග්‍රහණය නොවූවත් යම් තරමක හෝ දිනුමක් විශ්වාසය.

********========*******======****===

සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ යුවතිය ආපසු පැමිණියේ සතුටින්ය.කාලාන්තරයක් තිස්සේ සිතෙහි වූ බලාපොරොත්තුවක් ඉටු වූවාවන් සැනසීමක් ඇයට දැනෙන්නට විය.මේ ඇය පසුගිය කාලයේ හිතා මතාව වළ දැමූ ප්‍රාර්ථනාය.

ප්‍රියංකා ආන්ටි  කෙසේ කීවත් අකලංක යනු මදක් ආඩම්බර තරුණයෙකු යැයි ඇයට සිතුනේ ඔහුගේ හැසිරීම නිසාය.අඩුම තරමේ ඔහුගෙන් කාරුණික සිනහවක්වත් ලැබුනේ නැත.එහෙත් මහින්ද සර් සේම විශ්ව සර්රුත්  කාරුණික පුද්ගලයන් විය.ඒ සියල්ලන්ටම වඩා විශ්ව සර්ගේ පුද්ගලික ලේකම්වරියයැයි හැඳින්වූ හිමාෂා ඇගේ සිත් ගත්තාය.  ආපසු නැගිට පැමිණෙද්දී ඒ පසුපසින්ම පැමිණි ඈ  දිනාරාට සුභ පැතුවේ සිප වැළඳ ගෙය.

” මෙහේ  වැඩ කරන්න අමාරු නෑ.ඔෆිස් එකේ අයත් හරිම හොඳයි.දැන් මටත් හොඳ යාළුවෙක් ලැබුණ වගේ සතුටක් දැනෙනවා.මං කියන්නම් මොනවද ඔයා කරන්න ඕනේ කියලා…”

ඇය තවදුරටත් එසේ පැවසූයේ යම්  බියක් චකිතයක් සිතෙහි වූවානම් එයත් පලවා හරින්නට සේය.

 මාර්ගය අයිනේම ප්‍රසිද්ධ නමක් සහිත බේකරි අවන්හලකට ඇතුළු වූ යුවතිය කුඩා චොක්ලට් කේක් එකක් මිලට ගත්තාය.කාර්යාලයෙන් වැටුපක් ලැබුණු පසුව නිවසට එළවලු, පලතුරු ,මස් මාළු ගෙන ඒම තමා විසින් සිදු කළ යුතුයැයි දිනාරා සිතුවේ ආපසු එන ගමනේදීය.තමාට මේ සා වටිනාකමක් දුන් ප්‍රියංකා ආන්ටිට තව දුරටත් වියදම් කරන්නට ඉඩක් නොදිය යුතුය.දැනටමත් ඇය තමාත් මල්ලීත් වෙනුවෙන් කරන්නේ අන් කිසිවෙකුගෙන් අපේක්ෂා කල නොහැකි තරම් වූ කැපකිරීමකි.

” ගෙදර වියදමට සල්ලි දෙනවා ඇරෙන්න ඔයාගේ එකවුන්ට් එකටත් අත්තම්මා හැම මාසෙකම සල්ලි දානවා.ඒ ගාන කීයක්ද කියන්න නම් මම දන්නෙ නෑ සුදු මැණිකේ.ඒක මේ වත්තෙන් එන ආදායම බෙදුවාට පස්සේ ලැබෙන අපේ කොටසලු…”

අම්මා කිහිප වරක්ම එසේ පවසා තිබුණත් අත්තම්මා කිසි දිනක බැංකු ගිණුමක් ගැන දිනාරා හා කතා කලේ  නැත.ඒ වෙනුවට වියදමටයැයි පවසා ඕ වරින් වර දිනාරා අත මුදලක් තැබුවාය.එහෙත් ඇයට වලව්වේදී වියදමක් වූයේ නැත.ඉඳහිට ඇඳුමක් පැළදුමක් මිළදී ගන්නටවත් ඈ නිවසින් පිටතට නොගියාය.එනිසාම සය මසකට ආසන්න කාලයක් එසේ තමාට ලබා දුන් මුදල් මෙවේලෙහි දිනාරා අත වේ. එළවළු කඩයක් පසු කරගෙන යද්දී ත්‍රී රෝද රථය නවතන්නයැයි පැවසූ යුවතිය දින කිහිපයකට සෑහෙන්නට එළවලුත්, පළතුරුත්  මිලදී ගත්තාය.ඇය කොහොමටත් යුතුකම් වගකීම් ඉටු කරන්නට ප්‍රිය කළ යුවතියකි..තමා හා ජීවිතයේ සතුට විඳින්නට ඇයට නොහැකි වූයේයැයි සිතෙද්දී දිනාරාගේ දෑස් තෙත් වූයේ කඳුළකින්ය.

” මම මේ කෙල්ල එනකල් බලන් ඉන්නවා ඔයා  මේ අතින් කටින් උස්සගෙන මොනවද පුතේ මේ “

” ලොකු දෙයක් නෑ ආන්ටි. මම එළවළු ටිකකුයි චූටි කේක් එකකුයි ගත්තා.”

” පළවෙනි දවස හින්දා සමාව දෙන්නම්. ආයෙ මෙහෙම කරන්න එපා පුතේ.අපි දෙන්නටයි මේ කිරි සප්පයාටයි ලොකු වියදමක් යන්නේ නෑ.ඔයාට හම්බ වෙන දෙයක් තියෙනවානම්   ඒක ඉතුරු කරන්න  ඕනේ ඔයාගේ අනාගතයට.අපි මොන තරම් දේවල් අපේ ජීවිතයට ලං කර ගත්තත් සමහර වෙලාවට මුදල් වලින් ලැබෙන වටිනාකම ඒ කිසි දෙයකින් ලබාගන්න බැරුව යනවා පුතේ…ඔයාට සල්ලි ඉස්සරහට ඕන වෙයි.”

එවර ප්‍රියංකා පැවසූයේ යුවතියගේ හිස අතගාමින්ය.ඕ යුතුකම් වගකීම් හොඳින් හඳුනන යුවතියක වග ඈ දැන උන්නාය. ඈ සංවේදීය.

තනිව ජීවත් වූ ප්‍රියංකාට එතරම් වියදමක් වූයේ නැත.එනිසාම මාස් පතා ලැබෙන වැටුපෙන් සැලකිය යුතු මුදලක් බැංකු පොතෙහි ඉතිරි විය.ඇය මුදලින්  උදව් උපකාර කල අයත් බොහෝ විය.දුකකට වූයේ සැමදාමත් සිත පෙලූ තනිකමය..ප්‍රියංකාට විවාහ යෝජනා ගෙන එන්නට අදටත් වෙහෙසවන මිතුරියන් පිරිසක් ඇයට වේ. කෙදිනක හෝ ඈ තනි වේයැයි බියක් ඔවුන් තුල විය.එහෙත් ඕ  නන්නාඳුනන පිරිමියෙකු විශ්වාස කරන්නට බිය වූවාය.එහෙත් දැන් ඇයට තනිකමක් නොදැනේ.රැකියාවට නොගියාට කරන්නට වැඩ ඕනෑ තරම්ය.කේතකීගේ පුතාත් , දුවත් ඇයට ගෙන ආවේ රටක් රාජ්‍යක් දිනූ සතුටකි.

” මට තේජා කතා කළා පුතේ.අපිව විශ්වාස කරලා ඔයාට දුන්නේ කොලිෆිකේෂන් ගොඩක් තියෙන්න ඕන කෙනෙකුට දෙන විදිහේ තනතුරක් කිව්වා.වැඩියෙන්ම ඔයා විශ්වාසෙන් කරන්න ඕන වැඩක් කිව්වා පුතේ..”

” ඔව් ආන්ටි මටත් පුදුම හිතුනා.විශ්ව සර්ගේ සෙකට්‍රි තමයි මාව බාර දුන්නේ.එයානම් මට වඩා ගොඩක් එඩියුකේටඩ් කියලා මට හිතුණා. ආන්ටිගේ ගෝලයා නම් ටිකක් ආඩම්බරයි වගේ.ඒත් අනිත් සර්ව දෙන්නම හරිම හොඳයි.ඔෆිස් එකේ වැඩ කරන අයත් හරිම හොඳයි කියලා හිතුනා..අපේ තේ පැක්ට්‍රිවල වගේ නෙමෙයි.ඒ මිනිස්සුන්ගේ මුහුණුවල හරි ලස්සන හිනාවක් තියෙනවා.”

” හිනාව කියන්නේ ඉනාවක් කියනවනේ පුතේ.එහෙම තමයි පුතේ.. හොඳ මිනිස්සුන්ට එකතු වෙන්නේ හොඳ මිනිස්සුම තමයි.නරක මිනිස්සු ඒ අයට එකතු වුණත් හරි ඉක්මනට වෙන් වෙලා යනවා.මොකද ඒ දෙක පෑහෙන් නෑ කවදාවත් “

” එන්න  අපි කෑම කමු. පුතාට මහන්සි ඇතිනේ.මාත් කියව කියවා ඉන්නවා..”

” මෙයා වද දුන්නද ආන්ටි “

ප්‍රියංකා පිටුපසින් ඇවිදගිය යුවතිය නතර වූයේ විසිත්ත කාමරය මැද සෙල්ලම් කරමින් උන් සොයුරා අසලය.

” අනේ නෑ ඒ වද දෙන දරුවෙක් නෙමෙයි නේ.එයා දැන් බණ්ඩිෆුල් වෙන්න කාලා ඉන්නේ.පුතේ දැන් මල්ලි දණ ගාන්න හදනවා.මම ඔයාට කියන්න හිටියේ අපි මේ සෙටි එක පැත්තකට කරලා එයාට ඕන කරන ඉඩ හදලා දෙමු කියලා…”

” එයා හරි ඉක්මනට ලොකු උනා ආන්ටි.අම්මා නැති උනහම මං වැඩිපුරම ඇඬුවේ මල්ලි හදාගන්න බැරි වෙයි කියන බයට.මට හිතුනා එයත් අපිව දාල යයි කියලා.ඒ තරම් චූටි බබෙක් ලොකු කරන්නේ කොහොමද කියලා මං දැනන් හිටියේ නෑ..”

” කාලිංග කතා කරන්නෙම නැද්ද පුතේ..”

” අපි කොළඹ එන්න තීරණය කළා කියලා අත්තම්මා කියලා තිබුණා.මොකක්දෝ හේතුවකට අම්ම නැති උනාට පස්සේ කාලිංග අංකල් මල්ලි දිහා බලන්නවත් කැමති වුණේ නෑ.ඒ උනාට එයා මල්ලිගෙ වියදමට ඉදල හිටලා  සල්ලි දෙනවා.අත්තම්මා මල්ලි වෙනුවෙන් එකවුන්ට් එකක් ඇරලා ඒ සල්ලි ඒකට දානවා..”

“සල්ලි මොකටද පුතේ..අම්ම කෙනෙකුට කරදරයක් උනහම දරුවන් රැක බලා ගන්න එක තාත්තා කෙනෙක්ගේ වගකීමක්.තාත්තා කියන අකුරු තුන හිස් අකුරු තුනක් නෙමෙයිනේ මගේ පුතේ.සමහර තැන්වලදී තාත්තා කෙනෙක් වෙන්න අම්ම කෙනෙකුටවත් අම්මා කෙනෙක් වෙන්න තාත්තා කෙනෙකුටවත් බෑ.දරුවෙකුට ඒ දෙන්නම ඉන්න ඕනේ කියලා කියන්නේ ඒ නිසයි.කාලිංගත් අම්ම බලාපොරොත්තු වුණු පිරිමියා නෙමෙයි පුතේ. මට කේතකීගැන ලොකු දුකක් හිතේ තියෙන්න ඒ නිසා…”

” කාලිංග අන්කලුයි  අම්මයි සතුටින් හිටියා ආන්ටි.”

යුවතිය එසේ පැවසූයේ ප්‍රියංකා පැවසූ වදන් විශ්වාස කල නොහැකි කමකින් සේය.ඒ දෑස් විසල්ව තිබිණ.

“ඒ අපිට පෙනුණ  විදිහ පුතේ.කාලිංග කියන්නේ හරි සෝමාරි මනුස්සයෙක්.ඇත්තටම කිව්වොත් ඒ මනුස්සයා ජීවිතේට මුහුණ දෙන්න බයයි.එයා මැරේජ් ලයිෆ් එකක් ගැන නොහිතා තිබුනෙත් ඒ නිසා.ඔයාගේ අත්තම්මගෙයි, එයාගේ අම්මගෙයි උවමනාවට විතරක් සිද්ධ උන කසාදයක් ඒක. ගොඩක් තැන්වලදී කාලිංග ජීවත්වෙන්න පැතුවේ ඔයාගේ අම්මගේ හයිය.මං කියන්නේ කාලිංග නරක මිනිහෙක් කියලා නෙමෙයි.ඒත්..ගෑණියෙක්ට ජීවත් වෙන්න ලේසි මිනිහෙකුත් නෙමෙයි.හරියට පතෝල වගේ.ගුණත් නෑ අගුණත් නෑ.

පවුලක පිරිමියෙක් තාත්තා කෙනෙක් කියන කෙනාට ලොකු වගකීමක් තියෙනවා පුතේ.අත්තම්මට අන්න එතනයි වැරදුනේ.අත්තම්මා හිතුවේ ඔයාගේ අම්මට පිරිමියෙක් ඉන්න ඕන කියල විතරයි.එහෙම නැතුව පවුලක් රකින්න වගකීමක් දරන්න පුළුවන් පිරිමියෙක් ඉන්න ඕනෙ කියල නෙමෙයි. අම්මගේ ලස්සන ගැන ආත්තම්මට හැමදාම තිබුනේ බයක්.පුතා දන්නවනේ කාලිංග අංකල් ජීවත් වුණෙත් අත්තම්මා ඔයාගේ අම්මට දෙන සල්ලි වලින්.අත්තම්මා හැම වෙලාවකම කිව්වේ මට ඒ පවුලේ ජීවත් කරන්න පුළුවන් අම්මගේ ආරක්ෂාවට  පිරිමියෙක් ඉන්න ඕන කියලා.”

” අපේ අම්මා පව් ආන්ටි…”

” අපි ඒ දේවල් ගැන හෙමිහිට කතා කරමු පුතේ…මං මේ දේවල් කිව්වේ ඔයාගේ හිතේ වෛරයක් ඇති කරවන්න නෙමෙයි.ඔයාට ජීවිතේ වටිනම තෝර ගැනීම් ගැන කියලා දෙන්න.එන්න බත් කාලා ඉමු. ඔයාට බඩගිනි ඇති.ඔයා ආස නිසා මම ගොටුකොල සම්බෝල හැදුවා..”

එවර ප්‍රියංකා පැවසූයේ කුඩා මුළුතැන් ගෙය  දෙසට ඇවිද යමින්ය.ඈ පැවසුන් වදන් ඔස්සේ දිගු දුරක් සිතා බැලූ දිනාරා සැබවින්ම අම්මා සතුටින් සිටියාදැයි සිතන්නට වෙහෙස වූවාය.සමහර දිනක අම්මා කල්පනා කරමින් පසු වූ අයුරු ඇයට සිහි වූයේ එවේලෙහිය.කාලිංග බාප්පා දවස තිස්සේම නිවසේ රැඳී සිටියේය.’බාප්පා තවම රස්සාවක් හොයනවා පුතේ..’

තමා කිසිවක් නෑ සුවත් අම්මා කිහිප වරක්ම එසේ පැවසූ අයුරු දිනාරාට සිහි වූයේත් ඒ හදිසියේය.

පිරිමියෙකු තමා රකිනු දැකීමට ඕනෑම ගැහැණු සිතක් කැමතිය. දරු පවුලක් ආරක්ෂා කිරීම පිරිමියකුගේ වගකීමක් යැයි සමාජය විසින් පවසන්නේ එනිසාය.එය යුතුකමකි.වගකීමකි.

දෙවැනි වරත් විවාහයකදී අම්මා අපේක්ෂා කළ සතුට හෝ සැනසීම කෙටි කාලයකටවත් ඇයට නොලැබුණායැයි සිතද්දී දිනාරාට ඇති වූයේ දුකකි. ඕ සිනහසෙමින් සිටියේ තමාට  පෙනෙන්නට විය යුතුය.දිගු සුසුමක් හෙලා ඕ නැඟී සිටියේ මල්ලීව යළිත් බිම එලා තිබූ කලාලය මත තබමින්ය.ඒ ප්‍රියංකා විසින් ‘ පුතේ බත් කමු..’ යයි දෙවන වරටත් පැවසුවාට පසුවය.

======***-***====******=====******=

තාත්තාට බොරුවක් පවසා කාර්යාලයෙන්  නික්ම ගිය අකලංක යළිත් පැමිණියේ මධ්‍යම රාත්‍රියත් ගෙවී ගියාට පසුවය.රාත්‍රී කෑම මේසයේදීත් ඔහු ගැන කෝපයෙන් කතා කළ තාත්තා වෙනදාට වඩා වේලාසනින් නිවසේ දොරවල් වසා දැමුවේත් නින්දට ගියේත් අකලංක නිවසට පැමිණියාදැයි කියාවත් නොඅසම්න්ය.හඬක් නොඇසෙන්නට විසිත්ත කාමරයක් එලවරක වූ ජනේලයක් ඇර ඔහුව නිවස තුළට ගත්තේ විශ්වය.

” බ්‍රදර් තාම නිදි නැද්ද…”

” මං නිදා ගත්තනම් තමුසෙට අද වෙන්නේ බල්ලත් එක්ක බලු කූඩුවේ නිදාගන්න තමයි.මොනවද හලෝ මේ වැඩ.එක්කෝ යන තැනකින් රෑ වෙන්නේ නැතුව ගෙදර එන්න ඕනේ.”

” ඉතිං වෙනදට මේ දොරවල් ඇරලනේ  තියෙන්නේ..”

” වෙනදට ඇරලා තිබුණට අද ඉඳලා තමුසෙට මේ දොරවල් වැහිලා.එනව  යන්න තාත්තට අහැරුනොත් මටත් එක්ක බැනුම් අහන්න වෙනවා.කරන්න ඕන ඔක්කොම කරලා මෙතන තවත් කියවනවා.”

” සොරි බ්‍රදර්..”

” මට සොරි කිව්වා කියලා තමුසෙගේ  ජීවිතේ හැදෙන්නේ නෑනේ.හෙට ඉඳලවත් පිළිවෙලකට ඔෆිස් එනවා.”

” සලකා බලන්නම්…”

එසේ පැවසූ තරුණයා උඩුමහලට දිව ගියේ විශ්වගේ හිසකේ අවුල් කර දමමින්ය.

( යළිත් හමුවෙමු ආදරයෙන්.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here