Not Without You – 12

0
5752

ආදිල් මන්රූ රත්නායක

මේක අමුතු ඍතුවක් වගේ මට දැනෙනව. එක ඍතුවක් ඉවර වෙලා තව එකක් උදා වෙන්න යන අන්තර් තත්වය වගේ අමුතු දේවල් සිද්ධ වෙනව. ඉක්මනට වෙනස්කම් සිද්ධ වෙනව. සමහර වෙලාවට පරණ ඍතුවට ම ආපහු ජීවිතේ දුවන්න යනව. ආයෙත් වේගයෙන් ඉදිරියට යනව.

ඔය අතරමැද තත්වයෙ නතර වෙලා මං හයියෙන් අල්ලගෙන හිටිය කිව්වොත් නිවැරදියි. ඉස්සරහට අඩියක් තියාගන්නකල් මං ඉවසීමෙන් ඉන්න ඕනයි කියන එක හැම වෙලාවක ම හිත යටින් කව්දෝ මුමුණල කියනව වගේ දැනුණ. මේ වෙලාවෙ බිස්නස් එක තමයි මගෙ හිතේ නම්බර් වන් වෙලා තිබුණෙ. ඒක හරියට හදා ගන්නකල් වෙන කිසිදෙයක් ගැන ෆෝකස් කරන්න මට ඕනවුණෙ නෑ. හැබැයි ගෙවුණු ඍතුව පැත්තෙ ඉඳල කල්පනීත් අනිත් පැත්තෙන් සකීත් යම් යම් බලපෑම් නොකළා නෙවෙයි. කල්පනී ට ආයෙමත් මාත් එක්ක මුල ඉඳන් පටන් ගන්න ඕන වෙලා තිබුණ. හැම උදේක ම හවසක ම රාත්‍රියක ම එයාගෙන් වට්සැප් පණිවිඩ තිබුණ. ඒව නිකං අඳෝනා වගෙයි. එහෙම නැත්තං නිල නොවෙන තර්ජන වගෙයි. ඇත්ත කල්පනී කියන්නෙ කාලයක් මං ආදරේ කරපු කෙල්ල. බඳින්න බලාපොරොත්තුවෙන් හිටපු කෙල්ල. ඒ වුණත් දෙයක් හිතට වදයක් වෙන්න ගත්තට පස්සෙ අපිට ඒකෙන් ඈත් වෙලා ඉන්න ඕන වෙනව. එහෙම වෙලාවටත් ඒ දේ කුරු කුරු ගගා පස්සෙන් එන්න ගත්තහම හිතෙන්නෙ ආයෙත් ඒ පැත්තට නැඹුරු වෙන්න නෙවෙයි. පුළුවන් තරං හයියෙන් එතනිං ඈතකට දුවං යන්න. මේ වෙලාවෙ මං හිටියෙත් එහෙම තැනක. කල්පනී ඒක කොච්චර කිව්වත් තේරුං ගත්තෙ නැති නිසා මට එයා තව තවත් වදයක් වුණා විතරයි. මට තව තවත් එයා ගැන මතක වලින් පවා ඈත් වෙන්න ඕන වුණා විතරයි.

සකී හිතේ ඇති කළේ එහෙම බලපෑමක් නෙවෙයි. ඒක නැවුම් හැඟීමක්. මිහිරක්. ආශාවක සියුම් හැඩයක්. පෞරුෂයත් මටසිළිටිකමත් එකට මුහු වුණු ගෑනු ආත්මයක් ළඟ පිරිමි හිතක් කැළඹෙන එක වළක්වන්න බෑ. ඒත් එයාට කිසිම විදිහකින් ළං වෙන්න ඕන කියල අදහසක්නං මට තිබුණෙ නෑ. මොකද ඒ පෞරුෂය එහෙම එකක්. අනිත් පැත්තෙන් කල්පනීගෙ දැවැන්ත අඳුරු හෙවනැල්ලක් වැටිල තිබුණා. ඒ වගේ ම බිස්නස් එකට ෆෝකස් කරන්න ඕනයි කියන හිතිවිල්ල ලොකුවටම මාව වහගෙන හිටිය.

ඩොකියුමන්ට් එකක්වත් නැතුව බිල්ඩින් එක බාරගන්න කියල හරිම සොෆ්ට් විදිහට බලල එයා කියපු වෙලාවෙනං මගෙ ඇතුළාන්තය සුළි කුණාටුවකට අහු වෙලා වගේ මොකක්දෝ වුණා. එයාලගෙ ගෙදරට පිරිමි පුතෙක් විදිහට මාව බාර ගන්න සූදානම් බවට ඉඟියක් ආච්චාගෙන් ලැබුණ වෙලාවෙත් හිතට උඩින් කොළ එළියක් දැල්වුණා තමයි. ඒත් බැල්මකින්වත් අනුබලයක් නොදෙන කෙල්ලෙක් වෙනුවෙන් මං මොනා කරන්නද? සකී වගේ පෞරුෂවත් කෙල්ලෙක් එක්ක ගනුදෙනු කරන එක, කල්පනී වගේ මෙලෝ දර්ශනයක් නැති කෙල්ලෙක් එක්ක ගනුදෙනු කරනවට වැඩිය හරිම කම්ප්ලිකේටඩ්!

සකී ආන්‍යා තඹරවිල

දෙහිවල ගොඩනැගිල්ලෙහි අලුත්වැඩියා කටයුතු සම්පූර්ණයෙන් නිමා වී නො තිබිණි ද, ආදිල් එහි අභ්‍යන්තර නිමැවුම් ආරම්භ කළේ ය. සාමාන්‍යයෙන් ඒ ගොඩනැගිල්ල එක්ක මගේ ලොකු බැඳීමක් වූයේ නැත. එය අප වෙනුවෙන් ආදායම් උපයන මාර්ගයක් වූවා පමණකි. කොහොමටත් භෞතික දේ කෙරේ ඒ තරම් ඇලී ගැලී බැඳී නො පවතින්නට මම නිතර ම මගේ හිතට කියා දෙමින් සිටියෙමි. බැඳීම් කියන්නේ ඕනෑ ම මොහොතක බිඳී ගිලිහී යා හැක්කක් බව මා වඩාත් තදින් වටහා ගත්තේ අම්මාගේත් කාත්තාගේත් වියෝවීම් වලින් පසුවයි.

ගොඩනැගිල්ල ද හිස් වුණෝතින් වෙන කෙනෙකුට පවරා දී මගේ වැඩක් බලා ගැනීම මගේ ක්‍රමය විය. එහි ආදායම් බැර වන සේ වෙනම බැංකු ගිණුමක් වූයෙන් ඒ ගැන මට වද වෙන්නට කාරණා ද නොවිණි. කාලය විසින් වියපත් කරනා ලද, කුළියට වැඩ ගත් මිනිසුන් විසින් තමන්ගේ නොවෙන නිසා පරිස්සම් නො කරන ලද ගොඩනැගිල්ල මා තුළ කිසිදු සජිවී හැඟීමක් නො දනවන ලදී.

මා එය අලුත්වැඩියා කොට නවීකරණයකට කටයුතු සූදානම් කළේ පිටත පෙනුම වැඩි ආදායමක් ලබා දෙන ලෙස ආයෝජනය කළ හැකි බැවිනි. නමුත් ආදිල් ට එහි අයිතිය ලබා දීමෙන් පසු ගොඩනැගිල්ල කෙරේ මොකක්දෝ ආශක්ත බවක් මා තුළ ජනිත කරවනා ලදී. ඔහු එහි අභ්‍යන්තර සැකසුම් පටන් ගත් විට ඒවා නැරඹීමේ යටපත් කළ නො හැකි ආශාවක් ද මා තුළ ලියලන්නට විය. ආදිල් ට පවරා දුන් ගොඩනැගිල්ලක් තුළ සිදු වන්නේ කුමක් දැයි නරඹන්නට යාමේ අයිතියක් මට ඇත්තේ නැත. නමුත් තවමත් අපේ මෙහෙයවීම මත සිදු වන අලුත්වැඩියා කටයුතු එහි අවසන් අදියරේ වන නිසා, ඒ ගැන විමසුම් කරන්නට යන මුවාවෙන් එහි යාමේ නුවණක් මට පහළ විය.

“කන්ස්ට්‍රක්චර්ස්ලට අපි පේමන්ට් එකත් සෙට්ල් කරලනෙ තියෙන්නෙ. ඒත් කමක් නෑ… වැඩේ හරියට වෙලාද කියල සකී ගිහින් බලන එක හොඳයි”

මගේ අදහස ආච්චා ට පැවසූ විට ඈ ඒ අනුමත කළේ මඳක් කල්පනා කොටයි. මගේ යටි අදහස ආදිල්ව දැකීම යයි ඇය සිතුවා ද කියන කාරණය මත මා තුළ ආත්ම ලැජ්ජාවක් උපන්නේ පසුවයි. නමුත් සමහර අවස්ථා වලදී අපට ලැජ්ජා නැති ලෙස ලැජ්ජාව අමතක කරන්නට සිදු වේ!

මා යන විට අපේ අවසාන නිමැවුම් ද නිමාවට පත් වී ඉදිකිරීම් සමාගමේ නියෝජිතවරු පිටත්ව ගොස් සිටියහ. මා ඇතුළට නොගොස් දොරකඩ සිටගෙන සිටිනා විට ආදිල් වහ වහා ඉදිරියට ආවේ ය.

“එන්න එන්න සකී”

එය සුහද පිළිගැනීමකි. අප දැන හැඳිනගෙන ටික දිනක් ගෙවී තිබිණි ද අප අපට ඒ තරම් සුහද වී හෝ සමීප වී නො සිටි බව පිළි ගත යුතු ය. අනිත් අතට දැන් මෙය මගේ නොව ඔහු ගේ තැනයි. එකවර ඇතුළට යන්නට තරම් සවියක් නැතිව මා ලත වෙමින් සිටි වෙලාවේ ඔහු ගේ ඒ සුහද පිළිගැනීම සහනයක් ම වූයේ ය. මම මන්දස්මිතයක් නගාගතිමි.

“කන්ස්ට්‍රක්චර්ස්ල ගිහින් නේද… මං මේ එයාල වැඩ ඉවර වුණාද කියල බලන්න ආවෙ…”

“ඉවර වෙලා ගියා සකී. කොහොමත් අද ෆයින් ටියුන් වැඩ ටිකක් තමයි තිබුණෙ. ලොකු දෙයක් තිබුන්නෑ”

එතකින් එපිටට මගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව මම දනිමි. ඉතින් මෙතෙකින් නික්ම යා යුතුව තිබේ. මම එක බැල්මක් ඇතුළට පා කොට යැව්වෙමි. “එහෙනං මං යන්නං” කියනා බැල්මකින් ඊළඟට ආදිල් වෙතට දෑස් යොමු කළෙමි.

“ඉන්ටීරියර් ඩිසයිනින් පටං අරං තියෙන්නෙ. මෙතන අපේ රිසෙප්ශන් ඩෙස්ක් එක. මෙතන විසිටින් ඒරියා එක. සකී එන්න බලන්න”

මම ඉක්මන් මඳහසක් තිළිණ කළෙමි.

“මං එන එක ඔයාගෙ වැඩ වලට පාඩුවක් වෙයි”

“අනේ නෑ. අපි උඩට යං බලන්න. උඩ තමයි මගෙ කියුබිකල් එක තියෙන්නෙ. ඔයාට තේරෙනවනෙ. මේ වගේ ක්‍රියේටිව් වැඩ වලට මාර නිදහසක් ඕනෙ. ඒකට ගැලපෙන බැක්ග්‍රවුන්ඩ් එකකුත් ඕනෙ”

ඔහු පියගැට පෙළ තෙක් ඉස්සර වී එතැන නැවතී මට ඉස්සර වන ලෙස අතින් ඉඟි කළේ ය. මා ඔහු ළඟින් ගෑවී නො ගෑවී පියගැට පෙළ වෙත අඩිය තබත්දී, ගිනි මැලයක් ළඟින් යන විටෙක වන් උණුහුමක් ගතට දැනිණ. නමුත් ඒ ගින්දර උණුහුම හට ගත්තේ මගේ ම ඇතුළාන්තයෙනි. මට පියවරක් පිටුපසින් ඔහු ගමන් කළේ ය. චුම්භක ක්ෂේත්‍රයක් තුළ දී බඳු ශක්ති කදම්බයක් මා තුළ චලනය වෙමින් තිබිණ. ටික වෙලාවක දී, සියලු ලෝහ අංශු චුම්භක ධ්‍රැව කෙරෙහි ආකර්ෂණය වී නිශ්චල වන්නා සේ සියල්ල සන්සුන් විය. අපි මතු මහළට පිවිස සිටියෙමු.

“මෙතන තමයි දැන් ඉතින් මගෙ හැමදේම. ජීවිතේ ටික කාලයක් ඉස්සරහට ඇදගන්න ඔයා මට මෙතන දුන්නට තෑන්ක් කරලත් මදි වගේ. දුවල දුවල හති වැටිච්ච මිනිහෙක්ට අන්තිමට නතර වෙලා මහන්සි නිවන්න තැනක් ඕනෙ. මෙතන මට එහෙම තැනක් වෙයි කියල හිතෙනව. මහන්සියට වැටිල ඉඳල හරි ආයෙ නැගිටල පටං ගන්න”

ඔහු කතා කරගෙන ගියේ හෙමින් නැවතිල්ලේ ය. ඒ ස්වරයෙහි පවා වෙහෙසක් තැවරී ඇති සැටියක් මට දැනිණ.

“ඒත් හිතකට දැනෙන මහන්සි නිවන්න මේ වගේ බිල්ඩින් එකකට පුළුවන්ද… ඒකට ඔයා ළඟ ඉන්න ඕනෙ ඔයාට වැඩියෙන් ම ළඟ කෙනෙක්නෙ. එහෙනං වයිෆ්ව හරි ගර්ල් ෆ්‍රෙන්ඩ්ව හරිත් ගෙනත් මෙහෙ නතර කරගන්න වෙයි”

මා ඒ අන්තිම ටික කීවේ මඳ සිනහවකිනි. ඒ සිනහවෙහි සමච්චලයක අංශුවක් හෝ නොවූ බව ඉඳුරා පැවසිය හැක. මගේ බැල්ම පවා වතුර වීදුරුවක් තරම් පැහැදිලි වන්නට ඇත.

“හ්ම්”

ඔහු සුසුමක් හෙළාගෙන එතැන වූ යුගල සෝෆාවක් මට පෙන්වූයේ අසුන් ගන්නට කෙරෙනා ආරාධනයකිනි. මම එහි කොනක හිඳගතිමි. යාබද ව ආදිල් අසුන්ගත වූයේ මට සෙන්ටි මීටර කිහිපයක දුරිනි. මුලදී සිරුරට දැනුණා වූ ගිනි මැලයක උණුහුම මේ මොහොතේත් මා තුළින් පැන නැංගේ ය.

“මහන්සි දැනෙන වෙලාවට මහන්සි නිවෙන වචනයක් කියන කෙනෙක් ළඟින් හිටියත් ඇති. ඒත් අපි වගේ මිනිස්සුන්ට ලැබුණෙ වචනයක් කිව්වත් මහන්සි දැනෙන සම්බන්ධකං. එතකොට ජීවිතේ කොහොමටත් වෙහෙසක් නංගි”

“ඔයාගෙ වයිෆ්…”

“මං මැරි කරල නෑ. එදා විහිළුවක් කළේ ඒ. හැබැයි අෆෙයා එකක් තිබුණ. ඒකෙ අන්තිම අමාරු කෙළවරේදි තමයි දමල ගහල මං මේ ඇවිත් ඉන්නෙ”

මගේ දත් ඇඳි දෙක ‘ටකස්’ ගා තද විය. ඉසිහින් රිදුමක් විද්‍යුත් තරංගයක් සේ ක්ෂණිකව හිත හරහා සම්ප්‍රේෂණය වූයේ ය. හිතේ ගැඹුරු පත්ලකින් පුරුදු රිදුමක ඉතා පැරණි සංකා හැඟීමක් මීදුමක් සේ පාව ආයේ ය. මටත් නො දැනී මගේ පෙනහලු ලොකු හුස්මකින් පිරී ගියේ ය. ආදිල් හිස මඳක් ඇද කොට, නළල රැලි නංවාගෙන මදෙස බලා සිටිනු මට දැනිණ.

“සචින් මට කියල කියනව. ඔයත් තාම මැරි නොකර ඉන්නෙ බ්‍රේකප් එකකින් හර්ට් වෙලා කියල”

“නෑ”

ඔහු කියා නිම වීමටත් පෙර මා ඉක්මන් වූවා දැයි නො දනිමි. නමුත් මට ඉක්මන් නොවී බැරි විය.

“ඇත්තටම හර්ට් වෙලා කිව්වොත් වැරදියි. මොකද ඒ අෆෙයා එක ක්ලෝස් කළේ මගෙ උවමනාවට. එතන තියෙන්නෙ රිදුමකට වැඩිය කලකිරීමක්. මට මැරි කරන්න හදිස්සියක් නොදැනුණේ පිරිමි ගැන විශ්වාසයක් ඇති කරගන්න බැරි වුණ නිසා. නැතුව අමතක කරන්න බැරි හැඟීමක් නිසා නෙවෙයි”

එවර ඔහු ඇස් පහළට හරවාගෙන කෙටි කල්පනාවකට වැටුණේ ය. මටවත් නො දැනෙන සේ මම ඒ ඉරියව්වේ හිඳිනා ඔහු වෙතට දෑස් පා කොට සිටියෙමි. ඕනෑ ම මොහොතක ඔහු ට හසුවීමට පෙර ඉවත බැලීම මගේ අරමුණ වූයේ ය. අතර මගදී හමු වෙන මිනිස්සු නිසා අපේ හදවත් බිඳී අප තුවාල ලත් මිනිසුන් බවට පත් වන්නේ ඇයි කියා මට වැටහෙන්නේ නැත. එක අතකට මා ද ආදිල් ද එක ලෙසට තුවාල වූ මිනිසුන් ය. එබැවින් අපට මුහුණට මුහුණ වාඩි වී බෝ වෙලාවක් කතා කරන්නට තරම් පොදු මාතෘකාවක් තිබේ.

“මං බොන්න දෙයක් ගෙන්නවන්නං”

කියමින් ආදිල් නැගී සිටියේ මට එපා කියන්නටවත් ඉස්පාසුවක් නොවූ තරම් හදිසියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here