පසුදා දිනාරා අවදි වන විටත් ප්‍රියංකා නැගිට බතකුත්, එළවළු වර්ග දෙකකුත් මිරිස් මාළුවකුත් සාදා තිබිණ.උදේම දියනා පිරිසිදු වූ යුවතිය දණහිසින් මඳක් පහළට වන්නට වූ රතු පසුබිමේ සුදු මල් වැටුණු ගවුමකින් සැරසුණාය.එය ටයිට් වර්ගයේ ගවුමකි.කණ්ණාඩිය ඉදිරිපසට වී විනාඩි කිහිපයක් ගතව යනතුරු තමා සමගම දොඩමලු වූ දිනාරා අවසන කෙටි කොණ්ඩය කඩා සමනළ හැඩැති කොණ්ඩා කටුවක් ඒ මත රැදවූවාය.දිගු නොවුනාට ලේයර් හැඩවට කපා තිබූ කොණ්ඩය ඇයට ගෙන ආවේ අපූරු සුන්දරත්වයකි.
” ජීවිතය ගැන ලොකු ලොකු හීන දකින එක මං නැවැත්තුවේ ඔයා මාව දාලා ගියපු දවසේ අම්මේ. මං හිතුවා මල්ලිගෙයි මගෙයි දෙන්නගෙම ජීවිතේ එතනින් නතර වෙයි කියලා.වාසනාවකට අත්තම්මා මාව තදින් අල්ලගෙන හිටියා…දැන් ප්‍රියංකා ආන්ටි …එයා මට ලස්සන හීනයක් පෙන්නනවා අම්මේ. ඔයා වගේම එයා මට ජීවිතේ කියලා දෙනවා.මං දැන් ආසයි ආයෙත් හීන දකින්න.හැමදේම සතුටින් ඉවර උනත් ඔයා නැති අඩුව මගේ ජීවිතයේ හැමදාම තියෙයි.
ජීවිතේ ගැන මොනවා හරි අවිනිශ්චිත බවක් දැණුන නිසාද මන්දා ඔයා දවසක් මට කිව්වා ඔයාට තමයි මල්ලිව බලාගන්න වෙන්නේ කියලා.තමන්ට සහෝදරයෙක් ඉන්නවා කියන හැඟීම කාත් කවුරුත් නැති මම තරම් හොඳට වෙන කවුරුවත් අඳුනන්නේ නෑ කියලත් ඔයා කිව්වා. අපරාදෙ ඔයාට ඉන්න තිබුණේ මීට වඩා ලොකු සහෝදරයෙක් කියලත් ඔයා කිව්වා.ජීවිතේ කවදම හරි මේ වගේ තීරණයක් ගන්න වෙනවා කියලා හිතුවනම් මම දෙවැනි පාරට මැරේජ් එකක් ගැන හිතන්න මේ තරම් පරක්කු වෙන්නේ නෑ කියලත් ඔයා කිව්වා..මං ඔයාට පොරොන්දු වෙනවා අම්මේ ඔයා මාව බලා ගත්ත තරම්ම ආදරෙන් මං මල්ලිව බලා ගන්නවා..ඔයා ගියේ මාව වගකීමක හිරකරලා.මට ජීවත් වෙන්න ශක්තිය දීලා..”
තමාටම මුමුණාගත් යුවතිය සිය දෑස්මත්තේ වූ කඳුලක් පිසදා ගත්තේ ගැහෙන ඇඟිලි තුඩු වලින්ය.අන් කවරදාටත් වඩා ඇයට කේතකීව සිහිවන්නට විය.
දිනාරා ලෝකය බලා පියාසර කරනු දකින්නට මහත් ආසාවක් වූයේ ඇයටය.දිනාරා විශ්ව විද්‍යාලයකට යනු දකින්නට ,රැකියාවකට යනු දකින්නට ආසාවෙන් බලා සිටියේ ඈය.
යුවතිය ආලින්දයට යද්දී පෙරදා සේම ප්‍රියංකා විසින් බුදු පහන තබන්නට අවැසි සියල්ල සූදානම් කර තිබිණ..ඈ යුවතියගේ දෝත මතින් සුදු මල්දමක් තැබුවේ ඒවා පිළිවෙලකට තබා වැඳ නමස්කාර කර යළි හැරෙද්දීය.
” ආන්ටි මේ..”
එවර ඈ දෑසින් පෙන්වූයේ මඳක් එහාට වන්නට වූ කුඩා කබඩය මත තබා තිබූ කේතකීගේ සේයාරුවයි.
” ආන්ටි මේක කවදද ගෙනාවේ..”
අර ත්‍රීවිලර් අංකල්ටම දීල ඊයේ තමයි පුතේ ප්රේම් කරලා ගෙන්නව ගත්තේ.
” මං දන්නෑ මං මේ දේවල් වලට කොහොම පින් දෙන්නද කියලා..”
” මොනවද පුතේ ඔයා මේ කියන්නේ..එහෙම හිතනවනම් මං වෙනුවෙන් අම්මා වෙනුවෙන් එකම එක දෙයයි ඔයාට කරන්න තියෙන්නේ.අත්තම්මා උනත් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ටික..”
” ආන්ටි…..”
එවර යුවතිය ඈ දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය.
” ලස්සනට ජීවත් වෙන්න පුතේ..හැමදේම හරියටම කරන්න…අන්න ඒක තමයි ඔයාගේ අම්මට තෑන්ක්ස් කරන්න පුළුවන් හොඳම ක්‍රමය.”
කේතකීගේ ඡායාරූපයට සුදු මල්දම පළඳවා තත්පර කිහිපයක් ඈ දෙස බලා උන් යුවතිය ආපසු හැරුණේ ප්‍රියංකාව වැළඳගෙනය. ඕ බොහෝ වේලා ගතවනතුරු ඒ ඉරියව්වේම තදින් ඇයව වැලඳගෙන උන්නාය.ප්‍රියංකාගේ සැහැල්ලු ගවුමේ පදාසයක්ම තෙත්ව ගියේ ඒ කඳුළු වලින්ය.ඕ යුවතියගේ හිස අතගෑවේ දයාබරවය.
” ඇයි පුතේ මේ.අද ඔයාට හොඳ දවසක්නේ..ඒ ලස්සන දවසට කඳුළු මොකටද “
” මේ තරම් ආදරයක් මට දරා ගන්න අමාරුයි.ඔයා හරි හොඳයි ප්‍රියංකා ආන්ටි..ඇත්තමයි මෙතරම් හොඳ මිනිස්සු මේ ලෝකෙ ජීවත් වෙනවා කියලා මට විශ්වාස කරන්නත් අමාරුයි.මං මේ අඬන්නේ කෑ ගහලා හිනා වෙන්න බැරි කමට…මං…මං..ඔයාට හරි ආදරෙයි ප්‍රියංකා ආන්ටි”
” අනේ මැණික..හොඳ මිනිස්සු ලෝකේ ඉන්නවා පුතේ.හැම මනුස්සයෙක්ම නරක නෑ.හැබැයි අපේ නරක කාලේ ආවහම අපට හම්බවෙන්නේ නරක මිනිස්සු.ඔයාගේ ජීවිතේ ඒ නරක කාලේ ගෙවිලා ඉවරයි පුතේ..කෝ එන්න..අපි චූටි මේකප් එකක් දාමු.හිනා වෙලා ඉන්න පුතේ.මූණටනම් මුකුත් ගාන්න ඕන නෑ.මේ හම හරි ලස්සනයි.නිරෝගීයි.ඉදලා හිටලා පේෂල් එකක් ක්ලීනප් එකක් විතරක් කරමු. දැනට අපි ලිප්ස්ටික් ටිකක් විතරක් ගා ගමු. පුතේ මං හිතන්නේ එතන ගොඩක් ළමයි අඳින්නේ ඔෆිස් කිට් එකක්.ලස්සන පාට පාට බ්ලවුස් වලට කොට ටයිට් ස්කර්ට් දෙක තුනක් ගමු..එහෙම නැත්නම් ස්ලැක්ස්.ඒ කිට් එකේ අමුතු ලස්සනක් පිළිවෙලක් තියෙනවා.ඔයාටනම් හරි ලස්සනට තියෙයි.”
දිනාරා ඈ පැවසූ සියල්ලටම හිස වැනුවේ නිහඩවය.
මේ පපුව මත්තේ වූයේ බරකි.ඒ දරා ගත නොහී වූ තරම් විසල් වූ ඇගේ ආදරයයි.ඒ මව්වත් උණුසුම සිතෙහි වූ සියළු දුක්ඛ දෝමනස්සයන් වලට දුර ඈතක පා කර හරින්නේ හෙමි හෙමිහිටය.වසර ගණනක් තිස්සේ ජීවිතයේ අහිමි වූ සියල්ලම යළිත් ඇගේ ජීවිතයට ලැබෙමින් තිබිණ.
” අම්මා ඇයි ඔයාට එක සැරයක් හරි නොහිතුනේ හිතුවක්කාර වෙන්න ඕනෙ කියලා.ඇයි ප්‍රියංකා ආන්ටි ගාවට ඇවිත් ජීවිතේ අලුතින් පටන් ගන්න නොහිතුනේ..”
ආපසු හැරුණු යුවතිය මිමිණූයේ කේතකීගේ සේයාරුව දෙස බලාගෙනය.
පෙර දින සේම ත්‍රීරෝද රථයෙන් ඇයව කාර්යාලය වෙත ඇරලවන්නට ප්‍රියංකා ඩයස් අන්කල්ට දුරකතන ඇමතුමක් ලබා දී තිබුණාය.පුදුමය.ඇයට කිසිවක් අමතක නොවේ.
” දවස් දෙක තුනක් යනකල් ත්‍රීවිලර් එකේ යං පුතේ..ඊට පස්සේ හෙමිහිට බස් එකේ යන්න පුරුදු වෙමු..”
දිනාරා නිදා උන් මල්ලිගේ හිස සිප ගත්තේ ඈ එසේ පවසද්දීය.දැන් ඔහු දිනාරාවම සොයන්නේ නැත.ගෙවුණු සති දෙක තුනට සචින් අක්කාටත් වඩා ප්‍රියංකාට හුරුව උන්නාය.යාන්තමින් බහ තෝරන්නට උත්සාහ දරමින් උන් පිරිමි දරුවා අ….අ…ම්….යැයි යැයි පැවසුවේ ප්‍රියංකාටය.
යුවතිය පිළිගන්නට හිමාෂා පිළිගැනීමේ නිලධාරිනිය උන් තැනම රැඳී සිටියාය..මහින්දගේ උපදෙස් පරිදි ඇය විසින් දිනාරාව ප්‍රථමයෙන්ම අකලංකගේ කාර්යාල කාමරයට කැඳවාගෙන ගියාය.එය මදක් විසල් වූ එකක් වුවත් අපිළිවෙල එකක් යැයි යුවතියට සිතිණ.පුටුව තිබුනේ මේසයට පිටුපස හරවාය.ඔහු නැගීසිට නික්ම ගිය අයුරින්ම තිබෙන්නට ඇතැයි යුවතිය අනුමාන කළාය.මේසය මතත් අපිළිවෙලට ඇර තිබූ ලිපි ගොනු දෙකකි.ෆයිල් රාක්කයේ වූ ලිපි ගොණුවලින් සමහර පිටු පිටතට පැමිණ තිබිණ.කාර්යාලය තුල ඈ දුටු අනිකුත් තැන්වලට වඩා මදක් හැඩි වී තිබීම ඒ අපිළිවල ඉස්මතුකර පෙන්වන්නට ඇතැයි ඈ සිතුවාය.
” මේක පොඩි සර්ගේ කැබින් එක.ඔයාගේ ටේබල් එක තමයි අර තියෙන්නෙ.එහා පැත්තෙ තියෙන්නෙ විශ්ව සර්ගේ කැබින් එක.මං ඉන්න එතන..සතියක් විතර යනකල් ඔයාව මං ළඟ තියාගන්න කියලා විශ්ව සර් කිව්වා.බයවෙන්න එපා.මෙහේ අය හරි හොඳයි..”
යුවතිය හිස වැනුවේ ඇයව අනුමත කරමින්ය.ඒ වදන්වල වූයේ මිත්‍රශීලී බවකි.
“ඔයාට ඉක්මනට ට්‍රේන් වෙන්න පුළුවන් වෙයි.පොඩි සර් නං චුට්ටක් ඔෆිස් එකේ රැඳෙනවා අඩුයි.ඒ නිසා වැඩ ටිකක් වැඩි වෙන්නත් පුළුවන්.බයවෙන්න එපා මං ඔයාට උදව් කරන්නම්.වෙනදා විශ්ව සර්ගේ පොඩි සර්ගෙයි දෙන්නගෙම වැඩ කළේ මම.”
” තෑන්ක්ස් ඔයාට.ඇත්තටම මං බයෙන් හිටියේ.ඔයාව හම්බ උනාට පස්සේ හිතේ තියෙන ඒ බය නැතුව ගියා.”
විශ්ව කාර්යාල කාමරයට ඇතුළු වූයේ දෙදෙනා ඒ අයුරින් කතා කරමින් සිටියදීය.හිමාෂා මදක් පසුපසට වූයේ ගුඩ් මෝර්නින් සර්.. යැයි පවසමින්ය.ඇයව අනුගමනය කර දිනාරාත් විශ්ව දෙස බලා ‘ගුඩ් මෝර්නින්’ යනුවෙන් පැවසුවේය.
” ගුඩ් මෝර්නින් දෙන්නටම.
හිමාෂා..ඔයා දිනාරාට එයාගේ ටේබල් එක පෙන්නුවා නේද “
” ඔව් සර්..”
” මේ දවස් ටිකේ චෙයාර් එකක් දාලා දිනාරාව ඔයාගේ ටේබල් එකට ගන්න.එහෙම ප්‍රශ්නයක් නෑ නේද දිනාරා..”
” අනේ නෑ සර්..”
” දිනාරා..හිමාෂා හරි ඉක්මනට අපේ පිළිවෙල පුරුදු උනා..ඇත්තටම හිමාෂා නිසා අපි හරි නිදහස්. ඔයාත් ඒ පිළිවෙලටම පුරුදු වෙන්න. අපේ පොඩි එකා ගැනත් දිනාරාට ටිකක් කියලා දෙන්න හිමාෂා…”
” හරි සර්…..”
සැබැවින්ම ඔහුගේ මුහුණේ වූයේ ප්‍රියමනාප සිනාවකි.ඒ සිනහව ඒ අයුරින්ම තබාගෙන ඔහු කාර්යාල සංකීර්ණය තුළට ඇවිද ගියේය.
” විශ්ව සර්ගේ වැඩ නම් පිළිවෙලයි.අකලංක සර්ගේ වැඩ ටිකක් පිළිවල මදි.ඒ නිසා ඔයාට ඒ පිළිවෙල හොඳටම හුරු වෙන්න වෙයි.ලොකු සර්නම් ටිකක් අකලංක සර්ට සැර වෙනවා.ඒ උනාට විශ්ව සර්නම් පුදුම ආදරෙයි..”
දිනාරාට සිහි වූයේ ප්‍රියංකාය. ඇගේ සිතෙහි රැඳුන සිසුන් කිහිප දෙනා අතරින් අකලංක වූයේ මුල්ම තැනයැයි ඈ පැවසුවාය.
” අකලංක සර් ළඟදි තමයි වැඩ බාර ගත්තේ.එනිසා වෙන්න ඇති තවම ලොකුවට මහන්සි වෙන්න කැමති නෑ.ඔයා හරියටම වැඩ පුරුදු වෙන එක අකලංක සර්ට වටිනවා.මෙහේ වැඩ කරන අනිත් අයත් හරි හොඳයි.මං වෙන කම්පැනි එකක මාස අටක් වැඩ කරලා මෙහේට ආවේ.ඇත්තටම ඒ තැන අප්පිරිය වෙලා.ඒත්..අද මට මේ කම්පැනි එක මගේ ගෙදර වගෙයි.ඒ තරමට සතුටින් සැහැල්ලුවෙන් මං වැඩ කරන්නේ..”
” මට තේරෙනවා අක්කේ ..”
අකලංක විශ්වගේ කාර්යාල කාමරයට එබෙද්දී යුවතියන් දෙදෙනාම වූයේ එකම මේසයක් වටා අසුන්ගෙනය.හිමාෂා ඇයට ගිණුම් අංශයට යැවීමට තිබූ ලිපියක් සකස් කිරීමේ කටයුත්ත පැවරූයේ පරිඝනක පුහුණුව ගැන ප්‍රශ්න කිහිපයක් ඇසුවාට පසුවය.
” හිමාෂා බ්‍රදර් කෝ…”
” විශ්ව සර් පැක්ට්‍රි එක පැත්තට ගියා.සර් මේ දිනාරා..සර්ගේ සෙකට්‍රි.”
” ඊයේ ඉන්ටර්විව් එකෙන් නේද මෙයාව සිලෙක්ට් කර ගත්තේ..ප්‍රියංකා ටීචගේ රිලේෂන් කෙනෙක් නේද…”
” ඔව් සර්..”
දිනාරා එසේ පැවසූයේ නැගී සිටිමින්ය.
” නෑ නෑ…නැගිටින්න අවශ්‍ය නෑ .මෙහේ හාමුදුරුවරු නෑ..”
යුවතිය දෙස එක් වරක් පමණක් බැලූ තරුණයා ඔහුගේ කාර්යාල කාමරයට ගියේ කිසිවක් නොකියමින්ය.
සැබවින්ම මේ ව්‍යාපාර පාලනය ඔහුට මහා බරපතල දෙයක් සේ දැනෙන්නට විය.අම්මා තාත්තා සොහොයුරාත් වෙනුවෙන් යුතුකමක් ඉටුකරන්නට මිස ඔහු ව්‍යාපාර පාලනයෙහි කැමති වූ තරුණයකු නොවේ.වගකීම් කර පින්නා ගැනීමට කැමති වූ තරුණයෙකුද නොවේ.තවමත් ඔහු පතන්නේ සැහැල්ලු ජීවිතයකි.
” ඔයාට පුළුවන්ද මේ ඩොකියුමන්ට් එක පොඩි සර්ට කියලා සයින් කරවගෙන එන්න.”
හිමාශා හදිසියේම තමා එහා පසු උන් යුවතිය දෙස හැරුනේ ප්‍රින්ටරයෙන් ලබාගත් ලිපියක් ඈ වෙත දිගු කරමින්ය.එවේලෙහි දිනාරා උන්නේ ගිණුම් අංශයට බාරදිය යුතු චෙක්පත් කිහිපයක අංක පරිගණක තිරය මත සටහන් කරමින්ය.
( හෙටත් හමුවෙමු දයාබරව )