Not Without You – 6

0
4345

ආදිල් මන්රූ රත්නායක

සචින් ඔෆිස් යන ගමංම මාත් සකීගෙ ගෙදරට ගොඩවෙන්න ලෑස්ති වුණේ තාම සචිය නැතුව එහෙම ගමනක් යන්න තරං මං එයාලට පුරුදු නැති නිසයි. අනිත් එක ඒක සචියා නිසා ඇති වෙච්ච දැන හැඳිනුම්කමක්නෙ. මං තනියම එහෙට ගිහින් කුළී මළී ගැන කතා කරන එක එච්චර හරි නෑ වගේනෙ.
“එන්න එන්න පුතාල. අපි එහෙනං පාන් පෙත්තක් කමින් ගමන්ම කතා කරමු”
කියල ආච්චා අපිව කෑම මේසෙටම කැඳෙව්වෙ උණුහුම් හැඟීමකින්.
“අනේ මට ඔෆිස් යන්න ලේට් වෙනව ආච්ච”
කියල සචින් කියද්දි මගෙ බලාපොරොත්තු ලාවට බිඳිල යනව වගේ දැනුණා වුණත් එතනදි මට කිසිම මැදිහත්වීමක් වෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.
“තේ එකක්වත් බීල යං සචින් අයිය. මානෙල් අම්මා… මේ සචින් අයියට තේ එකක් ගේන්න”
කියල සකී කුස්සිය පැත්තට කෑගැහුව. මොනා වුණත් සචින් සකී ට අවනතයි. වචන වලින් නොකිව්වට ඒක හැම ඉරියව්වකින් ම දැනෙනව. සචින් සකී ළඟ ම තිබුණ පුටුව ඇදල වාඩි වුණා. මං ආච්චාගෙ වම් පැත්තෙන් වාඩි වුණා.
“තේ ඕන්නෑ සකී. මේ මූට තනියම එන්න බෑ වගේ කියපු නිසා මාත් ගොඩවෙලා යන්න ආවෙ. ප්ලේස් එකනං අපේ ආදිල්ගෙ හිතට අල්ලල ආච්ච. මන්ත්ලි රෙන්ටල් එකනං ටිකක් වැඩි වුණත් කමක් නෑලු. කී මනී වලට පොඩි සහනයක් දෙන්න කියල මූ කියනව. ආච්චා පොඩ්ඩක් ඒ ගැන හිතල බලනවද…”
ආච්චා හරිම ලස්සන බැල්මකින් මං දිහා බැලුව. ඇත්තටම ඒ හිනාව හරි සිරියාවයි.
“පුතා. ඕවයෙ කිසිම අයිතියක් මට නෑ. මොකද ඕක අපි අපේ දුවට ඩව්රි එකට දීපු දෙයක්. දැං අයිති දූගෙ දුව වෙච්චි සකීට. එයා මාත් එක්ක ඊයෙ රෑ ඔය ගැන කතා කළා”
“සචින් අයිය”
ආච්චට ඉතිරි ටික කියන්න නොදී සකී මැදින් කතාව එයාගෙ අතට අරගත්ත. ඒ වෙලාවෙ මං සකීගෙන් දැක්කෙ හරිම ඍජු තියුණු ගැහැනියක්. ඒක ගෑනු ළමයෙක්ගෙන් නිතර දකින්න නොලැබෙන පෞරුෂයක්. ගෑනු ළමයෙක් එහෙම පෞරුෂවත්, අභිමානවත්, ආඩම්බර කෙනෙක් වෙනකොට පිරිමි හිතක් ඒ පැත්තට බර වෙන්නෙ නිරාසයෙන්. කොහොමත් හැම එකට ම හඬා වැටෙන කඩා වැටෙන සීනි බෝල ගෑනු ළමයින්ට වඩා මේ විදිහෙ පෞරුෂවත් ගෑනු ළමයින්ට පිරිමි කැමතියි. ඒ පෞරුෂය ඉදිරියෙ මගෙ හිතත් ටිකක් ගැස්සිලා ගියා වගෙයි.
“සචින් අයිය වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ… කී මනී එකක් නැතුව බිල්ඩින් එක දෙන එක. ප්‍රශ්නයක් නෑ. මායි ආච්චයි ඒකට ඇග්‍රි වෙලා ඉන්නෙ”
“සකී… එහෙම ඕන නෑ නංගි. නේද ආදිල්…”
සකී ගෙ බලාපොරොත්තු නොවුණ ප්‍රතිචාරයෙන් මං වගේ ම සචිනුත් ශොක් වුණා වගෙයි. ඒත් සකීගෙ මූණෙ තිබුණෙ එයාගෙ තීරණේ කිසිම හේතුවක් මත වෙනස් කරන ස්වරූපයක් නෙවෙයි. ඒක පැහැදිලි පිරිසිඳු වතුර වීදුරවක් වගේ විනිවිද පේන පෞරුෂයක්.
“සචින් අයිය වෙනුවෙන් මට ඊට වැඩිය දෙයක් වුණත් කරන්න පුළුවන්. ඔයා මගෙ අයියනෙ ඉතිං”
ඒ වචන ටික කියද්දිනං කෙල්ල ටිකක් දිය වෙලා ගියා වගෙයි. සචින් එහෙම ම අත දික්කරල සකීගෙ හිස් මුදුන පිරිමැද්ද. ඒ වෙලාවෙනං මට චූටි ඊරිසියා ගතියක් නො දැනුණා ම කියන්න බෑ. මේ කෙල්ල මට පෙන්නන ආඩම්බර වෙන කිසි කෙනෙක්ට පෙන්නන්නෑ. යාළුවො අතරෙදි එයා මාර හුරතල් කියල මං දැක්කනෙ. සචින් ළඟදි ඊටත් වැඩිය හුරතල්. හැබැයි මටනං තාම මූණ බලල හිනාවක් දීල නැති තරං.
තේ එක බාගෙට බීල ඉතුරු ටික සකී අතට දීල සචින් ඉක්මනට යන්න ගියා. සකී ඒ තේ බාගෙ ගත්තෙ මාර ආදරේකින්. මගෙ පපුව පිච්චුණා වගේ දැනුණෙ ඇයි මන්දා.
සචින් ගියාට පස්සෙත් මං තව ටිකක් වෙලා එහෙ හිටිය. සකීනං කළේ ෆෝන් එකට එබීගෙන ඒකට කොට කොට තනියම හිනාවෙන එකයි හිනාව ගිලගන්න ට්‍රයි කරන එකයි. ආච්චානං මට පුදුම ආදරේකින් කතා බහ කළේ. සංග්‍රහ කළේ. හරියට එයාගෙම මුණුබුරෙක්ට වගේ. ආච්චා ගැන මගෙ හිතෙත් ලොකු ප්‍රසන්න හැඟීමක් ඇති වෙලා තිබුණ බව කියන්න ම ඕන.

සකී ආන්‍යා තඹරවිල

ආදිල් දෙහිවල ගොඩනැගිල්ල බලන්නට ගිය වෙලාවේ පටන් මගේ දෙමිතුරියන්ගෙන් බේරිල්ලක් තිබුණේ ම නැත. ඔහු සචින් අයියා සමග උදයෙන් ම අපේ ගෙදර විත් තේ මේසයට වාඩි වූ වෙලාවේ මම ආදිල් ට රහසින් ඔහු ගේ සේයාරුවක් ගෙන පීහුටත් මුද්‍රාටත් යැව්වෙමි. ඔවුන් දෙදෙනා ඉන් හොඳට ම ඇවිස්සී ගත්හ.
“ඒ ගමන කොල්ලව ගෙට දාගත්තද… “
මට ඒ වෙලාවේ සිනහ ගිය අතර ආදිල් ඒ බව හොඳට ම දුටුවේ ය. මම නම් ඔහු නො දුටු සේ සිටියෙමි. අතතිකාරම් මුදලක් නැතිව ඔහු ට දෙහිවල කඩ කාමර දෙක දෙන්නට තීරණය කළ බව දැනගත් වෙලාවේ මගේ මිතුරියන්ගේ ඇස් උඩ ගියේ ය.
“ඒ මොකද්ද ඒ වෙන්න යන්නෙ…”
“කඩ කෑල්ල පෙන්නල මේ ගෑනි කොල්ලව දැලේ දාගන්න හදන්නෙ. මං සම්පූර්ණයෙං විරුද්ධයි ඔය වැඩේට. පරණ කඩ කෑල්ලක් වගේද එයාට මගෙ පපුව අස්සෙ කීං ගාන ආදරේ”
“රෙනවේශන් එක පටන් ගද්දි මේ ගෑනි කිව්වෙ මේ සැරේ මාස හයකවත් කී මනී ගන්නව කියල නේද… එකපාරටම මේ හැදිච්ච කඩිකුලප්පුව මොකද්ද”
“අනේ මං ඒක කළේ සචින් අයිය වෙනුවෙන්. මේ ගෑනුන්ට තේරෙනවයැ එහෙම සහෝදරකමක් කොයි වගේද කියල”
“අනේද කියන්නෙ. හිටපු ගමං සචින් ගැන මෙයාට ඇතිවෙච්ච සහෝදර ප්‍රේමය බලහල්ලකො”
මට අපමණ වද දීමෙන් පසු ඔවුන් හැන්දෑවේ අපේ ගෙදරට කඩා පාත් වූයේ රාත්‍රියේ එහි නවාතැන් ගන්නට ය. ඔවුන් දෙදෙනා පීහු ගේ කුඩා පුතු ද ගෙන ඇවිත් ඒ විදිහට රැයක් අපේ ගෙදර නවතින එක මට මහත් ප්‍රීතියක් ගෙනේ. එතකොට අපි රැය පහන් වන තුරා විවිධාකාර මාතෘකා ඔස්සේ කතා කරමින් නිදි වරමු.
“අනේ ඇත්තට දවල් දවසෙ දොළොස් පැයක්ම කතා කර කර හිටියත් මේ ගෑනු ළමයි තුන් දෙනාට රෑ එළිවෙනකලුත් කතා කරන්න දේවල් තියනවනෙ”
එතකොට ආච්චා සිනහ වෙමින් කියයි. රූෆ් ටොප් එක මත පැදුරක් එලාගෙන වැතිරී හෝ මගේ කාමරයේ යහන මත වැතිරගෙන හෝ ගෙවෙනා එහෙව් රැයක් මනරම් ය. එළි වෙනතුරු කිහිප වර තේ කෝපි හදමින් බොමින් ද බීර උගුරක තිත්ත රස වළඳමින් ද අප නිදි වරන්නේ හෙට කියා දවසක් උදා නොවෙනවා මෙනි.
මේ වතාවේ ඔවුන් ආක්‍රමණය කළේ මගේ සඳැල්ලයි. ඒ එතැනට ආදිල් හිඳිනා කාමරයේ සඳැල්ල සම්මුඛ වන නිසාවෙනි. ඔවුන් දෙදෙනා ගේ කතා සිනහ සාගරයක් මැවූ අතර අපේ කෑකෝගැසීම් නිසාමදෝ ආදිල් සදැල්ලට එබී බැලුවේ ය.
“මේ නිකංම එබිල බලල හරියන්නෑ හරිද…”
මුද්‍රා ඔහු ට කෑගෑවා ය.
“ඔව් ඔව්. රෙනවේට් කරපු ගමං කිරි ටොයිය වගේ බිල්ඩින් එකක් වැඩේට හම්බුණ එකේ අපිට හොඳ පාටි එකක් ඕනෙ”
“බොන්න ඕනෙ වැටෙන්නම. අරං එන්න හරිද… අපි අද මෙහේ”
ආදිල් ලැජ්ජාශීලී ව හිනැහුණේ ය. එදා සචින් සමග විත් ” බැඳල හිටියට කමන්නෑ ඕන්නං තව එක්කෙනෙක්ව බඳින්න පුළුවන්” කියා කියූ ආත්ම ශක්තිය මේ වෙලාවේ නම් බින්දුවට ම බැස තිබුණා විය යුතු ය.
“හරි හරි මං බියර් ගෙනත් දෙන්නං”
මට ඕනෑ වූයේ එහෙම කියා ඔවුන් නිහඬ කරන්නටයි. නමුත් මුද්‍රා හා පීහු උනුන් ගේ මුහුණු දෙස බලා ඊළඟට මදෙස බලාගෙන “ආ…” යි එක හඬින් ඇද පැද කියන්නට වූහ. ඒ වෙලාවේ ආදිල් ගේ මුහුණ මත ලස්සන සිනහවක් නැගෙනු මා බලාගෙන ය.
“පිස්සුද ඇත්තට මේ ගෑනුන්ට ආ… ඒ කොල්ලට ලැජ්ජ හිතුනද කොහෙද. මුං ගෑනුද කියල හිතන්නැති”
මම බොරුවට දොස් නැගුවෙමි.
“ඒ කොල්ලට වෙලාව අරං කියල දෙන්න ඕන ගෑනු කවුද කියල අඳුරගන්න හැටි. සචින් පිට දාල කීමනී ගන්නැතුව කඩේ දුන්නෙ නිකං නෙවෙයි. හිලව්වට ජීවිතේම සින්න කරගන්න බලයි කියල කියන්නෝන කොල්ලට. ඔය මායං වලට අහුවෙන්න එපා අල්ලගන්නවනං මේ මං වගේ සීදේවි කෙල්ලෙක් අල්ලගන්න කියල දැනුවත් කරන්නෝනෙ ඒ කොලු පැටියව”
අපේ සිනහ හඬවල් අසන්නට නැවතත් ඔහු ප්‍රංශ ජනේලය විවර කළේ නැත. කෙල්ලෝ ඒ ගැන කියමින් ද ඔහු ට නොයෙකුත් අපහාස උපහාස කළෝ ය.
“මූ මේ ජනේලෙ ආයෙ අරින්න නෙවෙයිද දන්නෑ නේද වැහුවෙ…”
“ඕක කඩල ඇදල ගනිං ඕකාව”
අපේ සිනහ සරින් වායු ගෝලය පුපුරා යත්දී, මානෙල් ඇවිත් “සකී බබා” කියා කතා කළා ය.
“ලොකු නෝනා පහළට එන්න කිව්ව”
“ඇයි මානෙල් අම්ම…”
“අර මහත්තයල දෙන්න ඇවිත්. සචින් මහත්තයයි උදේ ආපු එයාගෙ යාළු මහත්තයයි”
කෙල්ලෝ මුහුණෙන් මුහුණ බලාගත්හ. ඊළඟ නිමේශයේ සිනහව පුපුරා පිටාර ගැලුවේ ය.
“ඉබ්බා තුනපහ පිටේ බැඳගෙනම ඇවිත් මාව කාපං කියනව කියන්නෙ ඕවට තමයි”
කියමින් මුද්‍රා අපව ද පෙරළාගෙන සඳැල්ලෙන් කාමරයට පැන්නා ය. පීහු බඩ අල්වාගෙන සිනහ වෙන්නට වූවා ය.
“නෝන්ඩි නොවී ඉන්නවල හරිද බොරුවට හරි වැදගත් විදිහට”
මම අනතුරු ඇඟෙව්වෙමි.
“පළවෙනි දවසෙම ඌ දැනගත්ත අපේ ඇති වැදගත්කමක් නෑ කියල. දැං ඉතිං උන්නත් දාහයි මළත් දාහයි”
කියමින් ඇය විගස පියගැට පෙළ බසින්නට වූවා ය.
🩷කතාව ගැන ඔබේ හැඟීම් වචන ලෙස නොවේ නම් සලකුණක් ලෙස හෝ ඉතිරිකොට යන්න!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here