ඒ වෙලාවට පන්සලේ ඒ හැටි සෙනඟක් නැත. බෝ මළුවෙහි හිඳ සිටිනුයේ ද අහම්බෙන් තැනෙක කෙනෙකි, දෙ දෙනෙකි. එබැවින් අප දෙස බලන්නට හෝ අප ගැන හිතන්නට කවුරුන්වත් නැත. එය මගේ හිතට සහනයක් විය. අනිත් අතට “කවුරු බැලුවත් මොකද” කියා හිතන්නට තරමින් මම මුරණ්ඩු වී ද සිටියෙමි.
ආදිල් බෝධියේ ඉහළ අතුපතර දෙස බලා සිටියේ ය. ගිනිය නො හැකි තරමට ශාඛා විහිදුණු බෝ අතු වල තැන් තැන් වල උනුනට ලං වූ පරෙවි ජෝඩු පෙම් කතා මුමුණති.
“පන්සලට ඇවිත් ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙනවද…”
ඔහු අහන්නේ ම අමුතු ප්‍රශ්න ය. උත්තර දෙන්නට කිසිදු සූදානමක් නැති වෙලාවක එහෙව් පැනයක් නැගෙත්දී මඳක් කල් ගත යුතු වේ. මම මඳහසක් නගාගතිමි.
“මං පන්සල් එන්නෙ මොනාත් ම ඉල්ලන්නනං නෙවෙයි. නිකාං බලං ඉඳල හිත සැහැල්ලු කරගන්න. හැබැයි ඉතිං අපිට ඕනෙම කියල හිතෙන දේවල් ලොකූ ඕනකමකින් බලාපොරොත්තු වෙනකොට ඒව ලැබෙනව කියල මං හිතනව. විශ්ව නීතිය ඒකනෙ. සොයන්නාට සම්බ වේ… තට්ටු කරන්නාට දොර ඇරේ වගේ කියමන් කටවහරට ඇවිත් තියෙන්නෙත් හේතු නැතිව නෙවේනෙ නේද… පන්සලකදි පල්ලියකදි අපේ හිත් ගොඩාක් සන්සුන් වෙනවනෙ. එහෙම සන්සුන් හිතකින් හිතන දේවල් කොහොමත් ඇචීව් කරන්න පහසුයි. අනික බෝ කොළ වල තියෙන්නෙ උල් තුඩක්නෙ. උල් වලට පොසිටිව් වයිබ්ස් ඇට්‍රෑක්ට් වෙනව කියන එක සයන්ටිෆිකලි පෲෆ් තියන මෙතඩ් එකක්නෙ. එහෙම බැලුවාම ඉතිං… පන්සලක බෝ මළුවක ඉඳං අපිට ඕනෙ කියල අපි තදින් හිතාගන්න දේවල් ලැබෙන්න තියන ඉඩ වැඩි ඇති”
“එහෙනං මටත් ඕනෙමයි කියල හිතන්න දෙයක් තියනව”
ඔහු ඇස් දෙක පියවාගෙන කීවේ ය. යන්තම් හිස හරවා මම ඔහු දෙස බලාන සිටියෙමි. කැළඹීමක් ඒ මුහුණ මත රැලි නො නැගුවා නොවේ . නමුත් නෙතු පියාගත් ඒ උවන මත ස්ථිරසාර හැඟීමක් ඔහු ගේ පිරිමි හකු තද කළේ ය.
“ඔයාට ඕන දේ ඔයාට ලැබෙන්න ඕන”
මම මිමිණුවෙමි. ආදිල් හෙමිහිට නෙතු විවර කොට බැලුවේ ය.
“මට තේරෙන්නෑ කල්පනී ඇයි මෙච්චර මං කියන දේ තේරුං ගන්නැත්තෙ කියල. අෆෙයා එකක් කන්ටිනිව් කරන්න බැරිනං ඒක ක්ලෝස් කරන්න දෙන්නම ඇග්‍රි වෙන එකනෙ සදාචාරයක් තියන මනුස්සයෙක්ගෙ විදිහ. එක්කෙනෙක්ට බෑ කියද්දි අනිත් කෙනා එහෙම බෑ කියල අදිද්දි ඒක කොච්චර මානසික වදයක්ද කියලවත් තේරුං ගන්න බැරිද අප්ප…”
මොහොතකට මා ගොළු විය. දෙදෙනෙකු අතරේ සබඳකමක් ගැන තුන්වෙනි පාර්ශවයක් වශයෙන් අදහස් දැක්වීම අතිශය අසීරු ය. භයානක ය. මම කොහොමටත් එවන් අදහස් දැක්වීම් වලට පසුබාමි. කිසිවෙකු විවේචනය කිරීම මගේ කැමැත්ත නොවන නිසා ය.
“කල්පනී අද ෆර්ම් එකටත් ඇවිත්. මං ලෑස්ති වුණේ හිතේ හිදහසෙන් අලුතෙන් වැඩ පටන්ගන්න. ඉස්සරහට එයා මොන වදයක් දෙයිද කියල හිතනකොටත් මට නිකං පිස්සු වගේ”
බිම බලාගෙන මම වැලි අතුළ බිමට මඳහස පෑවෙමි. හසන්තගෙන් මට ද එසේ බලපෑම් එල්ල වූ අයුරු මතක ය. ඔහු කිහිප දිනක් ම දුරකතනය ඔස්සේ තර්ජනය කළේ ය. ගේ ඉදිරියට ඇවිත් කෑ ගැසුවේ ය.
“දැනගනිං උඹවත් ම රල මාත් මැ රෙ නව එච්චරයි කරන්නෙ”
කියා ආච්චා ඉදිරියේ ම තර්ජනය කළේ ය. ඒ දින වල මා පසු වූයේ අදිසි කම්පනයක් දරාගෙනයි. මට නින්ද ගියේ නැත. කාමරයේ යහන ඉදිරියෙන් බිත්තියේ සවි කොට ඇති තිරය ඔස්සේ සීසීටීවී දර්ශන දෙස බලාගෙන රැය ගත කිරීම නිසා මා දැඩි වෙහෙසකට පත් විය. කෑම රුචිය පලා ගියේ ය. බලා සිටියදී මූණ ඇදී ගියේ ය. නිදිවැරීම නිසා ඇස් වට කළු විය. යන්තමින් නින්ද ගොස් තිබි අළුයමක, පාර දර්ශනය වන සේ සවි කොට තිබී සීසීටීවී කැමරාව එහි ග්‍රාහකයෙන් ම කපා ඉවත් කොට ගෙනගොස් තිබිණ. එදා මාත් ආච්චාත් පොලීසියට ගොස් හසන්තට එරෙහිව පැමිණිල්ලක් කළෙමු. ඒ හිතකින් නම් නොවේ. දවසක් හෝ ප්‍රේම කළ මිනිසෙකුට එරෙහිව පොලිස් පිළිසරණ පතන්නට වීම සැබවින් ම ඛේදජනක ය.
පොලිස් නිලධාරියා ඔහු ට අවවාද කළේ ය. බලහත්කාරයෙන් කිසිදු සම්බන්ධයක් පවත්වාගෙන යත නො හැකි බවටත් ඊට දෙපාර්ශවයේ ම එකඟතාවයක් තිබිය යුතු බවටත් පුන පුනා ඒත්තු ගැන්වී ය. මට හෝ මගේ දේපළකට කිසියම් අනතුරක් හෝ තර්ජනයක් සිදු වී තිබුණ හොත් වැරදිකරුවා ලෙස වහාම ඔහු අත්අඩංගුවට ගන්නා බවට ද අනතුරු ඇඟවී ය. එයින් ටික කලක් යනතුරු මා නිවසින් පිටතට ගියේ හෝ නැති තරමි. විවිධ අවස්ථා වල ප්‍රකට වූ, සම්බන්ධතා අත්හරින්නට යෝජනා කළ පෙම්වතියන් ඝාතනය කිරීම් පිළිබඳ සිදුවීම් මා අතිශය බිය ගන්වා තිබි බව කිව යුතු ය.
ආදරයක් එලෙස කෙළවර නො විය යුතුය කියා මම සිතමි. ආදරයක කෙළවර දෙපසකට වෙන් ව යාම ද ගෞරවනීයව සිදු විය යුතු වේ. එය ප්‍රාණ ඝාතනයක් සිදු කරන්නට හෝ චරිත ඝාතනයක් සිදු කරන්නට හෝ තරම් සාධාරණ නැත.
“එයත් එක්ක කතා කරන්න ඉතිං. ගෑනු ළමයෙක් නිසා එයාගෙන් ඔයාට හිරිහැරයක් වෙන එකක්නං නෑනෙ…”
මට කියන්නට තිබුණේ එපමණකි. තවත් ටික වෙලාවකට පස්සේ බෝ මළුවෙන් නැගී සිටි අපි විහාරයෙන් පිටතට පැමිණියෙමු. අප දෙදෙනා ගේ ම මෝටර් රථ වූයේ රථ ගාලෙහි ය. නමුත් ඒ පැත්තට යන්නට පෙර අප කඩ පෙළ දිග මඳක් ඉදිරියට ගියේ කලින් කතා කරගෙන නොවේ. විවිධ වර්ග වල හා හැඩ වල මැටි භාණ්ඩ වලට කොහොමටත් මා ප්‍රිය ය. මැටියෙන් තැනූ මල් පෝච්චි ද ගුරුලේත්තු ද වතුර බෝතල ද අත පත ගාමින් අපි හොඳ ඒවා තේරුවෙමු.
“මේ වගේ මැටි වතුර බෝතලයක් මගෙ රූම් එකේ තියාගන්න එක හොඳයි නේද…”
“ගුරුලේත්තුවක් ඔයාගෙ ඔෆිස් එකේ තියාගන්න එකත් හොඳයි”
ඒ අනුව අපි මල් බඳුන් ද ඇතුළුව මැටි භාණ්ඩ කිහිපයක් මිල දී ගතිමු. මුදල් ගෙව්වේ ආදිල් ය. මම ඊට විරුද්ධ වීමි.
“එහෙම එපා. මං ගෙවන්නං මගෙ ඒවට”
“එක ගෙදරටනෙ ගෙනියන්නෙ. කවුරු ගෙව්වහම මොකද අනේ… හරි මං ගෙවන එක මදිකමක් වගේනං මගෙ ඒවටත් එක්කම ඔයා ගෙවන්නකො”
ඔහු යෝජනා කළේ ය. ඉතින් මට සිනහවකින් පසුබාන්නට සිදු විය. ඒවා ගෙන රිය වෙත යන ගමන් අපි රස කැවිලි වෙළෙන්දන් ගේ කැවිලි තට්ටු ළඟ පමා වීමු. රසදැයි බලන්නට කළු දොදොල් කැබලි කෑවෙමු. නම නො දන්නා කැවිලි වර්ග ගැන විමසිලිමත් වීමු. ආදිල් බූන්දි හා දොදොල් පාර්සල දෙකක් ගත්තේ ය.
“නැත්තං ආච්ච හිතයි එයාව අමතක වෙලා කියල”
ඉන් නො නැවතී ඔහු අයිස් ක්‍රීම් වෙළෙන්දෙකු වෙතින් අයිස් චොක් දෙකක් ගත්තේ ය. එය කන්නට මැටි බඳුන් මඳකට බිම තබන්නට සිදු විය. අයිස්ක්‍රීම් කන අතරේ මගේ සැන්සවේරියා පිස්සුව ගැන ඔහු විස්තර ඇහුවේ ය. සැන්සවේරියා රාත්‍රියේදීත් ඔක්සිජන් නිකුත් කරන බව නාසා ආයතනය විසින් සොයා ගෙන ඇති නිසා, ලෝකය පුරා මිනිසුන් ඒවා අලුතෙන් වවන්නට පටන් ගෙන ඇති බව මම විස්තර කළෙමි. මොකක්දෝ අමුතු සැහැල්ලුවකින් අපි ආවේශ වී සිටියෙමු. අප අතර වන ඇසුරට කියනා නම කුමක්ද කියා නො දන්නා තරමට අමුතු බැඳීමක හැඩතල ඇතිවෙමින් තිබිණ.
මා රිය පැදවූයේ මිශ්‍ර හැඟුම් වලින් භරිත වූ සිතක් දරාගෙනයි. පැති කණ්ණාඩියෙන් මම හැම විට ම ආදිල් ගේ රිය දුටුවෙමි.
අප ගෙදර යන විට ආච්චා බරාඳයෙහි සිටියා ය. මට තරමක ලැජ්ජාශීලී බවක් නො දැනුණා ම නොවේ.
“ආ… දෙන්නත් එක්ක බෙල්ලන්විල ගිහිං තියෙන්නෙ”
“සකීව පන්සල ළඟදි හම්බුණා ආච්චා”
ඒ අපහසුවෙන් මා මුදාගැනීම ගැන දෙවියන්ට නොව පින් දිය යුත්තේ ආදිල් ට ය.
මා ගෙදර නො සිටියෙන් මානෙල් දිවා ආහාරය සකසා තිබුණේ ඇගේ ක්‍රමයටයි. කිරි කොස් උයා සාලයන් මාළු කිරට පිස ගොටුකොළ සම්බලයකි. මම විගස මුළුතැන්ගෙට වැදී ඇය පිසූ සාලයන් කූරි ගෙන ගැඹුරු තෙලේ බැද්දෙමි. වියළි මිරිස් හා පපඩම් ටිකක් ද බැද මේසය සූදානම් කළෙමි.
“කිරිකොස් වලට මිරිස් එක්ක පපඩං බැදුමයි සාලයො බැදුමයි සෙට් වුණාම බඩ පැලෙන්න කන්න පුළුවන්”
ආදිල් කෑම කමින් කීවේ ය. හේතුව නො දන්නා සතුටක් මා තුළ එහේ මෙහේ වෙමින් තිබිණ. ඒ සතුට, දිවා ආහාර ගෙන ආදිල් නික්ම ගියාට පස්සේ වුව තුනී වූවා නොවේ. නමුත් එය මගේ හදවතට සීමා කොට දොරගුළු වසා තබන්නට ඒ වන විටත් මම තීරණයකට එළඹ සිටියෙමි. ඒ සතුට මා වෙනුවෙන් වැය කරන්නට ද මා උත්සාහ දරන්නට ඇත. සැන්සවේරියා පඳුරු කිහිපයක් බෙල්ලන්විලින් ගෙනා බඳුන් වලට මාරු කොට ඒවායේ හැඩ බැලීම හවස මගේ ලොකු ම වැඩේ විය. කාලයක් තිස්සේ අස්කරන්නට කම්මැළිකමේ සිටි ඇඳුම් අල්මාරිය පිළිවෙළට සැකසීමේ වීර්යය ද එදා ඇති වී තිබිණි.
“මොනා වුණත් කොයි ගෑනිත් පිරිමින්ගෙ වචන වලට අහුවෙනව නංගි”
අපේ දෛනික දුරකතන සංවාදය අතරේ බෙල්ලන්විල සිදුවීම කී විට මුද්‍රා පැවසුවා ය.
“පිරිමි ගෑනුන්ගෙ ලස්සනට තමයි අහුවෙන්නෙ. හැබැයි ගෑනු අහුවෙන්නෙ පිරිමි වචන වලට. හරි නිලේ අල්ලල පිරිමි වචනයක් දාපු ගමං ගෑනු හතරගාතෙං වැටෙනව. ඒක තමයි ලෝක ස්වභාවය”
“අනේ මේ මන්නං හතරගාතෙං වැටිල නෑ හරිද”
මම මගේ ආත්ම ගෞරවය රැකගැනීම වෙනුවෙන් ඉසිහින් උත්සාහයක් දැරුවෙමි. මුද්‍රා ද පීහු ද කොක් හඬලමින් සිනහ වන්නට වූහ.