“දික්කසාද වෙනවා කියන්නෙ ආයෙ ඉතින් ගෑණියෙක්ට එලියට බහින්න බැරි වැඩක්. අනික ඔන්න ඕව අපි කරල දුන්න කාරණා නම් කමක් නෑ. තමන්ම මෙතන බඳින්න ඕන බඳින්න ඕන කියල ඩෙඟා නටලා, අන්තිමේ කසාද බැඳලා අවුරුද්දක් එකට උන්නෙ නෑ මෙතන දික්කසාද වෙන්න ඕන කියනවා.
මුන් නම් මේ අපිව කන්න ආව ළමයි. පාරක බහින්න නෑ ලැජ්ජාවට”
හැම දවසක්ම ඉතින් පටන් ගන්න වෙන්නෙ ඔය කතාව අහගෙන බව දන්නවා උනාට ඕව දිරවගන්න එක කොච්චර අමාරුද කියලා තේජස්විට නොතේරුනා නෙවෙයි. ඒ උනාට ඉතින් දික්කසාද වෙච්ච අවුරුදු තිහේ ගෑණියෙක්ට තමන්ගෙ ගෙදර ඇරෙන්න වෙන යන්න එන්න තැනක් නැති හන්දා තමයි තේජස්විට කළණ ගෙන් දික්කසාද වෙලා ආයෙ තමන්ගෙ ගෙදර එන්න උනේ.
මහගෙදර දැන් ජීවත් වෙන්නෙ අයියයි, අයියා කසාද බැන්ද නෝනයි. තේජස්විගෙ කාමරේ එහෙමම තිබ්බට අම්මල නම් මනාප උනේ නෑ හිතු මනාපෙ තමන්ගෙ එකම දූ ඔහොම කසාදෙ කඩාගෙන ගෙදර ආව එක ගැන. “මිනිස්සුන්ට මූණ දෙන්නෙ කොහොමද?” කියන එක තමයි අම්මලට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ.
වෙනදට නම් විහිලු තහලු කරන ආදරෙන් කතාකරන තාත්තා පවා මේ සිද්දිය නිසා වෙනස් වෙලා ඉන්නවා උනාට ඒකට මොකද කරන්න ඕන කියලා අදහසක් ඇත්තටම තේජස්විට තිබ්බෙ නෑ.
“ඩිවෝස් වෙන එක නෙවෙයිනෙ මිනිස්සුන්ට තියෙන එකම විසඳුම කසාදෙකදි ප්‍රශ්නයක් ආවම” කියල දෙපැත්තෙ දෙමව්පියො කොච්චර දේවල් කිව්වත් තමන් දික්කසාද වෙන්න හේතුව මොකද්ද, කියලා කියන්න තේජස්විවත් කළණවත කැමති උනේම නෑ.
“ඒක අපි දෙන්න හොඳට කතා කරලා ගත්ත තීරණයක්. ඒ වගේම ඒක අපේ ප්‍රයිවසි ඉශූ එකක්නෙ. ඒ නිසා මම හිතන්නෙ නෑ අපේ ඩිවෝස් එකට හේතුවෙච්ච කිසිම දෙයක් අම්මල තාත්තලවත් දැනගන්න ඕන කියලා” තේජස්වියි කළණයි දෙන්නම එක හඬින් කිව්ව හන්දා අම්මලා තාත්තල උනත් උන්නෙ කරකියා ගන්න දෙයක් නැතුව.
මුල් මාස ගාණෙම ඉතින් “දික්කසාද වෙච්ච එක වරදක් බවත්, දික්කසාද නොවී ඉවසගෙන ඉන්න තිබ්බ බවත්, කසාද වල ප්‍රශ්න වෙන බවත්” කියන්න වැඩිහිටියො ගෙවල් වලට එක්කාසු උනාට තේජස්විත් කලණත් තමන්ගෙ අදහස් වෙනස් කරේ නෑ. අම්මලට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ, “තමන්ම හොයාගෙන තමන්ම අත් ඇරපු එකනෙ ප්‍රශ්නෙ” කියලා තමයි අන්තිමේ ගෙදර අය කතාව ඉවර කරේ.
අවුරුද්දක් එකහමාරක් යද්දි ඔය “දික්කසාද වෙච්ච කතා” අහගෙන කවුරුවත් ආවෙ නැතුවට මොකෝ පවුලෙ හැමෝම එකතුවෙන් උත්සව වලදි නෑයො අනුකම්පාවෙන් බලන එකයි, තැන් තැන්වල කුටු කුටු ගාණ එකයි නම් නතර වුනේ නෑ.
“අපි ඕව අමතක කරලා වගේ උන්නට රටේ ලෝකේ මිනිස්සු ඕව අමතක කරන්නෙ නෑ. තමන්ට හිතන්න ප්‍රශ්නයක් නැත්තම් අනුන්ගෙ ප්‍රශ්නයක් ගැන හිතන්න හරි තමයි අපේ මිනිස්සු කැමති” කියලා ඔෆිස් එකේ ඉන්න හොඳම යාලුවා කිව්වෙ තේජස්වි ඔය විස්තර එහෙම ඇවිල්ලා කියන්නෙ එයා එක්ක හන්දා.
මුල් කාලෙ දික්කසාද වෙච්ච එක ප්‍රශ්නයක් උනාට කල් යද්දි අම්මලා තේජස්විගෙන් ඇහුවෙ “දැන් හැමදාම ඔහොම ඉන්න බෑනෙ, සුදුසු කෙනෙක් හොයල බඳින්න” කියලා.
අම්මලා සුදුසු කෙනෙක් කියලා කිව්වේ, තමන් වගේම දික්කසාද වෙච්ච, එහෙම නැත්ත නෝන නැතිවෙච්ච, එහෙමත් නැත්තම් ලමේක් එක්ක තනිවෙච්ච, ලෙඩවෙච්ච මනුස්සයෙක් වග තේජස්විට නොතේරුනා නෙවෙයි. අම්මලා ඒකට හේතුව විදියට කිව්වෙ “බිඳිච්ච බඩු භාරගන්නෙ ඒ වගේම පලුද්දක් තියෙන මනුස්සයෙක් මිස වෙන කවුද?” කියලා.
ඒ උනාට තේජස්වි ගිහින් නතර වුනේ එහෙම තැනක නම් නෙවෙයි. තේජස්විට රෙහාන්ව හම්බුනේ අහම්බෙන් වගේ. තමන්ට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල්, අවුරුදු හතලිස් ගාණකට කිට්ටු වෙච්ච, කසාද නොබැන්ද මනුස්සයෙක් වුනාට තාම තිබ්බෙ අවුරුදු තිහක විතර පෙනුමක්.
“තේජස්වි ඩිවෝස් වෙලා ඉඳලත් නලුවෙක් වගේ සුපිරි ඩයල් එකක් සෙට් කරගත්තා නේද?” කියල කට්ටිය කිව්වට තමන් රෙහාන්ට ආදරෙන් බැඳුණෙ එයාගෙ ලස්සන නිසාවත්, වයසක ඇඟක් ඇතුලෙ තිබ්බ තරුණ ආත්මෙටවත් නෙවෙයි වෙන මොකක් හරි නොතේරෙන, නමක් දෙන්න නොතේරෙන හැඟීමකට බව දැනගෙන හිටියෙ තේජස්වියි රෙහානුයි විතරයි.
“දික්කසාද ගෑණියෙක්ව බැඳගන්න ඒ මිනිහට පිස්සුද? ඔය ආයෙ වතාවක් ලොකූ වලකට වැටෙන්නෙ යන්නෙ” කියල ගෙදර මිනිස්සු කිව්වට තමන් හරියන්න හරි වැරදෙන්න හරි රෙහාන්ට ආදරේ කරන බවත්, ආයෙ අවුරුදු ගාණකට පස්සෙ තමන්ගෙ බිඳිච්ච හිත ආදරේ හන්දා පෑස්සෙන බවත් තේරෙද්දි රෙහාන්ව අතාරින්න තේජස්විට ඕන උනේ නෑ.
රෙහාන් තේජස්විව බිඳිච්ච බඩුවක් වගේ දැක්කෙත් නෑ.
“ඊලඟ ආත්මෙක අපි හම්බ උනොත් අපිට අපිව අඳුරගන්න පුලුවන් වෙයි කියලා ඔය හිතනවද?” කියලා රෙහාන් දවසක් තේජස්විගෙන් ඇහුවෙ තමන්ගෙ අපාට්මන්ට් එකේ රූෆ් ටොප් එකේ බිම හාන්සිවෙලා තරු පිරිච්ච අහස දිහා බලාගෙන ඉන්න ගමන්.
“ඔයා හිතනවද අපිට ඊලඟ ආත්මයක් තියෙවි කියලා? ඔයා කැමතිද ඊලඟ ආත්මෙක ඉපදෙන්න?”
“මට ඊලඟ ආත්මෙ ඔයාව හම්බෙනවනම් මම කැමතියි ඊලඟ ආත්මෙක ඉපදෙන්න”
රෙහාන් එහෙම කිව්වම තමයි තේජස්වි තේරුම් ගත්තෙ “ආදරේ හන්දා බිඳෙන්නෙ හදවත් මිසක් ආදරේ නෙවෙයි” කියලා.
ReplyForwardAdd reaction |