සකී ආන්‍යා තඹරවිල
ඔංචිල්ලාවට වී පැද්දෙමින් මම නිහඬ කල්පනාවකට වැටී සිටියෙමි. හද පත්ලට ඉඳිකටු තුඩු වලින් අනිනා ඉසිහින් රිදුමක් දැනී නො දැනී යමින් තිබේ. ආච්චා ට කැමති විදිහකින් මනාලයෙකු සොයනා ලෙසට එකඟතාවය ලබා දුන් වෙලාවේ සිට එය සංවේදනය වේ. ආදිල් මන්රූ රත්නායක ගේ සිතිජ දෑස්, පේන නො පෙනෙන තැනෙක හිඳ මොකක්දෝ කතාවක් කියනා සෙයක් මට දැනේ. ඔහු ගේ ඇස් කතන්දර මගේ ගැහැනු හදවත මත සියුම් ගැස්මක් ඇති කරනා බව ඇත්ත ය. නමුත් එය ප්‍රේමයක් කියා හැඳිනගන්නට තවම ඉක්මන් වැඩි යයි මම සිතමි.
ප්‍රේමයත් සමග හදවතට ගොඩවෙන චමත්කාරයට කාලයක් තිස්සේ මා තුළ භීතිකාවක් වෙයි. එය පුද්ගලිකව මට සාධාරණ ය. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසුන් කණාමැදිරි එළි වලටත් බිය වෙන එකෙහි අරුමයක් නැත. මිතුරියන් සමග එක් වූ කල අනවශ්‍ය දේ වලටත් බොරුවට සිනහ වෙමින් ගෙවනා මතුපිට ජීවිතයට යටින් කවුරුවත් නො දකින, කාටවත් නොපෙනෙන සංවෘත ජීවිතයක් ද තිබේ. අන්න ඒ සැඟවුණු මා අවිහිංසක කෙල්ලකි. ඇයව ආරක්ෂා කරනුයේ පිටතින් සිටිනා ආඩම්බරකාර නිවුන් සොයුරියයි. නමුත් එකී අහිංසක ගෑනු ළමයා ප්‍රේමයට අධි සංවේදී තැනැත්තියකි. එයින් ලද රිදුම් නිසා මා තුලට ම රිංගා සැඟවී ගත්තියකි. කවුරුවත් මගේ ඒ අසරණකම දකින්නේ නැත. ඕනෑ ම කෙනෙකු දකින්නේ පිටතට පෙනෙනා අහංකාරය පමණකි!
“මෙච්චරකල් හිටපු එකේ ඔය ප්‍රපෝසල්ස් හොයන වැඩේට තව ටිකක් ඉවසන්නයි කියල ආච්චට කියමුද…”
මගේ මිතුරියෝ විමසූහ. මම ඔවුන් ප්‍රශ්න කළෙමි.
“දැං ඕගොල්ලොම නේද මං බඳින්නෝනයි කිය කිය කනක් ඇහිල ඉන්න දුන්නැත්තෙ…”
“හරි ඉතිං ඒත් ප්‍රපෝස්ඩ් මැරේජ් එකකට යන්න කියල නෙවේනෙ ඒ කිව්වෙ. ආදරේකට හිතට එන්න හිතේ ඉඩ හදාගන්න කියලයි කිව්වෙ. මොනා වුණත් ආදරයක් නැතුව කසාදයක් බඳින එක මහ අමුතු දෙයක් නේද… ආච්චිල කිව්වට බැන්දට පස්සෙයි මහත්තයගෙ මූණත් දැක්කෙ කියල… මන්දා… අපි වගේ ගෑනු පරාණ වලට එහෙම ලව් එකක් සෙට් වෙන්නෑ වගේ නේද…”
මගේ යටි හිතත් ඒ බව කෑ ගසා කියනු මට ඇසේ. මා තවමත් හිඳිනුයේ නෑසූ කන්ව ය. වතාවක් මා කලබල වී ප්‍රේමය කියා වෙනකක් ජීවිතයට කැඳවාගතිමි. මට වැරදුණු කල කටුව තුළට රිංගාගත් ඉබ්බියක සේ ප්‍රේමයෙන් සැඟවීගෙන සිටියෙමි. සැබවින් අප වගේ ගැහැනු හිත් සමගින් එහෙම සෙල්ලමක් නොකර ඉන්නට ප්‍රේමයට හෝ ඉරණමට තිබුණා නොවේ ද?
ඔංචිල්ලාව මත පැද්දෙමින් සිටිනා මට ගේට්ටුව අසල, පාරට පේන්නට සවි කොට ඇති නාම පුවරුව පෙනේ.
සකී අන්‍යා තඹරවිල – ශ්‍රේෂ්ඨාධීකරණයේ නීතීඥ!
ඔය පුවරුව සකසා ඔතන සවි කරවූයේ තාත්තා ය. කිහිප දෙනෙකු එය සවි කරණා විට අම්මාත් තාත්තාත් උතුරනා සතුටකින් ද බලාපොරොත්තුවකින් ද බලා සිටි අයුරු මේ දැනුත් මට මැවී පෙනේ. අම්මා ඒ මිනිසුන්ට තේ පැන් වලින් සංග්‍රහ කළේ උනන්දුවෙනි. තාත්තා ඔවුන්ට පොරොන්දු වූ ගණනටත් වැඩිපුර මුදලක් අත මිට මෙළෙව්වේ ය. මුළු ගමට ම පෙනෙන සේ සිය දියණිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරියක බව ඒ නාම පුවරුව හඬ ගා කියත්දී ඔවුන් හදවතින් ම ආඩම්බර වූ බව එදාටත් වැඩියෙන් අද මට දැනේ.
ජීවිතය කියන්නේ තණ අග පිනි බිඳක් වන් යමකැයි කියන කතාවෙහි වන පරම සත්‍යය හොඳින් දන්නේ වඩාත් සමීපතමයන් හදිසියේ ජීවිතයෙන් අතුරුදන් වූ මිනිසුන් ය!
අද ඒ නාම පුවරුව වෙතට මෝනිං ග්ලෝරියා මල් වැලක් බඩ ගා ගොස් එය වසා වැඩෙමින් තිබේ. අපේ පවුලේ ආඩම්බරය වැසී යමින් තිබේ. මට එහි ගාණක් නැත. උසාවි යන එක මා නවතා දැමූයේ ඒ කාලයේ ම ය. ඒ ගැන මා තුළ වන්නේ අලස බවකි. මා නීතීඥවරියක කරන්නට ඕනෑ වූයේ තාත්තා ට ය. මට ඕනෑ වූයේ වෛද්‍යවරියක වන්නටයි. තාත්තා ඒ අවස්ථාව මට ලබා දුන්නේ ය. නමුත් දෙවතාවක් ම උසස් පෙළ කළ ද වෛද්‍ය පීඨයට වන තරගයෙන් දිනන්නට මට ලකුණු ප්‍රමාණවත් නොවී ය.
“ඒකනෙ මං හැමදාම කිව්වෙ ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙනගන්න කියල. ඒක ඔයාට අමාරු නෑ”
ඒ වතාවේවත් තාත්තා සතුටු දෙයක් කරන්නට මම තීරණය කළෙමි. නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ලියා ඉන් සමත් වී මා ඒ ගමන ගියේ ඉනික්බිති ය. ජ්‍යේෂ්ඨ නීතීඥවරයෙකු ළඟ පුහුණු කටයුතු සිදු කළ ද අම්මා ජීවිතක්ෂයට පත් වූ කල ඒවා නැවතිණ. ඉන්පසු මා කළේ ගෙදර කන්තෝරු කාමරයේ දී ඔප්පුවක් ලියාගෙන හිඳිනා එක පමණකි. ඒ නැත ද තාත්තා ස්ථිර තැන්පතු ලෙස ඉතිරි කොට ගිය මුදල් වලින් මාස්පතා මගේ බැංකු ගිනුමට පොළිය ලෙස බැර වන මුදල ද දෙහිවල ගොඩනැගිල්ලේ කුළිය ද මට හා ආච්චා ට ජීවත් වීමට වැඩි තරම ය.
මෝනිං ග්ලෝරියා මල් වැලේ බෝඩ් එක පැත්තට ගිය අත්ත ඇද දැමිය යුතුයයි සිතිවිල්ලක් ඇති වී නැති වී ගියේ ය.
“සකී… හරි වැඩේනෙ”
කියාගෙන ආච්චා රෝද පුටුවෙන් මා සිටි දෙසට එන්නට වූවා ය. ඇගේ මුහුණේ වූ කලබල රැලි කුමක් නිසා හට ගත් ඒවා දැයි මට නිශ්චිත වූයේ නැත.
“ඇයි ආච්චා…”
“අර මනුස්සයට ඊයෙ රෑ හාට් ඇටෑක් එකක් ඇවිත් හොස්පිටලයිස් කරලනෙ”
“කොයි මනුස්සයටද ආච්චා…”
“අර කපු උන්නැහේට. මං දැං කෝල් එකක් ගත්තහම උන්දගෙ පුතෙක් ෆෝන් එකට ආන්සර් කළේ”
මගෙන් සැනසුම් සුසුමක් ගිලිහී ගියේ ඇයි? ඒ කපු උන්නැහේ ගිලන් වූ එක ගැන නම් නොවන බව සහතික කොට කිව හැක. එසේ නම් ඒ මට යෝජිත විවාහයක් සිදුවන්නට තවත් ටිකක් කල් ගත වන නිසා නොවන්නේ ද? ඉසිහින් මන්දස්මිත රේඛාවක් මගේ දෙතොල් අතරින් රිංගා ගියා දැයි නො දනිමි.
“ඒ ළමය කිව්ව ඉමර්ජන්සි නිසා ඒ වෙලාවෙම බයිපාස් එක කරලලු. දැනටනං මුකුත් ප්‍රශ්නයක් නෑ කිව්ව. රෙස්ට් එකේ ඉන්නවලු”
“සනීප වෙයි ආච්චා”
“ඒ වුණාට මගෙ හිතට හරිනෑ වගේ වුණා. හාහාපුරා කියල සකීට මගුලක් කතා කරන්න කියල කියන්න හැදුව විතරනෙ”
“එක හීනෙං එළිවෙන්නෙ නෑනෙ ආච්චා. අනික කොයි දේ වෙන්නෙත් හොඳට. රෑට නැති නුවණ උදේට පහළ වෙනව කියලත් කියනවනෙ. වැදගත්ම දේ කාලය. මට තව ටිකක් කාලෙ ඕනෙ කියල සොබාදහම හිතනව ඇති”
ආච්චා මදෙස බලා හිඳ පූර්ණ නොවූ අදහසකින් නිහඬ වූවා ය. මට මොකක්දෝ සතුටක් දැනිණ.
දෙහිවල ගොඩනැගිල්ලෙහි වැඩ හැකි ඉක්මනින් අරඹන්නට ආදිල් ට උවමනා වී තිබිණ. හැන්දෑවේ ඔහු සචින් සමග අපේ ගෙදරට ආවේ ය.
“ඔන්න ඔය බදු ඔප්පුවක්හරි ලියන මොකක්හරි එකක් ලියල මෙන්න මූට බිල්ඩින් එක දීපං සකී”
ආදිල් ගේ අවශ්‍යතාවය දැනුම් දුන්නේ සචින් ය.
“අනේ මුකුත් ඩොකියුමන්ට්ස්නං ඕන නෑ නේද ආච්චා”
“මොන පිස්සුද දරුවො… සචින් පුතායි අපියි අතරෙ සම්බන්ධකං වලට දැං වයස තිස් ගාණක්. විශ්වාසයයි බැඳීමුයි අවංකකමයි තියන තැනක නීතිය කියන්නෙ කිසි වටිනාකමක් නැති දෙයක්. නීතිය දේවත්වයෙන් පුදන්න වෙන්නෙ අවනීතිය සැකය බය තියන තැන් වල. ආදිල් පුතාව දැකල කතාබහ කරල ඒ හැටි කාලයක් නැතුවට මටනං පුතා ගැන තියෙන්නෙ ලොකු පැහැදීමක්. පුතා වගේ තරුණ දරුවෙක් දියුණු වෙන්න උත්සාහයක් ගන්න වෙලාවෙ අපිට පුළුවන් සහයෝගයක් අපි දෙනව. නේද සකී…”
මම දැනෙන නො දැනෙන ගානට හිස සැළුවෙමි. ආදිල් හිටියේ මා කැමති ම විදිහේ අඩ සිනහවෙන් දෙතොල් සරසාගෙනයි. මගේ දෑස් වසඟ නොවනු වස් මම වැඩිපුර ඔහු දෙස නො බලා සිටියෙමි.
“එහෙනං මං බිල්ඩින් එක මගෙ ඔෆිස් එකට ගැලපෙන විදිහට ඉන්ටීරියර් ඩිසයින් කරගන්නද…”
ආදිල් ගේ ප්‍රශ්නයෙහි ආමන්ත්‍රණයක් නොවුණෙන්, ඔහු එය අසන්නට ඇත්තේ කාගෙන් දැයි නිශ්චිත කරගනු වස් මම ඔහු දෙස බැලුවෙමි. ඒ ඇස් යොමු වී තිබුණේ මදෙසටයි.
“අනේ ඒකට කමක් නෑ. හොඳ විදිහක් කරන්න”
“එහෙනං ඕකේනෙ. අපේ කොල්ලව ඕගොල්ලොන්ට බාරයි හොඳේ”
සචින් අයියා දණහිස් මත දෑත් තබා බර වී අසුනෙන් නැගී සිටියේ එසේ කියමිනි. ආච්චා හඬ නැගෙන සේ සිනහ වූවා ය.
“ඒක හොඳයි… අපේ ගෙදරට පිරිමි පුතෙකුත් නැති එකේ”
මගේ උගුරෙහි කුමක්දෝ හිරවීමක් ඇති විය. තාත්තා ජීවිතය අතැර මරණයත් එක්ක නික්ම ගියාට පස්සේ අපේ ගෙදරට තිබූ ලොකු ම අඩුව පිරිමි පුතෙකු නැති වීම නොවන්නේ ද? යමක් කමක් උපයාගත් පවුලක එක ම දරුවා වශයෙන් මා හැදුණේ දැඩි රැකවරණයක් යටතේ ය. හුරතලයක් මැද්දේ ය. විටෙක එය ඕනාවටත් වැඩි බව මට නො දැනුණා නොවේ. අම්මා මට මගේ කියා කිසිවක් කරගන්නට ඉඩ නො තබා සියල්ල ඇගේ දෑතින් ම කළා ය. තුන් වේල ම මට කැව්වේ නැත්නම් මා අත පත ගා බත් පත ඉතිරි කොට තබනා බැවිනි. අඩු තරමින් එළවළුවක් මැල්ලුමක් මගේ උගුරෙන් පහළට යවා නො ගන්නා බැවිනි.
“ඔය ළමයට තනියම කන්න පුරුදු කරන්න. බඩගිනි වෙනකොට එයා යසට කයි”
කියා කෙනෙකු කී විට පවා අම්මා කළේ මඳහසක් පානා එකයි.
“තේරෙන කාලෙට එයා කොහොමත් කයි. එතකන් අල්ලල කවලහරි ඇඟට ඕනකරන පෝෂණය දෙන්න ඕනනෙ. අනික අපේ ළමය අපි හුරතල් කරන්නැතුව අල්ලපු ගෙදරින් ඇවිත් හුරතල් කරන්නෑනෙ”
අම්මා ට එවන් ස්ථාවරයක් විය.
“හැබැයි පුතා මං හැමදේම මෙහෙම කරල දුන්නට ඔයා ඉගෙනගෙන ඉන්න ඕනෙ කොයි දේත් කරගන්න. හැමදාම අම්මල තාත්තල ඉන්නෑ. එහෙම දවසක තනියම වුණත් ජීවත් වෙන්න දැනගෙන ඉන්න ඕනෙ. මං ඉන්නකල් හැම දේම අතට පයට කරල දෙන්නං”
ඈ ජීවත් ව සිටිනා තුරාවට ඒ කී දේවල අරුත් මට බරට නො දැනිණි. මහමෙරක් වාගේ සියල්ල මා මත පැටවුණේ ඔවුන් දෙදෙනා ම නික්ම ගිය ඉක්බිතියි. බෝනික්කියක වාගේ හැදුණු ගෑනු පුතෙකුට, පිරිමි පුතෙකු නැති ගෙදරක වගකීම් තනි හිතින් දරන්නට සිදු විය. දැවුණු විදුලි බල්බයක් මාරු කිරීම, හදිසියේ පුපුරා ගිය ජල නලයකට පිරියම් කිරීම, කෙසෙල් කැනක් කපාගැනීම පමණකුදු නොව ගොඩනැගිල්ලක් කුළියට දීමේ වගකීම් දක්වා ම සියල්ල මගේ උර මතට ගන්නට සිදු විය. පිරිමියෙකු නැති ගෙදරක ගැහැනියකට පිරිමි ආවේශයක් ගන්නට සිදු වන බව මා දැනගත්තේ මව් පියන් අහිමි වූ ඉක්බිතියි. මාව ද රැක බලා ගනු ඇතැයි සිතූ හසන්ත ට උවමනා වූයේ සකී ආන්‍යා නමැති යුවතිය නොව ඇගේ දේපළ හා මුදල් හදල් බව වටහා ගත් මොහොතේ තව දුරටත් දැඩි වන්නට මට සිදු විය. එය කිසිසේත් පහසු දරාගැනීමක් නොවේ. ගැහැනියකට වඩාත් පහසු ගැහැනියක ලෙස ජීවත් වීමයි. මොළකැටිව, සියුමැළිව, හුරතල්ව ජීවත් වීමයි. සචින් අයියා ද දුරස් වී ගිය ඉක්බිති මට පිරිමි අතක හයියක් වූයේ ම නැත. අපේ ගෙදර පිරිමි රැකවරණයක්, සොයා බැලීමක් වූයේ ම නැත. ඉතින් ආච්චා ආදිල් ව අපේ ගෙදරට පිරිමි පුතෙකු සේ පිළිගන්නට සැරසෙත්දී මා තිගැස්සී යන එක අරුමයක් ද?