Not Without You – 7

0
6756

ජීවිතයෙන් පැතූ දේවල් නො ලැබී ගිය කල මිනිස්සු දෙ ආකාරයකින් හැසිරෙති. සියල්ල ගැන කලකිරීමටත් කණගාටුවටත් පත්ව ජීවිතයෙහි ඍණාත්මක පැත්ත ස්පර්ශ කිරීම එකකි. නැතහොත් ලැබෙනා සියල්ල දෛවය යයි පිළිගෙන නිහඬ වීම යි. නමුත් අපි – මා ද ඇතුළුව මගේ මිතුරියන් – ලැබෙනා දේවල් එලෙසින් ම පිළි නොගෙන ඒවා මත නොමැති සතුටක් ගල්වමින්, අපේ හදවත් මොහොතක හෝ සිනහ සයුරක ගිල්වීමට හැම විට උත්සුක වීමු. මුලදී මෙය හිතා මතා සතුටෙන් හිඳීම වෙනුවෙන් සිදු කරන්නක් වී ද පසුව ඒ නිරායාසයෙන් සිදු වූයේ ය. වැඩියෙන් සිනහ වෙන්නේ ඇතුළාන්තයෙන් හඬන මිනිසුන් යයි කතාවක් තිබේ. අප තිදෙනාගෙන් එක්කෙනෙකු හෝ අප පැතු හා අපට නො ලැබී ගිය දේවල් මත්තේ රහසින් හෝ හැඬුවායි මම නො සිතමි. මා මේ කියන්නේ කිසිදාක නො හැඬූ බවක් නොවේ. ඒ ඒ තැන් වල කඳුළු හලා ආවායින් පස්සේ යළිත් ඒ මත හඬමින් නො සිටි බවයි. අපට ඕනෑ වූයේ අතීතයේ ජීවත් නොවී ඉදිරියට පිය නගන්නටයි. ඒ වෙනුවෙන් අපි සතුටෙන් හිඳීම අපේ ජීවන තේමාව බවට පත් කොටගතිමු. සිදු වූ දේවල් සිදු වී හමාර ය. ඉදිරියේ දී වන්නට නියමිත දේවල් ද අපේ පාලනයක් ඇතිව හෝ නැතිව සිදු වනු ඇත. හිතා මතා අපට කළ හැක්කේ මේ මොහොතෙහි සතුට පවත්වා ගැනීම පමණක් වේ. අපි එය අපේ උපරිමයෙන් සිදු කළෙමු.

එනමුදු අප සතුට සෙවූයේ කිසිසේත් අන්‍යයන්ට හානියක් සිදු වන අයුරින් නොවේ කියා විශ්වාසයෙන් කිව හැක. ආදිල් ව මුලින් ම සමුද්‍රාසන්න බොජුන් හලෙහි දී දුටු වෙලාවේ අපේ කෙල්ලන් ඔහුව විහිළුවකට ගත්තේ ද විහිළුවට පමණ ම බව මම ඉඳුරා දනිමි. මුද්‍රා සේ ම පීහු ද විවාහයක අත්දැකීම ඇති ස්ත්‍රීන් ය. කඩවසම් පුරුෂයෙකු දුටු විට ඔහු ගැන උනන්දුවක් දක්වන්නේ ඒ මොහොතෙහි විහිළුවකින් හිත සැහැල්ලු කර ගැනීමට මිස ඔහු සමගින් කිසිම ආකාරයක සම්බන්ධයක් හෝ ඇසුරක් පැවැත්වීමේ අරමුණකින් ද නොවේ. අප මේ වෙනුවෙන් යොදාගෙන ඇති පදය වනුයේ ‘දුටු සතුටු’ යන්නයි. ආදිල් ද එදා වෙරලේ දී ම මුහුදට අතැර එන්නට තිබූ මතකයකි. ඔහු මේ තරම් දුර දිග පැමිණියේ සචින් අයියා ගේ මිතුරෙකු වීමෙන් නො නැවතී, අපේ ගොඩනැගිල්ල කුළියට ගන්නා තත්වය තෙක් පැමිණි නිසාවෙනි. මගේ දෙමිතුරියන් ඔහු ට කරනා විහිළු ද විහිළු ම බව දන්නවා වුණත් ඒ ගැන ඔහු ගේ ප්‍රතිචාරය කෙබඳු වනු ඇත්දැයි වෙනදා නොදැනුණු චකිතයක් මට දැනේ. ඊට හේතුව සචින් අයියා තුළ මා ගැන වන ප්‍රතිරූපය පිළිබඳව මට වන දෙගිඩියාව ද? නැත්නම් ආදිල් අප වරදවා වටහා ගනු ඇතැයි බිය ද? මම නො දනිමි.

 මුද්‍රා පහළ මහළට දිව ගියේ ලෑලි තරප්පු හඬ නැංවෙන සේ ය.

“මං හිතුව උඩ ඉඳං අලියෙක් එනව කියල”

යනුවෙන් සචින් අයියා විහිළුවක් කරත්දී මා හා පීහු පියගැට පෙළෙහි මැද හරියේ ය. මම දෙතොල් තද කොට සිනහව හිර කරගෙන සිටියෙමි.

“මෙන්න මූව මගදි හම්බුණා සුපර් මාකට් යනව කියල. මං බැලුව අපේ ගෑනි මූවත් කඩේ යවලද කියල. දන්නවද ආච්ච… මූව කඩේ යවල තියෙන්නෙ මේ ගෙදර ගෑනු ළමයි”

සචින් අයියා සියල්ල පෙරපර ගැලපූයේ ය. ආච්චා අප දෙස බැලුවේ මුව මඳක් විවර කොට ගෙන අදහාගත නො හැකිව වාගේ ය.

“ගෑනු ළමයි කියල බහු වචනෙං කියන්නෙපා හරිද… ඔන්න මං නෑ ඕවට”

මම ඉක්මන් කොට කීවෙමි. පොඩි කාලේ වාගේ ම මට ඕනෑ වී තිබුණේ සචින් අයියාට හොඳ නංගී වෙන්න ද? මුද්‍රා හා පීහු එකවර “ආ…” යි කීහ. ආදිල් ගේ බටිති දෙතොලතර ලස්සන හසරැල්ලක් ඇඳී ගියේ ය. එය කෙළින් ම ගැහැනු ළමයින් වෙත එල්ල නො කොට ඔහු බිමට සිනහව හැරවූයේ ය. ඔහු ගේ ඒ සිනහවෙහි සරාගයක් දැවටී ඇතැයි ඒ වෙලාවේත් මට සිතිණ.

“හරි හරි ඔයා සචින්ගෙ හොඳ නංගි.. අපි නොදන්න ලයිව්නෙ… නේ පීහු…”

“හ්ම්”

සචින් අයියා අත දිගු කොට මගේ හිස් මුදුනේ කෙහෙ රැල් අවුල් කළේ ය. ඔහු ආදරය පෙන්වන්නේ එහෙම ය. ඒ ආදරය විඳගන්නට මගේ හිතේ කොහොම ලෝභකමක් තියෙනවාද කියා සචින් අයියාවත් දන්නේ නැතැයි සිතමි.

 “ඉතිං ඉතිං… මෙයා හදිස්සියෙ සුපර් මාකට් ගිහින් තියෙන්නෙ මේ අපිට බියර් ගේන්නද…”

මුද්‍රා එසේ විමසූයේ ඒ වෙලාවේත් ආදිල් ගේ අතේ එල්ලෙමින් තිබූ සුදු පාට ශොපින් බෑග් එක දෙස බලමිනි. එතකොට ඔහු බෑගය මුද්‍රා වෙත පෑවේ ය.

“ඒ…යි… මේ බලනවලකො. මෙන්න කොල්ලො ආ…”

ඇය වහාම එය ඩැහැගත්තා ය.  එවර ආදිල් ගේ සිනහව ලැජ්ජාශීලී බවක හැඩරුව ගති. ඇත්තට ම ඒ වෙලාවේ මට ඔහු පව් කියා නො සිතුණා නොවේ. මේ නොසණ්ඩාල කෙල්ලන්ට ඔහු අහිංසක වැඩි ය.

“අනේ පුතා මේ කෙල්ලොන්ට අහුවෙන්න එපා ඔයා”

ආච්චා මේ කතාව හරියට තේරුං ගත්තේ ඒ වෙලාවේ යයි සිතමි.

“ආ… ඒ ගමන ආච්චටත් ඉස්සෙල්ල ආපු කනට වැඩිය පස්සෙ ආපු අඟ ලොකු වුණාද… කී මනී එකක් නැතුව අර බිල්ඩින් එක ලැබුණා කියන්නෙ සෙල්ලමක්ද… ඒකට මේ බියර් කෑන් කීපයක් මොනාද ආච්චා… නතිංනෙ…හරිනං අර කිරි වලින් බෝධිය නාවනව වගේ මෙයා වොඩ්කා වලින්වත් අපිව නාවන්න ඕනෙ”

ආච්චා හඬ නගා සිනහ වූයේ අතිශය සැහැල්ලුවෙනි. මෑත කාලයේ දී හවන් ස්වභාවික සැහැල්ලුවක් මා ඇයගෙන් ඔය දුටුවා ම ය.

“අපෙ අප්පේ මේ කෙල්ලොනං…”

“එහෙනං ඉතිං ඔය දෙන්නත් ඉන්න. බයිට් එකට මොනාහරි හදාගෙන අපි සෙට්වෙමු”

ඒ ආරාධනය ද මුද්‍රා ගෙනි. සචින් කලබලයක් මවා ගත්තේ ය.

“මේ මේ… අපි දරු පවුල්කාරයො. වයසට ගියත් හවසට ගෙදර හරිද…දැනුත් පරක්කු වැඩියි”

“නැත්තං දොට්ට තමයි නේ…”

“නැත්තං නැත්තං. හැබැයි ඉතිං ඒව එච්චර ගාණක්නං නෑ. තමංගෙ වයිෆ්ගෙන් ඉඳහිට ගුටියක් කන්න බැරි පිරිමියා පිරිමියෙක්ද බං”

පීහුත් මුද්‍රාත් කොක් හඬ ලමින් සිනහ වෙන්නට වූහ. ආදිල් ද අහිංසක ලෙස සිනහ වෙමින් සිටියේ ය.

“මේ… අපි යන්නද එහෙනං… ආදිල් උඹ ඉන්නවනං මුං තුන්දෙනාට බයිට් එකට හිටාං. මං ගිහිං වොශ් එකක් එහෙම දාං ටිකක් රෑ වෙලා එන්නං”

“නෑ නෑ යං මාත් එනව”

කෙල්ලෝ යළිත් සිනහ වන්නට වන්හ. ඒ වෙලාවේ නම් ආදිල් පව් කියා මට සිතිණ. මේ කෙල්ලන්ට කටගැස්මක් වීමේ භීතිය ඔහුට කෙලෙස දැනුණා ද කියා සිතා ගැනීමටවත් නුපුළුවන.

“මේ තෑන්ක්ස් ආ. ඔයානං දෙයියෙක් වගෙයි අනේ”

ඔවුන් නික්මෙන්නට හදත්දී මුද්‍රා ස්තූති කළේ එසේ ය. මා ආදිල් දෙස ම බලා සිටියේ අඩ සිනහවකිනි. ඒ වෙලාවේ ඔහු ඒ සිතිජ දෑස් මා මත පතිත කරාවියි සිහිනෙනුදු මම නො සිතුවෙමි. එවැන්නක් සිදු නොවුණා සේ මම මගේ බැල්ම වෙනතක යොමු කළෙමි.

“මොනා වුණත් එළ කොල්ලෙක් ආ. අඥී බොන්නෙ මහ ජරා ගෑනු කියල නහයෙං අඬන්නැතුව ඉල්ලපු ගමං බියර් කෑන් ටිකක් උස්සං ආව කියන්නෙ නියම කොල්ලෙක්. වැස්ස වළාහක දෙයියො එන්න කලින් බියර් ටිකක් වැඩිය එකේ මානෙල් අම්මට කියල චිකන් ඩෙවල් එකක් දාගමු බයිට් එකට නේ…”

අපේ මිදුලේ ගස් සෙවනේ සුදු ආලේපිත කැටයම් පුටු කිහිපයක් හා ස්ටූල් එකක් වේ. ඒ ආශ්‍රිතව එබඳු ම යකඩ ඔංචිල්ලාවකි. ඇතැම් රාත්‍රියක මම තනිව ඔය ඔංචිල්ලාවේ පැද්දෙමින් ජීවන හුදෙකලාව ද අලස සුවය ද විඳගමි. මුද්‍රා මිදුලේ ස්ටූල් එක මතට බියර් කෑන් ටික ද බිත්තර හා සොසේජස් බැදුමක් ද ගෙන ගියා ය. මානෙල් අම්මා චිකන් ඩෙවල් තනන්නට සූදානම් වූවා ය. ආච්චා සතුටෙන් රාත්‍රී කෑම වට්ටෝරුව සැලසුම් කළා ය. ජීවිතයේ සැඳෑ සමයේ පාළුව දුරු කරගනු වස්, කවුරුන් හෝ ගෙදරට එනවා නම් ඇය බෙහෙවින් කැමති ය. රාත්‍රියෙහි නවාතැන් ගන්නවා නම් වැඩියෙන් කැමති ය. නමුත් ඉඳහිටෙක හෝ අප සමග රාත්‍රිය ගත කරන්නට එන්න සිටින්නේ මගේ දෙමිතුරියන් පමණකි.

“ඇත්තට සිරා කෙලේලෙක් අප්ප. මොකටද මේ ගෑනුන්ට සෙකන්ඩ් වෙන්නෙ කියල ඒකා ගිහිං ගෙනාවනෙ බියර් ටිකක්”

පීහු පුදුම වූයේ නිවී සැනසිල්ලේ ය. මුද්‍රා කියන්නේ පීහු ඇල්කොහොල් වලට මත් වන්නේ ද තැපෑලෙන් කියා ය. කෙල්ලන් ගේ සිනා කතා තවත් ටික වෙලාවක් ගත වෙන තුරු ආදිල් අල්ලාගෙන කෙරිණ. ටික ටික ඒවා වෙන වෙන පැති වලට ගොස් අපේ හුදෙකලා ස්ත්‍රී ආත්ම වල වේදනාත්මක හා ආවෘතව පවත්නා ඇතුළාන්ත විවර කිරීම් දක්වා ඇදී ගියේ ය.

“මං කියන්නෙ ආච්චා කියන කතාව ඇත්ත. සකී බඳින්නෝනෙ. හැම ගෑනියෙක්ටම මට වගේ කසාදෙ වරදින්නෑ. මොනා වුණත් පීහුටත් වැරදුණාම කියන්න බෑනෙ. ඒකාට රට ජොබ් එකකට යන්න වුණා මෙහෙ ආර්ථික තත්වෙත් එක්ක අමාරු නිසා. අදටත් පීහුටවත් ළමයටවත් කිසි අඩුපාඩුවක් කරන්නෑනෙ. මං කියන්නෙ මේ… ෆිසිකල් දේවල්. එතන ලොකු හිස්කමක් තියනව තමයි. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. හැබැයි සකී මැරිකරන්න ඕනෙ. එක පැත්තකින් ඒක ආච්චට සැනසිල්ලක්”

“හැබැයි ආච්චා නිසා විතරක් සකී බැඳල තේරුමක් නෑ. ඒකට හරියට හිතට දැනෙන එකෙක් ඉන්නෝනෙ. හිස්තැන් තියාගෙන වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න වෙනව කියන්නෙ කසාද ජීවිතේ කරුමයක් කියල හිතන්න සිද්දවෙන තැනක් හොඳේ”

“කසාදයක් කර නොගත්තට මං මේ සතුටෙන් ඉන්නෙ අප්ප”

“ඒත් ඇත්තටම මේක සම්පූර්ණ සතුටක් නෙවේ ආන්යා. මෙහෙම හිනාවෙලා ෆුල් සොමියෙ හිටියට මට තියනව රිදුමක්. පීහුට නෑ කියලද… තියනව. ඔයාට වුණත් ඔහොම හිටියට ඒක තියනව ආන්යා. අපේ ආත්ම අභිමානයට කැළලක් වෙයි කියල අපි ඒක පිළිගන්න ලෑස්ති නෑ. මොනා වුණත් හිතට දැනෙන පිරිමියෙක් ළඟ තරං නිර්වාණයක් ගෑනියෙක්ට මේ තුන් ලෝකෙ වෙන තැනකදි හම්බවෙන්න විදිහක් නෑ”

“ඉතිං එහෙම එකෙක් හම්බවෙන්නැත්තං මං මක්කරන්නද දෙයියනේ”

මම ඇපල් තීරුවක් මුවෙහි ලා ගතිමි. ආච්චා රතු වයින් වලින් පුරවා ගත් වයින් වීදුරුවක් ද සමග විද්‍යුත් රෝද පුටුවෙන් අප වෙත පැමිණෙමින් සිටියා ය. අනිත් පැත්තෙන් ගේට්ටුවේ විදුලි සීනුව හැඬවිණ. මම නැගිට ගොස් ගේට්ටුව විවර කළෙමි. සචින් අයියා ද ආදිල් ද එතැන සිනහ වෙවී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here