අලුත් දවසක් උදා වී තිබිණ. මා පිබිදියේ වෙනදා නොවූ ප්‍රබෝධයකිනි. එහි අක් මුල් හෙවීමේ උවමනාවක් නැත ද ඒ ප්‍රබෝධය මත මම උදයෙන් ම ගේ දොර අතු පතුගාන්නට පටන් ගතිමි. මානෙල් අම්මා හිටියා ට නො හැකි ම මොහොතක මිස මා ඇයට ඒ වැඩේ පවරන්නේ නැත. ඒ කාරිය ඔවුන් කළ විට මට කලඑළියක් දැනෙන්නේ නැති බැවිනි.
“සකී බබා අලුත් මහත්තයගෙ තේ එක…”
මානෙල් අම්මා බන්දේසියේ තබාගෙන පැමිණි තේ මග් තුනෙන් මගේ හා ආච්චා ගේ මග් දෙක අපට දී, බන්දේසිය අතේ තබාගෙන ම ආදිල් ගේ තේ එක ගැන ප්‍රශ්න කළා ය. ඒ වෙත්දී ඉස්සරහා කාමරයේ දොර විවර වී තිබුණේ නැත.
“තේ එක වහල තියල එළියට ආවහම දෙමු නේද ආච්ච…”
“උදේ තේ එක නිවිල බීල වැඩක් නෑනෙ. සකී ඕක ගෙනිහිං ඒ ළමයට කතා කරල දෙන්නකො. අවදි වෙලයි ඇත්තෙ මයෙ හිතේ”
ආච්චා ඒ වගකීමත් මා මත ම පැවරුවා ය. මානෙල් අම්මා මවෙතට බන්දේසිය පෑව ද මා ගත්තේ මග් එක පමණකි. දොරට තට්ටු කරන්නට යොමු වූ අතත් එක්ක ම හිතෙහි හිර වීමක් විය.
“ආදිල්…”
මා කතා කළේ තරමක අපහසුවකිනි. ඒ ඇයිදැයි මා දන්නේ නැත. සමහර දේවල් සිදු වෙත්දී එසේ වන්නේ ඇයි දැයි සැබවින් ම අප දන්නේ නැත. නමුත් ඒ සිදුවීම් ප්‍රවාහය තුළ අපි ඔහේ ඉදිරියට තල්ලු වී යන්නෙමු.
එක් වරක් කතා කළ මතින් ඔහු ඇතුළතින් ප්‍රතිචාර දැක්වූයේ ය.
“ඉන්න සකී”
ආච්චා කීවා නිවැරදි ය. ඔහු අවදියෙන් හිඳ තිබේ. විවර වූ දොරින් සිතිජ දෑසක් හිනැහිණ.
“අනේ ඔයා තේක මෙහෙටම ගෙනත්. මං ඇවිත් ගන්නවනෙ කිව්වනං”
මම කිසිත් නො කියා පැමිණියෙමි. ආච්චා ඔහු සමගින් කතාවට වැටී සිටිනු ඇසිණ. මානෙල් අම්මා මුළුතැන්ගේ අස්පස් කරමින් සිටියා ය.
“උදේට මොනාද හදන්නෙ මානෙල් අම්ම…”
ඒ මා කිසි දා අසනා ප්‍රශ්නයක් නොවේ. එබැවින්දෝ මානෙල් අම්මා මදෙස බැලුවේ තරමක විශ්මයෙනි.
“තාම මුකුත් හැදුවෙනං නෑ සකී බබා. ඉඳිආප්ප හදන්නද… නැත්තං කඩෙං පාංහරි කඩයප්පං මොනාහරි ගේන්නද…”
“බත් ටිකක් උයල ගමු නේද මානෙල් අම්ම… ඊයෙ රෑත් කෑවෙ පීට්සානෙ. වැඩිය මුකුත් ඕන නෑ. මෝර කරවල බැදුමක් හදල පොල් සම්බෝලයක් හැදුවනං ඇති”
“මං හදන්නං සකී බබා”
“ආ… කොච්චි කරලක් දෙකක් කඩල බැදුමට දාන්න. අර මහත්තයටත් කාල යන්න ටිකක් ඉක්මනට හදල ගන්න මානෙල් අම්ම”
මානෙල් අම්මා අපේ ගෙදර උයන්නට හිටියාට ඇය නො දන්නේ ම උයන්නට ය. එළවළු ටිකක් කපා තුනපහ මිරිස් ටිකක් දමා තම්බා ගැනීම ඉවීම යයි ඇය සිතයි. ආහාර වර්ග ගැලපීම ගැන කිසිදු අවබෝධයක් හෝ ඉවක් ඇයට ඇත්තේ නැත. එක්කෝ සියල්ල මිරිසට පිසියි. එතකොට කටේ තියන්න බැරි තරමට සැර ය. දැවිල්ලයි කියූ විට පසු දා සියල්ල කිරට පිසියි. එතකොට මිරිස් ගෑවී හෝ නැති නිසා කන්නට බැරි ය. සීතල කෑමක් සමග ගිනියම් කෑමක් එකට පිසිනවා වෙනුවට එක්කෝ ගිනියම් කෑම වර්ග කිහිපයක් පිළියෙල කරයි. බළ මාළු මිරිසට උයා දෙල් කිරට පිසීම එවැන්නකි. අප විහිළු කළ විට “කිරට එකයි මිරිසට එකයිනේ” කියා කියයි.
ආහාර ගැලපීම ගැන අදහසක් නැති වූවාට ඇය මට අම්මා කෙනෙකු මෙනි. අප ගෙවනා වැටුප මත නොව ඈ අප කෙරේ සැබෑ බැඳීමක් වේ. මේ ගෙදර අපට සිටිනා එක ම හයිය ද ඇයයි. එබැවින් ඇගේ දුර්වලතා ගැන අප ඒ තරම් වද වෙන්නට යන්නේ නැත. පුළුවන් නම් කා, බැරි නම් විහිළුවක් කොට නොකා සිටීම වෙනම දෙයකි. එතකොට ඇය හවසට අප වෙනුවෙන් මොනවා හෝ රස කැවිල්ලක් තනයි. ඒ වැඩේට නම් ඇය හපනියකි.
“මෙහෙම සීනි පැණි දැම්මහම ඕන කෑමක් රසයි තමයි ඉතිං”
ආච්චා සිනහ වෙවී ඒ ගැන කියන්නේ එහෙම ය. නමුත් මම මානෙල් අම්මා ගේ රස කැවිලි හා අතුරුපස කන්නට කැමැත්තෙමි.
මා බරාඳය අතු ගාමින් ද ගෘහස්ථ පැළෑටි සහිත බඳුන් මාරු කරමින් ද සිටි මොහොතක කනප්පුව මත ජංගම දුරකතනයක් හැඬවෙන්නට ගති. බරාඳයෙහි සිටියේ ආච්චා පමණ ය. ඒ මගේ දුරකතනයේ හඬ තානය නොවූව ද, සාමාන්‍යයෙන් එතැන තැබෙනුයේ මගේ දුරකතනයයි. අනිත් අතට ආදිල් එහි වූයේ ද නැත. මා අඩියට දෙකට කනප්පුව වෙත සමීප වූයේ තරමක කුහුලකිනි. දුරකතනය දකිත්දී ඒ මගේ එක නොවන බව තහවුරු වූයෙන් මා ඊට අත තැබුවේ නැත. නමුත් තිරය මත සනිටුහන් ව තිබූ ‘කල්පනී’ නමැති නම ඉතා පැහැදිලි ලෙස දැකගත හැකි විය. එතකොට ම ආදිල් කාමරයෙන් පිටතට ආවේ ය.
“ඔයාගෙ ෆෝන් එකද…”
කියා අසමින් මම එතැනින් මෑත් වුණෙමි. දුරකතනය ගෙන කාමරයට යාම නුසුදුසුයි සේ සිතාදෝ ඔහු එතැන සිට ම ඊට පිළිතුරු දුන්නේ ය.
“මොනාද අනේ කරන්නෙ… කොහෙද හිටියෙ මෙච්චර වෙලා ෆෝන් එක රිං වෙනකල්…”
ඒ නෝක්කාඩු ගැහැනු හඬ දුරකතනය ඔස්සේ මට පැහැදිලි ව ම ඇසිණ.
“ඇයි කල්පනී කතා කළේ…”
“නිකං ඉතිං… ඔයත් එක්ක ටිකක් කතා කර කර ඉන්නනෙ”
ඇය කිකිණි හඬින් සිනහ වෙනු ඇසිණ.
“අපි තීරණේකට ආවනෙ කල්පනී. තවත් මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ”
කියමින් ආදිල් මිදුලට බැස්සේ ය. මම බරාඳය හැඩ කිරීමෙහි දිගට ම නියැළී සිටියෙමි. එසේ නම් ඒ ඇයයි. එදා ආදිල් දෙහිවල ගොඩනැගිල්ලේ දී කීවේ ඈ ගැනයි. ඇය තවමත් ඔහු ට කතා කරයි. පේනා හැටියට ඇය ඒ සම්බන්ධය මුලුමනින් නවතා දමා නැත. ඇය බලාපොරොත්තු සහගත බව ඒ හඬෙන් ගම්‍ය වේ.
“පුතාගෙ ගෑනු ළමය වගේ කතා කළේ”
ටික වෙලාවකට පසු ආදිල් යළි බරාඳයට ගොඩ වී පුටුවක හිඳ ගත්දී ආච්චා ඇසුවා ය. මා සිටියේ ඔවුන්ට ඈතින් බිම අමදිමිනි. ඒ කතා වලට සවන් දෙන්නට මට ඕනෑ වූයේ නැත. නමුත් එහෙන් මෙහෙන් මට ඒවා ඇසිණ.
“හිටපු ගෑනු ළමය ආච්ච. ප්‍රශ්න ටිකක් තිබුණ. අපි දෙන්නට තවත් ඉස්සරහට යන්න බෑ කියල තේරුං ගත්තට පස්සෙ ඒ සම්බන්දෙ නතර කරමු කියල එයාට කියලයි මං කොළඹ ආවෙ. එයාව බැන්දොත් මට වෙන්නෙත් සචියට වෙච්ච දේම තමයි ආච්ච. එච්චර ප්‍රමාද නොවී දැන්ම තීරණයක් ගන්න එක අපි දෙන්නටම හොඳයිනෙ”
“ඔව් ඉතිං නියපොත්තෙං කඩල දාන්න පුළුවන් දේ පොරොවෙන් කපන්න සිද්ද වෙනකල් වැවෙන්න අරින්න ඕන නෑනෙ”
ආච්චා ගේ ස්වරය තුළ කල්පනාවක් ගැබ්ව තිබිණ. මා අතුගාගෙන ගේ අයිනෙන් පිටුපසට ගිය බැවින් ඊට වැඩි යමක් ඇසුණේ නැත. යළිත් මා ඉස්සරහාට කරපෙව්වේ දොරට තට්ටු කරනා හඬක් ඇසුණ වෙලාවේයි. ආදිල් පිටතට යාමට සූදානම් වී සිටියේ ය. අළු පැහැති ඩෙනිම් කලිසමකට කළු හා සුදු ඉරි වැටුණ ටී බැනියමක් හැඳ සුදු සපත්තු පැළඳ සිටි ඔහු ව වඩාත් කඩවසම් ව පෙනිණ.
“මං යන්න කියල සකී”
“කෑවෙ නෑනෙ ඉතිං”
මා කතා කළේ කලබලයෙනි. ඔහු නොකා ම පිටත් වෙතැයි මම බිය වූයෙම් ද? ආදිල් ලස්සන අඩ සිනහවක් පෑවේ ය.
“මට මගින් කෑම ගන්න පුළුවන් සකී”
“මානෙල් අම්ම උයල ඇත්තෙ. ආදිල් එන්න… කෑම කාල යන්න. මගින් ගත්තත් දැං පිටි කෑමනෙ කන්න වෙන්නෙ. ඊයෙ රෑත් පීට්සා කාල නිසා ගෑස් එන්න පුළුවන්. දැන් ඔයා ගිහිං වැඩ පටන් ගත්තහම ලන්ච් එක වුණත් මිස් වෙන්න හරි ලේට් වෙන්න හරි පුළුවන්නෙ”
ඔහු ට බෑ කියන්නට බැරි වෙන ලෙස හේතු කාරණා සියල්ල මා එක හුස්මට සපයා තිබිණ. ඇස් කුඩා කරගෙන ආදිල් මදෙස බලා සිටියේ මන්දස්මිතයකිනි. මගේ හේතු දැක්වීමේ අවසන ඔහු ඇස් වලින් ම “කමු” කීවා යි සිතමි. පහත් වී ඔහු සපත්තු ගලවන්නට හැදුවේ ය. මම වහා එය වැළකීමේ උත්සාහයක් ගතිමි.
“කමන්නෑ ආදිල්. ආයෙ ශූස් ගලවන්න එපා”
“ඒත් එපා නේ… මොප් කරල ඔයා පන්සලක් වගේ තියං ඉන්න ගේනෙ”
මට පහන් හැඟීමක් දැනිණ. ඔහු සපත්තු ගලවා පිළිවෙළකට පසෙකින් තබා මේස් පිටින් කෑම කාමරයට ආවේ ය. මානෙල් අම්මා කෑම මේසය සූදානම් කොට තිබිණ.
“බෙදාගන්න පුතා”
ආච්චා ඇරයුම් කළා ය.
“නෑ නෑ ආච්ච බෙදාගන්නකො”
මඳ තරක්කු කිරීමකින් පසු ඔවුන් දෙදෙනාගෙන් කවුරු මුලින් බෙදා ගත්තේ ද කියා මා නො දන්නේ, එහි නො රැඳී මා මුළුතැන්ගෙට වැදී බිත්තර ඔම්ලට් දෙකක් දැමූ බැවිනි. උණු උණුවේ ගෙනැවිත් එය මේසය මතින් තබත්දී සුවඳ ඉහිර ගියේ ය. ආදිල් හිස හරවා මදෙස බැලුවේ ය.
“දාගෙන කන්න”
“සකීත් එන්නකො ඉතිං”
“ඔම්ලට් එකක් දාගෙනම එන්නං ආච්චා”
මානෙල් ගේ කෑම වල රසය ගැන සැකයක් තිබූ බැවිනි මා අමතර ව ඔම්ලට් තැනූයේ. කෑම මේසයේ දී ආච්චා හා ආදිල් ඔහු ගේ අලුත් ආයතනය ගැන කතා බහ කළහ. අලුත් ව්‍යාපාරයක් වශයෙන් එය ජනගත කිරීමට ඔහු සමාජ මාධ්‍ය භාවිතා කිරීමට සිටින ආකාරය ගැන කීවේ ය. ඒ ගැන අදහසක් තිබුණා නැතා ආච්චා උනන්දුවෙන් අසා සිටියා ය.
ඔහු බත් ටිකක් පිඟානෙහි ඉතිරි කොට තිබිණ. නමුත් බිත්තර ඔම්ලට් එක මුළුමනින් නිමා කොට තිබුණේ ය!
නික්ම යාමට පෙර ආදිල් බරාඳ පුටුවෙහි හිඳ සපත්තු දමත්දී මම උළුවස්සට හේත්තු වීගෙන සිටියෙමි. ඔහු නැගිට කෙළින් ම මා ඉදිරියට ඇවිත් සිටගත්තේ ය.
“හවසට එනකොට මොනාද ගේන්න තියෙන්නෙ…”
මොහොතකට මගේ හුස්ම නතර විය. බරැති යමක් උගුර දිග පහළට කිඳා බසින්නා සේ දැනිණ. මම එක අතකින් උළුවස්ස තදින් අල්වාගතිමි. ඉස්සර උදයට ගෙදරින් පිටත් වීමට පෙර තාත්තා හැමදාමත් අම්මාගෙන් එසේ ඇසූවේ ය. තත්පරයකින් සියයකින් කොටසක දී මා අතීතයට විසි වී ගියාට සැක නැත.
“මොනාත් නෑ”
ඒ වචන දෙක උගුරෙන් පිට වූවා දැයි මට ම සැක ය!
🩷කතාව ගැන ඔබට හිතෙනා යමක් ලියා තියා යන්න. කියවූ බවට ඉඟියක් හෝ ඉතිරි කොට යන්නේ නම්, ඒ කතාව ගැන ඔබේ ආදරයයි කියා සිතමි.