අළුයම පටන් තවමත් එක දිගට ම වැස්ස කඩා හැලේ. මමත් ආච්චාත් දෙදෙනා බරාඳයේ තේක්ක පුටු වලට ගුලි වී මානෙල් ගෙන ආ කෝපි කෝප්ප තොල ගාන්නට වීමු. පෙර දා රාත්‍රියේ පටන් ඇද හැලෙනා වැස්සට දැන් ගහ කොළ පෙඟී ඇති තරම ය. මම උදයෙන් ම බරාඳය පුරාවටත් ගෙතුළත් වූ ගෘහස්ථ විසිතුරු පැළ සහිත බඳුන් සියල්ල මිදුලෙන් තැබුවෙමි. වැස්සට ඇති වෙනතුරු තෙමුණ විට ගහ කොළ වල දැකිය හැකි ප්‍රාණය හා ප්‍රබෝධය, අප දිනකට තුන් වේලක් වතුර සැපයූවත් ලැබෙන්නේ නැත. හැමදාමත් ගෙතුළට වී අපේ නෙතු සනහන පැළ වලට එවන් ප්‍රීතියක් හෝ ඉඳහිට ලබා දිය යුතු ය.
මම ආච්චා දෙස බැලුවෙමි. ඇය ඇගේ ම සිතිවිලි ලෝකයක කිමිදී සිටී. මෙහෙම හුදෙකලා මොහොතක ඇයට සිය තරුණ කාලයෙහි මතකයන් සිහිපත් වනවා ඇත. සීයා හා බැඳුණු අමතක කළ නො හැකි මතක කන්දක් ඇයට තිබෙනවා ඇත.
පෙර දා ආදිල් එනතුරු ගොඩනැගිල්ලේ මතු මහළේ තනි වූ විනාඩි කිහිපය මා සොඳුරු ලෝකයක අතරමං කරවී ය. කුඩා සෝෆාවට හොඳ හැටි හේත්තු වී කකුල් දිග හැරගත් විට මගේ ඇස් පියවීගෙන ගියා සේ ය. නැවුම් සුවඳක් ද ආගන්තුක සුවදායි බවක් ද සුළං රැල්ලක් මෙන් මා වටා කැරකෙන්නට ගති. ආදිල් සමගින් මෙසේ තනිපංගලමේ කතා කරමින් හිඳීම ගැන කිසිදු ආගන්තුක බවක් මට වූයේ නැත. ඒ ඇසුර කාලයක් තිස්සේ හුරු පුරුදු ව තිබුණු එකක් සේ ය. ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ මගේ සුවදායී සිතිවිලි ලෝකය දෙදරවාගෙනයි.
“කොහෙද ඉන්නෙ…”
ඇමතුම මුද්‍රා ගෙනි.
“අ… ඇයි…”
මා ඉන්නේ ආදිල් සමගින් බව ඇයට කියන්නට මා තුළ වූයේ දෙගිඩියාවකි. ඒ බව දැනගත හොත් මොන මොන විදිහේ කතා ඇගෙන් කියවේවි දැයි සිතා ගත නො හැකි තරම ය.
“මං දැං එහෙ එන්න කියල හැදුවෙ. ගෙදරනෙ…”
“මේ වෙලාවෙනං ගෙදර නෙවේ මුද්‍රා”
මගේ ස්වරයෙහි යම් බියමුසු ගතියක් වන්නට ඇත.
“එහෙනං…”
“මං මේ… දෙහිවල බිල්ඩින් එකට ආවනෙ”
“ඒක ආදිල්ට දුන්නනෙ…”
“කන්ස්ට්‍රක්ශන්ස් ඉවර වුණේ අදනෙ. ඉතිං මං ටිකක් බලල යන්න ආව”
“ආදිල් ඉන්නවද…”
“හ්ම්”
“හරි මං ඔහෙට එන්නං”
“එපා එපා මෙහෙට එන්න එපා”
මා එසේ කියත්දී ආදිල් මා ඉදිරියේ ය. ඔහු වෙතට මෝඩ සිනහවක් තැවරූ බයාදු බැල්මක් හෙළන්නට මට සිදු විය.
“කොහොමද ඒක… අපිට එන්න එපා කියල එයා තනියම හොරෙංම ගිහිං කොල්ලව බලන්න”
“අයියෝ මුද්‍රා… මං දැං එනව අනේ”
“හරි ඉතිං අපි එනකල් ඉන්නව”
“කවුද යාළුවොද…”
ආදිල් ගේ මුහුණේ මා ආසාකරන අඩ සිනහව ඇඳිණි. ඔය විදිහට බාගෙට සිනහ නොවී සම්පූර්ණයෙන් සිනහ වූවා නම් ඒ සිනහව ඔය තරම් උමතුවක් නොවන්නට තිබිණි.
“ඉතිං ඒගොල්ලන්ටත් මෙහෙට එන්න කියන්න”
මා වෙතට සමීප වෙමින් මට ඇපල් යුෂ කෑන් එකක් පාමිනි ඔහු එසේ කීවේ.
“දැක්කනෙ… ආදිල් එන්න කිව්ව. තෝ එපා කිව්වට අපි එනව”
ආදිල් ට ඒ ඇසිණ. ඔහු ලස්සන අලුත් සිනහවක් පෑවේ ය. එතෙකින් කර බා ගන්නට මට සිදු විය.
“මං එහෙනං යන්නද…”
දුරකතන සංවාදය නිමා වූ පසු මා එසේ ආදිල් විමසූයේ සැබවින් ම දෙගිඩියාවෙනි. මුද්‍රා දැන් එන්නේ පීහුවත් ඇදගෙනයි. ඔවුන් දෙදෙනා තනිකර ම පිස්සු කෝච්චි ය. ඔවුන් පැමිණි පසු ආදිල් ට තව දුරටත් වැඩක් කරගත නො හැකි වනු ඇත.
“ඇයි ඉතිං… යාළුවො එනකල් ඉන්න”
“ඔයාගෙ වැඩත් පාඩු වෙනව එහෙම වුණොත්”
“අනේ ඒක මොකද්ද සකී… ඒ වගේද යාළුවෙක් කියන්නෙ”
මම මඳහසකින් ඇපල් යුෂ කෑන් එක විවර කළෙමි. ආදිල් යළිත් හරි බරි ගැහී අසුන් ගත්තේ ය. කකුලක් මතින් කකුලක් දමාගෙන පිරිමිකම් උතුරවමින් බීම කෑන් එක කඩා උගුරු කිහිපයක් බීගෙන ගියේ ය. මට දැනුණේ ඔහු අසලදී සකී ආන්‍යා තඹරවිල නම් වන මා කුරුකුහුඹු ආත්මයක් මෙනි. මම වඩාත් හෙමිහිට ඇපල් යුෂ තොල ගෑවෙමි. ඒ කහට රසය මේ අහඹු මොහොත මත මී පැණි ගැල්වූයේ ය.
“ඉතිං… ආච්චා දැං ඔයාට ප්‍රපෝසල් එකක් හොයනව කියල කිව්ව”
මගේ කම්මුල් රතු වන්නට ඇත. ආච්චා ඔහු ට එයත් පවසා තිබේ.
“හ්ම්”
ඊට වැඩි යමක් ඒ ගැන කියන්නට මට වදන් සිහි වූයේ නැත.
“එතකොට ඒකත් ඉවරයිනෙ කියල හිතෙනවද…”
“අනේ මන්දා. අපිට ඕන කියල හිතෙන්නැති දෙයක් වුණත්… ඒක කළාම අපිට ආදරේ අය සතුටින් ඉඳී කියල හිතෙනවනං කරන්න අපි පෙළඹෙනව ඇති”
“එහෙම හිතන්න එපා. ආච්චාව විතරක් නෙවෙයි… ඔයාවත් සතුටෙං තියන්න පුළුවන් කෙනෙක්ටයි ඔයා ලං වෙන්න ඕනෙ”
ඔහු ගේ ඇස් ඒ වෙලාවේ නම් කෙළින් ම මා දෙසට හැරී තිබිණ. මම ඒවා මගහැර බීම කෑනය පහුරු ගාමින් සිටියෙමි. මුද්‍රා හා පීහු එන්නට වැඩි වෙලාවක් නොගිය එක ගැන මා දෙවියන්ට පින් දිය යුතු ය. ඊට පස්සේ ගෙවුණු ඒ විනාඩි කිහිපය සතුටේත් සිනහවේත් උල්පතකි. මම හැකි ඉක්මනින් මගේ මිතුරියන් දෙදෙනාව කැඳවාගෙන එතැනින් පිටත් වුණෙමි. නැත්නම් මට ආයේ ආදිල් ගේ මූණ බලන්නට බැරි තරම් දේවල් ඔවුන් වෙතින් කියැවෙන්නට තිබිණි.
මා යළි ගෙදර ආවේ දෙමිතුරියන් සමග දෙහිවල සාප්පු සවාරියේ යාමෙන් පසුයි.
“මේ වැස්ස අද පායන පාටක්නං නෑ වගේ”
ආච්චා කීවා ය.
“කමන්නෑ ආච්ච ඉතිං. අපිට අද එළියට යන්න උවමනාවකුත් නෑනෙ. වැහැපුදෙං”
“ඒ වුණාට මටනං මහ මූසල පාටයි අප්ප වහිනකොට”
“වැස්සත් පෑව්වත් මිනිස්සු අහසට බණින එකනං බණිනවමනෙ ආච්ච”
“ඒකනං ඇත්ත”
ආච්චා මුදු ලෙස උරහිස් ගස්සමින් සිනහ වූවා ය. ආදිල් ගේ මෝටර් රථය අපේ ගේට්ටුව අයිනට කොට නතර වූයේ ඒ වෙලාවේ ය. ලොකු වෛවර්ණ කුඩයක් යටින් ඔහු අපේ ගෙදර පැත්තට එමින් සිටියේ ය.
“පුතා… වැස්සෙම…”
“ඒකනෙ ආච්ච. මේක පායන වැස්සක් නෙවෙයි වගේනෙ. පායයි කියල මෙච්චර වෙලා බලං ඉඳලයි මං මේ යන්න ලෑස්ති වුණේ”
“ලෑස්ති වුණේ කිව්වෙ… පුතා ගමේ ගිහින් එන්න යනවද…”
මගේ හිතේ හටගත් ප්‍රශ්නය ආච්චා විසින් විමසන ලදී. ආදිල් කුඩය හකුලා බරාඳ කුළුණකට හේත්තු කොට තබා තේක්ක පුටුවක් වෙතට ආවේ ය.
“නෑ ආච්චා. මං ඉතිං සචින්ලගෙ ගෙදර නැවතුණේ තැනක් හොයාගන්නකල් විතරයිනෙ”
“ආ… ඒ කියන්නෙ පුතා වෙන බෝඩිමකට යනවද ඔය…”
මගේ පපු කුහරයේ දැවුම් සංවේදනයක් හටගත්තේ ඇයි දැයි නො දනිමි. මම නෙත් පිය නො සලා ඔහු දෙස බලා සිටියෙමි. නමුත් ආදිල් කතා කළේ මදෙස නොව ආච්චා දෙස බලාගෙනයි.
“තාම බෝඩින් ප්ලේස් එකක් හම්බුන්නෑ ආච්චා. දෙහිවල පැත්තෙන් එකක් හොයාගන්නව”
“එතකල්…”
“එතකල් සකීගෙ බිල්ඩින් එකේ නතර වෙනව”
හිත හෝස් ගා දැවී ගියේ ය.
“අනේ දෙයියනේ”
ආච්චා ට ද එසේ කියැවිණ.
“ඒත් එහෙම ඉන්න පුළුවන්ද දරුවො… මොකද එතන පදිංචි වෙලා ඉන්න සුදුසු තත්වයක් තියනවයැ… ඇඳක් පුටුවක්වත් තියනව කියලයැ… ඒක පුතාගෙ ෆර්ම් එක පටං ගන්න කියලනෙ ගත්තෙ…”
“ඒක ඇත්ත ආච්චා. ඒත් සචින්ලට හැමදාම කරදර කරන්න බෑනෙ. සචින් කොහොම වුණත් වයිෆ් ඒ ගැන එච්චර කැමතිද දන්නෙත් නෑනෙ. මොනා වුණත් පිටස්තර කෙනෙක් ඉන්න එකෙන් ඒ ගෙදර අයගෙ නිදහසට බාධාවක් වෙන්න පුළුවන්නෙ. ඉතින් සචිය මට මේ කරපු උදව් හොඳටම ඇති. මට ෆර්ම් එකට හොඳ තැනක් ලැබුණෙත් ඌ නිසානෙ. ඉතින් තවත් කරදර නොකර මං යන්න ඕන ආච්ච”
“දැන්… සචින් පුතා දන්නවද මේ පුතා යනව කියල…”
“ඌ හිටියනං යන්න දෙන එකක් නෑ. ඊයෙ රෑ මං කිව්ව අද යන්නයි හිතං ඉන්නෙ කියල. පිස්සු නැතුව තැනක් හම්බවෙනකල් හිටහං කිව්ව. ඒත් එහෙම කරදර කරන්න බෑ”
“ඒකත් එහෙමද…”
ආච්චා මදෙස බැලුවා ය. ඒ වෙලාවේ මා සිටියේ මාරුවෙන් මාරුවට ඔවුන් දෙදෙනා දෙස බලමිනි. සැබවින් ඒ මොහොත හිත මත අමුතු බරක් පටවා තිබිණ. එය අනපේක්ෂිත සිදුවීමකි. ආදිල් කියන්නේ ඒ විදිහට හදිසියේ ම විත් හදිසියේ ම නික්ම යන කෙනෙකු වේවියි මම නො සිතුවෙමි. කාලයක් දැන හැඳින සිටි කෙනෙකු උන් හිටි ගමන් ඈතකට යන්නට යනවා සේ ක්ෂණික පාළුවකින් හිත වෙළී යමින් තිබිණ.
“මං ආවෙ… මං සචින්ලගෙ ගෙදර නැති වුණාට බිල්ඩින් එකේ රෙන්ට් එක වෙලාවට අකවුන්ට් එකට ඩිපොසිට් කරනව කියන්න. අනේ ගොඩක් ස්තූතියි ඕගොල්ලො කරපු හැම දේකටම. මේ වගේ වෙලාවක කීමනී නැතුව එහෙම බිල්ඩින් එකක් මට දුන්න කියන්නෙම… මං දන්නව ඕගොල්ලොන්ට වුණේ ලොකු පාඩුවක්. හරියට තමුන්ගෙම කෙනෙක්ට වගේ කරපු ඒ උදව්වනං කවදාවත් මට අමතක වෙන්නෑ ආච්ච. තෑන්ක් යූ සෝ මච් සකී”
මා ඔහු දෙස බැලුවේ අසරණව ය. කියන්නට දෙයක් තබා සිනහවක් නගාගන්නටවත් මට සිහිපත් වූයේ නැත.
“අනේ ඉතිං අර කඩ කාමරේ නවතින්නයි කියල ඔය දරුවව මොන හිතකිං යවන්නද කියල මට තේරෙන්නෑ. නේද සකී…”
ආච්චා තව තවත් මා අසරණ කරවනවාවත් ද? මා ඇදෙස බැලුවේ පිළිතුරු නැති, පිළිසරණක් පතනා දෑසකිනි.
“තැනක් හොයාගන්නකල්… මේ දරුවට ඔය ඉස්සරහ කාමරේ නවතින්න කියමුද සකී…”
“අනේ අනේ එපා ආච්ච. මේ කරපු දේවල් හොඳටම ඇති. මට ඉක්මනට තැනක් හොයාගන්න පුළුවන් වෙයි. ඒ වෙනකල් වැඩ ටිකත් කරන ගමං එතන ඉඳල රෑට වැටිල නිදාගන්න එකනෙ තියෙන්නෙ”
ආදිල් ඉක්මන් වූයේ ය. අපේ ගෙදර නවතින අදහසක් ඒ වෙලාවේ ඔහු ගේ තුන් හිතකවත් වූයේ නැත.
“ඒ වුණාට මේ වගේ කොල්ලෙක්ට ඔය කඩේක ලගින්න අරින්න පුළුවන්ද… ඔන්නොහෙ පුතා මෙහෙට වෙලා ඉන්න. මේ සාගරයක් වගේ ගෙයක් තියෙන්නෙ… කාමරම කීයක්ද… ඒත් කෝ ඉන්න මිනිස්සු… අපි දෙන්න විතරක් ඉන්න එකේ… පුතා නතර වෙන්න”
“ඒ වුණාට ඒක හරිනෑනෙ ආච්ච”
“මොකද්ද හරි නැත්තෙ… පුතා මේ ගෙදර බෝඩිංකාරයෙක් වගේ නතර වුණානං… එහෙනං හරිනැති කමක් නෑනෙ”
“ඒ වුණාට… අහල පහල අය වුණත් මොනා හිතයිද”
“මායි සකීයි දෙන්නම කැමතියිනං අහල පහල අය මොනා හිතුවම මොකද පුතා. ඔන්නොහෙ වාහනේ ඇතුළට අරං බඩු ටික කාමරේට දාගන්න”
“ආච්ච… එහෙනං මං සචින්ගෙන් අහල ඉන්නං නේද…”
කියමින් ආදිල් දුරකතනය අතට ගත්තේ ය.