Not Without You – 8

0
2744

මම සචින් අයියාත් ආදිලුත් එක බැල්මකට කොටු කොට ගතිමි. මගේ දෑස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් ලොකු වී තිබෙන්නට ඇත. නමුත් විමතියට වැඩි ප්‍රහර්ශයක් ඒවායේ පොරකෑ බවට සැකයක් නැත. එය සතුටු සිනාවක් ව එළියට පැන්නේ තත්පර කිහිපයකට පස්සේ ය.

“අනේ මේ ඇත්තක්මද… සචින් අයිය අපිත් එක්ක රෑ වෙනකල්ම ඉන්නද මේ ආවෙ…”

සචින් අයියා වෙතින් මගේ සතුට හංගන්නට මට ඕනෑ වූයේ ම නැත. ඒ සතුටෙහි කෙලවරකවත් ආදිල් ගෑවී නැත්ද කියා මා විමසන්නට ඒ වෙලාව නො විණි. කෙසේ වෙතත් මා ආදිල් වෙතට අවධානයක් යොමු නොකොට සිටියේ නම් හිතා මතාම ය.

“මෙන්න මූගෙං මළ වදේ නංගි. ඕගොල්ලොත් එක්ක ටිකක් සෙට් වෙලා එමු කියල”

ඒ වෙලාවේ නම් මට ආදිල් දෙස නො බලා සිටිය නො හැකි විය. නමුත් ඒ අඩවන් දෑස් බැල්මට වැඩි වෙලාවක් නිරාවරණය වීමේ බියක් නම් මට දැනිණ.

“හැබැයි අපේ ගෑනි මෙහෙමම මාව දොට්ට දැම්මොත්නං ඔයාගෙ යාළුවෙක්ටවත් මේ අසරණ මාව සෙට් කරල දෙන්න වෙයි හොඳේ”

මම වඩාත් වැඩිපුර සිනහ වීමි. ඒ සචින් අයියා ඒ කතාව කී තාලයට ය. ඔවුන් ඇතුළට පිවිසි පසු ගේට්ටුව වසා පැමිණෙන විට ද මගේ ඇස් වල තෙතමනයක් විය. අපි කාන්තා සමාගමය වෙතට ගියෙමු.

“ශහ් මරුනෙ. ආච්චත් මේ කෙල්ලො එක්ක ඩ්‍රිංක් එකක් ගන්න සෙට් වෙලා නේ…”

“නැතුව නැතුව සචින් පුතා”

ආච්චා ප්‍රීතිමත් දිළිසෙන දෑසකින් සිනහ වූවා ය.

“ඉඳගන්න පුතාල. දැන් මේ මගෙනං නහින දෙහින කාලෙනෙ පුතා. කොයි වෙලාවෙ අරය ඇවිත් කතා කරයිද දන්නෑ දැං හිටිය ඇති යමු කියල. මෙන්න මේ කෙල්ල පිළිවෙළක් වුණානං මට හෙට වුණත් ඒ ගමන සතුටෙන් යන්න පුළුවන්. කවද හිටියත් යන බව දැනගෙනනෙ අපි ඉන්නෙ පුතා. ඉතින් මේ ඉතුරු වෙලා තියන ටික දවස සතුටෙන් හිනා වෙලා විනෝදෙන් ඉන්න එක තමයි මගෙනං එකම බලාපොරොත්තුව. ඒක වැරදියිද මං අහන්නෙ…”

“නෑ නෑ චුට්ටක්වත් වැරදි නෑ ආච්චා”

සචින් අයියාටත් ආදිල්ටත් අසුන් හිමි වන සේ මම ඔංචිල්ලාව මතින් හිඳගතිමි.

“ආච්චා ජීවත් වෙන නිදහස් ක්‍රමේ මේ ගෑනු ළමයින්ට වුණත් හොඳ ආදර්ශයක්”

“අපෙන් කාටවත් වරදක් කරදරයක් හිරිහැරයක් නොවෙන සීමාවෙ අපි වෙනුවෙන් අපි සතුටෙන් ඉන්න ඕන පුතා. ජීවිතේ හැම අහුමුල්ලක්ම විඳින්න ඕනෙ. මේක අපේ ජීවිතේනෙ. අනික් එව්වන්ට කුද ගහගන්නයි කියල අපි මේ ජීවිතේ ලස්සනට විඳල සැහැල්ලුවෙන් මැරෙන්න ඕනෙ. මං අපේ සකීට වුණත් කියන්නෙ… එක කොල්ලෙක් කරපු දේකිං පිරිමි සංහතියම මනින එක වැරදියි. හොඳ පිරිමි ඕනතරං මේ ලෝකෙ ඉන්නව. කසාදයක් බැඳල දරුවෙක් මල්ලෙක් ඉන්නකොට ජීවිතේ කොච්චර ලස්සනයිද… නේද පුතාල… දැං මේ පීහුගෙ දරුව බලන්නකො. මොන දුක් කරදරයක් වුණත් අමතක වෙනව දරුවෙක්ගෙ හුරතල් දකිනකොට”

ආච්චා ගේ කතා මැක්කා ගේ කතා වාගේ ම ය. මැක්කා ගේ කතා කොහෙන් පටන් ගත්තත් මැක්කාගෙන් කෙළවර වන්නා සේ ආච්චා ගේ කතා කොහෙන් පටන් ගත්තත් කෙළවර වන්නේ මගේ විවාහයෙනි. මම නෑසූ කන්ව ඔංචිල්ලාවේ පැද්දෙමින් ගගනත තැන් වල බබළමින් පෘථිවිය දෙස බලනා හුදෙකලා තරු කැට දෙස බලාගතිමි. ඔහු දෙස නො බැලුවත් මේ මොහොතේ ආදිල් ගේ දෑස්  මවෙත යොමු වී ඇති සැටියක් මට දැනේ. නියත වශයෙන් ම ඒ දෙඅදර අතරෙහි අඩ සිනහවක් වනවා ඇත. ඒ සිනහව මගේ ඇතුළාන්තයේ මොකක්දෝ කැළඹීමක් ඇති කරයි. එබැවින් මට ඔහු සිටිනා ඉසව්ව දෙස බැලීමටවත් ඕනෑ නැත.

“අනිත් එක පුතා මේ මගෙ වගේ වයසට ආවහම තමයි ඔය තනියම ඉන්න පුළුවන් කියල තරුණ කාලෙ කියන ඒවගෙ රඟේ දැනෙන්නෙ. කොච්චර වුණත් ලෙඩ වෙන එක ගැන මහළු වෙන එක ගැන මැරෙණ එක ගැන ආත්ම බයක් අපිට තියනව පුතා. ඒ බය තුනී කරගන්න හයියක් වෙන්නෙ අපි ළඟින් ඉන්න මිනිස්සු. මොනා වුණත් මාත් එක්ක මෙහෙම සකී ඉන්නව. අනිත් දරු මුණුපුරාල වුණත් මට ආදරේ නැතුව නෙවෙයි. මේ වයසෙදි අපේ සතුට දරු මුණුපුරෝ දිහා බලං ඉන්න එක. එතකොට තරුණ කාලෙ ඉවරවුණා කියල දුක් වෙන්න හේතුවක් නෑ. ඒ ඒ වයසෙදි ඒ ඒ දේවල් කෙරෙන්න ඕනෙ. නිසි කල නිසි වැහි වහින්න ඕනෙ”

ඉතාමත් ම සිහිල් සුළං රැල්ලක් පා වී ගියේ ය. තුරු හිස් මගින් සෙවන වූ ගෙමිදුල කොහොමටත් සුවදායී කලාපයකි. තවමත් හරිහැටි අඳුර  මෝරා නො වැඩී ඇති බැවින් අහසේ සිට සුදු ආලෝකයක් කඩා වැටේ. නමුත් ගෙමිදුල අඳුරු සෙවනැලි ගුලි වෙමින් පවතී. මගේ මිතුරියන් දෙදෙනා ගේ කටවල් මේ මොහොතේ අගුළු වැටී මන්දැයි විමසන්නට මෙන් මම ඔවුන් දෙස හොරැහින් බැලුවෙමි.

“හරිම නිදහස් හැඟීමක් දැනෙනව අප්ප. කලින් දන්නවනං බාබකිව් එකක් සෙට් කරගන්න තිබුණ නේ…”

උන්හිටි ගමන් ආදිල් සචින් ගෙන් ප්‍රශ්න කළේ ය. එතෙක් ගොළු ගැහී සිටි මමිතුරියන් ගේ ඇස් වහ වහා කතා කරන්නට ගන්නවා මට පෙනිණ.

“ශා නියමයිනෙ”

“කලින් ප්ලෑන් කරන්න ඕන්නෑ ඉතිං. සකී මෙහෙ බාබකිව් අවන් එකක් තියනවනෙ නේ…”

“ඇති”

මගේ මිතුරියන් තරම් උනන්දුවක් මා පෙන්වන්නට ගියේ නැත.

“චාකෝල් තියනවද…”

“තිබුණ මං හිතන්නෙ පැකට් කීපයක්”

“ඉතිං එහෙනං මරුනෙ. මං සුපර් මාකට් එකට දුවල චිකන් ටිකක් අරං එන්නද එහෙනං”

ඒ උනන්දුව ආදිල් ගෙනි. මගේ මිතුරියන්ගේ දෑස් දැල්විණි.

“චිකනුත් ගෙනාපුවනං ඇති. හැබැයි බාබකිව් සෝස් නෑ”

මම හෙමිහිට මිමිණුවෙමි.

“බාබකිව් සෝස් කඩේ ඒවනං කොහොමත් ඕන්නෑ. ඉඟුරු සුදුලූණු සේර එහෙම තියනවං හදල ගන්න පුළුවන් මාර රසවෙන්න”

ඒ ප්‍රතිචාරය ආදිල්ගේ ය.

“ඔයා දන්නවද…”

මුද්‍රා දෑස් උඩ හිඳුවාගත්තා ය.

“ටිකක් දන්නව ඉතිං”

අර අඩ සිනහව! ටර්නාඩෝ සුළි සුළඟකට සේ ඊට හසු වී මා ඒ වෙත ඇදී යනු ඇතැයි බියෙන් වාගේ මම ඉවත බලාගතිමි.

“පටාං ගමු එහෙනං”

ඇසිල්ලකින් කොල්ලන් ද කෙල්ලන් ද මුළුතැන්ගෙයි ය. රෑ කෑමට නූඩ්ල්ස් සකසමින් සිටි මානෙල් අයිනකට වෙනු මම දුටිමි. ඒ වෙලාවේ නඩයේ ගුරා වී සිටියේ ආදිල් ය. මගේ මිතුරියන් දෙදෙනා ඔහු ගේ සුවච කීකරු අතවැසියන් බවට පත්ව සිටියහ. ඔවුහු කුස්සිය මිදුලේ ඉඟුරු අල හැරූහ. සේර ගැලවූහ. සුදුලූණු පොඩි කළහ. ආදිල් කටින් බෝඩ් එක මත තබාගෙන ඒවා කුඩාවට කැපුවේ පළපුරුදු චෙෆ් කෙනෙකු මෙනි. පීහු ඉඟුරු සුදුලූණු හා සේර බ්ලෙන්ඩර් කළා ය. ආදිල් ඒ තලපයට ලුණු කුඩු, කහ, මිරිස්, තුනපහ, පොල් තෙල්, විනාකිරි,සෝයා සෝස්, තක්කාලි සෝස් යනාදිය එකතු කොට සෝස් මිශ්‍රණය පිළියෙල කළේ ය. එයින් කෑම රුචිය වඩවන සුවඳක් හැමුවේ ය.

පීහු විසින් සෝදා දෙන ලද කුකුළු මස් කැබලි මත ආදිල් පිහියෙන් නො ගැඹුරු කැපුම් යෙදුවේ ය. ඊළඟට චිකන් මතට ඔහු තැනූ බාබකිව් සෝස් දමා එය හොඳින් අත පත ගා පහේ තැවරී ය. නො කෑව ද එය කටට කෙළ උනනා ප්‍රණීත රසයක සුවඳ හැලුවේ ය.

“අරහම උයන්න දන්න කොල්ලෙක්නං හා අම්මෙ කියනව බං. කිව්ට් අප්ප. පිටිපස්සෙං ගිහිං බදාගන්න මට හිතිලයි දැං තියෙන්නෙ”

මුද්‍රා මගේ කනට කොඳුරා කීවා ය. වැව් බැම්ම බිඳී ජල කඳ පිටාර ගැලුවා සේ මගේ සිනහව පුපුරා යන්නට විය.

“පැය තුනක්වත් සීසන් වෙන්න තිබ්බනං මරු”

අවසන ආදිල් අත් සෝදා ගත්තේ වශීකෘත සිනහවකින් එසේ කියමිනි. මේ වෙත්දී මගේ කෙල්ලන් දෙදෙනා ඔහු ට විරුද්ධව වචනයක් නො කියනා අග්‍ර දායිකාවන් සේ මට පෙනිණ.

“උඹ ඕක පැය තුනක් සීසන් වෙන්න තියල ග්‍රිල් කරනකොට අපේ ගෑනි ඇවිත් මාව ඇදං ගිහින් සීසන් කරයි”

සචින් ගේ ඒ කතාවට නම් කෙල්ලන්ට සිනහව පාලනය කරගත හැකි නොවිණ. මා සචින් අයියා සමගින් බාබකිව් උඳුන මිදුලට ඔසවාගෙන ගියේ ද තුනී නොවූ සිනහවෙනි. අපි වට වී අඟුරු දමා උඳුන සැකසුවෙමු. අඟුරු දල්වා දැල මතින් පදම් කළ කුකුළු මස් තබා ඒ වටේ හිඳගෙන සින්දු කීවෙමු. සචින් අයියා මගේ බොක්ස් ගිටාරය වැයුවේ ය. මීට කාලයකට පෙර අප දෙදෙනා තනිව ද මෙසේ ගිටාරය වයමින් ගී ගැයූ සැඳෑවන් තිබේ. ආත්මය සුවපත් කරන්නා වූ ඇතැම් පුරුදු හා ආශ්‍රයන් අපේ ජීවිත වලින් දුරස් වී යන්නේ අනපේක්ෂිත ලෙසයි.

මේ රාත්‍රියේ ආච්චා මියුරු ලෙස ඉන්ද්‍රාණි පෙරේරා කෝකිලාව ගේ ගීත කිහිපයක් ම ගැයුවා ය. පීහු ඔංචිල්ලාව මතට විත් මට සමීපයෙන් හිඳ එහි පැද්දෙමින් සිටියා ය. මුද්‍රා සිතිවිලි ලෝකයක බීර බිඳ බිඳ තොල ගෑවා ය. ආදිල් කුකුළු මස් කැබලි පිළිස්සී නො යනු වස් වරින් වර එහි පැත්ත මාරු කළේ ය. බාබකිව් සුවඳින් හාත්පස පිරීතිරී යමින් තිබිණ.

බීර පෙණ ඉහිරිණ. කුකුළු මස් පිළිස්සිණි. ගිටාරයේ තත් හැඬවිණි. ඒ අතරේ අපිට කතා කරන්නට දේවල් ද තිබුණේ ය.

“සචින් පුතාගෙ නෝනත් හිටියනං මෙතන සතුට වැඩියි”

හදිසියේ ම ආච්චා කීවා ය. සචින් අයියා ගිටාරය පසෙකින් තබා කුකුළු මස් කැබැල්ලක් මුවට දමා ගත්තේ ය.

“එහෙම තමයි ආච්චා. හැම කෙනාටම හැම දේම ලැබෙන්නෑ. එයා මට මගෙ නිදහසවත් මෙහෙම දෙනවනං මට ඒත් ඇති. හැබැයි මං ආසයි එයා මෙතන හිටියනං. එහෙනං මේ සකීයි එයාගෙ යාළුවොයි හැසිරෙන විදිහ පේනවනෙ. මනුස්සයෙක් නිදහසේ ජීවිතේ විඳින්නෙ කොහොමද ගෑනියෙක් වුනා කියල ඒ නිදහස සීමා කරගන්න ඕනද කියල එහෙනං එයා දකිනවනෙ…”

පිටතින් සිනහ වී සිටියාට හැම මිනිසෙකු ගේ ඇතුළානත්යෙහි අත්‍යන්ත වූ වේදනා හා කැක්කුම් ශේෂ වී පැවතිය හැක. අප නො දැන සිටියාට ආදිල්ට වුව එහෙව් මතක පුරාණයක් නැතැයි සිතිය හැකි ද? නමුත් ඔහු තමන් පිළිබඳව වචනයක් හෝ කතා නො කරන්නට ප්‍රවේසම් වූයේ ය. හැම කතාවකට ම අඩ සිනහවකින් සවන් දීගෙන සිටියේ ය. ඒ අතරේ බාබකිව් වැඩේ ඔහු ගේ වගකීමක් සේ සලකා කළේ ය. එහැම විටෙක ම ඔහු වෙතින් විද්‍යමාන වූයේ හුරුබුහුටි පිරිමිකම් ය. මොන කතා අතරේ සිටියත් මගේ ඇස් ඔහුව ම දුටුවේ මන්ද කියා නම් මා දන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here