කණාමැදිරි තිත් වන් විදුලි බුබුළු වැල් තාප්පයට ඉහළ සිට පහළට එල්ලා වැටුණේ ය. ගේට්ටුව ඉස්මත්තේ දී එය තිර රෙද්දක් සේ දෙපසට කොට තිබිණි. ගේට්ටුව ළඟ සිට ගෙදර බරාඳය දක්වා කණාමැදිරි තිත් වියන් බැන්දේ ය. රාත්‍රී අඳුර තුළ එය මවාලූයේ සදෙව් ලොවකි. දෙපියන් මහ දොරෙන් ඇතුළු වූ විට සුවිසල් ආලින්දය මැද්දේ ගොක් කොළ රටා පිරි පිරිත් මණ්ඩපයයි. එය අටපට්ටම් හැඩැති ය. ප්‍රධාන දොරටුව නැගෙනහිරට වන සේ සතර දිශාවට දොරටු හතරක් තබා තිබේ. ඒවායින් සතරවරම් දෙවිවරුන් නියෝජනය වන්නේ ය. දොරටු දෙපසින් දෙකක් බැගින් පුන්කළස් අටකි. මණ්ඩපය තුළ යුගාසනයක් ද භික්ෂූන් වහන්සේලා දහසය නමකට වැඩ සිටිය හැකි වන සේ ද අසුන් පනවා තිබේ. හිසට උඩුවියන් ය. ඒ හරහා බැඳි රැහැන් වල නාගවල්ලි බුලත් ද නා දලු ද පුවක් මල් ද එල්ලා තිබේ. සමන් පිච්ච පොහොට්ටු, ඊතණ, අබ, විළඳ, හා සුණු සහල් යන අංග පහෙන් සමන්විත ලද පස් මල් මණ්ඩපය තුළ බිම ඉස ඇත. යුගසුන් වලට සම්බන්ධ කොට රජ ගහ සංකේතවත් කරමින් පුවක් ගසක් සිටුවනු ලැබේ. රජ ගහ සුදු පිරුවටයකින් එතීම සිරිත ය. රජ ගහ හෙවත් ඉන්ද්‍රඛීලයෙන් බුද්ධත්වය සංකේතවත් කෙරෙනා බව පුරාණ සංකල්පයයි.
මම ආලින්දයට පිවිසෙන දොර උළුවස්සට හේත්තු වී පිරිත් මණ්ඩපය දෙස බලා සිටියෙමි. මහත් සන්සුන් බවක් මගේ සිත අරක්ගෙන සිටී. එය, පරක් තෙරක් නො පෙනෙන හරිත නිම්නයක් මැද්දේ හුදෙකලා වූ විට දැනෙනාකාරයේ අසීමිත සන්සුන් බවකි. මේ තරම් කාර්ය බහුල අවස්ථාවක එසේ වන්නේ කෙසේ ද කියා නම් මා දන්නේ නැත!
“ඔක්කොම හරි නේද සකී… පිරුවානා පොත් වහන්සේයි හාමුදුරුවොයි වඩම්මන්න වෙලාව හරි”
මගේ සවන් පිටුපසින් ඇහුණ හඬ ආදිල් ගේ ය.
“ඔක්කොම හරි ආදිල්”
කියමින් මම හැරී බැලුවෙමි. ඔහු දිය නා නැවුම් වී සිටියේ ය. දෙදිනක් තිස්සේ එක සීරුවට වූ වෙහෙස සෝදා හැර, අයිස් නිල් පැහැති ඩෙනිම් කලිසමකින් හා සුදු දුහුල් කමිසයකින් සැරසී සිටියේ ය. කමිසයේ උඩ බොත්තම් දෙකක් විවර වී තියේ. එතැන අවකාශයෙහි නතර වෙන්නට හිතුවක්කාර වූ දෑස් හීලෑ කරගෙන මම ඔහු දෙස බැලුවෙමි.
“එහෙනං මං පන්සලට ගිහින් එන්නද සචින් එක්ක”
ඔහු ට එකඟ වනු පිණිස මම යන්තමින් හිස දෙපසට සැළුවෙමි. ආදිල් මගෙන් ඉවතට හැරෙන්නට පියවරක් තබන්නට ඇත.
“උඩ බට්න් එක දාං යන්න”
එහෙම නො කියා ඉන්නට මට බැරි වෙන්නට ඇත. ඔහු වහා ම යළිත් මවෙත හැරී මගේ මුහුණ මත නතර විය. හිත හිරිවට්ටන අකුණක් අපේ සිව් නෙත් අතර අවකාශයෙහි පුපුරා ගියේ ය.
“පන්සලටනෙ යන්නෙ… ඒකයි”
මා ඒ වචන ටික කියාගත්තේ කෙතරම් නම් අසීරුවෙන් ද? ආදිල් ගේ අතැඟිලි එසැනෙන් කමිස බොත්තම වෙත පිවිසියේ ය. ඔහු ගේ දෙතොල් මත්තෙහි උන්මාදනීය අඩ සිනහවේ සරැලි නැගිණි. මම ඉවත බලාගතිමි. ඔහු එහෙම ම නික්ම ගියේ ය.
පිරිත් අසන්නට පැමිණි අසල් වැසියන් ද ඥාති හිත මිතුරන් ද වෙනුවෙන් රාත්‍රී භෝජනය පිරිනැමීමේ කටයුතු අවසාන වෙමින් තිබිණ. නමුත් තවමත් පිරිස පිරිත් මණ්ඩපය වටා ඇතිරූ පැදුරු මත හිඳ පිරිත් ශ්‍රවණය සඳහා සූදානම් වී සිටියේ නැත. ආච්චා සුදු ඔසරියෙන් සැරසී රෝද පුටුවෙන් ආලින්දයට පිවිසියා ය. මම ඇය වෙත ගොස් ඈ ළඟ දණක් බිම හොවා පහත් වීමි.
“ඔක්කොම හරියට වුණා නේද ආච්චා…”
ආච්චා සිය මුතු පොටක් වන් දසන් පෙන්වා සිනහ වූවා ය.
“අනේ ඇත්තටම මට හරි සතුටුයි සකී. මේ තරං ලස්සනට මේ හැම දේම ලක ලැහැස්ති කරන්න සකීට පුළුවන් වෙයි කියල මං හිතුවෙම නෑ. ඒකයි මේ පිරිතෙ වැඩේට මුලදි ටිකක් අදිමදි කළෙත්”
“ආච්ච සතුටුයිනං එච්චරයි මට ඕනෙ”
“මගෙ තව ආසාවක් තියනව සකී… ඒකත් ඉෂ්ට කරල දෙන්න ඕන මේ වගේම ලස්සනට”
“ආච්ච… ඒ මොකද්ද…”
“සකී ලස්සන මනමාලියක් වෙලා හොඳ කොල්ලෙක් ළඟට යන්න ඕනෙ”
“ආච්චා… මට මෙහෙ හොඳයි. මට කොහෙවත් යන්න ඕන්නෑ ඉතිං…”
“නෑ නෑ යන්න ඕන්නෑ. අපිවත් බලං මෙහේ ඉන්න කැමති කොල්ලෙක්නං වැඩිය හොඳයි”
ආච්චා ගේ මූණේ තිබුණ සිනහව මනමාල පාට ය. මට ඈ අස තවත් රැඳී සිටිය නො හැකි, ඈ මගහැර යා යුතු සේ දැනෙනා අපහසුවක් දැනිණ. එබැවින් මම මගේ මිතුරියන් සොයා මතුමහලට ගියෙමි. ඔවුහු දිය නා සුදු පිරුවට හැඳ පිරිත් ඇසීම සඳහා සූදානම් වෙමින් සිටියහ.
“හාමුදුරුවො වඩම්මන්න ගියා”
මා යහන මතින් හිඳගත්තේ කණ්ණාඩි මේසයේ කැඩපතින් පෙනෙනා මගේ රුව දකිමිනි. ඒ මේ අත දුව පැන වෙහෙසෙමින් මහා පරිමාණ කාරියක යෙදෙන්නට තිබූ බැවින් තරමක විඩාවක් නො දැනුණා නොවේ. නමුත් මේ මොහොතේ මා කැඩපතින් මා දකිනා මා නැවුම් ය. ප්‍රබෝධවත් ය. තෘප්තිමත් ය.
“ආදිල්නං මාරයි ආ… අන්න කොල්ලො. තමංගෙ දෙයක් වගේ හැම දේම කරට අරං කරනවනෙ අප්ප”
මුද්‍රා ඕඩිකොලෝන් බිඳක් හිස් මුදුනෙහි ගල්වනා ගමන් කීවා ය.
“තමංගෙ දෙයක් වගේ කියන්නෙ…තමංගෙ දෙයක් තමයි ඉතිං…”
පීහු ඇඟට පතට නො දැනී කියා දැමුවා ය. ඊළඟට ඔවුන් දෙදෙනා ම එක්ව හඬ නගා සිනහ වන්නට වූහ.
“හිනා වෙන්නෙපා යකුනේ ඔහොම… මේක පිරිත් ගෙයක්”
“ආ… මළ ගෙවල් වලත් හිනා වෙලා ඒ ගෙවල් වල මිනිස්සු ඇදං ගිහිං දොට්ට දාපු උං අපි බොලව්. මෙයා නිකං මැරිල ඉපදිලා වගේනෙ”
“පරමාණු වුණත් එහෙමනෙ. තනියම එහෙ මෙහෙ වෙවී ඉන්නකොට හරි සැහැල්ලුයි. ඒත් එහෙමද තව පරමාණුවක එල්ලිලා අණුවක් වුණාම… බරයි… ස්ථාවරයි…”
කාමරය පිරී තිබුණේ සිනහ කවටකම් වලිනි. හේවිසි ගසන්නට පටන් ගත්තේ ය. අපි පහළට පිවිසියෙමු. පිරුවානා පොත් වහන්සේ ද කරඬුව ද මුතු කුඩ යටින් වැඩමවිණ. ආදිල් හා සචින් ඒ කටයුතු වල නිරත වෙමින් සිටියහ. මුද්‍රා සිය දුරකථනයෙන් ඒ අවස්ථාවන් ඡායාරූපගත කළා ය. ස්වාමීන් වහන්සේ ලා පිරිත් මණ්ඩපයට වැඩම කළහ. පිරිස පැදුරු මත අසුන් ගනිත්දී ආච්චා ගේ උපදෙස් මත නායක ස්වාමීන් වහන්සේට දැහැත් පූජා කොට සර්ව රාත්‍රික පිරිත සඳහා ආරාධනා කරනු ලැබූයේ ආදිල් ය.
පිරිත් පිංකම ඇරඹිණි. මැදියම් රැයෙහි මහ පිරිත ඇරඹෙනා බව දන්වා ස්වාමීන් වහන්සේලා මඳක් විවේක ගන්නට පන්සලට වැඩම කළහ. පිරිත් අසන්නට පැමිණි අයවලුනට තේ පැන් වලින් ද බත බුලතින් ද යළිත් සංග්‍රහ කිරීමට නියමිත වූයේ ය.
“දැන්නං යකෙක් කන්න බඩගිනියි. කමුද…”
සියලු කටයුතු විමසා බැලීමෙන් අනතුරුව පීහු ඇසුවා ය. නමුත් මගේ හිත පසුබසිමින් මග බැලුවේ ය.
“කමුකො අප්ප. නැත්තං මහ පිරිත පටන් ගත්තහමද කන්න ඉන්නෙ…”
මුද්‍රා ද විමසුවා ය.
“සචින් අයියල පන්සලට ගිහින් එනකල් ඉමු නේද…ඒගොල්ලො කෑවෙත් නෑනෙ”
“ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට”
මගේ මිතුරියෝ සිනහ වෙන්නට වූහ. පිරිත් අසන්නට පැමිණ සිටි වැඩිහිටි කාන්තා ඇස් කිහිපයක් අප වෙත යොමු නොවූවා නොවේ. ඒ ඇස් බැලුම් ද මිතුරු සරදම් ද මගහැර මම සචින් අයියා ගේ අම්මා දැක ඇය වෙතට ගියෙමි. ඈ මගේ අතක් දෑතින් ම අල්වාගෙන මා ඈ සමීපයට ගත්තා ය. මට මගේ ළමා විය සිහි විය.
“ආන්ටි කාල බීල නේද ඉන්නෙ…”
“අනේ ඔව් පුතේ”
“දෙව්නි අක්ක පේන්න නැත්තෙ…එයා ආවෙ නැද්ද පිරිත් අහන්න…”
“ඔහෙ නෑ පුතේ. පිරිත් අහන්නත් පිං හිතක් තියෙන්න ඕනෙ. හිත ඇතුළෙ යක්ෂයෙක් පදිංචි කරං ඉන්න මිනිස්සුන්ට බණ පිරිත් අකැපයි”
ඇගේ දෑස් පත්ලෙහි සඟවා ගත් වේදනාවක් තිබෙනු මා දුටුවේ ඒ වෙලාවේ ය.
“වැරදි තීරණ ගත්තහම මුළු ජීවිතේ ම වරදිනව පුතේ. සචින් ගෙවන ජීවිතෙත් එක්ක අපි කාටවත් සතුටක් සැනසීමක් නෑ ඉතිං”
ඒ වෙලාවේ අප අවට සිටි අසල්වැසි පිරිස් නිසාවෙන් ඒ මාතෘකාව ගැන දුරට දිගට කතා කරන එක නොහොබිනා බව මට සේ ම සචින් අයියා ගේ අම්මා ට ද දැනෙන්නට ඇත. එබැවින් මම ඇය වෙතින් ඉවත් වීමි. නමුත් පිරිත් පිංකමෙන් පසු ඇය සමගින් කතා කළ යුතු යයි එවෙලේ ම සිතා ගතිමි.
අප රෑ කෑම ගත්තේ සචින් අයියා හා ආදිල් ද සමගිනි. යළිත් ස්වාමීන් වහන්සේ වැඩමවන්නට ඔවුන් පන්සලට යා යුතු ව තිබිණ. පසු දා සාංඝික දානය සූදානම් කිරීම සඳහා ද කෝකිවරු සූදානම් වෙමින් සිටියහ. කේටරින් සේවයකින් ආහාර ගෙන්වනවාට වඩා ගෙදර ම උයනා එන හොඳ බව වැඩි දෙනෙකු ගේ අදහස විය.
“පිරිත ඉවර වුණාම සකී අපිට ට්‍රීට් එකක් දෙන්නෝනෙ නේ ආදිල්… අපි මහන්සි වෙලා වැඩ කළාට…”
කෑම කන අතරේ මුද්‍රා අලුත් යෝජනාවක් කළා ය.
“ඒක මරු ආ” කියා කීවේ සචින් ය. ආදිල් ගේ මුහුණ මත මගේ ඇස් දඟ කරන්නට ඇත. ඔහු සිය මෝහනීය අඩ සිනහවෙන් බත් පත දෙස බලාගෙන බත් පිඬක් අනමින් සිටියේ ය.
“හරිනං අපියි සකීට ට්‍රීට් එකක් දෙන්නෝනෙ”
තත්පර වීමෙහි කෙළවර ඔහු කියා තිබුණේ එහෙව් දෙයකි. හැම නෙතක් ම ආදිල් වෙත යොමු වෙන්නට ඇත.
“ඈ…”
“ඒ ළමය මෙච්චර ලොකු ප්‍රොජෙක්ට් එකක් ලස්සනට ඕගනයිස් කළාට අපි තමයි ට්‍රීට් එකක් දෙන්නෝනෙ”
“කොහොමද ඒක…”
“උඹ දියං එහෙනං අපිටත් එක්කම”
එක එක්කෙනා එක එක කතා කීවෝ ය. ඔවුන් දෙස බලන්නට මට ශක්තියක් තිබුණේ නැත. නමුත් මගේ දෙතොල් පොපියනවා මට දැනිණ. කම්මුල් පුපුරු ගැහුවේ ය. ඇස් වලට තෙතමනයක් නො දැනුණා ද නොවේ.
“ගෑනු ළමයෙක්නං එහෙම වෙන්නෝනෙ. දහ දෙනෙක් එකතුවෙලා කරන දෙයක් වුණත් දහයක් නැත්තං මං තනියම කරනව කියන තැනට හිත හදාගන්න පුළුවන් ගෑනු ළමයෙක් කියන්නෙ ඉතිං…”
“ආ….”
“ඒක කොහොමද…”
“එතකොට මේ අපි මුකුත් කරල නෑ”
සත්තකට මට හඬන්නට ඕනෑ වූ තරමි. මා වෙහෙසින් හිඳි බව ඇත්ත ය. මතක කාලයක සිට ඒ වෙහෙස මසිතට දැනේ. නමුත් මා කිසිවෙකුට ඒ බැව් කියා නැත. මගේ මිතුරියකට වුව කියා නැත. සිනහ වෙමින් ඔවුන් සමගින් සතුට ම සෙව්වා මිසක මට වෙහෙසක් දැනෙනා බවක් කිසි දා කියා නැත. කෙසේ වෙතත් මේ නිමේශයෙහි ඒ වෙහෙස අතුරුදන් වූ බැව් ඉඳුරා කිව හැක. මට මහත් සැනසිලි සුවයක් දැනිණ. ඉතා හෙමිහිට මා හුස්ම ගනිමින් හිඳිනා බවක් දැනිණ. මෙතුවක් හැම මොහොතක ම හුස්ම ගත් මුත් ඒ ගැන සිහියක් මට තිබී නැත. මා නො දැන ම හුස්ම ගනිමින් සිටිනාතර බොහෝ දේ සිදු වෙමින් තිබී ඇති බැව් දැන් දැනේ.
“තෑන්ක් යූ ආදිල්”
මම කෙඳිරුවෙමි. ඔහු ගේ මූණ බලාගෙන නොව බත් පත දෙස ම බලාගෙන කෙඳිරුවෙමි. නමුත් මට දැනුණේ මහ ඝෝෂාවකින් මා කෑගැසුවා සේ ය. ඒ මගේ ඇතුළාන්තයෙහි එතුවක් තෙරපෙමින් තිබි පීඩනයකි. දැන් මා ඉන් නිදහස් ව තිබේ.
ඇස් වලට බර වී ආ කඳුළු ඇස් මත්තේ ම ගබ්සා කරන්නට හැකි වූයේ නැත. කඳුළු බින්දුවක් ‘ටක්’ ගා බත් පත මතට වැටිණ.
“නංගි”
සචින් අයියා මගේ උරහිස මතින් අතක් තැබුවේ ය.
“හරි අපි ඔක්කොම ඔයාට ට්‍රීට් එකක් දෙන්නංකො… ම්…ඔයා අපේ සතුටු මලනෙ… කන්න කන්න ඉතිං”
කියමින් මගේ හිස කේ අවුල් කළ හෙතෙම අසුනෙන් නැගී එතැනින් ගියේ ය.
“බඩ පැලෙන්න කෑව අදනං” කියා කියමින් පීහු ද ඒ සමග ම මුද්‍රා ද ඉඳුල් පිඟන් ගෙන නැගී සිටියහ. කෑම මේසයෙහි ඉතිරි වූයේ මා හා ආදිල් පමණකි.