අපි බරාඳයේ පුටු ලං කොටගෙන, කනප්පුව මැදි කරගෙන, වට වී කතා කරමින් සිටියෙමු. අපි කියන්නේ මාත් මගේ මිතුරියන් දෙදෙනාත් ආච්චාත් එහි සිටියහ. ටික වෙලාවකට පෙර ආදිල් සචින් අයියා ට දුරකතන ඇමතුමක් දී “මේ පැත්තට එනවද” කියා ඇසුවේ ය. ඔහු “බලන්නං මචං” කියා කියනු දුරකතනයේ ඉලෙක්ට්‍රෝනික හඬින් මට ඇසිණ. ඒ කතා බහ අතරේ කියූ දේවලට වැඩිය නො කියූ දේවල් මුවහ වී තියෙන්නට ඇත. එතකොට අමුතු ය. කාලයක් අතිශය විවෘත ව සිටි මිනිසුන් වචන අස්සේ වහං වන විට දැනෙනා සංකා හැඟීම් වචන වලට ගලපා කිව හැකි නොවේ. ඒවා හරි මූසල ය. කළුවර රාත්‍රියක සුසානයක් අසලින් යන විට දැනෙනා අන්ධකාර හැඟීම් වාගේ අඳුරු ය. නො පැහැදිලි ය. විනිවිද නො පෙනෙනා සුළු ය.
“කසාද බැන්දට පස්සෙ කොයි මිනිහටත් වෙන්නෙ ඕක නේද…”
ඒ මූසල බව අතරින් මුද්‍රා විහිළුවක සරින් කීවා ය. කිසිවෙකු ඊට ප්‍රතිචාර නො දැක්වූයේ නො වැටහීමක් නිසා යයි සිතා දෝ ඈ ඒ පැහැදිලි කළා ය.
“ගෑනිගෙ පදේට නටන්න වෙන එක…”
“ගෑනිගෙ පදේට නැටුවත් කමක්නෑ මුද්‍රා ඒක දෙන්න අතරෙ නිරායාසයෙන් ඇති වෙන එකඟතාවයක් නිසා වෙන දෙයක්නං. ඒ කියන්නෙ ආදරේ ගෞරවේ වගේ. ඒ දෙක තියන තැන කෙනෙක් අනිත් කෙනාව සැක කරන්නෙවත් ඒ සැකේ මත නොමරා මරන්නෙවත් නෑනෙ”
පැහැදිලි ස්වරයකින් ආදිල් සිය අදහස ඉදිරිපත් කරන්නට පටන් ගත්තේ ය.
“ඒක ආදරේ නිසාම කරන කොන්දේසි පැනවීමක් වගේ දෙයක්. ඒ කියන්නෙ ඉස්සර වැටෙන්න බීපු එකෙක්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි බැන්දට පස්සෙ වයිෆ් හරි බොන්නෙපා කියල ඒක ලිමිට් කරගන්න බලනවනං එතන ඇත්තටම වෙන්නෙ හොඳක්නෙ. හැබැයි කලින් ආශ්‍රය කරපු එකෙක්වත් ආශ්‍රය කරන්නෙපා මං විතරයි වගේ එකක් දීල වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙක් වගේ ආශ්‍රය කරන්නත් බැරි තරමට නීති දානවනං ඒක එහෙම එකක් නෙවෙයි. ඒක වෙනම අවුලක්. මං කියන්නෙ ඕක ගෑනු පිරිමි දෙගොල්ලොටම පොදුයි”
“ඒක ඇත්ත. පොඩි ළමයෙක් තියා සතෙක්වත් කැමති නෑනෙ හිරවෙලා ඉන්න. මොන සම්බන්ධයක් ඇතුළෙ වුණත් නිදහස තමයි වැදගත්ම දේ. කසාදයක් බැන්ද කියල දෙන්නෙක් කිසිසේත් එක්කෙනෙක් වෙන්නෙ නෑ. එහෙම වෙයි කියල හිතනවනං ඒක මාර මුලාවක්. දෙන්නෙක් එකට ගමනක් ගියත් ඒ වෙන වෙනම ඒකක විදිහට. ස්පේස් එකක් නැති සම්බන්ධයක් කවදාවත් හෙල්දි වෙන්නෑ. ඒක කොයි වෙලාවෙ හරි පුපුරල යනව”
“මේ ළමයින්ට ඒ ගැන ඔය විදිහෙ අවබෝධයක් තියන එක ඇත්තටම ලොකු දෙයක්. මේ කාලෙ කසාද වලට වැඩිය දික්කසාද සිද්ද වෙන්නෙ ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි”
එතෙක් නිහඬව සවන් දී සිටි ආච්චා ද ඒ කතාවට එක් වූවා ය. මේ පෝය නිවාඩු දවසේ මා පීහුට හා මුද්‍රා ට එන්න කීවේ පිරිත් පිංකමෙහි වැඩ කටයුතු ගැන කතා කොට ඒවා එකින් එක නිරවුල් කරගන්නටයි. මීට මඳ වෙලාවකට පෙර, ආදිල් විසින් මුද්‍රා ගේ ඉල්ලීම මත සචින් ට දුරකතන ඇමතුමක් ගන්නට පෙර අප කතා කරමින් සිටියේ පිරිත් දා රාත්‍රියෙහි භෝජන වට්ටෝරුව හා සාංඝික දානය වෙනුවෙන් පිළියෙල කළ යුතු ආහාර වර්ග පිළිබඳවයි. සචින් අයියලා ගේ ගෙවල් පැත්තෙන් හදිසියේ ම උස් කටහඬ කිහිපයක් ඇහෙන්නට ගත්තේ ය. අපි එකිනෙකා ගේ මුහුණු දෙස බලමින් උනන්දුවෙන් සවන් පාන්නට වීමු. ඒ කතාබහ පැහැදිලි නොවිණි ද ඒ කලහයක වචන හුවමාරුවක් බව වටහා ගත හැකි විය. වරින් වර සචින් ගේ ද දෙව්නි ගේ කට හඬවල් උස්ව නැඟිණ. මගේ හද ගැස්ම උච්ච වූයේ අපේ ගෙදර දබරයක් ඇති වන්නා මෙනි.
“අනේ මන්දා මේ ළමයි දෙන්න රණ්ඩු වෙනව නේද…”
ආච්චා පවා තරමක් කැළඹී සිටියා ය.
“අපි කතා කරල මෙහෙට එන්න කියල කියපු නිසාද දන්නෙත් නෑ”
මට දැනුණේ පුදුම බියකි. එතන ප්‍රශ්නයක් නම් එහි නිමිත්ත මා ය යන සිතිවිල්ල පුදුම තරමින් මා කම්පිත කරවී ය. සැලකිය යුතු වෙලාවක් ඒ පැත්තෙන් බණ අඬගැසීම් නැඟිණි. අපේ සංවිධාන කටයුතු ද ඇනහිට තිබිණ.
“අනේ පොඩ්ඩක් මොකද බලන්න බැරිද පුතා… මටනං මේ සචින් පුතා ගැන හරිම කණගාටුයි”
“මං දැං මෙහෙ ඉඳල එහෙ ගිහිං බලන එක හරිනෑ නේද ආච්ච…එතකොට ඒ නිකං… ඒගොල්ලොංගෙ පර්සනල් දෙයක් හොයන්න ආව වගේ තියෙයි නේද…”
“ඔව් ඔව්. ඔයා යන්නෙපා”
මම වහා කීවෙමි.
“හරි අපි අපේ වැඩේ කරං යමුකො”
කියමින් ආදිල් නැවත ද දානයේ භෝජන ලැයිස්තු පිළිබඳ අපේ අවධානය යොමු කරවී ය. නමුත් මුලදී අප වෙත වූ සැහැල්ලුව වෙනුවට අමුතු හිත් බරක් මට දැනෙමින් තිබිණ.
“අපරාදෙ අපි සචින්ට එන්න කියල කෝල් කළේ”
යනුවෙන් මුද්‍රා ද පසුතැවිලි වූවා ය. කෙසේ වෙතත් අන්තිමට සචින් ආවේ ය. ඔහු ගේ මූණ එල්ලා වැටී තිබිණ. එහි ශෝකයක් කඳවුරු බැඳගෙන සිටියේ ය. ඔහු ගේ දෙතොල් එකට තද වී හකු හිර වී තිබෙනු පෙනිණ. සචින් අයියා බරාඳයට පැමිණි විගස මම අසුනෙන් නැගිට ඔහු ට එහි හිඳගන්නට ඉඩ ලබා දුනිමි. සචින් අතක ඇඟිලි වලින් මුවත් නිකටත් වසා ගත්තේ ය. ඔහු එසේ කරනුයේ දරාගත නො හැකි මානසික වියවුලකදී බව මම බෝ කලක සිට දන්නෙමි.
“මොකද සචින් පුතා වුණේ…”
අප සියලු දෙනා වෙනුවෙන් ආච්චා හඬ අවදි කළා ය.
“වැඩක් නෑ ආච්චා. දැන් මට මේක ඇති වෙලා තියෙන්නෙ. ඇත්තටම දැං මං ඉවසුව ඇති වගේ දැනෙනව”
සචින් ගේ ඇස් වලින් කලඑළි බැස්සේ නිදන්ගත වේදනාවකි. ඒ ඇස් පත්ලෙන් කඳුළක දිස්නය නැගී සිටියේ ය. මට ඔහු වැළඳගෙන හඬන්නට සිතිණ. නමුත් අපට සහෝදරත්වයෙන් හෝ එසේ හැසිරෙන්නට ඉඩක් නැතිවා නොවේ ද?
“මං කෝල් කරපු එකද මචං ප්‍රශ්නයක් වුණේ…”
“හ්ම්. කෝල් එක ආව විතරයි මේ ගෑනි යක්ෂණියක් වගේ වුණා බං. මගෙ ඇඳුං මිදුලට විසි කරල… ගෙදර බඩු එහෙට මෙහෙට තල්ලු කරල… මොකද්ද බං මේ… මොකද්ද මට කරන්න කියන්නෙ… මොකද්ද තව මට කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ…”
“දෙව්නි අක්ක මෙහෙ එනවට කැමති නැත්තං… ඔයා එන්නැතුව ඉන්න අයියෙ”
මම උගුර යටින් කියාගතිමි. සචින් අයියා මදෙස බැලුවේවත් නැත.
“නිකං බොරුවට ප්‍රශ්න ඇතිකරගන්න ඕන නෑනෙ”
ආදිල් ගේ දෑස් මවෙත යොමු වී තිබෙනු මට දැනිණ. ඔහු ගේ බැල්ම සන්සුන් ය. උපේක්ෂා සහගත ය.
“ඔව් පුතා. අපි දන්නව පුතා අපිට හරි ආදරෙයි කියල. ඒත් ඉතිං ඔය දෙන්න සමාදානෙං ඉන්න එක තමයි වැදගත්ම දේ”
“නෑ ආච්ච”
ෆූජියාමා ගිනිකන්ද පුපුරා ගියා වන් භීතියකින් ඇලලී ගිහින් මගේ දෑස් සචින් අයියා වෙතට විසි විය.
“තවත් එහෙම නෑ. දැං වෙන්න තියෙන්නෙ හෙණ ගහන එක විතරයි. ඒකත් වුණාවෙ. හෙණ ගැහිලම ගියාවෙ. තවත් මං මේ කිසි දෙයක් ඉවසන්නෑ. කසාදෙ කසාදෙ කිය කිය අනිත් හැමදේම නැති කරගත්ත එකයි බලනකොට මං කරල තියෙන්නෙ. ඒත් අන්තිමට මොනාද ඉතුරු… දැං මේ හොඳටම ඇති ආච්ච. තවත් මට මෙහෙම ඉන්න ඕන නෑ. ඉන්නෙත් නෑ මං”
“පුතා… දරුවො… පොඩ්ඩක් සන්සුන් වෙලා අපි හෙමිහිට ප්‍රශ්නෙ දිහා බලමුකො. කලබලේට කොරොස් කටෙත් අතදාගන්න බෑ කියනවනෙ”
ඉන්පසු අප හැම කෙනෙකු ම කතා කළේ සචින් අයියා ගේ හිත සන්සුන් වෙන සේ ය. අප කිසිවෙකුට ඔහු ගේ විවාහය අතරමගදී බිඳී යනු දකින්නට ඕනෑ වූයේ නැත. නමුත් ඔහු ගසාගෙන ගොස් යම් නිශ්චිත ඉවුරකට සේන්දු වෙමින් සිටිනා බවක් පෙනෙන්නට තිබිණ.
🩷අද වෙනදට වැඩිය කතාව ටිකක් අඩුයි වගේ දැනෙයි. ඒ, මේ දවස් ටිකේම ගාල්ල පොත් ප්‍රදර්ශනය තුළ කාර්ය බහුල නිසා. ඒ අතරේත් ඔයාල වෙනුවෙන් හැම දවසකම ලිව්වෙ බලං ඉන්න බව දන්න නිසයි. ඉතින් හෙට දිග කොටසකින් හමුවෙමු.