පිරිත් ගෙදරක මහ පිරිත ඇරඹෙන්නට පෙර වන කලබලකාරී බව අප අවට මොනවට පැවතිණ. පිරිස කෑම බීම ගැන උනන්දු වෙමින් සිටියහ. රස කැවිලි වර්ග කමින් ද ඒවායින් සංග්‍රහ කරමින් ද තේ බොමින් ද තේ හදමින් ද කාර්ය බහුල වී සිටියහ. ඒ මහා කුලකය තුළ අප දෙදෙනා – මා හා ආදිල්, වෙන් වූ උප කුලකයක් වූයේ ය. ලෝකය එක එක කුඩා ලෝක වලින් සෑදෙන්නා සේ ය. ගොඩබිම, ජලය, වායු ගෝලය වැනි කුඩා ලෝක වලට අමතරව වනය, භූමිය, කඳුකරය, තැන්න වැනි උප කුඩා ලෝක ද පවතින්නේ ය. එනයින් ඒ පිරිත් ගෙදර තුළ අප දෙදෙනා වට කොට වෙනම කුඩා ලෝකයක් තැනී තිබිණ. අප අවට නොයෙකුත් ශබ්ද පැවතිණ. එක එක්කෙනා ගේ කට හඬ ඇසුණේ ය. නමුත් මට ඒ කිසිත් පැහැදිලි ලෙස ඇසුණේ නැත. මා සිටියේ අපට වෙන් වූ කුඩා ලෝකයේ ය.
“පිරිත් අහන්න කට්ටිය ඉඳී නේද… කාල බීල මහ පිරිත පටන් ගන්න කලින් යයිද…”
ආදිල් විමසී ය. මගේ මුව මත සිනහවක් පිපිණි.
“එහෙම වුණොත් අපිහරි අහමු”
මා එසේ කීවේත් ඒ සිනහවෙන් ම ය. මේසය මත තිබූ ආදිල් ගේ දුරකතනය හැඬවෙන්නට ගත්තේ ඒ වෙලාවේ ය. මගේ ඇස් වහා තිරය මත වූ නම ග්‍රහණය කර ගත්තේ ය. කල්පනී!
ආදිල් මොහොතක් තිරය දෙස බලා හිඳ දුරකතන ඇමතුම විසන්ධි කොට දැමුවේ ය. මගේ පපුවෙහි පිරුණු හුස්මක් එහෙම ම නතර වී තිබෙනු දැනිණ. මා යළිත් හිස නගා බැලුවේ ම නැත. යළිදු දුරකතනය නාද වන්නට ගති. ආදිල් මුවින් කුඩා නො රිස්සුම් හඬක් නිකුත් කරමින් ඇමතුම බිඳ දැමුවේ ය. ඇයිදෝ මන්දා මට තවත් එතැන නතර වී සිටිත නො හැකි හැඟීමක් දැනුණෙන් හිස් නොවූ බත් පත ද ගෙන මම නැගී සිටියෙමි. ආදිල් ගේ ඇස් කෙළින් ම මා වෙත යොමු විය.
“සකී කාල ඉවරද…”
“ඔව් ආදිල්. ඇති…”
හැකි තාක් වෙනසක් නො හඟවා සිටින්නට ද මට ඕනෑ විය. නමුත් සුළි සුළඟ පපුව ඇතුළේ අනවරත ප්‍රවාහයක් ඇති කරන්නට වූයේ ය. මා ඉතිරි බත් ටික ඉඳුල් බඳුනට දමා පිඟාන සෝදන විට මට පිටුපසින් ඔහු සිටියේ ය. “ඔයත් කාල ඉවර වුණාද” කියා අසන්නට මට සිත් වූයේ නැත.
ඊට පස්සේ දිගට ම ඒ කුණාටුව හැමුවේ ය. මම ඒ යටපත් කොටගෙන සිටියෙමි. මහ පිරිත ඇරඹිණ. මා මුද්‍රා හා පීහු සමගින් අසුන් ගත්තේ ඕනෑ වෙලාවක නැගිට ඇතුල් ගෙට පිවිසිය හැකි තැනක ය. ආදිල් හා සචින් ද පැමිණ ඒ පැදුරේ ම එරමිණියා ගොතාගෙන හිඳගත්හ.
පිරිත් ශ්‍රවණය කරත්දී හිත සන්සුන් වේ. දියක ගැඹුරු ම තැනක් වාගේ නිශ්චල වේ. ගැඹුරෙහි දිය සුළි කැරකුණ ද පිටතට විද්‍යමාන වන්නේ ඒ නිශ්චල බවයි. ටික වෙලාවක් පිරිත් ශ්‍රවණය කිරීමෙන් පසු මා නැගී සිටියේ කෝපි පිළියෙල කරන්නටයි. ස්වාමීන් වවන්සේලාට ද පිරිත් අසන්නන්ට ද වරින් වර කෝපි, මෝල්ටඩ් මිල්ක් හා තේ පැන් වලින් සංග්‍රහ කළ යුතු ය. ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා විමසිය යුතු ය. මා හා මගේ මිතුරියන් දෙදෙන සියල්ල සකසා දෙත්දී පිරිත් මණ්ඩපය හා ස්වාමීන් වහන්සේලා සමගින් කටයුතු කළේ ආදිල් හා සචින් ය. එබැවින් අපට නිතර ම මුහු වී වැඩ කරන්නට සිදු විය. කතාබහ කරන්නට සිදු විය. මම වඩාත් හොඳින් ආදිල් සමග ගනුදෙනු කළෙමි. නමුත් හිත ඇතුළේ සුළි කුණාටුව දිගට ම කැරකිණ!
කෝකිවරුන්ට ද අපෙන් උදව්වක් අවශ්‍ය වූයේ ය. ඒ ඔවුන් තැනූ කට්ලට් මිශ්‍රණයෙන් ගුලි සාදා දෙන කටයුත්තයි. මාත් මුද්‍රා හා පීහුත් කෑම මේසය මත තබාගෙන ඒ කටයුතු සිදු කරත්දී ආදිල් හා සචින් ද මේස පුටු වල හිඳ අප සමග කතාවට වැටුණහ. ප්‍රධාන මාතෘකාව වූයේ දෙව්නි පිරිත් ගෙදර ප්‍රතික්ශේප කිරීමයි.
“මං දහ පාරකට වැඩිය කතා කළා යං කියල. වෙන දේකට නෙවෙයි මෙතනදි දන්න කියන මිනිස්සු අහනවනෙ කෝ කියල. දැං කී දෙනෙක් ඇහුවද… මට දෙන්න උත්තර නෑ”
“සචින් දන්නැද්ද එයා එහෙම හිතන්නෙ ඇයි කියල… එයාට තියන ප්‍රශ්නෙ මොකද්ද කියල.. එයා සකී ගැන සැකයක් තියං ඉන්නවද…”
පීහු ගේ ඒ ප්‍රශ්නය මගේ හිත නිදහස් කරවන්නක් ද විය.
“සකී විතරක් නෙවෙයි නංගි..කොයි ගෑනු ළමය ගැනත් එයාගෙ හිතේ තියෙන්නෙ එකම සැකයක්. මං බස් එකක ගෑනු ළමයෙක් ළඟ වාඩි වුණත් ඒක එහෙමයි. ඔෆිස් එකේ වැඩ කරන ගෑනු ළමයි ගැනත් එහෙමයි. එක සම්බන්ධයක් ටාගට් කරනව නෙවෙයි. අඹ ගහට පොලු ගහනව වගේ හැමෝම ජෝඩු කරනව”
“සචින් එයාට පැහැදිලි කරල නැද්ද…”
“ඕන තරං පීහු. හොඳින් කියල තියනව. ආදරෙන් කියල තියනව. බැණල කියල කියනව. සැරෙන් කියල තියනව. කේන්ති ගන්නැතුව කියල තියනව. කේන්ති අරං කියල තියනව. ගහල විතරයි නැත්තෙ තාම”
“අතනං උස්සන්න එපා සචින් ගෑනියෙක්ට මොනා වුණත්”
“මෙච්චර ඉවසං ඉන්නෙ එහෙම හිතල තමයි මුද්‍රා. හැබැයි කියන ජරා කතා වලට දවස් කීපයක්ම ගහන්න ගිහින් මාව පාලනය කරගෙන තියනව”
“මචං…”
ආදිල් සන්සුන් හඬකින් සිය දැහින බින්දේ ය.
“ජීවිතේ කියන්නෙ ගමනක් තමයි. හැබැයි ඒක හයි වේ එකක යනව වගේ නෝ ස්ටොපිං නෝ ටර්නිං ගමනක් නෙවෙයි”
මම ආදිල් ගේ මුහුණ දෙස ම බලා ගතිමි. අඩ සිනහව ඔහු ළඟ දැවටී හිඳී. ඔහු වචන තෝරා බේරාගන්නේ ප්‍රවේසමෙනි. ආකර්ෂණීය පෞරුෂයකින් යුක්තව ය.
“දැන් ඇති මහන්සියි කියල හිතෙනවනං අපිට නතර වෙන්න පුළුවන්. මේ විදිහට ඉස්සරහට යන්න බෑ කියල දැනෙනවනං ආපහු හැරෙන්න පුළුවන්. වෙන පාරකින් යන එක ලේසියි කියල හිතෙනවනං ඒ පාර තෝරගන්න පුළුවන්. ජීවිතේ කියල කියන්නෙ අපිට ලැබෙන දෙයක්ම නෙවෙයි සචිය. අපිට තෝරගන්න පුළුවන් දෙයක්. තෝරගැනීම් වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒක තේරුණ ගමන් නිවැරදි කරගන්න දැනගන්න ඕනෙ. උඹට තාම වෙලාව තියනව. ජීවිතේ උඹ ඉස්සරහ ඉඳං බලං ඉන්නව”
“උඹ කියන්නෙ දෙව්නිගෙන් ඩිවෝස් වෙන්න කියලද…”
“ඩිවෝස් වෙන්නමද කියල මං දන්නෑ. ඒක උඹේ තෝරගැනීමක්. එක ඔප්ශන් එකක්. මං කියන්නෙ මේ විදිහට මේ ගමන යන්න ඕන නෑ කියල විතරයි. මේ පොඩි ජීවිතේ එහෙ බලල මෙහෙ බලනකොට ඉවර වෙලානෙ බං. බලපං අපේ අම්මල තාත්තල. අපි ඒ ලෙවල්ස් කරන කාලෙ වෙනකොට ඒගොල්ලොංගෙ ජීවිත වල හොඳම වයස ගෙවිල. අපිටත් ඒක පොදුයි. ඉතිං වැරදි තෝරගැනීම් එක්ක විඳව විඳව කාලෙ ගතකරන එක මෝඩකමක්. මේ ගෙවෙන්නෙ කාලෙ බං. අපේ ජීවිත වල හොඳම කාලෙ. ඒක ගෙවෙනව මිසක් නතර කරගන්න බෑ. ආයෙ එන්නෙත් නෑ බං. එක්කො දෙව්නිත් එක්ක ඉතිරි ජීවිතේ සැනසිල්ලෙ ගෙවන්න පුළුවන් විදිහට එයාගෙ ප්‍රශ්නෙ විසඳල දෙන්න ඕනෙ. නැත්තං එයාගෙං අයින් වෙන්න ඕනෙ. ඔය දෙකෙන් එකක්නෙ කොහොමත් ඉතිං”
සචින් අයියා දිගු සුසුමක් හෙළුවේ ය. මගේ මිතුරියන් ‘හ්ම්’ කීවේවත් නැත. ඔවුන්ට ද ඒ කතා සිය හදවත් වල දෝංකාරය ලෙසින් ඇසුණාට සැක නැත.
උදෑසන පිරිත් සඣඣායනය නිමා වන විට අප හැම කෙනෙකු ම විඩාපත් ව සිටි බවට සැක නැත. නමුත් උද්‍යෝගයේ ශක්තිය නො සිඳී පැවතිණ. ස්වාමීන් වහන්සේලා පන්සලට වඩම්මවා විත් සචින් අයියා ගෙදර ගියේ “පැය දෙකක් ඇලවෙලා ඉඳල එන්නං” කියාගෙන ය.
“ඔයත් ටිකක් නිදාගන්න”
කියා මම සචින් ට කීවෙමි. නමුත් ඔහු ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. ඊළඟට සාංඝික දානය වෙනුවෙන් සූදානම් විය යුතු වූයේ ය. ආලින්දයෙහි අසුන් පනවා, ඒවා මත සුදු රෙදි අතුරා, දන් වැළඳීමේදී අවශ්‍ය කෙරෙන බඳුන් හා අනෙකුත් උපාංග සියල්ල විමසා බලා අප පළතුරු කපන්නට සූදානම් වන විට සචින් ආවේ ය. තැඹිලි කපා පළතුරු හා කැවිලි වට්ටි සූදානම් කරමින් අප තොරතෝංචියක් නැතිව කියවන්නටත් සිනහ වන්නටත් ඇත. සචින් හා ආදිල් විසින් ගෑනු ළමයින් සිනහ ගැන්විය හැකි කතා බොහෝ දැන සිටියහ.
“ඔන්න පිස්සං කොටුවෙ පිස්සෙක් ටෝච් එකක් අහස දිහාට ගහගෙන කල්පනා කරකර හිටියලු. තව පිස්සෙක් ඔතනට ඇවිත් ඇහුවලු මොනාද ටෝච් එක අහසට ගහං කරන්නෙ කියල. එතකොට කලින් පිස්ස කිව්වලු මේ ටෝච් එළිය දිගේ අහසට නගින්න පුළුවන්නෙ. කැමතිනං උඹ නැගපං මං ටෝච් එක ගහං ඉන්නං කියල. අනිත් පිස්ස ගත්ත කටටම කිව්වලු මං දන්නව උඹ මොකද්ද කරන්න හදන්නෙ කියල. මං නැග්ගට පස්සෙ උඹ ටක් ගාල ටෝච් එක ඕෆ් කරන්න නේ හිතං ඉන්නෙ…මං අහුවෙයි ඕවට කිව්වලු”
ගෑනු ළමයින්ගේ සිනා හඬ පිටාර ගලා ගියේ ය. පිරිත් ගෙදරට පැමිණ සිටි ඇතැම් වැඩිහිටියෙක් අප දෙස රවා බැලූහ. නමුත් ආච්චා නම් සිනහ වී එතැනින් ගියා මිස ‘මේ වෙලාවෙ කැකිරි පලන්න එපා ළමයි’ කියාවත් කීවේ නැත.
දානමය පිංකම ද ඉතාමත් සාර්ථක ලෙස අවසාන විය. ස්වාමීන් වහන්සේලා දන් වළඳා පන්සලට වැඩම කළායින් පස්සේ හිත මත එතෙක් පැටවී තිබි මහ බරකින් මා නිදහස් වී තිබිණ.
“අනේ ආදිල් පුතත් හරියට මහන්සි වුණා. හරියට අපේ ගෙදරම කෙනෙක් වගේ”
නිවාඩු පාඩුවේ අප අතුරුපසින් සප්පායම් වෙමින් සිටියදී ආච්චා අප වෙත විත් කීවා ය.
“ඕක තමයි ඉස්සෙල්ල ආපු කනට වැඩිය පස්සෙ ආපු අඟ ලොකු වෙනව කියන්නෙ”
ඒ නෝක්කාඩුව සචින් අයියාගෙනි.
“අනේ ඉතිං සචින් පුතා කවදටත් අපිට අපේ ගෙදර කෙනෙක් වගේ තමයිනෙ. මේ කෙල්ලො දෙන්නත් එහෙමනෙ. මගෙ කෙල්ලගෙ හයියට මෙහෙම ඉන්නවට පුතාල ඔක්කෝටම පින් සිද්ද වෙන්න ඕනෙ”
“අපි ගිය ආත්ම වලත් මෙහෙම එකට ඉඳල ඇති ආච්ච. ඇත්තටම මේක සංසාර බැඳීමක්”
පීහු ආච්චා ගේ හිස පිරිමැද්දා ය.
පිරිත නිමා වන විට අප අතරේ බැඳීම් තවත් දැඩි වී ඇති බවක් මට දැනෙන්නට විය. නැවත ද වරක් මට මගේ අයියා ලැබී තිබේ. කෙසේ වෙතත් ආදිල් නිසා දැනෙනුයේ උගුර මුල ම හිර වීමකි.
ජීවිතය එහෙම වන්නට ඇත!