ආදිල් මන්රූ රත්නායක
ආච්චා මට එහෙ නතර වෙන්න කිව්වහම එක පාරටම ඒක විශ්වාස කරගන්නත් බැරි වුණා වගෙයි. එහෙම බලාපොරොත්තුවක්වත් මට තිබුණෙ නෑ. යන ගමං වාහනේ නතර කරල එහෙට ගොඩ වුණේ එච්චර ලොකු උදව්වක් කරපු මිනිස්සුන්ට යනව කියල යන එක මනුස්සකමක් නිසා.
අනික ඒක ගෑනු දෙන්නෙක් තනියම ඉන්න ගෙදරක්. සකී බැදපු නැති තරුණ කෙල්ලෙක්. මං එහෙම තැනක නවතින එක එයාලට කොහොම බලපායිද කියල මට හිතුණෙ ඊට කලින් කල්පනීව මතක් වුණ නිසා. මං කෙල්ලෙක් ආච්චි කෙනෙක් එක්ක ඉන්න වලව්වක් වගේ ගෙදරක නතර වුණා කියල දැනගත්තොත් කල්පනී ඩෙඟා නටයි. ඒ ගැන සැකයක් නෑ. හැබැයි දැන් මට එයා ගැන ලොකුවට හිතන්න ඕනකමක් නෑ. ලොකුවට නෙවෙයි කොහොමටවත් හිතන්න ඕන නෑ. ඒත් මේ වගේ වෙලාවක මුලින් ම කල්පනී හිතට එන එක තාම නවත්තගන්නත් බෑ.
“උඹට හොඳටම ශුවර්ද ආච්ච නවතින්න කිව්ව කියල…”
සචින්ටත් ඒක එක පාරටම ශුවර් නැති වුණා.
“සකී කැමති වුණාද… ඒගොල්ලො මං ඇරෙන්න මේ ගමේ වෙන කිසි කොල්ලෙක්ව ඔය ගෙදරට අරං ඇති කියල මං හිතන්නෑ”
“ආච්චා සකීගෙනුත් ඇහුව. එයත් අකමැත්තක් පෙන්නුවෙනං නෑ. සමහර විට… මං ඒගොල්ලොන්ගෙ බිල්ඩින් එකත් ගත්තු නිසා වෙන්නැති”
“මටනං අවුලක් නෑ ඉතිං. උඹ කැමතිනං නතර වෙයං. අපේ ගෙදර ඉන්නවට වැඩිය උඹට නිදහසේ ඉන්නනං පුළුවන්වෙයි”
“මං ඉක්මනට තැනක් හොයාගන්නව මචං”
“හැබැයි සකීට ඇහැ දානව එහෙම නෙවෙයි හරිද…”
“අපෝ නෑ. එහෙම වුණොත් මගෙ ඇහැ උගුල්ලල අතට දෙයි එයා… බල බල ඉන්න කියල”
අපි දෙන්නම හිනා වුණා. හිතට දැනුණෙ සැහැල්ලුවක්. යන්තං පායපු වැස්ස ආයෙම පොදයක් ඉහින්න පටන් ගත්ත නිසා හවසට හම්බවෙමු කියල සචියගෙ කෝල් එක කට් කරල මං ගෙට ආව. ආච්ච ගිය ආත්මෙක මගෙ අම්ම වෙලා ඉන්න ඇති සමහර විට. මීට කලින් කිසිම දැනහැඳුනුම්කමක් තිබුණෙ නැති මං ගැන මෙච්චර කරුණාවක් පාන්නෙ ඒ නිසා වෙන්න ඇති.
සකී ආන්‍යා තඹරවිල
ඉස්සරහ කාමරයේ තියෙන්නේ වියන් ඇඳකි. තාත්තා ගේ මව් පියන් කාලයේ සාදවන ලද කැටයම් සහිත පෙට්ටගම් අල්මාරියක් ද කළුවර කණ්ණාඩි මේසයක් හා ලාච්චු දෙකකින් සමන්විත කුඩා මේසයක් හා පුටුවක් ද රෙදි රාක්කයක් ද එහි වේ. තාත්තා ගේ මහගෙදර වන අපේ ගෙදර තිබි පැරණි ගෘහ භාණ්ඩ වලින් ඉතිරි වී තිබෙන්නේ එපමණකි. අනිත් ඒවා තාත්තා ගේ සහෝදර සහෝරියන් වරින් වර සිය නිවෙස් වලට ගෙන ගොස් ඇත. අම්මා කොහොමටත් පැරණි ගෘහ භාණ්ඩ වලට වඩා ඇගේ සමයෙහි නූතන භාණ්ඩ වලට රිසි වූයෙන් ඒවා ගැන උනන්දුවක් දක්වා ද නැත. පසුව තාත්තා ඔය තේක්ක බරාඳ පුටු ටික ද බරාඳයෙහි තබා ඇති ශඩශ්‍රාකාර විශාල කනප්පුව ද මිල දී ගෙන තිබෙන්නේ පරණ බඩු කඩයකිනි.
ඉස්සරහා කාමරය අමුත්තන් සඳහා වෙන් වී තිබුණාට, තාත්තා ගේ අවසන් කටයුතු වලින් පස්සේ එහි කිසිදු අමුත්තෙකු නවාතැන් ගත් බවට මතකයක් මට නැත. ඉඳහිටෙක ඇඳ ඇතිරිලි මාරු කොට දමනවා පමණකි. ආදිල් සචින් අයියාට දුරකතන ඇමතුමක් ගනිමින් මිදුලට බැස්සාට පස්සේ මම අලුත් ඇඳ ඇතිරිල්ලක් හා කොට්ටා උර ගෙනැවිත්, තිබූ ඇතිරිල්ල ඉවත් කොට යහන සැකසූයෙමි. කාමරයේ අඩුපාඩුවක් වෙත්දැයි වටේට ම නෙතු යොමු කළෙමි. මානෙල් ට කියා ජනේල වල තිර රෙදි සේදවිය යුතු යයි හිත මට මතක් කොට සිටියේ ය. ඊට අමතරව උළුවස්සට උඩින් ගසා තිබූ බිත්ති ඔරලෝසුවට අලුත් බැටරියක් දැමිය යුතුව තිබිණ.
මා පිටතට පැමිණෙන විට ආදිල් දුරකතන සංවාදය නිමා කොට ආච්චා වෙතට එමින් සිටියේ ය.
“රූම් එක ලෑස්තියි”
මගේ වචන වල ඉතාමත් සාමාන්‍ය වූ, කිසිදු විශේෂත්වයක් නැති තානයක් පවත්වාගන්නට මා දැරූ උත්සාහය සාර්ථක වන්නට ඇත.
“අනේ තෑන්ක්ස් සකී”
ආදිල් ආචාරශීලී වූයේ ය.
“මානෙල් මේ ආදිල් මහත්තයටත් කෝපි එකක් ගේන්න”
කියා ආච්චා කීවාට මානෙල් ගෙන් කිසිදු ප්‍රතිචාරයක් වූයේ නැත. මම මුළුතැන්ගෙට කරපොවා බැලුවෙමි. ඇය පේන්නට නො සිටියා ය. මම විදුලි කේතලයෙහි පේනුව ගසා වතුර උතුරන තුරු කෝපි හා පිටි සීනි කලවම් කළෙමි. මානෙල් පැමිණියේ මා උතුරන වතුර කෝප්පයට වත්කරනා විටයි.
“අනේ… මං වොශ්රූම් එකට ගියානෙ සකී බබා. කෝ දෙන්න මං හදන්න”
ඇය මගේ අතින් ඒ කාරිය ලබා ගන්නට උත්සාහ කළා ය. නමුත් ඒ වෙත්දී මා කිරිකෝපි තනා අවසාන ය. මගේ මග් එකතුවෙන් තෝරා ගත් වලස් මූණක පියනක් සහිත ලා නිල් පාට මග් එක ආදිල් වෙනුවෙන් වෙන් කරන්නට මට සිතිණ. විවිධ හැඩ හා වර්ණ රටා සහිත මග් එකතු කිරීම කාලයක සිට මගේ විනෝදාංශයකි. කොතැනක දී දුටුවත් හිත බැඳගන්නා මග් එකක් මිලදී ගෙන ගෙදර ගෙන ඒම මගේ පුරුද්ද වී තිබේ. අපේ පැන්ට්‍රි කබඩ් එකෙහි එක කොටසක් ඒ වෙනුවෙන් වෙන් වී ඇත. කොයි කෝප්පයේ තේ බීවත් එකයි කියා කෙනෙකුට සිතුණාට විවිධ මග් වල තේ බොත්දී දැනෙන්නේ විවිධ රසයන් ය. විවිධ සුවඳ ය. විවිධ හැඟීම් ය. එබැවින් මම නිතර ම මග් එක මාරු කරමි. එතකොට තේ එකෙන් වෙනස් වූ ආශ්වාදයක් විඳින්නට හැකි වේ.
“අනේ සකී තේත් හදල”
ආදිල් කිරි කෝපි එක අතට ගත්තේ කෘතඥ බැල්මකිනි.
“මානෙල් අම්ම වොශ් රූම් ගිහිං. ඉතිං මංම හදන් ආව”
එපමණකින් මම කාමරයට පැමිණියෙමි. යහන මත දුරකතනය හැඬවෙමින් තිබිණ. මා ඊට ළඟා වන විට ම හැඬවීම නතර විය. ඇමතුම පීහු ගෙනි. ඇගේ නමින් අතපසු වූ ඇමතුම් හතරක් ම තිරය මත විය. මම වහ වහා පීහු ට ඇමතුමක් ගතිමි.
“මක් කළාද ෆෝන් එකට ආන්සර් කරන්නැතුව…”
ඇය මගේ ඇඟට කඩන් පැන්නා ය.
“මාර වැඩේනෙ වුණේ. ආච්චා ආදිල්ව අපේ ගෙදර නතර කරගත්තනෙ”
කාමරයේ දොර වසා විත් මම යහන මතින් හිඳගතිමි.
“මොකක් මොකක්…”
“ඔව්ව්… එයා සචින් අයියලගෙ ගෙදරින් යන්න ගියේ දෙහිවල ශොප් එකේ ඉන්න ගමං බෝඩින් ප්ලේස් එකක් හොයාගන්නව කියල. එතකොට ආච්චා කිව්ව තැනක් හම්බ වෙනකල් අපේ ගෙදර ඉන්න කියල”
“හුටා”
“ඇයි…”
“කොට්ටෝරුව කොට කොට ගිහිං අන්තිමට කෙහෙල් ගහට කොටන්න වගේ හදන්නෙ”
“මගුලක් කතාකරනව”
ඇය ඉක්මන් කොට දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ කතා කළ කාරණය පවා නො කියා ය. සමහර විට ඈ කතා කරන්නට ඇත්තේ නිකමට යයි මම මඳහස් සිතින් සිතුවෙමි.
ආදිල් අපේ ගෙදර නතර වූ සිදුවීම ගැන දුරට දිගට නො සිතා ඉන්නට මට ඕනෑ වූයේ ය. තැනක් ලැබුණු පසු ඔහු නික්ම යනු ඇත. එතෙක් ආගන්තුකයෙකුට සේ ඔහු ට සැලකිය යුතුව තිබේ. ගෙදරට එන අමුත්තන් ට දෙවියන්ට මෙන් සැලකිය යුතුය යන්න තාත්තා නිතර කියූ කතාවකි.
තද වැස්ස නිසා ආදිල් සාප්පුවේ සැකසුම් සඳහා එදා නොයා සිටියේ ය. ඇඳුම් ටික අසුරා ගන්න යයි කියමින් ඔහු ගෙදර නවතින තැනට පෙළඹවූයේ ආච්චා ය. ඔවුන් දෙදෙනා බෝ වෙලාවක් බරාඳයෙහි කතා කරමින් සිටියහ. ආච්චා ආදිල්ගේ තොරතුරු සියල්ල ඒ කතාබහේදී දැන හැඳින ගත්තා ට සැක නැත. පාළුව මඟහරවා ගනු වස් කතා කරන්නට කෙනෙකු සොයමින් හවසට පාර අයිනට යන ඇයට, දැන් ඊට ගෙදර ම කෙනෙකු සිටී!
“තෝ එහෙනං කොල්ලව ගෙට දාගත්ත නේ…”
කියා අසමින් මුද්‍රා හා පීහු කුළී රියකින් අපේ ගෙදරට කඩා වැටුණු වෙලාවේත් වැස්ස වහිමින් තිබිණි. හුළඟ විසින් වඩාගෙන විටින් විට බරාඳයට ගෙනෙනු ලැබූ හිරිකඩය, දිය පහරවල් ව ගලා යමින් තිබියදී මම වයිපරයකින් පිටතට තල්ලු කරමින් සිටියෙමි.
“ශ්…”
මට එසේ කියවෙත්දී බැලුණේ ඉස්සරහා කාමරය දෙස ය. එහි දොර අඩවන් කොට තිබූ අතර ආදිල් පේන්නට හිටියේ නැත. නමුත් ඒ කතාව ඔහු ට ඇහෙන්නට ඇත්දැයි සිහින් චකිතයක් නො දැනුණා ම නොවේ. වැසි හඬ නිසා ඇසෙන්නට නැතැයි මම අනිත් අතට සිතුවෙමි.
“කට කට…”
“අපි බය නෑ ඇහුනට”
“මොකද්ද ඉතිං ඔය මල්ල…”
මුද්‍රා ලොකු මල්ලක් කරේ එල්ලාගෙන සිටියා ය.
“නතර වෙන්න ආවෙ මෙහේ”
“ආ…”
“ඇයි යන්න කියන්නද හදන්නෙ… අඩියක් හෙල්ලෙන්නෑ. මං මේ පැත්තෙ කාමරේ නතර වෙනව”
“ඇහෙයි බූරියෙ”
“ඇයි ඉතිං… යන එන මං නැති අසරණයන්ට මෙහෙ අම්බලමක වගේ නවාතැන් හම්බෙනවනෙ. මාත් ආවහම මොකෝ… අනික අරය මේ රූමෙකේ ඉන්නකොට මං අරකෙ. ඔයාට ජෙලස්ද…”
කාමරයේ අඩවන් දෙපියන් දොරක් විවර වූයේ ඒ වෙලාවේ ය. අප තිදෙනා ගේ ම ඇස් ඒ වෙත යොමු වෙන්නට ඇත. ආදිල් සිනහවක් මුහුණේ එල්ලා ගනිමින් පිටතට ආවේ ය. කුමකින් කුමක් වෙත්දැයි මට වූයේ දෙගිඩියාවකි.