මිරර් ඉමේජ්

මම ගෙදර එද්දි හොඳටම රෑ වෙලා. ඒ විතරක් නෙවෙයි කට කපලා මහන්සියි.අපාට්මන්ට් එකේ ලයිට් ඔන් කරගෙනම කුස්සියටම කෙලින්ම ඇවිදගෙන ගිය මම කාර් එකේ යතුර කවුන්ටර් එක උඩට දාලා ෆ්‍රිජ් එකෙන් ගත්ත කූල් වතුර බෝතලේ බාගයක් විතර ගිඩි ගිඩි ගාලා බීගෙන බීගෙන ගියේ ඒ මහන්සියටමයි.

ඇඟට දැනෙන මහන්සියට මට ඕන වුණේ ටක්ගාලා වොශ් එකක දාගෙන ඇඳුම් මාරුකරගෙන සැහැල්ලු පිජාමා එකක් ඇඳලා ඇඳට වැටෙන්න. එහෙම හිතාගෙන තමයි මම බාතෘම් එකට ගියේ.කණ්ණාඩියෙන් පේන මූණෙ මහන්සිය වැක්කෙරෙනවා. දැන් කාලෙ තියෙන දියුණු තාක්ශණයට පුලුවන් නම් මහන්සි වෙලා එන දවසක මහන්සි මූණ පෙන්නනවා වෙනුවට ලස්සනට හිනාවෙන මූණක් තියෙන “තමන්” කෙනෙක්ව පෙන්වන්න, කොච්චර හොඳද කියලා හිතුවෙ හෙයා ඩෙන්සිටි එකට උදව් වෙන ඕඩිනරි හෙයා සීරම් එක ඔලුවට දාලා මසාජ් කරන ගමන්.

බාතෘම් එකෙන් එලියට ඇවිත් කාමරේ ඇතුලට යන්න ගිය මගෙ කකුල් දෙක කාමරේ දොර ලඟ නතර උනේ දැක්ක දේකින්. පිලිවෙලට වැඩ කරන, දෙයක් ගත්තම ආපහු ඒක එතනින් තියෙන තමන් අතින් කලබල දවසක උනත් මෙහෙම දෙයක් වෙන්න බැරි බව දන්න හන්දාම තමයි මගෙ හිතට බයක් එක්ක අවුලක් දැනුනෙ.

මගෙ කාමරේ තියෙන තේක්ක දොර තුනේ කබඩ් එක ඇරලා දාලා. තමන් කොහොමත් ඇඳුම් ලෑස්තිකරන්නෙ කලින් දවසෙ රෑ හන්දා මෙහෙම දෙයක් වෙන්න කොහෙත්ම බෑ.

“හුලඟට වෙන්න ඇති” කියල හිත හදාගන්න හිතුවට හිත අස්සෙ මොකක් හරි බරක් තිබ්බෙ නැතුවම නෙවෙයි. ටවල් එක ගලවල ඇඳුම් මාරු කරන අතරවාරෙ ඇඟේ ටයර් එහෙම පැනලද කියල කණ්ණාඩියෙන් බලද්දිත් මට හිතුනෙ කවුරුහරි මන් දිහා බලාගෙන ඉන්නව කියලමයි.

ඒ උනාට මේ අපාට්මන්ට් හදලා තියෙන්නෙ හොඳම සෙකියුරිටි සිස්ටම් එක්ක හන්දා කාටවත් එහෙම ඇතුලුවෙන්න බැරි බවත් මම දන්නවා. කෝකටත් කියලා ලයිට් ඔක්කොම දාලා ගේ හැම තැනම බැලුවත් මුකුත් අවුලක් නෑ.

ඊටපස්සෙ තමයි මම නිදාගන්න කාමරේට ආවෙ. කාමරේ දොර වහල ඇඳට යද්දි මට තේරුණා මන් මොකක් හරි දෙයක් දැක්ක බව. කණ්ණාඩියෙන් මන් මොකක් හරි සෙලවීමක් දැක්ක බව.ඒත් හැරිලා බැලුවට කණ්ණාඩියෙන් පේන මගෙ රූපෙ ඇරෙන්න වෙන මුකුත් කාමරේ තිබ්බෙ නෑ.

“මහන්සියට පේන විකාර” කියල හිතලමයි හිත එකලස් කරන් මම ඇඳට වැටුණෙ.

ඇස් දෙක පියාගගෙන මම උත්සහ කරාට නිදාගන්න මොකක් හරි තේරෙන්නෙ නැති හැඟීමක් මගෙ හිතට වද දෙන බව මට හිතුනා. නින්දයි නොනින්දයි අතර වගෙ තමයි මට ඇහුනෙ කවුරුහරි කතා කරනවා.

“උදතාරී” කියල කතා කර ඒ හඬ මගෙ හඬ බව අඳුරගත්තත් මොකක් හෝ මගෙ නොවන දෙයක් ඒ කටහඬේ තවරිලා තියෙන බව නින්දයි නොනින්දයි අතරෙම මට තේරුණා. ඒත් ඒ ගැන වැඩිය කල්පනා කරන්න ඉඩක් ලැබුනෙ නෑ ඒ සද්දෙ හිත අස්සෙ තැන්පත් වෙද්දිම නින්ද ගිය හන්දා.

පස්සෙන්දා උදේ මම ඇහැරෙද්දිත් මට මතක් උනේ ඊයේ රෑ ඇහිච්ච කටහඬ.

“ඒක මගෙ හිත අස්සෙන් ආව හඬක් ද? නැත්තම් මට ඇත්තටම ඇහුන එකක්ද?” කියලා ඉතින් අහන්නවත් මට උන්නෙ මම විතරයි.

වෙනදා වගේම ඇඳ පැලඳගෙන, මේකප් දාගෙන කන්ණාඩියෙන් මගෙ රූපෙ දිහා බලද්දිත් මොකක් හරි අමුත්තක් මට නොතේරුනා නෙවෙයි. මට වඩා මගෙ මිරර් ඉමේජ් එක හිනාවෙනවද කියලත් මට හිතුනා, ඒ උනාට ඉතින් ඒක මහ පිස්සු අදහසක් නෙ නේද?

කොහොමහරි මහන්සිය නිසා තමයි මෙහෙම හිතෙන්නෙ කියන අදහස එන්න එන්න වැඩිවුණා මිසක් අඩු වුනේම නෑ. ඒ විතරක් නෙවෙයි මොකක් හරි දිලිසෙන දෙයක්, මට මාවම පේන තැනක් පහුකරද්දිම මට හිතුනෙ මගෙ මිරර් ඉමේජ් එකේ පොඩි ලැග් එකක් තියෙනව කියලමයි කියල. හරියට කියනවනම් එයා හිටියෙ මට වඩා මිලිමීටර් ගාණක් පස්සෙන් වගේ.

හිතට අමුතු හන්දම මම නිදාගත්තෙ ලයිට් දාගෙන. එහෙම ඉද්දි තමයි ආයෙ දවසක ගෙදර ඉද්දි කලින් වතාවෙ වගේම කබඩ් එකේ දොර ඇරිල තිබුනෙ. එවෙලෙනම් ඇත්තටම මට බය හිතුනා. සීසීටීවී කැමරා චෙක් කරලා බැලුවත් උදේ මන් ගියයින් පස්සෙ හුලඟක්වත් ගෙට ඇවිත් නැති බව තේරුනා. එහෙනම් කොහොමද කබඩ් එකේ දොර ඇරෙන්නෙ? අනික ලොක් කරල ගිය දොරනෙ. කාමරේට සීසීටිවි නැති හන්දා ඒක බලන්න බැරි එක ඇත්ත, අනේ මන්දා ඒ උනාට නේද? මහ මොකද්ද වගේ.

ටිකක් වෙලා කබඩ් එකේ ඇරුණ දොර දිහා බලන් උන්නු මම දොර වහන්න ගියා.

“ඇයි හැමතිස්සෙම මාව වහලා දාන්න හදන්නෙ උදතාරී” කියන හඬ ඇහුනෙ පිටිපස්සෙන්. මට දැනුනෙ පිටකොන්ද දිගේ සීතලක් යනවා. ඒ ඇහෙන්නෙ මගෙ කටහඬ, ඒත් මොකක් හරි අමුතු වෙනසක් එක්ක

මම පිටිපස්සට හැරුනෙ හෙමින්. ඇස් දෙක බාගෙට ඇරගෙන වගේ පුදුම බයකින්.

ඒ කටහඬ ආවෙ කණ්ණාඩියෙ ඇඳිලා උන්නු මගෙම රූපෙන්. මන් බයෙන් ඇස් බාගෙට වහගෙන හිටියට කණ්ණාඩියෙ උන්නු මම නම් එහෙම නෙවෙයි හිටියෙ. ඔව් ඉතින් එයාට බයවෙන්න දෙයක් නෑ තමයි. මම නෙ බයෙන් හිටියෙ.

“ඔයා කවුද?” මං ඇහුවෙ ඇත්තටම වෙන අහන්න දෙයක් නැති හන්දා. පැනලා දුවන්නය. දොර ඇරෙගෙන එලියට යන්නත් කණ්ණාඩිය පහුකරන්න ඕන. අත දාලා ඇදලා ගත්තොත් කියන බය හිතේ තිබුන හන්දමයි මං එතනම හිටගෙන හිටියෙ.

“ඇයි මාව දන්නෙ නැද්ද? ඔයා දන්නවනෙ මං ඉඳලා හිටලා මෙහෙම එනවා කියලා නේද”

“මේක වෙන්න බෑ, මේක වෙන්න බෑ, මේ මගෙ ඔලුවෙ ඇඳිච්ච මනස්ගාත. මම නෙට්ෆ්ලික්ස් බලනවා වැඩි” කියල ඇස් දෙක හොඳටම වහල ආයෙ ඇරල බැලුවෙ ඔක්කොම ආයෙ නෝමල් වෙලා තියේවි කියල.

ම්හ්. මං ඇස් අරිද්දිත් මං කණ්ණාඩිය ඇතුලෙ හිටියෙ ඇස් දෙක ඇරගෙන අමුතු හිනාවක් එක්කම.

“මං මෙච්චර කාලයක් ඔයා ලඟමයි හිටියෙ, ඔයාට දැන් තමයි ඒක තේරෙන්නෙ. ඔයා කොච්චර හංගන්න හැදුවත් ඉතින් කොයි වෙලාවක හරි මං එලියට එනවම තමයි උදතාරී. ඔයා කොච්චර අමතක කරන්න හැදුවත් ඔයාට බෑ මාව අමතකම කරලා දාන්න. මාව අමතක කරන්න නම් ඔයාට ඔයාව නැතිකරගන්න වෙනවා.ඔයා ඔය අමතක කරන්න හදන දේවල් මතක් කරන්න තමයි මං ආවෙ.” කණ්ණාඩියෙ උන්නු මං මටම එහම කිව්වෙ හිනාවෙවී. හැබැයි මගෙ මූණෙ නම් හිනාවක් ඇඳිල තිබ්බෙ නෑ, මට ඒක හොඳටම ශුවර්.

“නෑ මට ඒව අහන්න ඕන නෑ. මං ඒව අමතක කරලා දාල ඉන්නෙ” මං එහෙම කිව්වා. ඔයාලට කියන්න බැරි උනාට මට ඒව අමතක නෑනෙ. ආයෙ ඉතින් මොකටද මං හොඳටම දන්න ඒව අහන්නෙ නේද?

“අමතක කරලා දැම්ම නෙවෙයි ඔයා ඒව වලලලා දැම්මා. මතක නැද්ද. ගාල්ලෙ ගෙදර, වැකුණගොඩ පාරෙන් ගියාම වම් පැත්තෙ තියෙන තට්ටු දෙකේ ගෙදර පිටිපස්සෙ පරණ ලිඳ….”

“මට ඒව ආයෙ අහන්න ඕන නෑ” මං කිව්වෙ පොඩ්ඩක් සද්දෙට. මොන විකාරයක්ද මේ. කෑගැහුවයින් පස්සෙ තමයි යන්න ගියේ. අනේ මන්දා ඉන් පස්සෙ මට නින්ද ගියා.

කතාව ඉතින් ඔච්චරයි. මහ දෙයක් නෑ අප්පා ලියන්නත්.මං මේ දැන් ලියල ඉවර වෙලා කණ්ණාඩිය දිහා බලද්දිත් උදතාරී කණ්ණාඩිය අස්සට වෙලා ඉන්නවා.

මං හිනා උනාට එයා නම් හිනාවෙන්නෙ නෑ. හිනාවෙන්න දන්නෙ නෑ වගේ තමයි ඉන්නෙ. විකාර තමයි.

ආහ් එයා කියනවා, එයා මීට කලින් කවදාවත් මේ වගේ කතාවක් ස්මාට් ලේඩි එකට ලිව්වෙම නෑලු.

ඇත්තද? කමක් නෑ. කියවල හොඳද කියන්නකො. වෙනසක් තියෙන්නත් ඕනනෙ!

More Stories

Don't Miss


Latest Articles