නිර්මලා සරත් එනකල් බලාගෙන හිටියේ පපුව පිච්චි පිච්චී. ජීවිතේ මේ තරම් තමන් දෙන්නාව පරික්ශා කරන්නේ ඇයිද කියලා නිර්මලාට හිතාගන්න බැහැ. සරත් ආවා කියලත් මේ ප්‍රශ්නේට විසඳුමක් හොයාගන්න පුලුවන් වේවිද කියලා නිර්මලාට විශ්වාස නැහැ. සරත්ටයි, තමන්ටයි දෙන්නාටම පේන මානේ තියෙන පිළිතුර බාරගන්න තරම් නිර්මලාගේ හිතට හයියක් දැනෙන්නේත් නැහැ.
සරත් ආවාම නිර්මලා හෙමි හෙමින් සරත්ට කිව්වා තමන්ගේ කුසේ ඔවුන් දෙදෙනාගේ දෙවෙනි දරුවා පිළිසිඳගෙන බව. එකපාරටම ඒක විශ්වාස කරන්න අකමැතියි වගේ හිටියත් සරත් එකපාරටම නිර්මලාවත් උස්සගෙන ගේ පුරාම දුවනවා. නිර්මලා සරත්ගේ මේ ප්‍රතිචාරය පිළිගන්න බැහැ වගේ තමයි මුලින් උන්නේ.
” දෝණි මොනවා කියාවිද සරත් ….”
දෙන්නා එක්ක කිරි තේ දෙකකුත් හදාගෙන වාඩි වෙනකොටමයි නිර්මලා එහෙම ඇහුවේ.
” දෝණි තේරුම් ගනීවි.. එයා දැන් දැනුම් තේරුම් තියෙන දරුවෙක්…”
” ඒත් දැන් දෝණිට විස්සක් ….”
” ඔව් …ඔයාට හතලිහයි නේ … “
” මට නම් මේක හිතාගන්නවත් බැහැ සරත් …දෝණිගෙන් පස්සේ අපි දරුවෙක් වෙනුවෙන් කොයි තරම් නම් උත්සාහ කලාද ? කොයි තරම් වියදම් කරාද ?.. ඒත් ඒ කිසිම දෙයක් අවුරුදු විස්සක් තිස්සේ හරි ගියේ නැහැ.. අද ….”
නිර්මලාගේ ඇස් වල තියෙන සතුට අස්සෙන් කියවගන්න ඹැරි බයක සේයාවක් සරත්ට පේනවා. ඒ අම්මලාගේ හැටි බවත් සරත්ට වැටහෙනවා. දැන් නිර්මලා නූපන් දරුවා වගේම උපන් දරුවාගේ ජීවිතේ ගැනත් සමානව හිතන්න ඕනි වගකීම මහ බරට අරගෙන ඉන්න බව සරත්ට පේනවා.
” ජීවිතේ එහෙමයි නිර්මලා …. බලාපොරොත්තු නොවෙන තරමට දේවල් ලැබෙනවා…”
” දෝණි වීකෙන්ඩ් එකේ ගෙදර ඒවි …”
” ඔව් ඒ ආවහම අපි කතා කරමු .. එතකල් මුකුත්ම කියන්න එපා ….”
සරත් එහෙමත් තීරණය කලා. නිර්මලාගෙයි සරත්ගෙයි ජීවිතේ අද වෙනකල් තිබුන බලාපොරොත්තුව තමයි පවනි. අම්මගෙයි තාත්තාගෙයි හීන වලට ආදරේ කරපු පවනි, පලවෙනි වතාවෙන්ම වෛද්‍ය පීටයට සුදුසුකම් ලැබුවා. ඉගෙනීම වගේම ගුණැ ධර්ම අතිනුත් අනෙක් හැමෝටම වඩා ඉස්සරහින් උන්න පවනි පාසැළේ වගේම විශ්ව විද්‍යාලයෙත් මිතුරු මිතුරියන් අතරේ බොහෝම ජනප්‍රිය කෙනෙක් වුනා. ඒ වගේම මොන ප්‍රශ්නයක් ආවත් පවනි කලබල නොවී ප්‍රශ්න විසඳගන්න බලන ළමයෙක්.
” පවනි දිහා බලලා හැදෙන්න ….”
ඉස්කෝලේදී පවනිව උදාහරණයට ගත්තේ එහෙම.
ඒ නිසාම සරත්ට ලොකු විශ්වාසයක් තිබුනා පවනි මේ තත්වය තේරුම් ගනීවි කියලා. ඒ කොහොම වුනත් පවනිට මේක පැහැදිලි කරන්නේ කොහොමද කියලා සරත්ට වැටහුනේත් නැහැ.
සරත් මේ ගැන සරත්ගේ නංගිට ඇමතුමක් දුන්නා. නිර්මලා නිර්මලාගේ නංගිලා දෙන්නාටම ඇමතුම් දීලා කිව්වා. පහුවෙනිදා උදේ වෙනකොට තුන්දෙනාම නිර්මලාලාගේ ගෙදර. ලෝක විනාසය සිද්ද වෙන්න යනවා වගේ තමයි තුන්දෙනාම ගෙදර ට ගොඩ වුනේ.
” අපි දැන් මොකක් ද කරන්නේ අක්කේ ?”
නිර්මලාගේ නංගිලා දෙන්නා සෑහෙන ඉවසීමකින් එහෙම අහන බව සරත් ට වගේම නිර්මලාටත් වැටහුණා. සරත්ගේ නංගී මුකුත් නොකියාම උන්නේ කෝපය පෙන්වන්නම වගේ.
” කරන්න සීයක් දේවල් නැහැනේ…. අපි දරුවාව හදන්වා….”
සරත් උත්තර දුන්නේ, නිර්මලා හීනියට සැනසුම් සුසුමක් හෙලද්දී. ඒත් ඒ සැනසීම තත්පර ගානෙන් ක්ෂය වෙලා ගියේ නංගිලා තුන්දෙනාම හරි හරියට කෑ ගහන්න පටන් ගත්ත නිසා.
” මොන ලැජ්ජාවක්ද අක්කේ .. ? පවනි පාරේ බැහැලා යන්නේ කොහොමද ? ඔක්කෝමත් හරි , කෙල්ලගේ කැම්පස් ගමනත් ඉවර වේවි …. අක්කලා මේ හදන්නේ ඒ දරුවාගේ ජීවිතේම විනාස කරන්න … අනෙක, අපිට ත් මූණ දෙන්න බැරුව යනවා මිනිස්සුන්ට … ඔයාලා ආත්මාර්ථකාමි නොවි අපි ගැනත් හිතන්න….”
නංගී ලා දිගින් දිගටම එහෙම කියනකොට නම් නිර්මලාට ඇඬුණා.
සරත් නම් කිසිම වගක් නැතුව වගේ උන්නේ. නිර්මලාගෙනුයි, සරත්ගෙනුයි හරි උත්තරයක් බලාපොරොත්තු වෙන්න බැරි බව තේරුම් ගත්ත නිසාං නංගිලා එදාම හවස ආයේම ගියා. ඒ ගිහින් පහුවෙනිදාම පවනිව මුණ ගැහෙන්න ගියා.
මහා ගින්නක් ඇව්ලෙන ගානට පවනිව බය කරලා සිද්ද වෙලා තියෙන්නේ මොකක් ද කියලා පවනිට කිව්වා.
පවනිටත් ඒ විස්තරය අදහා ගන්න බැරි වුනා. පවනි පහුවෙනිදා දේශන වලටත් සහභාගි නොවීම ගෙදර ආවා. උදේ එකොළහ වෙනකොට ගේට්ටුවෙන් මතුවෙන පවනිව දැක්කම, නිර්මලාට වැටහුණා නංගිලා ගිණි අවුලලා බව.
පවනි ගෙදරට ඇතුළු වුනේම අම්මාව බඳාගෙන
” මට නොකියා ඇයි ඉස්සෙල්ලාම පුංචිට කිව්වේ ? …”
පවනි නෝක්කාඩු ස්වරයෙන් අහනකොට නිර්මලා සැනසීමෙන් සරත් දිහා බැලුවා. සරත් නම් උන්නේ පවනිගේ හැසිරීම ගැන විශ්වාසයෙන් උන්නා කියන හැඟීම එක්ක.
” නංගියෙක් වුනත් , මල්ලියෙක් වුනත් මේ අපේ පණ අම්මා… ඒ වගේම අම්මා දැන් උන්නා වගේ දෙතුන් ගුණයක් පරෙස්සම් වෙන්නෝනි … මේක ටිකක් අවධානම් නේ… අපි ඉස්සෙල්ලාම චැනල් එකක් දාලා පෙන්නමු .. ඊට පස්සේ ක්ලින්ක් එකෙත් රෙජිස්ටර් වෙමු …”
පවනි වගකීම් දරන දෙවෙනි අම්මා කෙනෙක් වෙමින් උන්නා.
අපේක්ෂා ගුණරත්න