ආදරේ කතන්දරේ

” ඉතින් …..මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ… ඔයයි මායි ආදරේ කරලා කසාද බදින්ඩද…?”

දනුකගේ කෙටි පණිවිඩය අනුත්තරාගේ ඔලුවේ බෝම්බයක් පිපිරෙව්වා.  අනුත්තරා ආයේ ආයේම ඒ කෙටි පණිවිඩය කියෙව්වා.  අවුරුදු අටක් තිස්සේ ජීවිතේ හැම අහුකොනකම පැටලිලා උන්න දනුක එහෙම අහන්නේ ඇයි කියලා අනුත්තරා ට නිකමට හිතෙනවා.

අනුත්තරා කොළඹ ධනවත් ව්‍යාපාරිකයෙක්ගේ එකම දියණිය. අනුත්තරා ට දනුකව මුණගැහෙන්නේ කැම්පස් එකේ පලවෙනි  අවුරුද්දේදි. එතකොට දනුකගේ ආර්ථික අපහසුතා නිසා දනුක කැම්පස් එක අත අරිනන්න ඔන්න මෙන්න ඉන්න කාලේ. ඒත් අනුත්තරා හරි ඉක්මනට දනුකගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම බාරගත්තා. දෙන්නා ජීවිතේ දුක සැප සම සමව බෙදාගත්තා. කැම්පස් ජීවිතේ ඉවර වෙනකොටම දනුකට මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට සෑහෙන වැටුපක් එක්ක රැකියාවක් ලැබුණා. ඒත් එක්කම දෙපාර්ශවයේම වැඩිහිටියන්ගේත් ආශිර්වාද ලැබුණා.

අනුත්තරා ගේ තාත්තා කලේ රථ වාහන සේල් එකක්. නොහිතපු  විදියට සේල් එකේ කටයුතු කඩාගෙන වැටෙන්න ගත්තේ ඔහු එක්ක උන්න සේවකයන් කිහිප දෙනෙක් එකතු වෙලා ඔහුට ද්‍රෝහි වීම නිසා. ඉන් පස්සේ සේල් එක විකුණලාම දාන්න අනුත්තරා ගේ තාත්තා ට සිදු වුණා. ඒ මානසික පීඩනය එක්ක අනුත්තරා ගේ තාත්තා සියදිවි නසාගත්තා. අම්මා මානසික රෝගියෙක් වුණා. ළඟින් ඉන්න කියලා උන්න නෑදෑයොන්ට හැමදාම අනුත්තරාවයි, අම්මාවයි බලාගන්න පුලුවන් වුනේ නැහැ.

ඒ නිසා අනුත්තරාට සියලු වගකීම් කරට ගන්න සිද්ද වුනා. මේ වෙනකොට දනුක සෑහෙන මට්ටමක ආදායමක් එක්ක, තවත් ව්‍යාපාර අවස්ථා වලටත් එළඹිලා ස්ථාවර වෙලා උන්නේ. ඒත්, පලවෙනි වෙඩිමුරය දනුකගේ අක්කගේන් ඇවිල්ලා තිබුණා කියලා අනුත්තරා අහම්බෙන් දැක්කේ දනුකගේ ජංගම දුරකතනය අතට ගත්ත වෙලාවක.

” අන්තිමේදි ඔයාට පිස්සු ගෑණියෙකුත් බලාගන්න වෙනවා මල්ලී… ඇයි ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ…? අනුත්තරා ඔයාට වියදම් කරපු යම් මුදලක් තියෙනවා නම් ඒක පොලියත් එක්කම දෙන්න ඔයාට පුලුවන් නේ දැන්… ඉන් පස්සේ ඉතින් ආයේ සම්බන්ධතා ඕනේ නෑ… අනෙක අනුත්තරා ට දැන් තියෙන්නේ ජොබ් එකේ ආදායම විතරනේ… ඔයාට අන්තිමේදී ඔක්කොම කරගහන්න වේවි ….”

ඒ පණිවිඩය දැකපු දවසේ රෑ අනුත්තරා හොඳටම ඇඬුවා. එදා ඉඳන් දනුකගේ පොඩි පොඩි වෙනස්කම් වලටත් සෑහෙන්නම ගැස්සුණා. 

” ඇයි ඔයා අපේ ගෙදර එන්නේ නැත්තේ දනූ ?”

“වෙලාවක් නෑ ළමයෝ ..වැඩනේ…”

දනුක හැමදාම එහෙමයි උත්තර දුන්නේ. අනුත්තරා ජීවිතේ අභ්‍යන්තර බිඳී යෑම සීරුවෙන් තියාගන්න උත්සාහ කලා.

ඒත්, අද තමන්ව කුඩ්පට්ටම් වෙලා ගිය බව අනුත්තරා ට වැටහෙනවා.

ඉතින් …..මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ… ඔයයි මායි ආදරේ කරලා කසාද බදින්ඩද…?”

අනුත්තරා ආයෙම ඒ කෙටි පණිවිඩය කියෙව්වා. දනුකගේ තත්වය වටහාගන්න උත්සාහ කලා. අනුත්තරා ට දනුක ගැන තිබුණේ විශ්වීය ප්‍රේමයක්.  කොහේ කොහොම හිටියත්, දනුකගේ සතුට ගැන සතුටු වෙලා තමන්ගේ වේදනාව දරාගන්න පුලුවන් තරමේ හිතක්.  ජීවිතේ සියලුම දේ අහිමිවෙලා ගියාට පස්සෙව් දනුක තමන් වෙනුවෙන් ඉන්නවාය කියන හැඟීම ත් අහිමි වෙලා යන එක දරාගන්න අනුත්තරා උත්සාහ කලා.

දවස් දෙකක් යනකල් දනුකගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නැහැ . අනුත්තරා ඒ දවස් දෙකේම නොතිබුණ කාර්‍යබහුලත්වයක් උස්සගෙන වැඩ කලා. ඇස් වල කඳුලු එන වාරය්ක් ගානෙව් දනුකගේ පින්තූරයක් උඩට තද හුස්මක් අතෑරලා ඒ කඳුළු ඇස් ඇතුලේම හංගගන්න උත්සාහ කලා.

  අම්මාව බලා ගන්න හෙදියක් ගෙන්නගන්නත් සිද්දවෙලා තිබුණ නිසා අනුත්තරා ට වැඩියෙම් වැඩ කරලා මුදල් උපයන්න සිද්ද වුනා.

දවස් දෙක, සති දෙක වුණා. සති දෙක, මාස දෙක වුණා. අනුත්තරා දනුක ගෙන් එක ඇමතුමක් හරි බලාපොරොත්තු වෙමින් උන්නා. ඒත් කවදාවත් ඒ ඇමතුම ආවේ නැහැ. ඒ වෙනුවට දනුකගෙ අක්කාගේ කෙටි පණිවිඩයක් ඇවිල්ලා තිබුණා.

” ඔයා මල්ලිටයි අපිටයි වියදම් කරපු සල්ලි වල එකතුව එවන්න … මල්ලි ගෙවාවි …”

අනුත්තරා නාන කාමරේට වෙලා ඉකි ගහ ගහ ඇඬුවා. ජීවිතේ එහෙම අර්ථ දැක්වීමක ආදරයක් නෙවෙයි දනුක වෙනුවෙන් අනුත්තරා ට තිබුණේ.

අක්කා දිගින් දිගටම අනුත්තරා ව බිඳලා දැම්මා දනුකගේ ජීවිතේ ට එල්ලෙන්න උත්සාහ නොකරන්න කියලා අතිශය දරුණු විදියට කිව්වා.

අනුත්තරා ව සනසවන්න කිසිම කෙනෙක් උන්නේ නැහැ. ඇය රැකියාව කරපු තැන අයට පවා මේ කිසිම දෙයක් කියලා නොතිබුණ නිසා අනුත්තරා ගේ මේ වේදනාව ගැන ඇයම විතරයි දැනගෙන උන්නේ. 

අනුත්තරා ගේ ඉස්සරහට මල් තවානක් පටන් ගත්තා. හවසට ආවාම ඒකේ වැඩ කලා. අම්මාත් මල් අතරේ ඉන්න කැමැත්තෙන් ඉන්න බව අනුත්තරා ට වැටහුණා. මාස හයක් ගෙවෙද්දීත් දනුක කියන  ප්‍රේමය අනුත්තරා ගේ හදවතෙන් ගිලිහිලා ගිහින් තිබුණේ නැහැ.  ඒත් කොයිම හරි වෙලාවක දනුකගේ මතුවීම තමන්ට දරාගන්න බැරි විදියකින් සිදුවීම දරාගන්න අනුත්තරා උත්සාහ කරමින් උන්නා.

දනුකගේ යාලුවෝ දෙතුන් දෙනෙක්ට කතා කරල දනුක ගැන විස්තර අහන්න හිතුණ හැම වාරේකම අනුත්තරා අඩියක් ආපස්සට තිව්වා.

” මං නිසා දනුකට අබ මල් රේනුවකවත් හානියක් වෙන්න  ඕනි නැහැ… මේ මම සංසාරේ කොහෙදිම හරි කරපු දෙයක ප්‍රතිඵලයක්. ඒක දනුකගෙන් ගෙවෙන්න තේරිලා තියෙන එක දනුකගේ වරදක් නෙවෙයි…. දනුක මට ආදරණීයවම සලකපු කෙනා.. ඒ මතක එහෙමම තිබුණ දෙන්….”

දවසක් අනුත්තරා වැඩ අවසන් කරලා නින්දට යන්න සූදානම් වෙනකොටම ගේට්ටුව ළඟ නැවතුණ වාහනයක සද්දයක් ඇහුණා.   අම්මා උන්නේ නින්දේ බව දන්න නිසා අනුත්තරා කලේ ජනේලෙන් එබිලා බලපු එක. ගේට්ටුව ළඟ මෝටර් රථයක් නවත්තලා තියෙන බව විතරක් අනුත්තරා ට පෙනුනා. අනුත්තරා ජනේලේ ලඟින් එහාට වෙලා සාලෙන් ඉඳගත්තා.

ඒත් එක්කමයි අනුත්තරා ගේ ජංගම දුරකථනය නාද වුණේ.

ජංගම දුරකතන තිරයේ තිබුණ නම දැකලා අනුත්තරා ට කෑ ගැස්සුණා.

“දනුක “

නිල් පාට හදවතකුයි , උඳුපියලිය කොළයකුයි එක්ක සුරැකිලා තිබුණ නම එහෙම මතුවීම අනුත්තරා ට අදහා ගන්න පුලුවන් වුනේ නැහැ.

“හෙ.. ලෝ …..”

අනුත්තරා ට හඬ පිට වුනේ නැහැ.

” ගේට් එක ලඟ මම අනූ … ගේට් එක අරින්න …”

අනුත්තරා එලියට දිව්ව වේගේ ගැන ඇයටවත් අදහසක් නැහැ. ඒ වගේම ඇය ගේට්ටුව විවෘත කලේ  කොහොමද කියලාවත් ඇයට මතක නැහැ.  දනුක අනුත්තරා ව වැලඳගත්තේ ගේට්ටුව ඉස්සරහම. ඉන් පස්සේ අනුත්තරා ව මෝටර් රිය තුළට නංවගෙන, මෝටර් රිය මිදුලට දාලා, ගේට්ටුව වහලායි ආයෙම අනුත්තරා එක්ක ගේ ඇතුලට ආවේ.

මේ දකින්නේ හීනයක්ද කියන බය හින්දඅ අනුත්තරා ආයේ ආයේම ඇස් පොඩි කලා
දනුක අනුත්තරා හිටගෙන ඉද්දීම එතැන තිබුණ පුටුවක වාඩි වුණා.

” අපේ අක්කා මොනවද කිව්වේ ?”

දනුක එහෙම අහනකොට අනුත්තරා කලේ ඔලුව පහලට හරවගෙන ඉකි ගහපු එක.

“මං සමාවෙන්න කිව්වට මේ මුකුත් හැදෙන්නේ නෑ අනූ … මං ඔයාට ඕනිම කාලේ ඔයාව තනිකලා… මං මහ සතෙක්… මං හැමදේම අතෑරපු කාලේ ඔයා මාව අල්ලගත්තා .. ඒත් අපේ අක්කාගේ වචන වලින් ඔලුව කාගෙන මම ඔයාව අතෑරියා…. උදේ කැම්පස් එකේ සෙට් එක සෙට් වුණා… මං මේ  එතන පාර්ටියෙන් මඟින් නැගිටලා එන ගමන් … මං දන්නේ නෑ, මං කොහොමද ඔයාට එහෙම කලේ කියලා …ඇත්තටම මං දන්නේ නෑ… මට… මට මෙහෙම වෙන්න ඕනි වුනේ නැ කවදාවත් අනූ..සත්තයි ….”

අනුත්තරා දනුකගේ කම්මුලක් හෙමින් ඉම්බා.

” ඇඟ සෝදගන්න… මම කන්න මොනාහරි හදන්නම් … ඔයා මට කිසිම පාපොච්චාරණයක් කරන්න ඕනි නෑ… මං විශ්වාස කල එකම දේ ආදරේ … ඔයාම ඉස්සර වෙලා කුඩුපට්ටම් කලත්, මම ඒ ආදරේ ගැන විශ්වාසේ අතෑරියේ නෑ…”

අනුත්තරා හෙමින් සීරුවේ කිව්වා. දනුකගේ කම්මුල් පෙඟෙන්න අරගෙන තිබුණ කඳුළු පිහිදැම්මා.

” අම්මා කෝ..?”

” නිදි .. අද එයාව බලාගන්න ඉන්න නර්ස් නෑ.. ඒ වුනත්, දැන් එයා ලොකුවට කලබල කරන්නේත් නෑ… “

අනුත්තරා කාමරේ දිහාව පෙන්නලා කිව්වා. දනුක ඔලුව වැනුවා.  තමන්ගේ පලවෙනි සම්මුඛ පරීක්ෂණ ය දවසට කලින් දවසේ බෙල්ලන්විල පන්සලේ පූජාවක් කරලා පිරිත් නූල ගැට ගහපු අනුත්තරා ගේ අම්මගේ මූණ මැවිලා, බොඳවුණා.

“එන්න …”

“ඔයා … මට සමාව දෙනවාද අනූ…”

” නෑ…ඔයා මට නෙවෙයි ඔයාටයි වරදක් කලා නම් කලේ.. ඔයා ඔයාට සමාව දෙන්න… එතකොට ඔයාට සැනසීමක් දැනෙයි ……”

” මට සමාවෙන්න අනූ …. “

“ජීවිතේ මෙහෙම බව ඔයා මට කියලා දුන්නා දනුක .. ඒ වගේම, ආදරේ මෙහෙම බව ඔයාට මම කියලා දෙන්නම් …”

අනුත්තරා දනුකගේ ඇස් වලට එබිලාම කිව්වා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles