සඳක් තනියම – 28

0
6074

මෙවර ආයතනයේ පැවැත්වෙන හොඳම කෑම වට්ටෝරුව තේරීමේ තරඟය අකලංක යටතේ පාලනය වූ මානව සම්පත් අංශය වෙත පැවරූයේ විශේෂ රැස්වීමක් පවත්වමින්ය. දිනාරාට වෙනදාට වඩා වැඩි වැඩ කොටසක් කරන්නට සිදුවිය. මානව සම්පත් අංශයේ වූ සියලුම සේවක සේවිකාවන් කිසිඳු මැසිවිල්ලකින් තොරව තමාගේ කාලයත් ශ්‍රමයත් වැය කරමින් උපරිම දායකත්වයක් ඒ සඳහා ලබා දෙන්නට විය.

නර්මදා කාර්යාලයට පැමිණියේ ඇය අකලංක සමඟ එක්ව සැඳෑවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාව උදෙසා සූදානම් වද්දීය.ඒ සියල්ල මෙහෙයවීමේ කටයුතු මහින්ද විසින් අකලංකට පවරා තිබිණ.ඔහුට දැන් ඇත්තේ තාත්තා දුන් අභියෝගය සාර්ථකවම නිමා කිරීමේ උවමනාවය.

“ එන්න අක්කා..”

ඈ කාර්යාලයට එබුනේ මුව පුරා සිනහවක් ඉහිරවාගෙනය.දිනාරා අකලංක ඉදිරිපසින් නැඟිට මදක් පසුපසට වූයේ ඇයට ඉඩ දෙන්නටය.

“ නෑ ..නෑ.. ඔයාලා වැඩක් කරගන්න මං මේ නිකං ආවේ..”

ඕ එසේ පැවසූයේ තමාගේ මේ පැමිණිම කල්තියා සැලසුම්කල එකක් නොවනබව ඒත්තු ගන්වන්නටය.

“ නැහැ එහෙම වැඩක් නෑ අක්කා.එන්න..දිනාරා මේ මගේ අක්කා..විශ්ව සර්ගේ වයිෆ්. අක්කා මේ දිනාරා…”

“ කොහොමද නංගි…ඔයා ගැන මෙයා කියන දේවල් අහල මං ඔයාව දකින්න හරි ආසාවෙන් හිටියේ..”

“ හොඳයි මැඩම්…මමත් මැඩම්ව දකින්න ආසාවෙන් හිටියේ.අකලංක සර් ගෙදර ගිහිල්ලා මට බනිනවද.”

“ බනිනවට වඩා කරන්නේ වර්ණනා කරන එක..ඉතින් දිනාරා , මේ හැමෝම කිව්වට වඩා ඔයා හරි ලස්සනයි..”

“ නර්මදා යුවතියගේ කොපුලක් අත ගෑවේ  ලෝබකමකින් තොරවය.විශ්වත්, තේජාන් ,මහින්දත් ,අකලංක තරමටම ඒ රුව වර්ණනා කරන අයුරු ඇයට ඇසී තිබිණ.එහෙත් ඕ මෙතරම්ම ලස්සන යුවතියකයැයි නර්මදා  සිතුවේ නැත.සැබවින්ම ඒ පින් පාටකි.”

“ හරි එහෙනම් මෙතන ඉඳලා දිනාර අක්කත් එක්ක මාර ෆිට් ඈ..”

අකලංක පැවසුවේ දෙදෙනා දෙස සිනහමුසුව බලා සිටියාට පසුවය.

“ ඇයි එහෙම කියන්නේ..”

“ නෑ ඉතින් ලෝබ කමක් නැතුව අක්කා දිනාරාව වර්ණනා කලානේ .සාමාන්‍යයෙන් ගෑනුන්ට දිරවන්නේ නැත්තේ තවත් ගෑනියෙක්ගේ ලස්සන..”

“ අනේ ඒ උඹ ගෑනු ගැන දන්න තරම තමයි මල්ලී , නේද දිනාරා. ගෑනු හිත් එහෙම ලෝබ නෑ.ලස්සන දේට ලස්සනයි කියන්න ආයේ පැකිලෙන්නෙත් නෑ.ඔය පිරිමි තමයි දුෂ්ඨකමට හැමදේම හිතේ හංගගෙන ඉන්නේ. “

“ ඒ හින්ට් එකනම්  ගැහුවේ බ්‍රදර්ට..ඌ ඔහොම තමයි.හිතේ තියන දේ කියන්නෙම නෑ.ඇත්තටම නෑනා නිකන්වත් ලස්සනයි කියලා නැද්ද…”

“ මේකානං…පේනවා නේද දිනාරා. මේ කියන කේලම් වලටයි කොටවන කෙටවිල්ලටයි කවදකහරි මගේ පවුලත් කඩලා නවතින්නේ..”

“ හරි හරි දෙන්නත් එක්ක දැන් මාව පට්ට ගහන්නකො.මං යනවා… අක්කා මේ මොනවද කන්නේ…”

“ මොකුත්ම එපා..අයියා අද ලන්ච් වලට ගෙදර යනවා කියලා කිව්වා.එයා එනකල්  මං දිනාරත් එක්ක චැට් එකක් දාගෙන ඉන්නම්..”

අකලංක කාර්යාල කාමරයෙන් පිටවූයේ පෙර වූ සිනහවෙන්මය. 

“දිනාරා ඔයා වැඩක් කරගන්න..”

“ අද ලොකු වැඩක් නෑ මට. හවස ප්‍රෙස් කොන්ෆරන්ස්  එක තියෙනවානේ.සර්රුයි මමයි ඒකට ලෑස්ති වෙන ගමන් හිටියේ.ඇත්තටම මැඩම්ට බොන්න මොනවා හරි ගෙනල්ලා දෙන්නද..”

“ දැන් එපා දිනාරා.මං ඇවිල්ලා ටිකක් වෙලා.විශ්ව මට නෙස්නැෆේ එකක් ගෙනත් දුන්නා..මං ටිකක් හිමාශත් එක්කත් කතා කර කර ඉඳලා ආවේ.

ඇයි දිනාරා මට මැඩම් කියන්නේ.මම මෙහේ වැඩ කරන කෙනෙක් නෙමෙයිනේ.මං ආසයි දිනාර මට අක්කා කියලා කතා කරනවා නම්..”

“අනේ එහෙම හොඳ නෑ නේද…”

“ ඒකට කමක් නෑ…අක්ක කියල කතා කරනකොට ඊට වඩා ලෙංගතුකමක් දැනෙනවා.”

“ ප්‍රියංකා ආන්ටි මට ගොඩක් දේවල් කියලා තියනවා මැඩම් ගැනත්..තේජා මැඩම් තරමටම හොඳයි කියලා කිව්වා..”

“ මං ඇවිත් සම්බන්ධ වෙච්ච මේ පවුල හරි ලස්සනයි දිනාරා. මමත් බැඳීම් වල ලස්සන අඳුර අඳුර ගත්තෙ ඒ පවුල ඇතුලෙදි. ඉතින් මාත් ආදරේ කරන්න පුරුදු උනා..ඉතින් දිනාරා මං ආසයි ඔයා ගැන විස්තර ටිකක් දැනගන්න..”

“ එහෙම ලොකු දෙයක් නෑ මට මැඩම්..සතුටින් ඉන්නවා..”

“ ආයෙත් මැඩම් කිව්වා…අක්කේ කියන්න..මං හිතන්නේ දිනාරාටත්  සහෝදර සහෝදරියෝ නැහැ.”

දිනාරා එවර බිම බලාගත්තේ කිසිවක් නොකියමින්ය.අදටත් සොයුරා ගැන යමක් දන්නේ හිමාෂා පමණි.

“දිනාරා ගියේ ගර්ල්ස් හයි ස්කූල් එකටද…”

“ ඔව්….එක වසරෙ  ඉඳලම..”

“ මාත් හරි ආස පළාතක් නුවර.ඇත්තටම කිව්වොත් යන්න කැමතිම තැන.විශ්වට විවේකයක් ලැබුණු ගමන් අපි ගොඩක් වෙලාවට කැන්ඩි යනවා. එහේ දවසක් දෙකක් නැවතිලා දළදා මාලිගාවට ගිහිල්ලා හන්තානෙ නැගලා එන්න මං හරි ආසයි. විශ්වලට තියෙන්නේ හරි අවිවේකී ජීවිතනේ..එහෙම ගමනක් යන්න ලැබෙන්නේ හරි කලාතුරකින්.”

“ ඒකනම් ඇත්ත මැඩම්..සර්ට තියෙන්නෙත් වගකීම් ගොඩක්නේ..බබා ඉස්කෝලෙද..”

“ ඔව් එයාව ගන්න ඕන දොළහ මාරට.”

“ ප්‍රියංක ආන්ටිත් කිව්වා වෙලාවක කෝල් එකක් දීලා කැමති මොනවටද කියලා අක්කගෙන් අහන්න ඕනේ කියලා..”

“ අනේ ඇත්තද….ප්‍රියංකා ආන්ට් හදන මොන දේටද අකමැති වෙන්න හිතෙන්නේ.එයා ආදරේ ගොඩක් දාලා හදන කෑම හරි රසයි.අපේ ගෙදර හැමෝම කන්න කැමතියි..”

“ ඒකනම් ඇත්ත අක්කේ ..මමත් නුවරින් ආවට වඩා දැන් ගොඩක් මහත් වෙලා.”

“ නෑ ඔයාගේ ඇඟ ශේප්.උස මහත ගානට..ඒක නෙමෙයි කොහොමද අපේ දඟ කොල්ලා.විශ්වත් හරි සතුටින් ඉන්නේ. ඉස්සර මෙහෙම එක විනාඩි පහක් ඔෆිස් එකේ තියාගන්න පුළුවන් උන  කොල්ලෙක් නෙමෙයි ඔය.”

“ සර් දැන් වෙනදට වඩා උනන්දුවෙන් හැම දේ ගැනම හොයලා බලනවා.”

“ ඇත්තටම දිනාරා තමයි ඒ වෙනස ඇති කළේ.අපි ගෙදර කතා වුණා ඒ ගැන.”

“ අනේ නැහැ අක්කේ මම  විශේෂයෙන් කරපු දෙයක් නැහැ.විශ්ව සර් තමයි මට ගොඩක් වෙලාවට උපදෙස් දුන්නේ මේ විදිහට කරන්න කියලා.මට තේරුණා විශ්ව සර් ඒ කියපු විදිහට මම වැඩ කරද්දි අකලංක සර්ට ඔෆිස් එකටම හිර වෙන්න සිද්ධ වුණා.අකමැත්තෙන් උනත් සමහර දෙයක් දිගටම කරනකොට ඒක පුරුද්දක් වෙනවා කියල ප්‍රියංක ආන්ටික් කියනවා.සමහරවිට සර්ටත් එහෙම වෙන්න ඇති.විශ්ව සර්ට තමයි ඒ ගෞරවය ලැබෙන්න ඕනේ..”

“ මල්ලිට වගකීම් ගන්න වුවමනාවක් තිබුණෙ නෑ.එයා මේ හැමෝගෙම හුරතලානේ. හැමෝගෙම ආදරේ.එයා හරි සැහැල්ලුයි..”

“ ඒකනං ඇත්ත නේද..මං දැකල තියෙනවා විශ්ව සර් එහෙම හරි ආදරෙයි.එහෙම සහෝදරකම් හැම තැනකම නෑ.”

“ මේ අය හරියට දම්වැලක පුරුක් වගේ නංගී.හැමෝම එකට බැඳිලා..ලේලියක් විදිහට, නෑනා  කෙනෙක් විදිහට කියන්න කිසිම වචනයක් මට නෑ.මතක් කලත්  ඇස් දෙකට කඳුළු පිරෙන ලෙන්ගතුකමක් අපි අතර තියෙන්නේ. ඇත්තමයි මේ ලෝකේ සතටුම තැන තමයි අපේ ඒ ගෙදර..

දිනාරා බලා සිටියේ නර්මදාගේ දෑස් දෙසය.ඒ ලෙන්ගතු බැඳීම ගැන හොඳටම විශ්වාසය.සැබවින්ම ඇගේ දෑස්වල වූයේ කඳුළකි.

“ විශ්ව උනත් අකලංක උනත්  ගෑණු කෙනෙක්ගෙ වටිනාකම, ගෞරවය උපරිමයෙන්ම රකින්න දන්න පිරිමි..එහෙම අය ළඟ ජීවිතේ හරි සැනසීමෙන්  ගෙවන්න පුළුවන් දිනාරා..ඔයාගේ විස්තර අහන්න ගිහිල්ලා මගේ හිතේ තියෙන දේවල් විතරක් කියනවා නේද.”

“ අනේ නෑ මැඩම්..මං ඒවා අහගෙන හිටිය හරි ආසාවෙන්.මට අම්මා විතරනේ මැඩම් හිටියේ.අපි දෙන්නා යාළුවෝ දෙන්නෙක් වගේ හරි සතුටින් හිටියා..”

“ අම්මා  නැති වුනේ අසනීප වෙලාද..”

“ ඔව්…..අම්ම නැති උනාට පස්සේ මං ගොඩක් තනි උනා.ප්‍රියංකා ආන්ටිත්  මට අම්මා තරමටම ආදරෙයි.ඒත් මේ වගේ ලස්සන ලොකු පවුලක අත්දැකීමක් මං විඳලා.නෑදෑයෝ හිටියත් ඒ හැමෝම හරි දුරස්..”

“ මමත් මේ ගෙදරට එන්න කලින් ඒ වගේ ලොකු පවුලක සතුට විඳලා තිබුනේ නෑ දිනාරා.මගේ ගෙදරත් මමයි අම්මයි තාත්තයි විතරයි හිටියේ. ඒ දෙන්නම ගවර්මන්ට් වර්ක්  කරපු නිසා ගොඩක් වෙලාවට මම විතරයි ගෙදර තනියම හිටියේ. මමත් මැරි  කරලා විශ්වගේ ගෙදරට ආවේ හරි බයෙන්, සැකෙන්. ඒ උනාට මං අද ඕනෙම කෙනෙක් ලඟදි කියනවා මගේ ජීවිතේ හැම දේම මට ලැබුණේ එතනදි.”

“ ඒක ලොකු වාසනාවක්…මං අහල තියෙන විදිහට ගොඩක් දෙනෙක්ගෙ මැරෙජ් ලයිෆ්  වල තිබුනේ දුක විතරයි.එහෙම නැත්නම් දෙපැත්තටම සමබර කතා.”

“ ඒක තීරණය වෙන්නේ අපිට හම්බවෙන පුද්ගලයා මත දිනාරා..දිනරාගේ බෝයි ෆ්‍රෙන්ඩ්  කැන්ඩිවල  කෙනෙක්ද…”

නර්මදා  එසේ අසද්දී  යුවතියගේ මුව මත සටහන් වූයේ සිනහවකි.

“ නෑ කියන්නනම් එපා.මෙච්චර ලස්සන කෙල්ලෙක්ට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියන එක විහිළුවක්.”

“ අනේ නෑ අක්කේ…ඇත්තටම නැහැ. එහෙම කීප දෙනෙක්ම යාළුවෙන්න ආවා තමයි ඒ උනාට මොකක්දෝ හේතුවකට මට එහෙම සම්බන්ධයක් ඇතිකරගන්න හිතුනෙ නෑ. ආදර සම්බන්ධයක් ඇතිවෙලා නැතිවෙලා ගියොත් ඒ දුක දරාගන්න තරම් මං ශක්තිමත් නෑ කියලා මට හිතෙනවා අක්කේ “

“ ඔයා කාට හරි ආදරය කළොත් ආපස්සට හැරෙන්න බලාගෙන ආදරේ කරන එකක් නෑ.ඒ නිසයි ඔයාට එහෙම හිතෙනවා ඇත්තේ.”

“ වෙන්න ඇති  අක්කේ. මට ඒ ගැන අත්දැකීමක් නෑ.ඒත් තව කෙනෙක් මගේ ජීවිතයට ලං කරගන්න මම බයයි..”

“ එහෙම හිතන්න එපා…අපි එක සැරයක් ඔය හිතට ඕපන් වෙන්න ඉඩ දෙමු.මං විශ්වාසයෙන්ම කියන්නේ ගෑනු හිතක් කියවන්න දන්න කෙනෙක් ⁣ඔයාට ලැබෙයි..ඒ  ආදරේ  හරි ලස්සනයි නංගී..”

“ මට හිමාෂාත් ඔය ටිකම කියනවා.”

“ ඒ කිව්වේ…”

“ හිතට ඕපන් වෙන්න ඉඩ දෙන්න කියලා.”

“ ඒකනේ…අපි ඔයා එක්ක ඉන්නවනේ..”

අකලංක කාර්යාලිය කාමරයට එබුණේ පලතුරු යුෂ බඳුන්  දෙකක් රැගෙනය. මෑතකදී කාර්යාල සංකීර්ණය ඉදිරිපිට අලුතින් ආරම්භ කල මේ බීම වෙළඳසැල ආයතනයේම එකකි. අද එය  නැවුම් පලතුරු යුෂ  බීමට පැමිණෙන බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ වූවකි.එය විශ්වගේ සංකල්පයකි. ඉදිරි කාලයේ ⁣ ලංකාවේ ප්‍රසිද්ධ නගර සියල්ලේම මේ ආකාරයේ පළතුරු බීම වෙළඳසැල් විවෘත කිරීමට ඔහු අපේක්ෂා කරන බව පැවසුවේ අකලංකය.

එක බඳුනක්  තම නෑනන්ඩිය  අතට දුන් අකලංක අනික් බඳුන දිගු කළේ දිනාරා වෙතටය.

“ ඇයි සර් මේ මට…”

“ බොන්න බොන්න කියවල මහන්සි ඇතිනේ දෙන්නටම.”

“ එහෙම තමයි ගෑණු ළමයි එකට හම්බවුණහම.ඔයාලට වගේ නෙමෙයි අපිට කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා නේද දිනාරා..”

“ ඉතිං ළිඳ ලඟ  සංගමය කියලා කියන්නේ නිකන්ද..”

“ ළිඳ ළඟ සංගමය කතා වෙන දේවල් වෙනයි. මේවා වෙනයි….නේද දිනාරා..”

“ සර් මේක බොන්න…”

නර්මදා  පැවසූ වදන්වලට සිනහසෙමින්  යුවතිය තමා අත වූ පලතුරු බඳුන තරුණයා වෙත දිගු කළේය.

“ එපා දිනාරා…මට බඩගිනි.තව ටිකකින් බත් කන්න ඕනේ.”

“ අම්මෝ දිනාරා මෙයා එක  විනාඩි පහක් බඩගින්න ඉවසන්න පුළුවන් කෙනෙක් නම් නෙමෙයි..අම්මා කියනවා සමහර වෙලාවට කිචන්  එක  පෙරල පෙරලා කන්න දේවල් හොයනවලු..”

“ මගේ රෙදි ගලවල වගේ….”

තරුණයා තම අසුන වෙත ගියේ එසේ පවසමින් සිනහසෙන අතරේය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here