සඳක් තනියම – 29

0
6947

තේජා දුන් පණිවිඩයකට අනුව දුරස්තර ඥාති සම්බන්ධයක් වූ සමරසේකර අකලංක වෙනුවෙන් යුවතියන් දෙදෙනෙකුගේ හදහන් රැගෙන ආවේ සවසකය. ඔහු අත ඒ යුවතියන් දෙදෙනාගේම සේයා රූ දෙකක්ද විය.

“ මේ දරුවා කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ තමයි ඉන්නේ.ඒ දෙමව්පියෝ බලාපොරොත්තුවෙන් ඉන්නේ උපාධිය ඉවර උන ගමන්ම දරුවගේ විවාහ කටයුතු සිද්ධ කරලා දෙන්න. අම්මා ප්‍රින්සිපල්  කෙනෙක් තාත්තා තමයි ඉස්සර ගාල්ලේ හිටපු උපදිසාපති. මම අපේ අකලංක පුතා ගැන  ගැන කිව්වහම හරියට සතුටු උනා…පවුලේ එකම දුව.හොඳට සල්ලි බාගෙ තියෙන හරි වැදගත් මිනිස්සු.ඔය ගාල්ලේ කරාපිටියේ ඉඩකඩම් වලින් භාගයක්ම අයිති මේ මිනිස්සුන්ට. නංගිලාගේ මේ පවුලට හොඳටම පෑහෙන මිනිස්සු 

අනිත් කෙනා ඒ තරමට ඉගෙන ගෙන නැහැ. ඕ ලෙවල් වලින් පස්සේ ඩිසයින් කෝස් එකක් කරලා ගාමන්ට් ප්‍රැක්ට්‍රි කීපයක්ම තියෙනවා.අහල ඇතිනේ ගාල්ලේ ‘  රන්සේල  ‘  ඒක අයිති මෙයාලට තමා.අයියයි නංගී විතරයි ඉන්නේ.අයිය බැඳලා වෙනම ඉන්නේ.මේ තියෙන දේපළ ඔක්කොම දුවට තමයි.අයිය කරන්නේ කාර් බිස්නස්..මිල මුදල් අතින් නම් අර ගෑණු ළමයට වඩා මේ පවුල ඉහළයි.ඒ වගේම තමයි ලස්සන.අකලංක පුතත් ඉතින් සමාජේ  ගැවසෙන ළමයෙක් හින්දා ලස්සන ගැන ටිකක් හිතනවා ඇතිනේ..”

“ ඇත්තටම සමරසේකර අයියේ මිල මුදල් අපිට වැදගත් නෑ. ඒ දරුවන්ට තමන්ගේම කියලා ව්‍යාපාරයක් තියෙනවනේ.. අපිට ඕනෙ මේ පවුලේ සාමය සමගිය ආරක්ෂා කරගෙන අපිත් එක්ක සතුටින් ඉන්න පුළුවන් දරුවෙක්..ගෑණු දරුවෙක්ගේ උගත්කම පවුල් ජීවිතයකට හරි වටිනවා.ඒ නිසා ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ පවුල් පරිසරයක හැදුනු උගත් දරුවෙක්.අපිට බය නැතුව තැනකට ගෙනියන්න පුළුවන් බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් අපේ කියලා කියන්න පුළුවන් තැනක දරුවෙක් වෙන්න ඕන ඉතින්…”

“ ඒක මං දන්නවා නංගිවත් මහින්ද මල්ලිවත් එදා ඉදලම සල්ලි වලට මුල්තැන දීපු මිනිස්සු නෙමෙයි. මේ හඳහන් දෙකම මට විශ්වාසයෙන් මෙතනට ගේන්න පුළුවන් උන නිසයි මං අරගෙන ආවෙ අක්කේ.පුතාටත් පෙන්නලා මට පණිවිඩයක් දෙන්නකෝ..මේ දෙකම හරි නොගියොත් අපි වෙන තැනක් බලමු..”

සමරසේකර  පිටව ගියේ තවත් හෝරාවක් පමණ කාලයක්  තේජා සමග කතා කරමින් සිටියාට පසුවය.

 දහවල ආහාර ගත්තාට පසුව කුඩා දියණිය සමග පැයක් දෙකක් නිදා  ගැනීම දැන් නර්මදාගේ පුරුද්දකි. ඒ විවේකය ඇයට ලබාගන්නයැයි පැවසූයේත් තේජාමය. වැඩක් තිබුණත් නොතිබුනත් නර්මදා යනු දිවා කාලයේ නිදා ගන්නා ගැහැණියක නොවේ.

නර්මදා උඩුමහලේ සිට පහත මාලයට පැමිණෙද්දීත් තේජා සිටියේ විසිත්ත කාමරයේ සුවපහසු අසුනක අසුන් ගෙනය. තමාගේ දැනීමේ හැටියට ඕ සමරසේකර විසින් රැගෙන ආ කේන්දර පත්‍රිකාවත්  අකලංකගේ කේන්දරයත් සසඳමින් උන්නාය. තේජා එදා සිටම හදහන් විශ්වාස කළ අයෙකි..මහින්ද පවුලේ සියල්ලන්ගේම හඳහන් බැලුවේ රූපවාහිනියේ නිතර දක්නට ලැබෙන සුප්‍රසිද්ධ දෛවඥයෙකු  විසින්ය. අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කිරීමට,සුබ ගමනක් යාමට සේම පවුලේ සිදුවන සියලු සුබ කටයුත්තකටම ඕ එම දෛවඥයාගේ පිහිට පැතුවාය.

එදා මෙදා තුර කිසිදු වූ කිසිවක් නොවැරදුනේත් එම දෛවඥයාගේ නිවැරදි හඳහන් පරීක්ෂා කිරීම නිසා යැයි තේජා විශ්වාස කළාය.

“ දුව නැගිට්ටද..….කෝ චූටි මැණිකට තවම නින්ද ගිහිල්ලද.”

“ මං නැගිට්ටෙව්වා අම්මේ ..අනේ මට තව ටිකක් නිදාගන්න ඕනේ කියලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.”

“ පව්.. මහන්සි ඇති..අද දවසෙම සෙල්ලම් කලා කියලා කිව්වා..දුව පහලට ආපු එක හොඳයි.කිරි එකක් හදන්න කියලා කියන්නද.”

“ දැන් එපා අම්මා..ගිය සැරේ වගේ නෙමෙයි  හැමදේම අප්පිරියයි වගේ දැනෙනවා.”

“ ඒ මොකද ඒ…පුළුවන් චූටි දෙයක් හරි කන්න ඕන දුව..”

“ කිරි එහෙම  බොන්නම බෑ වගේ අම්මා.උදේ විශ්ව බල කරලා මට කිරි එකක් පෙව්වා ඒක එහෙමම වමනෙ ගියා.”

“ එහෙම අකමැත්තෙන් අප්පිරියාවෙන් බොන්න යන්න එපා දුව .වමනෙ ගියහම  මීට වඩා අමාරුයිනේ..සමරසේකර මාම ආවා.”

“ ආ.. ඇයි  අම්මා හදිසියේ. ගියාද ඉතින්..”

“ හදිසියේ කියන්නේ දුව මම අර මල්ලිගේ කටයුත්ත බලන්න කියලා එයාට තමයි බාර දුන්නේ. අපේ  පවුලේ කීප දෙනෙක්ගෙම මඟුල් තුලා වලට මැදිහත් වුණේ ඔය සමරසේකර අයියා තමයි.ඒ එකක්වත් වැරදිලා නැහැනේ දුව.මේ බලන්න මල්ලිට ගැලපෙන හඳහන් දෙකක්ම ගෙනත් තිබුණා.මේ ඒ දරුවෝ දෙන්නගෙ ෆොටෝ.”

තේජා විසින් දිගු කළ සේයා රූ දෙක නර්මදා  සිය දෑතට ගත්තේ ඕනෑවට එපාවටය.යුවතියන් දෙදෙනා සුන්දරය එහෙත් දිනාරාට  වූයේ ඒ දෙදෙනාටම සමකල නොහැකි රුවකි.

“ අම්මා මල්ලිගෙන් ඇහුවද….”

“ විශේෂයෙන් ඇහුවෙ නෑ දුව.එයාට එදා මම කිව්වනේ කෙනෙක් හොයනවා කියලා.බලමු ඉතින් ..එයාට ගැලපෙන කෙනෙක් මුණ ගැහෙනකල් හොයමු.” 

“ ඒක හොඳයි අම්මා.මල්ලිගේ තීරණය තමයි හරිම තීරණය වෙන්න ඕනේ.”

“ ඔව් එයාගේ අකමැත්තෙන් මේ කිසි දෙයක් කරන්න බෑ. අපි රෑට ආවහම මේ දෙක පෙන්නලා බලමුකෝ..”

“ මේ දවස්වල මල්ලි හරියට මහන්සි වෙනවා කියලා මට විශ්ව කිව්වා. කම්පැනි  ඉවෙන්ට් එකේ වැඩ සම්පූර්ණයෙන්ම එයානේ  අම්මා බාරගෙන තියෙන්නේ.”

“ ඔව් තාත්තත් හරි සතුටින් ඉන්නේ ඒ ගැන “

“ ඉතිං අම්මා මේ දවස් ටික යනකල් ඉදලා මල්ලිත් එක්ක කතා කලොත්  නරකද…”

“ අපි කියලා තියමු දුව මේවා ඉතින් බැලුවා කියලා හදිසියේ වෙන දේවල් නෙමෙයි නේ..”

එවර නර්මදා සිය නැන්දණියට එකඟව හිස වැනුවේ ඇය අනුමත කරමින්ය.අත වූ සේයාරූ දෙක ඕ තමා ඉදිරිපස වූ කෙටි බංකුව මතින් තැබුවේ කිසිවක් නොකියමින්ය. අකලංකට හිමිවිය යුත්තේ දිනාරාමය.ඇයත් සමග කාර්යාලය තුළ ගත කළේ හෝරාවක පමණ කාලයක් වුවත් නර්මදා සම්පූර්ණයෙන්ම ඇය ගැන පැහැදී උන්නාය.

කාර්යාලීය දුරකතනයට විශ්වගෙන් පැමිණි ඇමතුමෙන් පසුව අකලංක නැගී සිටියේ සිය ලැප්ටොප් පරිගණකය වසා දමමින්ය.

“ දිනාරා මම ටිකක් අයියගේ ඔෆිස් එකට යනවා. අර සන්ඩේ නිවුස් පේපර් එකෙන් කෝල් එකක් එයි. එයාලගෙන් අවශ්‍ය විස්තර ටික ගන්න.”

 එසේ පැවසූ තරුණයා සොහොයුරාගේ කාර්යාල කාමරය දෙසට ඇවිද ගියේ ඉක්මන් අඩි තබමින්ය.

“ තත්පරයක්වත් පමා නොවී මෙහි පැමිණ යන්න “ යැයි  සොහොයුරා පැවසූයේ කුමක් නිසාද යන්න අනුමානයෙන්වත් සිතාගත හැකි වූයේ නැත.අකලංක කාර්යාල කාමරයට ඇතුළු වූයේ ඔහුගෙන් අවසර නොපතාමය. 

“ ඇයි බ්‍රෝ මොනව හරි අවුලක්ද..”

“අවුලක් තමයි මට නෙමෙයි  තමුසෙට..”

“ ඇයි මොකද වෙලා තියෙන්නේ..”

“ අන්න ලෝකෙ ඉන්න අන්තිම ගෑණිත් වඳ වෙලා යනවා වගේ අම්මා තමුසෙට මඟුල් හොයනවා.සමරසේකර මාමට තමයි වැඩේ බාර දීලා තියෙන්නේ.අද හඳහන් දෙකකුයි ෆොටෝස් දෙකකුයි ගෙනත් දීලා.අම්මා පොතකුත් ළඟ තියාගෙන හඳහන් ගලපනවලු”

“ නෑ….”

“ නෑ නෙමෙයි ඔව්. අක්කා  කතා කරලා කිව්වේ. උඹ දන්නවනේ අම්මා වැඩක් පටන් ගත්තා කියන්නේ ඕක නවතිනකල්ම කුරු කුරු ගගා පස්සෙන් කරකැවෙනවා.අන්තිමට එයාට ඉඩ දීලා තමයි නවතින්න වෙන්නේ.”

“ මාර සීන් එක. අම්මා මෙච්චර ඉක්මනට වැඩේට බහියි කියලා මම හිතුවේ නෑ.”

“දැන් උඹ මොනවද මේ පැත්තෙන් කරගත්තේ.”

“ මට එක පාරටම  අහන්න මොකක්ද වගේ බ්‍රදර්.මං කතා කරන්න හදන හැම වෙලාවකම එයා මාව මගහරිනවා.. එතකොට මටත් අවුල්. ගහෙන් ගෙඩි එනවා  වගේ කැමති නෑ කියල කියල දැම්මොත්.”

“ ඔව් ඉතිං එහෙම නොකියන්න බැරිකමක් නෑ. කෙල්ලොනේ..කොහොමත් ඉතිං එක පාරෙන් අඩිය ආපස්සට තියාගන්න බෑනේ.අද හෙටම මොනවා හරි කතා කරලා තියාගන්න.මොකද අම්මා කේස් එකක් දැම්මොත් එදාට අපි  හරි උත්තරයක් දෙන්න දිනාරාගේ පැත්ත ෂේප් වෙලා තියෙන්න ඕනනේ..”

“ උඹ නං අයියෙක් නෙමෙයි දෙයියෙක්…තැන්කියු ආ.. මේ වගේ මාව දැනුවත් කරනවට.”

“ උඹ  ඔහොම බලන්  ඉඳලා අන්තිමට මට කුරුකුරු ගාන්න එපා.”

අකලංක සොහොයුරාගේ කාර්යාල කාමරයෙන් පිටවූයේ විනාඩි කිහිපයක් ගතව ගියාට පසුවය. තරඟයට සහභාගීවන අවසන් තරඟකරුවන් කිහිපදෙනා වෙනුවෙන් යැවිය යුතු ලිපි සකස් කිරීමේ කටයුත්ත මෙවේලෙහි කළ හැකි වුවත් එය සවස් වන තුරු කල් දමන්නට  අකලංක තීරණය කලේ සිතාමතාමය.ප්‍රමාදය පසු තැවීමකට හේතුව වේයැයි ඒ සිතෙහි වූයේ බියකි.එනිසාම ඔහු පැය කිහිපයක් දිනාරාව මගහැර සිටියේ මඳක් සවස් වනතුරු කාර්යාලයේ රැඳී සිටින්නට හේතු සොයමින්ය.

======*******======******======******

“ අකලංක සර් මොකද කියන්නේ?…”

හිමාෂා දිනාරාගෙන් ඇසුවේ දිවා විවේකයේදීය.දැන් දැන් අකලංක ඇයට කැමැත්තෙන් සිටිනා බව ආයතනයේ බොහෝ දෙනෙකුට නොරහසකි.දිනාරි හිනැහෙමින් තම බත්පත දිගහැරියා මිසක කිසිවක් නොකීවාය. 

“ මොකද අනේ කිසි දෙයක් කියන්නෙ නැත්තේ.”

“ කියන්නෙ නැත්තේ  කියන්න දෙයක් නැති නිසා.”

“ ඒ උනාට අකලංක සර්ගේ ඇස් දෙක දිහා බැලුවහම අපිටනම් කියන්න දේවල් ඕන තරම් තියෙනවා.”

“”ඉතින් මම කොහොමද දන්නේ? මං එයාගේ ඇස් දෙක දිහා බලන්නෙ නෑනේ..”

“ බයද…”

“ ඔව්…..මටත් ඒ කතාව තේරෙනවා.ඒක නිසා මං ඒ ඇස් කියවන්න බයයි.”

“පව්….”

“ කවුද…”

“ අකලංක සර්..”

“ ඇයි පව් කියන්නේ.”

“ නෑ ඉතින් මේ පිස්සු කෙල්ලට  ආදරේ කර කර එයා විඳවනවා ඇති.” 

“ කවුද දන්නේ?..”

“ ආදරේ පාට අඳුනන්නේ ආදරය කරන මිනිස්සු විතරයි. ඔයා වගේ හිතා මතාම හිත තද කරගෙන ඉන්න මිනිස්සුන්ට අනිත් අයගේ ආදරේ පේන්නේ නෑ.”

“ හිත තද කරගෙන ඉන්න මට හේතු තියෙනවා.”

“ මං කිව්වනේ කෙල්ලේ හැම කෙනෙක්ටම එක වගේ වෙන්නේ නැහැ. අකලංක සර් වගේ කෙනෙක් ළඟ ඔයාට සතුටින් ඉන්න පුළුවන්. සර් මේ තරම් කෙටි කාලෙකදී වෙනස් උනේ ඔයා නිසා කියලා අපි හැමෝම දන්නවනේ. “

“ ඉතින් සර් මට තවම එහෙම දෙයක් කියලා නෑ.”

“ ඒ උනාට ඒක තමයි ඇත්ත.දැන් විශ්ව සර් ප්‍රසිද්ධියේම අකලංක සර්ට  විහිළු කරනවා.”

“ මං ගැන කියලා..”

“ ඔව්..”

“ එතකොට අකලංක සර් විශ්ව සර්ට කියලද මං ගැන එයාගේ හිතේ අදහසක් තියෙනවා කියලා.”

“ සමහරවිට කියලා ඇති. ඒකනෙ විහිළු කරන්නේ.අකලංක සර්  ඔයා එක්ක කතා කරන්න හදන හැම වතාවකම ඔයා එයාව මග හරිනවා.ඔයාගේ දිහා බලන හැම වෙලාවකම ඔයා ඇස් හංගගන්නවා. අකලංක සර් දන්නවා ඔයාට එයාව දැනිලා තියෙන්නේ කියලා. ඒ උනාට සර්ටත් මොකක්ද වගේ ඇති ඔයත් එක්ක කතා කරන්න.ඔයා හැසිරෙන්නේ කිසි දෙයක් නොතේරෙන ගානට නේ.”

“  ඔයා කොහොමද ඔහොම පේන බලන්නේ.”

“ ඔය දෙන්නවම ටිකක් හරි දන්න මට  ඒක අඳුනගන්න පේන බලන්න ඕන නෑ.මොනවා නැතත් ඔයා පිරිමි ඇස්වලින් හැංගෙන්නනම්  හරි දක්ෂයි.හැබැයි කෙල්ලෙ බලන්නකෝ අද හෙටම අකලංක සර් ඔයාව කොටු කර ගනී ආයෙ හෙල්ලෙන්න බැරි වෙන්න.”

“ඔයා ඔහොම කියනකොට මට බය හිතෙනවා.”

“ බය හිතෙන්න ඕනේ රාස්සයෝ  වගේ මිනිස්සු ළඟදි..දෙවියෝ වගේ මිනිස්සු ළඟදි මොකටද බය වෙන්නේ.”

දිනාරා බත් පත දිග හරිමින් යෙහෙළිය දෙස බලා සිටියා මිස කිසිත් නොකීවාය. සැබෑය..ඔහුගේ ඇස් නොතේරෙනවා සේ සිටින්නට තමා ගන්නා උත්සාහය දැන සිටියේ මේ සිත පමණි..දැන් යුවතිය ඉන් හෙම්බත්ය. එහෙත් තම ජීවිතයට කිසිඳු පිරිමියෙකු ළංකර නොගන්නවායැයි සිතූ තීරණය තවදුරටත් රැක ගන්නට ඕ සිත හදාගෙන අවසන්ය.

( යළිත් හමුවෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here