සඳක් තනියම – 45

0
105

එවේලෙහි සචින් වූයේ වෛද්‍යවරයාගේ පරීක්ෂණයට ලක් වෙමින්ය. සාරියකින් සැරසී හිසට මල් ගසා  මුහුණෙහි වත්සනු තවරාගෙන උන් යුවතිය දුටු වෛද්‍යවරයාත් , හෙදියනුත් හැරී බැලුවේ දෑස් විසල් කරගෙනය.

“ පුතේ…”

“ ආන්ටි..මොකද වුනේ?..”

ඇගේ මුළු සිරුර පුරාම සචින් වමනය කර තිබිණ.ඇය උන්නේ පැනල් රෙදි කැබැල්ලකින් තම උඩු කයෙහි වූ හැට්ටය ආවරණය කරගෙනය.

“‘මං එයාව ගන්නං. ආන්ටි ඇඳුමක් ගෙනාව නම් මාරු කරගන්න.”

දිනාරා එසේ පැවසූයේ ප්‍රියංකා  අත උන් සොයුරාව තම දෑත් වලට ගනිමින්ය.

හෙදියක විසින් ලේ පරීක්ෂාවක් සඳහා සාම්පල් කිහිපයක් ලබා ගත්තාය.

“ මේ දවස්වල හැමතැනම ඩෙංගු ෆීවර්  තියෙනවා.සමහරවිට ඩෙංගු ෆීවර්  වෙන්න පුළුවන්.සමහරවිට වෛරස් එකක් වෙන්නත් පුළුවන්.දැනට අපි උණ බහින්න එයාට බෙහෙත් එකක් දීලා තියෙන්නේ.ඒකට නින්ද යයි..ඔයාද බබා ලඟ ඉන්නේ.”

දිනාරා හිස වැනුවේ “ ඔව් “ යැයි පවසමින්ය.

“ හරි එයාට බොන්න දෙන ජාති වගේම එයාට යූරින් පාස් වෙන ප්‍රමාණය මනින්න ඕනේ.අපි බ්ලඩ් රිපෝර්ට් එකෙන්  පස්සේ බලමු මොකද තත්ත්වෙ කියලා”

දිනාරා එවර හිස වැනුවේ  වෛද්‍යවරයාට එකඟවය.

අවසන ඈ සිය සොහොයුරා අසල රැඳී සිටින්නට ප්‍රියංකාගෙන් අවසර පැතුවේ බල කරමින්ය.

“” මං දන්නවා මේ දවස් ටිකේම ආන්ටි රෑ නිදි නෑ කියලා.එහෙම මහන්සි වෙලා ඔයා අසනීප වෙයි.මගේ වැඩ ටික ඉවරයිනේ.කොහොමටත් හෙට නිවාඩු.අනික මෙහෙම ඉන්නත් බැහැනේ .ගෙදර යන්න.”

“ අනේ පුතේ ඔයා ඉන්නෙ කොහොමද ඔයාට මේවා පුරුදු නැහැ..”

“ පුරුදුයි ආන්ටි . හොස්පිට්ල් එකේ හිටියේ නැති උනාට මල්ලි වෙනුවෙන් මං ඕන තරම් රැයවල්  නිදි මරලා තියෙනවා.ආන්ටි යන්න..”

“ ඒ වුනාට මං කොහොමද පුතේ ඔයාව දාලා  යන්නේ.”

“ මගෙයි  මල්ලිගෙයි  දෙන්නගෙම ජීවික දැන් ආන්ටිට බරක්  වෙලා.ආන්ටි ගෙදර ගිහිල්ලා මට ඇඳුමකුත් අරගෙන හෙට උදේම එන්න .මල්ලිට  මොනවා හරි ඕන උනොත් මම කෝල් එකක් දෙන්නම්.”

“ පුතේ ඔයා මෙහෙම මේ සාරිය පිටින්..”

“ ආන්ටි යන්න කලින් මං මේ මල් ටික ගලවලා මූණ  හෝද ගන්නම්..මට මෙහෙම ඉන්න පුළුවන්.තව පැය කිහිපයයිනේ. හෙට උදේට ඇඳුමක් අරගෙන එන්නකෝ..අනේ දැන් යන්න මේ බලන්න ඔයාගේ හැටි.පාරට ගිහිල්ලා ට්‍රයිෂෝ  එකක් නවත්තගන්න පුළුවන් නේද..”

“ අනේ මං එහෙම කරන්නම් පුතේ ඒ උනාට ඔයා දාලා යන්න හිතක් නෑ මට..”

“ බයවෙන්න දෙයක් නෑ.හොස්පිට්ල් එක ඇතුලෙනේ.ආන්ටි  මට හිමාශගෙ ගෙදර යන්න කියලා කිව්වට මේ වෙලාවේ හිමා⁣ෂගේ  ගෙදර ගිහිල්ලා මට හිතකින් ඉන්න බැහැ..මට මල්ලි  ළඟ ඉන්න ඕනේ ආන්ටි.”

තවදුරටත් ඇයව වෙහෙස කරවන්නට ප්‍රියංකාට සිතුනේ නැත.ඕ පසෙක වූ තම බෑගය අතට ගත්තේ දිනාරාගේ හිස අත ගෑවාට පසුවය.ඉන්පසු හැරි හැරී බලමින් වාට්ටුවෙන් පිට වූයේ තවදුරටත් දෙදෙනෙකුට වාට්ටුව තුළ රැඳී සිටීමට අවසර නොවූ නිසාය.

උත්සවය නිමාවී අන් සියල්ලෝම සතුටු සාමීචියේ යෙදෙමින් ආහාර ගනිද්දී අකලංකගේ දෑස් වෙහෙස වූයේ දිනාරාව සොයන්නටය.උත්සව ශාලාව තුලවත් ඉන් පිටතවත් ඔහුට දිනාරා හමු වූයේ නැත.නර්මදාගෙන් සේම තේජාගෙන් විමසුවත් ඔහුට ලැබුණු පිළිතුර වූයේ ඇය නැගිට යනු දුටු බවය.හිමාශාව සොයා වෙහෙස වූවත් ඇයත් පිරිස අතර පෙනෙන තෙක් මානයකවත් වූයේ නැත.දෙතුන් වරක්ම දිනාරාගේ ජංගම දුරකථනයට අමතන්නට උත්සාහ කළත් එය ක්‍රියා විරහිත කර තිබිණ.

අවසන තරුණයා උත්සව ශාලාවෙන් පිටතට පැමිණියේ ඒ කොහේ හෝ ඇය සිටිනු ඇතැයි සිතාගෙනය.

එහෙත් වෙහෙසකර වූ දෑස් වලට හමුවූයේ දිනාරා නොවේ කාර්යාල කාර්ය සහායකයෙකු වූ කුමාරය.

“ කුමාර දිනාරා ම්ස්ව  දැක්කද..”

“ ඔව් සර්…”

“ කෝ කොහෙද මං හැමතැනම හොයනවා.”

“ හරි කලබලෙන් එළියට දුවගෙන යනවා දැක්කා.මං කතා කළා මිස්ට ඒ වුනාට ඇහුනේ නෑ.”

“”කොයි වෙලාවෙද..”

“ උත්සවේ ඉවර වෙන වෙලාවෙම තමයි.ෆෝන් එකත් කනේ ගහගෙන කාට හරි කෝල් කර කර තමයි දිව්වේ.”

“ හරි කුමාර ඇතුලට ගිහින් ඩිනර්  එක ගන්න මම බලන්නම්.”

යළිත් දෙතුන් වරක්ම ඇයගේ දුරකථනයට ඇමතුමක් ලබාගන්නට උත්සාහ කළත් දිගින් දිගටම ඇසුණේ එය ක්‍රියා විරහිත කර ඇති බවට වූ පණිවිඩයයි.

“ ඔහුට හිමාෂාව හමු වූයේ ආපසු කලබලයෙන් ශාලාව තුළට එන අතරේය.” 

“ හිමාෂා දිනාරා  කොහෙද ගියේ?..”

“ සර් ..සර්..”

“ සර්..සර්..කිය කිය කටපාඩම් කරනවද.. ප්ලීස් මට කියන්න දිනාරා  හදිස්සියේ කොහෙද ගියේ?.”

“ සර් එයා..”

“ ඔව් එයා තමයි..මොන හදිසියකටද එයා ඒ විදිහට දිව්වේ… හිමාෂා මට කරුණාකරලා කියන්න දිනාරා කොහෙද ගියේ.. ඇයි ඔයා මේ තරම් කල් ගන්නේ  උත්තරයක් දෙන්න…”

එවර අකලංකා ඇසුවේ හිමාශාගේ දෑත් දෙපසින් අල්ලා ගෙනය.

“ සර් දිනාරා  ගියේ ලේඩි රිජ්වේ  ඒකට..”

“ ලේඩි රිජ්වේ එකට… ඒ මොකටද “

එසේ ඇසුවත් හිමාෂා වචන ගලපනතුරු අකලංක පමා වූයේ නැත.ඔහු රිය අංගනය වෙත දිවගියේ ඒ කලබලයෙන්මය.විනාඩි කිහිපයක් ඇතුළත ළමා රෝහලට ළඟා වීමේ හැකියාව ඔහුට විය.

“ මේ දැන් සාරි එකක් ඇඳ ගතපු ගර්ල්  කෙනෙක් ආවද කොන්ඩෙ මල් එහෙම ගහලා..”

“ ආ ඔව් මහත්තයා දැන් විනාඩි හතළිහක් විතර වෙනවා.”

“  එයා කොහෙටද ගියේ?”

“” එයාගේ කවුරුහරි වාට්ටුවේ නතර කරලා තිබුණා.මං හිතන්නේ එයා ඒ බබා ළඟ ඉන්නවා.බබාව ගෙනාපු ලේඩි මේ දැන්  ටිකකට කලින් මෙතනින් ගියා..”

“ මට ඒ වොඩ්  එකට චුට්ටක් යන්න පුලුවන්ද.”

“ සොරි සර් මේ වෙලාව එහෙම වෝඩ් වලට යන්න අවසර දෙන්න බැහැ.සර් බබාගේ තාත්තද” 

“ න්.. නෑ..නැහැ..ඒ මගේ නංගී..”

“ සමාවෙන්න සර් ඒ කොහොම වුණත් මේ වෙලාවේ ඇතුලට යන්න නම් අවසර දෙන්න බැහැ.”

අකලංකා මදක් පසුපසට වූයේ පරාජය පිළිගෙනය.තමා කොතරම් ඇවිටිලි කළත්

මෙවේලෙහි රෝහල තුළට යාමට ඉඩ නොලැබෙන බව විශ්වාසය.ඔහු ප්‍රියංකාගේ දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ හදිසියේ යමක් සිහිවය.ඒ දුරකථනයත් නාද වූවා මිස ඉන් පිළිතුරු ලැබුණේ නැත.

අවසන ඔහුට සිහි වූයේ තම යෙහෙළියගේ වෛද්‍යවරයෙකු වූ සැමියායි.මතකයේ හැටියටනම් ඔහු වූයේ මෙම රෝහලේය.

වහ වහා සිය යෙහෙළියට දුරකථන ඇමතුමක් ලබාගත් ඔහු සියල්ල පවසා විනාඩි කිහිපයකට රෝහල තුළට යාමට අවසර රැගෙන දෙන ලෙස පැවසීය.අවසන ඔහුට ඒ අවස්ථාව ලැබිණ.ආරක්ෂක අංශයට පැමිණි දුරකතන ඇමතුමෙන් පසුව  අකලංකව  රෝහල තුළට යැවීමට ඔවුන්ට සිදුවිය.කොරිඩෝව කෙළවරක හිඳ ඔහු එනතුරු බළා සිටියේ යෙහෙළියගේ සැමියාය.”

“ හෙලෝ… අකලංක වෙන්න ඇති..”

“ ඔව් මේ ඩොක්ටර් සංජීව..”

“ ඔව්..”

“මොකක්ද පේෂන්ට්  ඉන්න වෝඩ්  එක..”

“ සිකියුරිටි  ටිකෙන් නම් කිව්වෙ වෝර්ඩ් නම්බර් ත්‍රී කියලා.”

“ මමත් ඕෆ් වෙලා යන්න කියලා ලෑස්ති උනේ. එවෙලේ තමයි කෝල් එක ආවේ.යමු අපි ගිහිල්ලා බලමු.”

ඉස්සර වූයේ වෛද්‍යවරයාය .අකලංක ඒ පසුපස ගමන් කළේ දිනාරාව දකින්නට නොඉවසිලිමත් වූ දෑස් ඇතිවය.

සංජීවට  නතර වන්නට සිදු වූයේ අංක තුන වාට්ටුවට පිවිසෙන තැන උන් වෛද්‍යවරයා නිසාය.ඔහු යමක් ඇසුවේත් සංජීව පිළිතුරු දුන්නේත් හෙදියකට යමක් පැවසුවාට පසුවය.අකලංක රෝහල් කොරිඩෝවෙන් එබී බැලුවේ දිනාරාගේ සේයාවක්වත් ඇත්දැයි සොයා ගැනීමටය.

“ දැන් සාරිකක් ඇද ගතපු කොණ්ඩේ මල් ගහපු ගර්ල්  කෙනෙක් ආවද..”

“ ඔව් එයා බබා ගාව ඉන්නවා..ඔයා කවුද බබාගේ තාත්තද..”

“”බබා ගාව කිව්වේ..”

“ බබාගාව කිව්වේ මේක ළමා රෝහලක්නේ.එයාගේ බබාට  උණ හැදිලා ලේඩි කෙනෙක් හොස්පිට්ල් එකට ගෙනත් තිබුණා.ඒ ලේඩිව යවලා එයා බබාගාව නතර වුණා.ඇයි මිස්ටර් තොරතුරු හොයන්නේ..”

“ නැහැ එයා මගේ යාළුවෙක්.අපි එක ඉවෙන්ට් එකක හිටියේ.එයා හදිසියේම එන්න ආවා.ඩොක්ටර් සංජීව  මගේ යාළුවෙක්ගේ හස්බන්ඩ් කෙනෙක්.ඒකයි මම චුට්ටක් හොයලා බැලුවේ.”

“ ආ  ඒ බබාට හයි ෆීවර්  ඇවිල්ලා.මං හිතන්නේ බබාව හොස්පිට්ල් ගෙනත් තිබුණේ එයාගේ ආන්ටි කෙනෙක්. ඒ ලේඩි ආපු ගමන් ආන්ටි ගියා..”

“ මිස් කරදරයක් නැත්නම් මට චුට්ටක් එයා ඉන්න තැන පෙන්නන්න පුළුවන්ද.මම එයා එක්ක  කතා කරන්නේ නැහැ. මට හරියටම ඒ මම දන්න කෙනාද කියලා බලාගන්න තිබුනොත් ඇති..”

එවර අකංලක පැවසුවේ මද හඬකින්ය.ඒ ස්වරය වෙව්ලමින් තිබිණ.

“ මේක වෝඩ් එකට යන්න අවසර දෙන්න පුළුවන් වෙලාවක්නම් නෙමෙයි.ඒත් ඩොක්ටර්  නිසා කරන්න දෙයක් නෑ.ඔය මැද හරියේ දෙවෙනි ඇඳේ තමයි එයා ඉන්නේ. දිගටම බබා ඇඬුවා.දැන් නම් එයා බබාව නිදි  කරන ගමන් ඒක නිසා ඩිස්ටර්බ්  කරන්න එපා.”

“ හරි මිස් අනිවාර්යෙන්ම මං ඩිස්ටර්බ් කරන්නේ නැහැ.”

අකලංක වාට්ටුව මැදින් ඉදිරියට දෙපා තැබුවේ  සිතෙහි වාරුවෙන්ය.හෙදිය පැවසූ ලෙසින්ම ඈ  පසු පස හැරී දරුවෙකු නලවමින් උන්නාය.ඇගේ හිසෙහි ගසා තිබූ පිච්චමල් කිසිවක් වූයේ නැත.එහෙත් දිනාරා උන්නේ උත්සවයට ඇඳගෙන පැමිණි සාරිය පිටින්මය.

අඩියක් දෙකක් පිටුපසට පැමිණි තරුණයා ආපසු හැරුණේ වොට්  තිස්තුන් දහසක විදුලි සැරයක් වැදුණා සේ වික්ෂිප්තවය.අඩුම තරමේ තමා රෝහල් භූමියට ඇතුළු වූයේ යෙහෙළියගේ සැමියා සමඟ යන්න පවා ඔහුට අමතකව තිබිණ.

“”හරිද මිස්ටර්….”

හෙදිය ඇසුවේ කාරුණිකවය.

“ ඒ බබාගේ අම්මා නේද..”

“ ඔව් ඒකනෙ එයා බබාගාව නතර වුණේ.ඇයි මිස්ටර් එහෙම අහන්නේ.ඒ ඔයා අඳුරන කෙනෙක් නෙමෙයිද…මොකක් හරි ප්‍රශ්නයක්ද..”

“ අඳුරන කෙනෙක් තමයි..ඒත්…තැන්කියු වෙරිමච්..”

එපමණක් පැවසූ තරුණයා වාට්ටුවෙන් පිට වූයේ අඩියට දෙකටය.අඩු තරමේ යෙහෙළියගේ සැමියාට ස්තුති කර පැමිණෙන්නවත් ඔහුට අමතකව තිබිණ.අඳුරු කොරිඩෝව මැදින් ගමන් කරනා අතරේ ඔහුගේ දෙසවන් තුළ රැව් දෙමින් තිබුණේ දිනාරාගේ හඬය.

“ මට මැරේජ් එකකට නොයන්න සාධාරණ හේතු තියෙනවා….”

 අකලංක දෙසවන් සිය  දෑත් වලින්ම වසාගත්තේ රෝහල් කොරිඩෝව කෙළවරක වන බංකුවක අසුන්ගෙනය.සොහොයුරාගේ, නෑනන්ඩියගේ , මිතුරන්ගේ අංක සඳහන් කරමින් දුරකථනය නාද වෙද්දී ඔහු සාක්කුවෙන් පිටතට ගත් ජංගම දුරකථනය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කර දැමුවේය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here