ආදිල් මන්රූ රත්නායක
අපි සචින්ගෙ ගෙදරට ගොඩවෙනකොට ම එහෙ ග්‍රෑන්ඩ්පා ක්ලොක් එකේ දොළහ වැදෙමින් තිබුණ. ඔරලෝසුවක වෙලාව වැදෙන සද්දෙත් එක්ක මට එහෙම මූසල හැඟීමක් මීට කලින් දැනිල නෑ. අනිත් එක ඔය බට්ටා හෙලවෙන වෙලාව වදින පරණ ඔරලෝසු වලට මං ආසයි. ඉස්තෝප්පුවෙ ලයිට් එකක්වත් දාල තිබුණෙ නෑ. අහසින් ගලපු ස්වභාවික එළිය විතරක් යන්තම් ඉස්තෝප්පුව මත වැතිරිලා තිබුණ. ගෙයි මහ දොරත් වහල දාලයි තිබුණෙ. මං හිතුව ශුවර් එකට ම සචින් ගෙ වයිෆ් දෙව්නි අපිව දොට්ට දාල දොර වහළ තමයි කියල.
“ආපහු අකුළගෙන යන්න වෙයිද…”
හෙමිහිට මං එහෙම කියල හිනාවුණත් ඒ නිශ්ශබ්ධතාවය අතරෙ ඒ හඬත් ටිකක් ඕනවට වැඩිය ඇහුණද කොහෙද… සචින්ගෙ මූණෙනං හිනාවක නාමයක්වත් තිබුණෙ නෑ. ඒ වෙලාවෙනං ඌ ටිකක් බය වෙලා වගෙයි කියල මට හිතුණා. එක පාරට ම කෑගහන්න ගත්ත කළු පූසෙක් තව එකෙක් එක්ක පොර කාගෙන තාප්පෙන් පැන්නෙ අපේ කකුල් ඉස්සරහටමයි. සචින් හිත හයිය කරගෙන “චිප්” කිව්වත් ඌගෙ හඬේ පොඩි කැළඹීමක් නො තිබුණා ම නෙවෙයි. හොල්මන් ෆිල්ම් එකක වගේ මෙහෙම දේවල් වෙන්නෙ ඇයි අප්ප කියල හිතනකොට ම අර අඳුරු ඉස්තෝප්පුවෙන් කළු පාට මනුස්ස රුවක් නැගී හිටිය. මට ‘හීක්’ ගෑවුණෙ නෑ කියන්න ම බෑ. හිතේ ගැස්ම යන්තං අඩු වුණේ අත් දෙක ඉණට තියාගෙන හිටගත්ත දෙව්නි ව අඳුරගත්තට පස්සෙ.
“ඔයාට නිදාගන්න තිබුණනෙ අපි එනකල් ඇහැරං ඉන්නැතුව”
සචින් කිව්වෙ හරිම පහළ ස්වරයකින්.
“ඔව් මෙයාට දඟලල ඕන වෙලාවක එන්න පුළුවන්නෙ එහෙම වුණානං”
කේන්තියෙන් අපේ මූණට වචන වලින් දමල ගහපු දෙව්නි මහ හයියෙන් දොර තල්ලු කරගෙන ගෙට ඇතුල් වුණා. ඒ කතාව නිකං… පොඩි ළමයෙක්ට කරපු තරවටුවක් වගෙයි මට දැනුණෙ. ඒ කියන්නෙ සචින් සකීලගෙ ගෙදර ගිය එක ගැන දෙව්නි ඉන්නෙ දරාගන්න බැරි කේන්තියකින්.
මං ඉස්සරහම දෙව්නි එහෙම කියපු එක ගැන සචින් අවුල් යන්න ඇති කියල හිතුණ නිසා මං ඌගෙ උරහිසට තට්ටුවක් දාගෙන උඩට ගියා. වොශ් එකක් දාගෙන ඇඳටත් වැටිල නිකමට ෆෝන් එක අතට ගන්නකොටයි දැක්කෙ වට්සැප් එකට කල්පනී මෙසේජස් පුරෝල තිබුණ. ඒව ලේසියෙන් කියවන්න පුළුවන් ඒවත් නෙවෙයි. ලියුං වගේ පතරංග ජාතක.
“මට ඔයා නැතුව ඉන්න බෑ. එහෙම වුණොත් මං මැ රෙ නව”
එයා පටං අරං තිබුණෙ ඒ අඳෝනාවෙං. ඉස්සර වගේ මං ඒ ආදර තර්ජනේට බය වුණේනං නෑ.
“කොහොමද ඔයා මෙහෙම කරන්නෙ… මට මෙහෙම කරන්නෙපා ආදිල්. මං ඔයාට කොච්චර ආදරේද… ඔයා මේ මගෙ ජීවිතේ විනාස කරන්න හදන්නෙ. මං නඩු දානව. මාව බඳිනව කියල පොරොන්දු වෙලා ඉඳල අත්ඇරිය කියල”
ඒ හෑල්ල උඩින් පල්ලෙන් කියෙව්වම හැම තැනකම ඔය එක ම වෛරී ප්‍රකාශය තමයි තියෙන්නෙ. කේන්තිය ඉවසගන්න බැරුව මං කල්පනීට එවෙලෙම කෝල් එකක් ගත්ත.
“මං හිතුව මෙසේජස් සීන් කළාම ඔයා මට කතා කරයි කියල”
ඒක හරි උද්දච්ච ප්‍රකාශයක්. කල්පනී කොහොමත් හිතන් ඉන්නෙ එයා තමයි මේ ලෝකෙ මට තියන එකම ස්ත්‍රී පිළිසරණ, මගෙ අඬු කඩල දැම්මත් බඩගාගෙන හරි මං එයා ළඟට එයි කියලයි.
“මං මේ කතා කළේ ඔයාගෙ විකාර නවත්තන්න කියන්නයි කල්පනී. මීට පස්සෙ මං මෙහෙම කෝල් එකක්වත් ගන්න හිතන එකක් නෑ. මේක ගන්නෙත් අපි අතරෙ සම්බන්ධයක් තිබුණ නිසා ඒකට රෙස්පෙක්ට් කිරීමක් විදිහට. හැබැයි ඔයා හැමදාම ඔයාට දීපු ගෞරවය ලැබෙන්නම ඕන එකක් එහෙම නොකළොත් නඩු දානව වගේ මෙන්ටැලිටි එකකයි හිටියෙ. ඒ මෝඩ උද්දච්චකම නිසා පිරිමියෙක්ට කොච්චර ගෑනියෙක් එපා වෙන්න පුළුවන්ද කියල ඔයා දැංවත් තේරුං ගන්න. අනික ඔයා කැමති උසාවියක නඩු දාන්න. අපි අතරෙ අෆෙයා එකක් තිබුණා ඇත්ත. හැබැයි අපි මැරි කරල හිටියෙ නෑනෙ. මැරි කරපු අයට වුණත් එයාලගෙ අෆෙයා එක වදයක් වෙන තරං ටොක්සික්නං ඒකෙං එළියට යන්න නීතියෙන්ම ඉඩ තියනව. ඔයා කැමති දෙයක් කරන්න කල්පනී. ඔයාට වරදක් කරන්න කවදාවත් මට ඕනවෙලා නෑ. හැබැයි ඔයා නිසා මට වරදක් කරගන්නත් තවත්නං මට බෑ”
හුස්මක් ගන්නෙකත් පස්සට තියල හිතට ආපු හැම දේම මං කියාගෙන කියාගෙන ගියා. ඊළඟට ෆෝන් එක ඕෆ් කරල පැත්තකට දැම්ම. නැත්තං කල්පනී අද මට නිදියන්න දෙන්නෑ. එපා කියන්න කියන්න ආයෙ කෝල් කරනව. එයා එහෙමයි. අනිත් මනුස්සයට වදයක් වෙන විදිහට සම්බන්ධයක් ඇතුළෙ හැසිරෙන්න හොඳ නෑ, කොයි විදිහෙ සම්බන්ධයක් ඇතුළෙ වුණත් විනයක් තියෙන්න ඕන කියන එක පිළිගන්න කෙනෙක් නෙවෙයි එයා.
ෆෝන් එක ඕෆ් කරල දාල නිදියන්න හැදුවට නින්ද ගියේ ම නෑ. ගෑනියෙක් වුණාම තමුං ළඟින් ඉන්න මිනිහගෙ ඔළුව කන්න හොඳ නෑ කියන එක හදවතේ ඉහළ ම තැනක තියාගන්න ඕනෙ. එහෙම ගෑනු ආත්මයක් වෙනුවෙන් ජීවිතේම වුණත් දෙන්න පිරිමි ලෑස්තියි. හැබැයි ගෑනු මෙහෙම වෙනකොට පිරිමි උන්ගෙන් ඈතට දුවන්නෙ නෝවා ලයිල්ස්ටත් වැඩිය වේගෙන්.
සකී ආන්‍යා තඹරවිල
ආච්චා ගෙදර ආවේ අතිශය සතුටෙනි. මගේ මෝටර් රථය ගෙමිදුල නතර වන විට ම මුද්‍රා විත් ආච්චාට රෝද පුටුවට එන්නට උදව් කළා ය.
“කතා කළානං අපිත් එනවනෙ චර්ච් යන්න”
“අනේ ඕගොල්ලොන්ට ටයර්ඩ්නෙ පුතා. අපි වෙන දවසක ගිහින් එමු එහෙනං”
ආච්චා ගේ හිනාවේ වූ ප්‍රීතිමත් වෙනස ගැන ලොකු අදහසක් මුද්‍රා ට හෝ පීහු ට නොවන්නට ඇත. එබැවින් සිය සතුට කිසිවෙකු ගේ ඉල්ලීමකින් තොරව දැනුම් දෙන්නට ඇය තීරණය කළා විය යුතු ය.
“දේව මෑණියන්ට යාඥා කළාම අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙනව තමයි. ඒත් මේ තරං ඉන්මනට අපේ ප්‍රාර්ථනා ඉෂ්ට කරල දෙන්න එතුමිය හිතයි කියල මං හිතුවෙ නෑ”
“මොකද්ද අප්පා ඒ විශ් එක.. මගදි අපේ ආන්‍යාට කොල්ලෙක්වත් හම්බුණාද ආච්චා…”
පීහු ගේ ප්‍රශ්නයට ආච්චා තරමක් හඬ නගා සිනහ වන්නට වූවා ය.
“ඒ හිනාවනං එහෙම දේකට අදාලයි වගේ තමයි”
මුද්‍රා ද විශේෂ උනන්දුවකින් ආච්චා වෙත යොමු වූවා ය. මම නිසංසලේ යතුර ද ගෙන රියෙන් බැසගතිමි.
“සකී කැමැත්ත දුන්න මනමාලයෙක් හොයන්න. මේක සෙලිබ්‍රේට් කරන්න ඕන දවසක් කෙල්ලනේ. සකී කැමතිවුණා එයාට ගැලපෙන කෙනෙක්ව මැරි කරන්න”
මගේ මිතුරියන් දෙදෙනා අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ මේ මද්දහන් වෙලාවේ මග එත්දී අමනුස්ස බලපෑමකටවක් ලක් වූවාද වන් සැකයකිනි.
“මං දැම්මම අපේ පවුලෙ වැඩ කරපු කපු උන්නැහෙට කතා කරල මේ ගැන කියන්නං”
ආච්චා ගෙතුලට ගියේ දුරකතනය ගැන සිහින දකිමිනි. මගේ මිතුරියන් දෙදෙනා මා පසුපස කාමරයට පැමිණ සිටියහ.
“මොකද්ද ගොං ගහ ඒ ගමන කරන්න යන්නෙ…”
“ඇයි… ඕගොල්ලොමනෙ කිව්වෙ මොනා වෙන්නහරි එක පාරක්වත් බඳින්න ඕනයි කියල”
“ඒක හරි. ඒත් ඉතිං මොකටද මනමාලයො හොයන්න කියල ආච්ච කපුවට කියන්න හදන්නෙ…”
“නැත්තං ඉතිං මනමාලයො කඩේ තියනවයැ… අපිට ඕන කෙනාව බලල සල්ලි දීල අරං එන්න…”
මට ඕන වුණේ විහිළුවක් කොට ඔවුන් සිනහ ගැන්වීමට ය. වෙන වෙලාවක නම් බඩවල් අල්වාගෙන සිනහ වෙන්නට මගේ ඒ කතාව ඔවුන්ට ප්‍රමාණවත් වනු ඇත. නමුත් මේ මොහොතේ ඔවුන් දෙදෙනා ම මදෙස බලා සිටියේ සිනහවකින් තොරව ය.
“සකී ඔයා හිතනවද මගුල් කපුවෙක් හොයං එන මනමාලයෙක්ව ඔයාට හරියයි කියල…”
අප තිදෙනා ම මගේ යහන මත හිඳගැනීමෙන් පස්සේ බෙහෙවින් තෙපරබා මුද්‍රා එය අසාගත්තා ය.
“දැං ඉතිං එහෙමනෙ කරන්න වෙන්නෙ බඳින්නම ඕනනං. නැතුව මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑනෙ. අනික… ලව් අෆෙයා වලින් කෙරෙන මැරේජස් වලට වඩා ප්‍රපෝස්ඩ් මැරේජස් සක්සස් වෙනව කියල මං අහල තියනව”
“ආච්චිගෙ ඉටිගෙඩිය”
“ඒ ගමන හදිස්සි වෙලා හැට පැනපු අංකල් කෙනෙක්ගෙ ප්‍රියාදරිය වෙන්න හදන්නෙපා ගොං වැස්සියෙ”
“අංකල්ල විතරක් නෙවෙයිනෙ කපුවො හොයං එන්නෙ”
“ඔයාගෙ හිතේ ආදිල් ගැන මුකුත් අදහසක් නැද්ද ආන්‍යා…”
“පිස්සුද…”
මගේ හිත ඇතුළන් බෝම්බයක් වැනි විදාරණයක් සිදු විය. මා ඒ තරම් තිගැස්සුණේ ඇයි කියා මම ම නො දනිමි.
“මට එච්චර අහේනියක් නෑ අඑම්බෙන් දැක්ක කොල්ලෙක්ට කතා කරල මාව බඳින්න කියන්න. ප්‍රපෝසල් එකක් බලනව කියන්නෙ වෙන දෙයක්. එතකොට ඒ මනමාලයටත් ගැලපෙන කෙනෙක්ව හොයනව. අර ආදිල්ටනං ඔහොම දෙයක් අඟවන්නවත් එපා හරිද…”
ඒ වෙලාවේ මගේ හිත වටකොට රැකවලෙහි සිටියේ මගේ ම උද්දච්චකම බව මම දනිමි. නමුත් ඉන් මිදෙන්නට මට හැකියාවක් නැත. ඕනකමක් ද නැත.