ආදිල් මන්රූ රත්නායක
හැම දේම බලාපොරොත්තු නොවුණ තරං ලස්සනට සිද්ද වෙන අතරෙත් මගෙ හිතේ සුළි සුළඟක් වගේ කැරකෙන ප්‍රශ්නයක් තිබුණා. ඒ සකී මට කවුද කියන එක. හැබැයි මගෙ හිත ඒ ප්‍රශ්නෙ අහන හැම වෙලාවක ම මට නෑහුණ ගානට මගඇරල යන්න සිද්ද වුණා. ඒ මං මට ම ආත්ම වංචාවක් කළා නෙවෙයි. හැබැයි ජීවිතේ එහෙමයි. සමහර දේවල් සිද්ද වෙන්නෙ අපි ප්ලෑන් කරන හැටියට නෙවෙයි. හැබැයි වෙන කාගෙහරි බලපෑමකට යටත්ව. ඒ ඉරණමද කියලනං මං දන්නෑ.
සචිනුයි දෙව්නියි අතරෙ තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියල සකී මගෙන් අහන්න ඇත්තෙ මං ටික දවසක් එහෙ හිටපු නිසයි සචින් මගෙ යාළුව නිසයි වෙන්න ඇති. හැබැයි ඒ වෙලාවෙ පාඩුවෙ ඉන්න කියල සකීට කියන්න තරං එයා ගැන මට තියන අයිතිය මොකද්ද කියල මටම හිතාගන්න බෑ. ඒ වෙලාවෙ සකී මං දිහා බැලුවෙ ඇස් ලොකු කරල තරමක පුදුමයකින් වගෙයි. දෙවෙනි පාරටත් ටිකක් තදින් වගේ මං එහෙම කිව්වහම එයා නිහඬ වුණා. සකී කියන්නෙ ස්වාධීන කෙල්ලෙක්. එයා වෙනුවෙන් අරගල කරන කෙල්ලෙක්. එයාට ඕන විදිහට මිසක් වෙන කාගෙවත් අදහසකට යටත්ව වැඩ නො කරන කෙල්ලෙක්. ඒ මං මේ ටික දවසට එයා ගැන තේරුං ගත්ත දේවල්. එහෙම එකේ එයා මගෙ අණ පිළිගත්තෙ ඇයි කියල මං දන්නෙ නෑ.
සචින්ගෙ වයිෆ්ට තියෙන්නෙ සයිකො කේස් එකක් කියල මං වගේම ඌත් දන්නව. මේ ගෑනිව කවුන්සලර් කෙනෙක් ළඟට අරං යන්න ට්‍රයි කළාට වැඩක් වුන්නෑ කියල සචින් මට කියල තියනව. හැබැයි දෙව්නි අර විදිහට සකීට දොස් කියලයි කියල දැනගත්ත වෙලාවෙ සචිය එක්කත් මට ටිකක් කේන්ති ගියා. ගෑනිව කන්ට්‍රෝල් කරගනිං කියල සචින්ට කියන්නත් මං හිතාගත්ත. අනිත් අතට සකී දෙව්නිත් එක්ක මේ ප්‍රශ්නෙ කතා කරන්න ලෑස්ති වෙන එක ගැන මට දැනුණෙ බයක්. ඒ, ඕකෙන් කිසිම හොඳක් වෙන්නෑ සකීගෙ හිත තවත් රිදෙන එක මිසක් කියල දැනගෙන හිටිය නිසා.
හෙවන්ලි ඉන්ටීරියර්ස් කියන නම සකීගෙ. ඒක හරිම ගැඹුරෙන් බිස්නස් එක ගැන හිතල හදපු නමක්. ෆර්ම් එකට වෙනස් ම නමක් හදාගන්න එයා වෙච්ච මහන්සියත් එක්ක සකී තවත් මට ලං වුණා කියලයි හියතන්නෙ.
“ආච්චා මෙයාට ඔච්චර ආදරේ ඇයි දන්නෑ. කොහොමත් මෙයාගෙ ඇස් කැරකෙන්නෙ සකී වටේම තමයි”
ඕපනින් එක වෙලාවෙ නංගි රහසින් වගේ කිව්ව.
“පිස්සුද ඕයි”
මං බොරු තරහක් පෙන්නුව.
“ඒ මිනිස්සු මට උදව් කරන්නෙ සචින් නිසා. වෙන මගුලකට නෙවෙයි”
“බලමුකො බලමුකො. තමුසෙ ඔය ගෙදර බින්න බැස්සෙ නැත්තං මං මගෙ කන කපාගන්නව අයියෙ”
“පිස්සුද ඕයි තමුසෙට…”
ඒ වතාවෙනං මං හිනාවුණා. ඒත් ඈතකින් වගේ මං දිහා බලං කල්පනී හිනාවුණා.
මං දන්නව මං සකී දිහාට ඇදිල යනව කියල. ඒක කොහෙත්ම හිතා මතා කරන දෙයක් නෙවෙයි. එයා මට අනුබල දෙනව කියලත් කියන්න බෑ. ඇත්තට ම කල්පනී තවම මාව සම්පූර්ණයෙන් නිදහස් කරලත් නෑ. මට ඈත් වෙන්න ඕන වුණාට තවමත් එයා ඒකට සූදානම් නෑ. එහෙම එකේ මං මේ තරං සකී දිහාට ඇදිල යන්නෙ කොහොමද කියලත් මං දන්නෑ. සමහර දේවල් සිද්ද වෙන්නෙ අපිට පාලනය කරන්න බැරි විදිහට. දැං මං ඔහේ ඉන්නව. සිද්ද වෙන්න නියමිත ඕන දෙයක් වුණාවෙ කියල හිතාගෙන!
සකී ආන්‍යා තඹරවිල.
මා ගසා යමින් පවතින බවක් මම දැන සිටියෙමි. නමුත් ඒ කවර වෙරළක් වෙතට ද කියා දැන සිටියේ නැත. ගිලෙනවාට වැඩිය පිහිනන එක පහසුයි කියා මා අසා තිබේ. නමුත් රැල්ලට හසු වී ගසා යාම ඊටත් වැඩියෙන් පහසු බවක් මට දැනුණාවත් ද?
ආදිල් මන්රූ රත්නායක මගේ ගැහැනු හදවතේ හතරමායිමෙන් ඇතුළුව එහි අනවසරයෙන් සැරිසැරුවේ ය. අපේ ගෙදර කෙනෙකු වූයේ කවදා සිටදැයි අමතක තරමට ඔහු අපේ වී සිටියේ ය. කවදාවත් ඔහු නැතිව අපට කිසිවක් කරගත නො හැකි විණැයි සිතෙනා තරමට හැම තැනක දී ම ඔහු ඕනෑ විය. මා ඒ හැඟීම් පාලනය කරගෙන සිටිය ද ආච්චා එසේ කරන්නට දැන සිටියේ නැත.
“අනේ මටනං මහ මොකද්ද වගේ පුතාගෙ අම්ම අප්පච්චිව මෙහෙට එක්කගෙන ඇවිත් කෑම වේලකින් සංග්‍රහ කරල යවන්න බැරි වුණාට”
හෙවන්ලි ඉන්ටීරියර්ස් ඇරඹුම දා රාත්‍රියේ කෑම ගන්නා ගමන් ඇය පසුතැවිලි වූවා ය.
“අයියෝ ඒකට කමන්නෑ ආච්ච. මේ කලබල අස්සෙ කොහොමත් බෑනෙ”
“දවසක එන්න කියන්න ඕනෙ ඒගොල්ලොන්ට”
“අම්ම යනකොට මට කියල ගියේ… ආච්චල දළදා වඳින්න එහෙම ආවොත් අපේ ගෙදරටත් එක්කගෙන එන්න කියල”
“අනේ මටත් මගින් මගටම කිව්ව. දවසක ඒ පැත්තෙ රවුමක් ගහල එන්න යමු නේද සකී…”
මම බත් පත දෙස බලාගෙන යන්තමින් හිස සැළුවෙමි. ආදිල් ගේ දෑස් මා වසා පායා තිබුණේ ය. ආච්චා කෑමෙන් පසු ඇගේ කාමරයට වැදුණාට මට නිදිමතක් වූයේ නැත. පෙර සිට ම අපේ ගෙදර පැවති ක්‍රමය එයයි. දොරවල් වසා අගුළු දමා විදුලි පහන් නිවා අන්තිමට මතු මහළේ මගේ කාමරයට යන්නේ මා ය. බෝ රෑ වන තුරු නිදිමතක් අතපොවන මානයක නැතිව මා බරාඳ පුටුවකට වැටී ඔහේ බලා සිටිනා රාත්‍රීන් ඕනෑ තරම් ගෙවී ගොස් තිබේ. ආදිල් ආවාට පස්සේ “දොරවල් වහල රූම් එකට යන්න සකී” කියා මට කියා තිබෙන වෙලාවල් ඇත. එතකොට පපුව පිච්චෙන හැඟීමක් දැනෙනා එක වැළකිය නො හැකි ය. ජීවිත හතර මායිමේ මගේ ය කියන්නට පිරිමි පුළුටක් නැතිව මේ ගෙවෙන්නේ කී වෙනි වසර දැයි මතක නැති තරම ය. එහෙව් ගැහැනු ආත්මයක් ගහක් ගලක් සේ දරාගෙන මුළු ගෙදරක් බලාගෙන ජීවත් වෙනවා කියන්නේ වීරකමක් නොවේ. වෙන කරන්නට දෙයක් නැති කමට එසේ කරන්නට ඔවුන්ට සිදු වී තිබේ. නමුත් එහෙව් හයිය ගෑනු හදවත් වලින් මළ සොහොන් පාළුවක් ඉතිරේ. ගොරතර වනයක අතරමං වූවා වන් භයානක හුදෙකලාවක් ආත්මය බියවද්දමින් ගලා හැලේ. නින්ද ඈතින් හිඳ බලා සිටින්නේ ද එබැවින් විය යුතු ය. යකෙකුටවත් බය නැතිය කියා පෙන්වාගෙන ඉන්නා මගේ හිත මෝනිං ග්ලෝරියා මලක් සේ තිගැස්සෙන බව මම කිසිවෙකුටත් නො කියා ඇත්තෙමි. ගමේ මිනිසුන් සිතා ඉන්නේ මා පිරිමියෙකු වාගේ දැඩි හිතක් ඇති ගෑනු ළමයෙකු කියා ය. මා විවාහයක් කර නො ගන්නේ ගැහැනු මටසිළිටිකම් වලට වැඩියෙන් පිරිමි දැඩිකම් ඇති නිසාවෙනැයි ඥාතීන් ද කතා වී තිබේ. නමුත් මට ඒවාට පිළිතුරු දීමට අවැසි නැත. හදවත ගලවා දෙපළු කොට පෙන්වීමට අවශ්‍ය ද නැත.
“සකී…”
ආදරයෙන් සන්තෘප්ත වූ ඒ ආමන්ත්‍රණය ආදිල් ගේ ය.
“පුටුව උඩම නින්ද ගිහින් නේද ඔයාට… දොර වහගෙන ගිහින් නිදියන්න සකී. මං මෙහෙ ලයිට්ස් ඕෆ් කරල දාන්නං”
ඔහු පීතෘ ස්නේහයක් වස්සමින් දෙඩුවේ ය. මම මොහොතකට ඇස් දෙක තද කොට පියාගතිමි. ඔහු ගේ කරුණාවත් සොයා බැලීම මගේ ඇස් වලට කඳුළක් ගෙනෙන්නට තරම් සමත් වූයේ ය. තාත්තා හිතේ ඇඳී මැකී ගියේ ඇසිල්ලකිනි.
“මට නින්ද ගිහින් නෑ ආදිල්. නිකං හිටිය කල්පනා කරකර”
ආදිල් සුසුමක් බැහැර කරමින් යාබදව අසුන්ගත්තේ ය.
“මං ඔයාට කිව්වනෙ ඉතිං… කල්පනා කරන්න දෙයක් නෑ කියල”
“ඒත් මට හරි අවුල් අප්ප. කාටවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වෙන එක… හිතට හරි බරක්”
“මේ ලෝකෙ ජීවත් වෙන හැම මනුස්සයෙක්ගෙන්ම හොඳම බලාපොරොත්තු වෙන්න බෑ සකී. එයාලව වෙනස් කරන්නවත් එයාල නිසා හිත් රිදෝගන්නවත් අපිට මේ පොඩි ජීවිතේ හොඳටම මදි. අපිට වදවෙන්න ඕනමනං ළඟම සර්කල් එක ඒ හොඳටම ඇති. ඊට වැඩිය එහා ඉන්න මිනිස්සු අපේ ජීවිත වලට බලපෑමක් කරන්න බැරි තරං ඈතින් ම තියාගන්න එක හිතට පහසුයි. අනිත් එක කොහෙවත් යන ගාබේජ් ට්‍රක් අපේ ඇඟට පෙරළගන්න ඕන්නෑ සකී. දැන් ඕක අමතක කරල දාල හොඳට නිදියන්න හොඳ ළමය වගේ”
ඔහු කතා කළේ හිස පිරිමදිනා සුවයක් දනවමිනි. ඉතාමත් නරක විදිහට ජීවිතය මැද්දේ තනි වී හිඳිනා ගෑනු ළමයෙකුට එහෙව් මුණිවර සරක් වූ කලී භාවනාවක ශාන්තිය දනවන්නකි. ඇත්ත ම ඇත්ත නම් මට ඕන වුණේ ප්‍රධාන ද්වාරය වසාගෙන ඇතුළට ගොස් නිදන්නට නොවේ. තව හුඟක් වෙලා ඔහු හිඳිනා මානයක රැඳී හිඳින්නටයි.
“ඔයා හරිම හොඳ ගෑනු ළමයෙක්. ඒක අපි දන්නව. සචින් දන්නව. සචින්ගෙ පේරන්ට්ස්ල දන්නව. අනික ඔයාට සචින් එක්ක අෆෙයා එකක් ඇතිකරගන්න ඕන වුණානං මීට අවුරුදු ගාණකට කලින් එහෙම කරන්න තිබුණනෙ. කාගෙවත් බාධාවක් නැතුව මැරි කරන්නත් තිබුණනෙ. ඒක නිසා දෙව්නිගෙ හිතේ තියෙන සැකේට කවුරුවත් ඔයාට බ්ලේම් එක දාන්නෑ. ඒ මදිද… බල්ලො බිරුව කියල කඳු පාත් වෙන්නෑ සකී”
මගේ ඇස් වලින් ගිලිහුණු කඳුළක් කොපුල් තලා දිග ගලා යන්නට වූයේ මටත් නො දන්වා කලබලයේ ය. පිස ගන්නට පෙර ආදිල් ඒ දුටුවේ ය.
“ඒයි… අඬනවද ඉතිං ඔය… අනේ කෙල්ල ඔයා ඔච්චර ඕක හිතනවද…”
ඒ වෙලාවේ මට ඕන වුණේ ආදිල් ගේ පපුවට හිස තියාගෙන තදින් ඔහු වැළඳගන්නටයි. ඔහු ගේ දෑතින් තදින් වැළඳගනු ලැබෙන්නටයි. නමුත් මට එවන් පියවරක් ඉදිරියට තැබීමේ හැකියාවක් වූයේ නැත.
“මට දුක හැමදේටම මට හිටිය මගෙ අයිය මට නැතිවුණ එකට. මේ සැරෙත් එයා මට නැතිවෙයි. සචින් අයියවත් හිටියනං… අම්මයි තාත්තයි නැති වුණාට පස්සෙ දැනුණ හුඟක් දේවල් මට නොදැනෙන්න තිබුණ. ඒක කොහොම හැඟීමක් ද කියල වචන වලින් කියන්න මට තේරෙන්නෑ ආදිල්. මෙහෙම තනියම රෑ වෙලා මෙතන ඉන්න සමහරක් රෑ වල මට අම්මයි තාත්තයි හොඳටම මතක් වෙනව. දරාගෙන ඉන්න බැරුව තනියම ඇඬෙනව. ඒ වෙලාවට එක පාරටම අමුතු මල් සුවඳක් හරි තදට මට දැනෙන්න ගන්නව. ටික වෙලාවක් යනකල් ඒ සුවඳ එහෙමම තියනව. එහෙම සුවඳක් තියන මල් ගහක් අපේ වත්තෙ නෑ. මොකක් හරි වැඩකට රෑ වෙලා කා එක ඩ්‍රයිව් කරං එන වෙලාවටත් ඒ මල් සුවඳ මගෙ පස්සෙන් එනව. ගෙදරට ආවහම තමයි ඒක අතුරුදහන් වෙන්නෙ. ඒ වෙලාවට මට හිතෙනව අම්මයි තාත්තයි ඉස්සර වගේම තාමත් මාව ආරක්ෂා කරනව කියල. ඒත් මං ආච්චටවත් ඔය දේවල් කියන්නෑ එයා කලබල වෙයි කියල. මං දන්නව සචින් අයිය අයියෙක් විදිහට මට ඉතුරු වුණානං මේ තරං මං තනිවෙන්නෑ. ඒත්…ඒත්…”
ආදිල් සිය සුරත දිගු කොට මගේ හිස මතින් ඒ තැබුවේ ය. තාත්තා ළඟ ඉන්නවා වන් සංවේදනයක් මගේ හැඬිල්ල ඉකිබිඳුමකට උත්සන්න කළේ ය.
“කෝ ඉතිං දැං නාඬා ඉන්නකො සකී. සචින් ඔයාට අයිය කෙනෙක් විදිහට නැති වෙන්නෑ. ඕනම දේකදි දැං මාත් ඉන්නවනෙ. මට කියන්න ඕන දෙයක්. හරිද… “
හඬමින් ම මම හිස සැළුවෙමි.