Not Without You – 4

0
6657

සචින් අයියාත් මාත් හැදුණේ වැඩුණේ එකට ම වාගේ ය. ඒ කියන්නේ අප නිතර ම එකට සෙල්ලම් කරමින් සිටි බවක් නොවේ. ඔහු මට වැඩිය වසර දෙක තුනක් වැඩිමහල් වූයේ ය. අපේ ගෙදර එක ම ළමයා මා වූවාට ඔහු ගේ ගෙදර ළමයි තිදෙනෙක් වූහ. සචින් ගේ අක්කා ඔහුට වැඩිය වසරකින් වැඩිමහල් ය. මල්ලි මගේ වයසේ ය. අප උගත්තේ විවිධ පාසල් වල වූ අතර එකට පාසල් යාමක් ද සිදු නොවූයේ තාත්තා මාව හැම දිනෙක ම පාසලට ඇරලවූ බැවිනි. අම්මා රියදුරු සමගින් පාසල ළඟට ගොස් දවල්ට මා ගෙන ආවා ය. අප එකට ගියේ ගමේ දහම් පාසලට ය. ඊට අමතරව එලකියුශන් පන්තියකදී අපි එකට සිටියෙමු. ඔහු ට නංගියෙකු නො සිටියෙන් සචින් නිතර මට විහිළු කළේ ය. මගේ කොණ්ඩයෙන් ඇද්දේ ය.  පින්ක් ගර්ල් නැතහොත් රෝස පාට ගෑනු ළමයා යන නම ඔහු විසින් මවෙත පටබඳිනු ලැබූයේ අපේ නව යොවුන් වියේදී කියා මට මතක තිබේ. ඒ කාලේ රෝස පාට මගේ ප්‍රියතම පාට විය. මා ඇඳුම් තෝරා ගත්තේ රෝස පාටින් පමණක් තරමි. කොණ්ඩා පටි කොණ්ඩා කටු පමණකුදු නොව බෑග්, පාවහන් යනාදිය ද වැඩිපුර වූයේ රෝස පාටිනි.

සචින් අයියා ඔහු ගේ ම නංගියෙකුට සේ මට ආදරය කළේ ය. යම් කිසි දිනයෙක අප අතරේ පෙම් සබඳකමක් ඇති වෙතැයි අසල්වැසි ළමයින් සිතා සිටි බව මා දැනගත්තේ පසුවයි. නමුත් මට සචින් ගැන සහෝදරත්වය ඉක්මවූ හැඟීමක් කිසි දා ඇති වී නොමැති බැව් ඉඳුරා පැවසිය හැක. උසස් පෙළ කාලේදී ඔහු අපේ පාසලේ අක්කා කෙනෙකු සමග පෙම් සබඳකමක් ඇති කරගත්තේ ය. ඔවුන් අතරේ ලියුම් හුවමාරුව සිදු කරන ලද්දේ ද මවිසිනි. නමුත් ඒ සම්බන්ධය කාලයකදී බිඳී ගිය අතර පසුව සචින් විවාහ වූයේ වෙනත් තරුණියක සමගයි. ඒ අවස්ථාවේ මගේ බලාපොරොත්තු සුන් වී ගියේ ය. ඔහු මගේ අයියා ලෙස පිළිගෙන සිටියේ වී නම් මා මගේ සොයුරිය ලෙස බලාපොරොත්තු වූයේ අපේ පාසලේ සිටි ඔහුගේ පෙම්වතියවයි. ඇය සැබවින් මට ආදරය කළා ය. නමුත් දැන් සචින් ගේ බිරිඳ කවර හේතුවක් මත ද මන්දා වැඩිය මා රුස්සන්නේ නැති බව මම දනිමි. ඈ හින්දා සචින් හා මා අතරේ ඉස්සර වූ සමීප බැඳීම ද දුරස් වී යන්නට ඇත.

නමුත් මගේ තාත්තා ද මරණය සමගින් යන්නට ගිය වෙලාවේ ඔහු මගේ ම සොයුරෙකු සේ ළඟින් සිටියේ ය. සියල්ල සොයා බලා කළේ ය. තාත්තා ට හදිසි හෘදයාබාධයක් සෑදුණු වෙලාවේ මගේ කාමරයේ ජනේලයෙන් මා කෑගසා කතා කළේ ද සචින් අයියා ට ය. ඔහු දිවගෙන විත් තාත්තා ව හරහට ඔසවාගෙන ගොස් රියට දමා ගත් අයුරු කිසි දා මගේ මතකයෙන් බැහැර නොවේ. නමුත් තාත්තා යළි පණ පිටින් ගෙදර ආවේ නැත!

“සකී…”

සචින් අයියා මගේ හිස් මුදුනෙහි අතක් තබා කතා කළේ ය. මා අතීතයෙන් වර්තමානයට පිවිසියේ ඒ වෙලාවේයි. මගේ ඇස්  කඳුළු වලට දිළිසෙන්නට ඇත. බොහෝ කාලයක් සචින් අයියා මට අහිමි වී තිබී ඇති බව සිහි වූයේත් ඒ වෙලාවේ ය. ඔහු ඔය මගේ හිස මත අත තබා කතා කළේ වසර ගණනාවකට පසු විය යුතු ය.

“මට පරණ දේවල් ටිකක් මතක් වුණා. අපේ පොඩිකාලෙ… එතකොට තාත්ත සනීප නැතිවුණ වෙලාව…”

“ඒයි පින්ක් ගර්ල්”

කියමින් ඔහු මගේ හිස් මුදුන පිරිමදිමින් ම උරහිස වටා අතක් දමාගත්තේ ය. කාලයක් තිස්සේ නැති වී සිටි සහෝදරයෙකු හදිසියේ යළි හමු වූවා සේ මට දැනෙන්නට ගති.

“මං ඉන්නව නංගි. ඉස්සර වගේ බෑ තමයි. කසාද බැඳල අපේ ජීවිත වලට වෙන වෙන අය ආවට පස්සෙ සමහර දේවල් වෙනස් වෙනව තමයි. නේද ආච්චා… ඒත් හැමදාම මං ඔයාගෙ අයිය තමයි හරිද…”

හිත පුපුරන්නට හැදුවේ ය. මට අඬන්නට ඕනකමක් ද දැනිණ. නමුත් ඒ හැඟීම් පපුවේ හිර කරගෙන ම මම දෙතොල් තෙරපා සිනහ වීමි.

“එහෙනං අපි ඒ ප්ලේස් එක බලමු නේද සචිය… දෙහිවල ටවුන් එක වගේනං මගෙ වැඩේට අයිඩියල් ඉතිං”

ආදිල් ගේ හඬ මට ඇසුණේ සිහිනයෙන් සේ ය. මා කල්පනා ලෝකයෙහි සිටි අතරේ දී ආච්චා සමගින් ඔවුන් කඩ කාමර දෙක ගැන කතා කරගෙන තිබේ.

“දන්න කෙනෙකුට ඒක දෙන එක කොහොමත් හොඳයිනෙ නේද සකී…”

ඒ ප්‍රශ්නය ආච්චාගෙනි.

“ආච්චා කැමති විදිහක් කරන්න”

මම මිමිණුවෙමි. ආච්චා සිනහවක් නගා ගත්තා ය.

“මං කැමති විදිහක් කරන්න කියන්නෙ… ඒව ඉතිං ඔයාගෙ දේවල්නෙ”

සමහර වෙලාවට දේවල් සිදු වන්නේ අමුතු විදිහට ය. සැබවින් මට අමුත්තක් දැනෙමින් තිබිණ. ඔවුන් අසල සිටියදී මුද්‍රා හා පීහු සිහි වී සිනහ නැගෙන්නට ද ආවේ ය. ඔවුන් දෙදෙනා ඒ නන්නාඳුනන කොල්ලා ව විහිළුවට ගනිත්දී, මේ විදිහට ඔහු මා ඉදිරියට ඒවියි නිකමට හෝ මම සිතුවෙම් ද? ආදිල් ගේ ඇස් සිතිජයක් සේ පැතිරී තිබිණි. මා නිකමට හෝ ඒ දෙස බැලීමෙන් වැළකී සිටියේ සචින් අයියා නිසා බව පිළිගත යුතුව තිබේ. මේ සියල්ල කිසිවෙකු විසින් ලියනා ලද තිර පිටපතක් මෙන් යයි පැවසීම අතිශයෝක්තියක් වන්නේ කෙසේ ද?

“දෙන දෙයියො ගෙදරටම ගෙනත් දෙනව කියන කතාව බොරු නෙවෙයි එතකොට නේ…”

“ඉන්ටීරියර් ඩිසයිනිං කියන්නෙ මාත් ආස ෆීල්ඩ් එකක්. ආදිල් කොල්ල ඇසිස්ටන්ට් කෙනෙක් එහෙම ගන්නැද්ද දන්නෑ නේ…”

“එයා කවුරුහරි මළුවට විසිකරපු අපේ කකුල් ළඟටම පෙරළිල ආපු පඬුරක් කියල හිතෙන්නැද්ද…”

“අපේ… අපේ කියල බහුවචනෙන් කියන්නෙ මොකද්ද… දැක්ක ගමංම මං එයාව අයිති කරගත්ත මතක නැද්ද… දැං එයා රිසර්වුඩ්”

අපේ දුරකතන සංවාදය සිනහ සාගරයක් වූයේ ය. ජීවිතයෙහි නොයෙකුත් මංසන්ධි වල දී, අපි බිඳී ගිය ගැහැනුන් තිදෙනෙකු වන්නෙමු. පීහු දරුවෙකු කරපින්නාගෙන තවමත් විවාහයක් තුළ සිටිය ද ඇය තෘප්තිමත් ගැහැනියකගේ කාණ්ඩයට ගොනු කළ නො හැකි බැව් මම දනිමිච. ඉතින් ඔවුන් සිය තුවාල සහිත හදවත් වල පැලැස්තර අලවාගන්නේ මේ වගේ නො සලකාහල හැකි තරම්  පුංචි දේවල් මත බොරුවට සිනහ වීමෙනි.

“කොහොම හරි කමන්නෑ කොල්ල අපේම අපේම අපේම කරගන්න ඕනෙ සකී”

“ඒ කියන්නෙ අපි තුන්දෙනාගෙමද…”

“ගෲප් ක්ලාස්”

නැවත ද උතුරා දෝරෙ ගලනා සිනහවකි. නමුත් ඒ සරල සැහැල්ලු සිනහ අතරේදීත් මට යම් කිසිවක් දැනෙමින් තිබිණ. යම් කිසි අමුතු දෙයක් සිදු වෙමින් පවතිනා බව දැනෙමින් තිබිණ.

ආදිල් මන්රූ රත්නායක

ඔළුව උඩ පැටවිල තිබුණ ලොකු බරක් බිමින් තිබ්බ වගේ සැහැල්ලුවක් මට දැනුණා. ඒ දෙහිවල හන්දියෙන් ෆර්ම් එකට ප්ලේස් එකක් හම්බවෙන්න නියමිත නිසා. ඒක ඇහැටවත් දැකල නැති තැනක් වුණත්, මගෙ වැඩේට හොඳම තැන ලැබුණා වගේ දැනුණෙ ඇයි මන්ද. අමුතු විදිහට දේවල් සිද්දවෙන්න පටං අරං කියල මට ආයෙ ආයෙම දැනෙන්න වුණා. ඇත්තටම හරි අහඹු විදිහටයි ඒ දේ සිද්ද වුණේ. සකීගෙ ආච්චම්ම පාර ළඟ නොහිටියනං ඒ අවස්ථාව මිස් වෙන්න තිබුණ. හැමදේම වෙන්නෙ හොඳට කියල කතාවට කියනව තමයි. හැබැයි ඒක මගෙ ජීවිතේට ඇප්ලයි වුණේනං පළවෙනි පාරට ද කොහෙද.

නාගෙන එහෙම ඇවිත් මායි සචියයි සචින්ගෙ අම්ම හදපු තේ දෙකත් අරං මට දීල තිබුණ රූම් එකේ බැල්කනි එකට ගියා. වැඩි දවසක් මෙහෙ ඉන්න බෑ කියන එක මං දැනං හිටිය. සචින්ගෙ වයිෆ් මං ඉන්න එක ගැන ලොකු කැමැත්තක් පෙන්නුවෙ නෑ. හැබැයි ෆර්ම් එකට තැනක් හම්බුණොත් රූම් එකක් හොයාගන්නකල් මට එතන වුණත් ඉන්න පුළුවන්.

“අර සකී කියන ගර්ල් උඹත් එක්ක සෑහෙන ක්ලෝස් රිලේශන්ශිප් එකක් තිබිල තියනව වගේ නේද… ඉතිං ඇයි උඹ දැන් එයාගෙන් ඈත් වෙලා ඉන්නෙ…”

සචින් සකී එක්ක කියපු දේවල් එක්ක මගෙ හිතේ ඉපදිලා තිබුණ ප්‍රශ්නෙ මං ඒ විදිහටම එළියට දැම්ම. මට අදාල දෙයක් නෙවෙයි වුණත් ඒක දැනගන්න ඕන වගේ හැඟීමක් දැනි දැනියි තිබුණෙ. සචිය කට කොනකින් හිනාවුණා.

“දන්නැද්ද බං ඉතිං… කසාද බැන්දට පස්සෙ ගෑනු කැමති නෑනෙ තමංගෙ මිනිහ ඒ මිනිහගෙ අම්ම එක්කවත් ළඟ සම්බන්ධයක් තියාගන්නවට”

“මං දෙයක් අහන්න උඹ ඇත්ත කියනවද…”

“අහපං”

“උඹයි සකීයි අතරෙ ලව් අෆෙයා එකක් එහෙම…”

“පිස්සුද බං… සමහර විට අපේ ගෑනිත් හිතනව ඇත්තෙ එහෙම. ඒ වුණාට ඒ කෙල්ල මට මගෙම නංගි වගේ. අනිත් එක… සකීට කොල්ලෙක් හිටිය”

“හ්ම්…”

“මට ඒ කොල්ල ගැන කියලත් තියනව. පස්සෙ බ්‍රේකප් වුණා. ඒ කාලෙදිනං මට සකීගෙ ළඟින් ඉන්න පුළුවන් වුණෙ නෑ”

“එයා තාම මැරි කරල නැත්තෙ එහෙනං ඒ බ්‍රේකප් එක නිසා වෙන්නැති”

“පිරිමි ගැන විශ්වාසයක් ඇති කරගන්න බෑ කියල මට දවසක් කිව්ව. හැබැයි ඒ දෙන්න අතරෙ සිද්ද වුණේ මොකද්ද කියල මාත් හරියටම දන්නෑ. කසාද බැන්දට පස්සෙ අනිත් හැමදේටම වැඩිය පවුල රැකගන්න ඕනනෙ බං. අන්න එතනදි අපිට යාළුවො අත්ඇරිල යනව. ගෑනු තේරුං ගන්නැති මහ ඛේදවාචකයක් ඒක”

මං ඒ මාතෘකාව තවත් ඇදගෙන ගියෙ නෑ. නැත්තං සචින් වුණත් බලයි මං ඔච්චර හාර හාර සකී ගැන අහන්නෙ ඇයි කියල. ඇත්තටම මට එහෙම අහන්න උවමනාවක් නෑ. උන් දෙන්න අතරෙ ළඟ සම්බන්ධයක් තියනව වගේ දැනුණ නිසා ඒක ක්ලියර් කරගන්න වෙන්නැති මට ඕනවෙන්න ඇත්තෙ. නැත්තං දැං මමත් ගිනිපෙනෙල්ලෙන් බැටකාල ඉන්න මිනිහෙක්. කෙල්ලොනං ඕනම නෑ. කණාමැදිරියන්ටත් දැං මං බයයි.

සචින් තේ බීල හිස් කෝප්පත් අරං ගියාට පස්සෙ මං ටික වෙලාවක් ඇඳට වැටිල හිටිය. ඉක්මනට ම කොහෙන් හරි දෙයක් පටන් ගන්න ඕන කියන නො ඉවසිල්ල  මගෙ ඇඟ පුරාම දුවනවයි කියල මට තේරෙනව. සිද්ධ වෙචච හැම දෙයක්ම අමතක කරල අලුත් වෙන්න පුළුවන් හොඳම විදිහ වැඩ කරන එක. දැන් මට ඕන වෙලා තියෙන්නෙ මහන්සි වෙලා වැඩ කරන්න. අලුත් මිනිහෙක් විදිහට ඉපදෙන්න.

ආයෙ මං බැල්කනි එකට යන්න යනකොටම සකී එයාගෙ බැල්කනි එකේ තියන මල් පෝච්චි වගයක් අතට අරගෙන ඒවට එබෙනව මං දැක්ක. එළියට යනව වෙනුවට මං කළේ ජනේලෙ යන්තං වහගෙන ඇතුළට ආපු එක. හැබැයි එයා දිහා නොබලා ඉන්න මට ඕන වුණෙ නෑ. ලොකු බ්‍රේකප් එකක් වෙලා බඳින්නෑ කියල තීරණයක් ගත්තට පස්සෙ වුණත් කෙල්ලො දන්නව සතුටෙං ඉන්න විදිහ. සතුට හොයාගන්න විදි උන් දන්නව. පුංචි පුංචි දේවල් වලින් හරි, මල් පැලේකට එබිල ඒකත් එක්ක කතා කරල හරි සතුටු වෙන්න උන්ට පුළුවන්. ඒ අතිං පිරිමි කොච්චර දුර්වලද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here