ආදිල් ගේ දිවා ආහාරය මා දෙහිවලට ම ගෙන ගිය බව දැනගත් පසු මමිතුරියන්ගෙන් මට විසුමක් වූයේ නැත. එය මගේ නොව ආච්චා ගේ උවමනාවට සිදු වූවක් යයි කීවාට ඔවුන් පිළිගන්නා සූදානමක් පෙන්වූයේ ද නැත. ඉනික්බිති නිහඬ වන්නට මට සිදු විය.
“අපරාදෙ කියන්න බෑ කම්මැළිකමට උසාවි යන එකත් නවත්තල ඩීඩ් එකක් ලියාගෙන ගෙදරට වෙලා හිටිය ගෑනිට දැං කිසී කම්මැළිකමක් නැතුව හැමදාම දෙහිවල පදින්න පුළුවන් වෙයි වගේ”
“එනර්ජි පිල් එකක් බොනවනෙ දැං”
ඔවුහු සිනහ වූහ. දෙවියන් මගේ මුහුණ බලාදෝ ඒ රාත්‍රියෙහි කෑම කන ගමන් ආදිල් සුබ ආරංචියක් කීවේ ය.
“මං ලන්ච් වලට ඇවිත් යන්නං ආච්චා. නැත්තං සකී හැමදාම දෙහිවලට අරං එයි කෑම එක. මා… ර වදයක් වෙයි ඒකනං”
එ් වෙලාවේ පාන් පෙත්තක ආච්චා වෙනුවෙන් මාමයිට් තවරමින් සිටි මම මූණ හලුළා ගතිමි.
“ආච්චගෙ වදේ හින්දයි මං අරං ගියේ”
“හරි හරි මං සකීට වැරැද්දක් කිව්ව නෙවෙයි ඉතිං. ඔයාට කරදර කරන්න බෑ කියලයි කිව්වෙ”
එයින් පසු හැම දහවලක ම දිවා ආහාරය වෙනුවෙන් ආදිල් ගෙදර ආවේ ය. මානෙල් විසින් කෑම මේසය සූදානම් කරනු ලැබ තිබුණත් මුල් ම දවසේ ආච්චා,
“ආදිල් පුතා ආවහමම කනව. පොඩ්ඩක් කතා බහ කර කර සතුටෙන් කෑම කනකොට කෑම ටික වුණත් රහයි”
කියා කීවා ය. එයින් පසු ඔහු එනතුරු දිවා ආහාර නොගෙන බලා සිටින එක අපේ ගෙදර පුරුද්ද විය. ඔහු ට වැඩ වැඩි වී පමා විය හැකි දිනෙක නම් ආදිල් කල් ඇතිව ම ඒ බව දුරකතනයෙන් කීවේ ය. එතකොට මා හා ආච්චා කෑම මේසයට හිඳගත්ත ද ඇය මුලදී කීවා සේ ම එවන් කෑම වේලක රසක් වූයේ නැත. එතකොට වැඩි කුසගින්නක් දැනුණේ ද නැත. අපේ කුස් පිරුණේ අඩකින් විය යුතු ය.
මේ අතරේ සිදු වූ වැදගත් ම කටයුත්ත නම් ආදිල් ගේ ව්‍යාපාරය නිල වශයෙන් අපේ දෙහිවල ගොඩනැගිල්ලෙහි ආරම්භ වීමයි. ආයතනය සඳහා නමක් සොයාගැනීම මුලින් ම ඔහු මුහුණ දුන් අභියෝගයයි.
“සකීට පුළුවන්නං මට අයිඩියාස් ටිකක් දෙන්නකො”
මේ ගැන කතා කළ උදයේ ඔහු ගෙදරින් පිටත් වීමට පෙර මගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ අනුව ඉන්ටීරියර් ඩිසයිනින් ෆර්ම් එකකට ගැලපෙතැයි සිතිය හැකි නම් ලැයිස්තුවක් ම මම විටින් විට සිහිපත් කොට සකසා ගතිමි. ඒ අතරින් වඩාත් මසිත් ගත් නම වූයේ ‘හෙවන්ලි ඉන්ටීරියර්ස්’ යන්නයි. රාත්‍රියේ ආදිල් ද සචින් අයියා හා මා ද කළ දීර්ඝ අදහස් දැක්වීම් රැසකින් පසු අවසාන වශයෙන් තීරණය වූයේ හෙවන්ලි ඉන්ටීරියර්ස් යන නම ආදිල් ගේ ආයතනය වෙනුවෙන් ලියාපදිංචි කිරීමටයි. ඒ නම මගේ අභ්‍යන්තරයෙහි කැරකෙමින් තිබුණේ අපේ දෙහිවල ගොඩනැගිල්ල මීට පෙර නොවූ දිව්‍යමය අවකාශයක් බවට ඔහු විසින් පත් කරනු ලැබ ඇති බව දුටු විටයි. පෙර දී එය අඳුරු දුඹුරු ගොඩනැගිල්ලකි. කලින් කල එහි විවිධ සාප්පු පැවැති බව මට මතක ය. සපත්තු කඩ, සාරි කඩ, ඇඳුම් කඩ, සිංහල බෙහෙත් බඩු කඩයක් සේ ම විදේශ රැකියා ඒජන්සියක් ද එහි පැවතී තිබේ. මේ වතාවේ මා එය අලුත්වැඩියා කරවූයේ ම ඊට ආවේණිකව තිබූ අඳුරු දුඹුරු පැහැය පලවා හැර බිත්ති සුදු හා ආලෝකවත් කිරීමේ අරමුණ ඇතිවයි. දැන් එය ආදිල් විසින් දිව්‍යමය අවකාශයන් බවට පත් කොට තිබේ. එතුළට ඇතුළු වන විට දැනෙන්නේ සදෙව් විමනකට ප්‍රවේශ වන්නා බඳු නිවුණු හැඟීමකි. හිත් වල කවර ගැටළු, අර්බුධ හා පීඩනයන් පැවතී ද ඒ ද්වාරයෙන් ඇතුළු වීමේදී ඒ සියල්ල පිටතින් තබා එන්නට සිදු වන්නේ නිරායාසයෙනි. කාගේවත් ඉල්ලා සිටීමකින් හෝ බල කිරීමකින් තොරවයි. එවන් ආයතනයක් විසින් සැලසුම් කරනු ලබන සියලු අවකාශ වල ඒ දිව්‍යමය හැඟීම පවතිනු ඇතැයි මට සිතිණ. මගේ පැතුම ද එය වූයේ ය. එබැවින් ආදිල් ගේ ආයතනයට සුදුසු ම නම වශයෙන් එය තෝරාගැනීම වඩාත් ඔබිනු ඇත.
‘හෙවන්ලි ඉන්ටීරියර්ස්’ විවෘත කෙරුණේ සුබ මොහොතකයි. ආච්චා ට හා මට ද සුබ නැකතට එහි පැමිණෙන ලෙස ඔහු ඇරයුම් කළේ ය. මගේ මිතුරියන් දෙදෙනා ද එසේ ඇරයුම් ලැබ තිබිණ.
“ඉතින් පුතා නැකතින් පස්සෙ එන අයට සංග්‍රහ කරන්න කිරි බතක් එහෙම උයං යන්න වෙයිනෙ… අපි කාවහරි ගෙන්නෝල කැවිලි ටිකකුත් හදාගමු”
ආච්චා ප්‍රීතිමත් උද්‍යෝගයක අගිස්සට ම පැමිණ සිටියා ය.
“අනේ ආච්චා ඕගොල්ලො තවත්නං කරදර වෙන්න හදන්නෙපා. මං ඒ හැමදේම කේටරින් සර්විස් එකකට බාරදීලයි තියෙන්නෙ”
ආදිල් ගත් කටට ම කීවේ ය.
“ඕගොල්ලො එන්න විතරයි තියෙන්නෙ”
නමුත් මට මොකක්දෝ රිදුමක් දැනිණ. නො සලකා හැරීමක් ගැනදෝ හිතේ කටුවක් ඇනිණ. එනමුදු එය පිටතට පෙන්වීමේ හැකියාවක් වූයේ නැත. එදා හවස වැඩ ගොඩක් කර තියාගෙන පිටතට දිව ගොස් ඇවිත්, මා බරාඳ පුටුවක හිඳ පොතක් බලමින් සිටියදී ආදිල් “තේ එකක් බොමුකො සකී” යි කී වෙලාවක ඒ නොරිස්සුම පිටතට පැන්නේ ය.
“ඉතිං කේටරින් එකකට ඕඩර් කළානං තේ එවයිනෙ”
මගේ හඬ පිටතට ඇසුණේ යන්තමින් බවට සැක නැත. නමුත් මට ම එහඬ බෝම්බ පුපුරා යාමක් සේ දැනිණ. ඒ විදාරණ කම්පනය විඳගන්නට ආදිල්ටත් සිදු වූයේ ය. ඔහු ඉන් මිදුණේ තත්පරයක දෙකක ඇවෑමෙනි.
“කේන්ති ගිහින්ද ඔය ඉන්නෙ…”
කියාගෙන ඔහු මා හිඳ උන් බරාඳ පුටුවෙහි ඇඳි දෙක දෑතින් අල්වා ගනිමින් මා වෙතට නැඹුරු වූයේ ය. ටික ටික හුරු වෙමින් ද ආශක්ත වෙමින් ද සිටි ඔහු ගේ පිරිමි සුවඳ මට වඩාත් ළඟින් දැනිණ. හුස්මක උණුහුම පවා දැනුණ නො දැනුණ ගාන ය. ඒ අත් බාහු වල තද කොළපාටට ඉල්පුණ ලේ නහර මගේ ඇස් වලට හසු විය. මා තදින් පිට කළ හුස්ම වලට ආදිල් ගේ අතක වන ඝණ රෝම තට්ටුව පෙනෙන නො පෙනෙන තරමට සැලී ගියේ ය.
“මට කේන්ති ගිහින් නෑ. මං කිව්වෙ ඉතිං… කේටරින් එකකින්ම ඒකත් කරගත්තහම ලේසිනෙ කියලයි”
මගේ ඇස් හිතුවක්කාර වී සිටියේ ය. පහත් වී සිටි ආදිල් ගේ තොල් කොනක් සිනහවකට සැලිණි. එතකොට ඔහු වඩාත් ලස්සනට පෙනිණ. පපු කුහරය බරට දැනුණෙන් මම නැගී සිටින්නට ගියෙමි. ආදිල් දෑත් ඉවත් නොකර මඳක් තත්පර වූවද මා නැගී සිටියදී ඔහු ට නො නැගිට බැරි විය.
“මානෙල් අම්මා… මේ ආදිල් මහත්තයට තේ එකක් හදල දෙන්න”
කියාගෙන මම එතැනින් ඉවත් ව ගියෙමි. තවත් හවස් වී, වේලෙන්නට දමා තිබූ රෙදි ටිකක් කාමරයෙන් තබන්නට මා එහි යත්දී මේසය මත ඒ තේ කෝප්පය එහෙම ම තිබිණ. එයින් උගුරු දෙක තුනකට වැඩිය බී තිබුණේ නැත.
“තේ ඉල්ලුවට බීල නෑනෙ මේ…”
මම ප්‍රශ්න කළෙමි.
“ඇති”
ඔහු නො සැලකිල්ලෙන් කීවේ ය. නමුත් මගේ හදවත් පේශි වල යමක් සිදු විය. මා ඔහු දෙස බැලී ද ආදිල් මා මගහැරියේ ය. තේ ඉල්ලූ වෙලාවේ මට ඔහු නො රිදවා ඉන්නට තිබිණ! ආයේ කිසි ම කිසි දවසක ඔහු වෙනුවෙන් තේ එකක් තනන්න ය කියා මා මානෙල් ට පවසා නැත. ඔහු ඉල්ලන්නටත් පෙර ආදිල් වෙනුවෙන් ඒ දේ කළේ මා ය.
ආදිල් මන්රූ රත්නායක යනු කාට අයිති වස්තුවක් වී ද ඒ ගැන නොසිතන්නට මා සිතාගත්තේ ඒ වෙලාවේ ය. අයිතියක් ගැන නො හිතා මිනිසුන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දේ ලබා දිය නො හැකි ද? තේ එකක් යනු මහ දෙයක් නොවේ. නමුත් මගේ අතින් හැදෙනා තේ එකක් ඔහු ගේ විඩා නිවා ඔහු ප්‍රබෝධවත් කරවනා බව මම දුටිමි. ඔහු එයින් නව පණක් ලබනා හැටි මම දුටිමි. එදෙස බලා සිටීමෙන් පෞද්ගලික වූ කිසිත් නො ලබා සැනසිය නො හැකි ද?
අප දෙහිවල ගොඩනැගිල්ල වෙත ගියේ නැකතට අඩ හෝරාවකටත් වැඩිය තිබියදී ය. මගේ මෝටර් රියෙහි ම මුද්‍රා හා පීහු ද යන්නට නියමිත විය. ආච්චා ලා කහ පැහැති ඔසරියක් හැඳ අගස්ති පොටක් ගෙල ලා මැණිකේ කෙනෙකු වාගේ සිටියා ය. මා ඇන්දේ ලා රෝස පාට දිගු සේද ගවොමකි.
“බාබිඩෝල් වගේ”
කාටත් රහසෙන්, අවස්ථාවක් ලැබුණ ගමන් ආදිල් එසේ මිමිණුවේ ය. මම මඳහසක් පමණක් පෑවෙමි.
එදා එම අවස්ථාවට සචින් අයියා සමගින් දෙව්නි ද පැමිණ සිටියා ය. ඒ මා ඇයව දුටුවේ කාලයකට පස්සේ විය යුතු ය. යාබද නිවෙස් වල ජීවත් වුණත් අප අපව නො දකින තරමි. මුහුණට මුහුණ ඈ හමු වත්දී ඇයට මුහුණ දීමේ යම් අපහසුවක් මට දැනිණ. ඒ මීට දෙතුන් දිනකට පෙර වූ සිදුවීමක් නිසා ය. ආදිල් ගේ ආයතනයේ නම ගැන සාක්ඡා කරමින් එදා ඇඳිරි වැටුණ පසුත් සචින් අයියා අපේ ගෙදර සිටියේ ය. මගේ දුරකතනයට සචින් ගේ ගෘහස්ථ දුරකථනයෙන් ඇමතුමක් ආවේ ඒ වෙලාවේ යි. සචින් අයියා ට ඒ බවක් කියන්නට ඉක්මන් නොවී මම දුරකතනය ට පිළිතුරු දුන්නෙමි.
“මේ රෑ තිස්සෙත් අපේ මිනිහව ඔය ගේ අස්සෙ දාගෙන මොනාද කරන්නෙ… “
එය කිසි සේත් මා අපේක්ෂා නොකළ යමකි. දෙව්නි වාගේ පිටතට අහිංසක හැසිරීමක් පෙන්වන තරුණියකගෙන් එවන් ප්‍රකාශයක් කෙසේ බලාපොරොත්තු වන්න ද? ක්ෂණික කම්පනයකින් වහා දුරකතන සම්බන්ධය බිඳ දැමූ මම සචින් අයියා වෙතට යොමු වුණෙමි.
“දෙව්නි අක්ක ගෙදර එන්න කිව්ව අයියෙ”
මා එසේ කියාගත්තේ උගුර යටින් අසීරුවෙනි. ඊට පස්සේ කුමක් සිදු වී ද කියා මා දන්නේ නැත. සචින් අයියාව ද යළි මට හමු වූයේ මේ වෙලාවේ ය.