කල්පනී මැදගෙදර
“මං කැමති කෙනෙක් ඉන්නව” කියල ආදිල් මගෙ මූණට ම කියපු වෙලාවෙ දෙයියනේ මං ඇතුළතින් ගැස්සුණ තරමක්. ඒක ක්ෂණික ආත්ම අනුකම්පාවක්. නමුත් ඒ ආත්මානුකම්පාව යට කරගෙන ඊළඟට නැගී හිටියෙ පුදුම කේන්තියක්. මේසෙ උඩ තිබුණ හැම දේම අරං ආදිල් ගෙ මූණට දමල ගහන්න තරං කේන්තියක්.
ආදිල් ව මුණගැහුනට පස්සෙ මට දැනුණ ආරක්ෂිත හැඟීම ආයෙ නැතිකරගන්න කොහෙත්ම මට ඕන වුණෙ නෑ. එයා අපේ සම්බන්ධෙ නවත්තමු කියද්දිත් මං ඒකට විරුද්ධ වුණේ ඒකයි. මගෙ විතරක් කැමැත්තට සම්බන්ධයක් පවත්වන්න බෑ කියන එක මං දන්නව. හැබැයි හොඳින් හරි නරකින් හරි මට එයා එක්ක ජීවත් වෙන්න ඕන.
අපේ සම්බන්ධෙ පටන් ගත්ත මුල් කාලෙ එයා මං ගැන හොයල බැලුවෙ මාව පරිස්සං කළේ පුදුම ආදරේකින්. ඒක මට ඇත්තටම ලැබිල නැති දෙයක්.
අපේ ගෙවල් කඩුගන්නාවෙ. හැබැයි මං ඉපදුණේ කොළඹ. අපේ අම්ම කිරුලපනේ ගෑනියෙක්. අප්පච්චි ඒ පැත්තෙ නතර වෙලා රස්සාවක් කරපු කාලෙ තමයි අම්මව හම්බවෙලා තියෙන්නෙ. පස්සෙ ළමයි දෙන්න තුන්දෙනා වෙද්දි කොළඹ ජීවිතේ ටිකක් අමාරු වුණ නිසා අප්පච්චි දරු පවුලත් අරං කඩුගන්නාවට ගිහිං. සීයා අප්පච්චිගෙ ඉඩං කෑල්ලක ගෙයක් හදාගෙන තමයි අපි හිටියෙ. අප්පච්චි තේ ෆැක්ට්‍රි එකක වැඩ කළා. අප්පච්චිල යමක් කමක් තිබුණ මිනිස්සු. අපේ ගෙදර ලොකුවට අඩුපාඩුකං කියල තිබිලත් නෑ. තිබුණ එක ම අඩුපාඩුව අම්මයි අප්පච්චියි අතරෙ සමගිය. මතක ඇති කාලෙක ඉඳං ඒ දෙන්න රණ්ඩු වුණා. ඒවට හේතු අපි දැනං හිටියෙ නෑ. දැනගන්න ඕන වෙන්නත් නැතුව ඇති. පස්සෙ පස්සෙ ඒ දෙන්න නයයි මුගටියයි ගාන වුණා. දෙන්නට දෙන්න පේන්න බැරිව ගියා. අප්පච්චි එක්ක රණ්ඩු වෙනකොට අම්ම කවුරු හරි ගෑනු කෙනෙක්ට පතුරු යන්න බැන්න. ඒ වෙලාවට අප්පච්චි අම්මට ගහන්න පනිනව. පස්සෙ පස්සෙ අම්ම “ගහපිය බලන්න” කිය කිය අප්පච්චි ඉස්සරහට පැන්න. සමහර වෙලාවට ඒ රණ්ඩුවක් ගුටිබැට හුනමාරුවක් වෙනකල් දුරදිග නො ගියත් නෙවෙයි. හැබැයි බොහොම වෙලාවට අප්පච්චි ඉවසල පහුබැස්ස. එ්කට හේතුව අප්පච්චිට තවත් දරු පවුලක් ඉන්න එකයි කියල අපි දැනගත්තෙ ටිකක් ලොකු වෙද්දි.
අම්ම එකට එක කරන්න ගත්තෙ තවත් කල් ගිහින්. ඒ එකට එක කිරීම කෙළවර වුණේ අපේ අයියට කිට්ටු වයසක ඉන්න දුලාජ් එක්ක පටලැවිල්ලක් හදාගෙන. අම්මගෙයි දුලාජ්ගෙයි අතරෙ සම්බන්ධෙ ප්‍රසිද්ධ රහසක් වුණා. දුලාජ් නිතර ම අපේ ගෙදර ගැවසුණා. ඒකට හේතුව එයා වැඩ කළේ කිට්ටුව තේ කර්මාන්ත ශාලාවක වීම. දුලාජ් ඒකෙ සුපර්වයිසර් කෙනෙක් කියලයි කිව්වෙ. ළමයි තුන්දෙනෙක් හැදුවත් අපේ අම්ම හොඳ තරුණ පාටට හිටිය. ඇත්තටම අම්මයි දුලාජුයි අතරෙ එහෙම වයස පරතරයක් පෙනුණෙත් නැති තරං.
අප්පච්චිගෙ නෑදෑයො මේ හුටපට ගැන දැනගෙන කසු කුසු ගගා හිටියෙ. හැබැයි අප්පච්චි ගෙ අනිත් සම්බන්ධෙ නිසා අම්මට කටක් ඇරල මුකුත් කියන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. මේ කාලෙ අම්ම එයාගෙ වියදම හොයාගන්න කියල ෆැක්ට්‍රි එකේ අයට කෑම පාර්සල් විකුණනව. ඒ මාර්ගෙන් තමයි දුලාජ් අපේ ගෙදරට යන්න එන්න පටං අරං තිබුණෙ. හැමෝම කට කතා කිව්වත් අම්මනං හැසිරුණේ එහෙම දෙයක් දන්නෙවත් නැති ගාණට. කොටින් ම කාටවත් එහෙම සම්බන්ධයක් ඔප්පු කරන්න සාක්ශි තිබුණෙ නෑ. හැබැයි උවමනාවක් තිබුණනං සාක්ෂි හොයාගන්න බැරිවෙන්නෙත් නෑ. අප්පච්චි ගෙදර නොඑන සමහර රෑ වල අවේලාවෙ කුස්සියෙ දොර කිරි කිරි ගාල ඇරෙන වැහෙන හඬ මට ඇහිල තියෙනව.
මේ දේවල් නිසා මගෙ ඔළුව කුරුවල් වෙලා තිබුණද කියන්න මං දන්නෑ. හැබැයි වයසටත් වැඩිය මගෙ හැඟීම් මෝරල තියෙන්නැති. දුලාජ් ට හොඳට ම දැනෙන විදිහට මගෙන් ඉඟි බිඟි ලැබෙන්න ඇත්තෙ ඒ නිසයි. ඒ ඉඟි බිඟි කොච්චර දුර දිග ගියාද කියනවනං, අම්ම ගෙදර නොහිටිය හවසක දුලාජ් මාව තේ වත්තට ගෙන්නගෙන ලිංගික ඇසුරකට පොළඹවගත්ත. පොළඹවගත්ත කිව්වට ඒක මගෙ කැමැත්තක් නැතුව සිද්ද වෙච්ච දෙයක් නෙවෙයි. ඊට පස්සෙ කීප වතාවක් ම තේ වත්තෙ බාගෙට බිත්ති බැඳපු විවෘත කාමර කෑල්ල ඇතුළෙදි ඒක සිද්ද වුණා.
කොහොමහරි ඊට ටිකක් කල් ගතවෙනකොට දුලාජ් නැතිව ගියා. ඒ කියන්නෙ මට එයා පේන්න හිටියෙ නෑ.
“දුලාජ් මහත්තය කසාද බැඳල කොළඹ පදිංචියට ගිහිල්ලලුනෙ”
කියල කෑම ගෙනියන්න ආපු කොල්ලෙක් කියනව ඇහුණ. පාර හොයාගන්න බැරි තැනක මං අතරමං වෙලා කියල මට දැනුණෙ එතකොට. මං හිතුව අම්ම දුලාජ්ව හොයයි කියල. ඒත් එයාට ගාණක්වත් තිබුණෙ නෑ. ටික දවසකට පස්සෙ වත්තට අලුතෙන් ආපු ටිකක් වයස සුපර්වයිසර් කෙනෙක් එක්ක අම්ම මුකුළු කළා. අතරමං වෙලා හිටියෙ මං විතරයි.
කාලයක් යනකල් මං හිටියෙ ශොක් වෙලා වගෙයි. ඒත් මං කාට කියන්නද… දුලාජ් ගැන කාගෙන් අහන්නද… ඇහුවත් මොකක් කරන්නද එයා බැඳලත් ඉවරනං.
ආදිල් ව මට හම්බවෙන්නෙ ඊට අවුරුදු කීපෙකට පස්සෙ. ඒ වෙනකොට දුලාජ් ගැන කම්පනය තුනී වෙලා ගිහින් තිබුණත් සම්පූර්ණයෙන් මං ඒකෙන් නිදහස් වෙලා හිටියෙ නෑ. එතකොට මං පේරාදෙණියෙ කම්පියුටර් කෝස් එකකට යනව අප්පච්චිගෙ බල කිරීමට. ඇත්තටම මට වැඩිය ඉගෙනගන්න පුළුවන් කමක්වත් ඕනකමක්වත් තිබුණෙ නෑ. අම්මයි මායි අතරෙ ඕන එකටයි එපා එකටයි හැම එකටම රණ්ඩු ඇතිවුණා. අම්මව පේන්න බැරි තත්වයක් මට තිබුණෙ. ඒක නිසාම අපේ බහින්බස් වීමකදි අම්ම අතට අහුවුණ දෙයක් විසිකරල මට ගහලත් තියනව.
ආදිල් මට ආදරේ කළා තමයි. හැබැයි එයා ළඟදි දුලාජ්ගෙන් පිරිමහගන්න බැරි වුණ කේන්තියක් පිරිමහගන්න මං උත්සාහ කළාද කොහෙද. ඒක මං හිතා මතා කරපු දෙයක් නෙවෙයි. මාව පාලනය කරගන්න උත්සාහ කරල නැතුවමත් නෙවෙයි. හැබැයි මේ තත්වය එන්න එන්න ම නරක අතට හැරුණද කොහෙද. ඒකෙන් වුණේ ආදිල් ට මාව එපා වුණ එක. එයාට එපා වුණාට මට බෑ එයාව අතෑරගන්න. මොකද අවුරුදු කීපයක්ම මං එයාව ආශ්‍රය කළා. ඒ ගැන හැමෝම දන්නව. දුලාජ්ගෙන් මට වෙච්ච අඩුපාඩුව වහගන්න වුණත් පුළුවන් වෙන්නෙ ආදිල් නිසා විතරයි. මොකද ආදිල් කියන්නෙ කලබලකාරී මනුස්සයෙක් නෙවෙයි. දවසක දුලාජ්ගෙන් වුණ දේ ගැන මං කිව්ව වුණත් එයා ඒක අමතක කරල දායි. ආදිල් කැමති වුණත් නැතත් මට එයාව ඕනෙ ඔන්න ඔය හේතු නිසයි.
සකී ආන්‍යා තඹරවිල
ආදිල් ගෙන් කල්පනී පිළිබඳව කිසිත් නො විමසන්නට මම ප්‍රවේසම් වීමි. ඈ ගැන යමක් මට කිව යුතුයි කියා ඔහු ට සිතෙන්නේ නම් අසා හිඳින්නට පමණක් මම සූදානමින් සිටියෙමි. නමුත් ඉන් පසු ඔහු ඇය ගැන කිසිත් කීවේ නැත. ආදිල් කල්පනා බර වන අවස්ථා කිහිපයක් මට දකින්නට ලැබුණ ද ඒ හැරෙන්නට ඔහු වෙනදා සේ ම සාමාන්‍ය ලෙස හැසිරුණේ ය. ඇය නිසාවෙන් ඔහු ට වෙනසක් නො හැඟවීම මට තිබූ ලොකු ම අභියෝගයක් විය. කෙසේ වෙතත් මා ඒ අභියෝගය සාර්ථක ව ජය ගත්තෙමැයි සිතමි.
මගේ මිතුරියන් කෙසේ කීව ද ඔහු මා ගැන අපේක්ෂාවෙන් පසු වෙතැයි සිතන්නට මට ඕනෑ වූයේ ද නැත. ඔහු ව මට දැනෙන්නේ කෙසේදැයි සිතීම ද මම මගහැර ගියෙමි. ඒ ව්‍යාජය තුළ සැරීම ම චමත්කාරය බව මා දැන සිටි බැවිනි. ව්‍යාජය නමැති කඩ තිරට එපිටින් කල්පනී ගේ ඡායාව සැරිසරමින් පවත්නා බව මට රහසක් නොවී ය. ඒ සියල්ල අතරෙහි මා පැවතියේ හැබෑවක් ලෙස නොව සිහිනයක් ලෙස ය. නැත්නම් මායාවක් ලෙස ය. මායාවෙන් යථාර්ථයට අවතීර්ණ වීම තුළ කැඩුම් බිඳුම් බොහොමයක් සිදු විය හැකි ව තිබිණ. දැන් මා රිදෙන්නට බිය ගැහැනියකි! මායාව තුළ පා වීම ව්‍යාජයක් වී ද පහසු ය. යථාර්ථයේ දිගුකාලීන වේදනා මගහැර මම මායාවේ කෙටිකාලීන පහසුව තෝරා ගතිමි.
ආදිල් මන්රූ රත්නායක කාට අයිති පුරුෂයෙකු වී ද ඔහු දැනටමත් මසිත්හි චමත්කාරයක් වී අවසන් ය. එය පමණක් ප්‍රවේසම් වීම සෑහේ!
“ආදිල් පුතාගෙ හිටපු ගෑනු ළමයත් එක්ක ප්‍රශ්නෙ කොහොම විසඳගෙනද දන්නෑ නේද…”
මා වැරැන්ඩාවෙහි සැන්සවේරියා කෝනයක් අලුතින් නිර්මාණය කරමින් සිටියදී, අලස සුවයක එතෙක් ගිලී උන් ආච්චා හදිසියේ ම විමසුවා ය.
“ඒව එයාලගෙ පර්සනල් දේවල්නෙ ආච්ච”
මා එසේ කීවේ ආච්චා දෙස බලන්නේවත් නැතිව, මඳහසකින් සැන්සවේරියා බඳුනක නෙතු අලවාගෙනයි. ආච්චා ගේ හිතේ කුමක් ක්‍රියා කරමින් තිබිණි ද කියා මා දන්නේ නැත. ඇය ආදිල් ට කැමති බව මම දනිමි. කල්පනී ගැන ආදිල් කියවන විට ආච්චා මුණිවත රැකි බව ද මම දනිමි.
“ඒකත් ඇත්ත තමයි”
කියමින් ඕ තොමෝ යළි අසුනෙහි හාන්සි වූවා ය. ආච්චා ගේ හිස මත මා කෙතරම් බරක්ව පැටවී ඇත්ද කියා මම දනිමි.
“ලෙඩ වුණා කිව්වට පස්සෙ කපු උන්නැහේට කතා කරන්නත් බැරි වුණා මට”
ඇය එය උවමනාවෙන් අතපසු කරන්නට ඇතැයි මම සිතමි.
“හදිස්සියක් නෑනෙ ආච්ච”
“හ්ම්”
මීට පෙර එකඟතාවය හැඟවූ යමකට දැන් හදිසි නැති බව කීම ගැන ඇය කෙසේ සිතන්නට ඇත්ද කියා මම නො සිතා සිටියෙමි. ආදිල් ගේ මෝටර් රථය පැමිණියේ අප දෙදෙනා අපේ ම වූ කල්පනා ලෝක දෙකක තනි වී අපේ පාඩුවේ සිටියදී ය.
“ආදිල් පුතා”
අලුත් ප්‍රණයකින් ආච්චා පිබිදුණා ය. අලුත් ම සිනහවකින් විකසිත වූවා ය.
“මේ මොකද මල් පැළ අරං…”
සැබවින් මා හැරී බැලූයේ එතකොට යි. ආදිල් ගේ අතේ සුදු ප්ලාස්ටික් බඳුනක සිටවූ තද කහ පැහැති නො උස් සැන්සවේරියා ප්‍රබේධයක් විය. මා එදෙස බලා හිඳ ඔහු දෙස බලත්දී ආදිල් පසු වූයේ සිනහවකිනි.
“එනකොට ප්ලාන්ට් ශොප් එකක සකී ආස මේ පැළ ටිකක් ඉස්සරහම පාරට පේන්න තියල තිබුණ. මං ඉතිං වාහනේ නවත්තල මේක ගත්ත. සකී ළඟ තියන වරයිටි එකක්ද දන්නෑ”
“නෑ… අනේ හරී ලස්සනයි ඒක. මට මේක හම්බ වෙලාම නෑ. අනේ තෑන්ක් යූ සෝ මච් ආදිල්”
සැබවින් මා එය තුරුලට ගත්තේ කෙතරම් නම් ආශාවකින් ද? ආදරයකින් ද? ඒ අවංක හැඟීම මගේ මුහුණෙන් ද හඬන් ද මොනවට ප්‍රකාශ වන්නට ඇත.
“තෑන්ක් යූ කියල විතරක් මදි ඉතිං… නේ ආච්ච…”
ඔහු ගේ මුවග ලස්සන සිනහවක් පිපී තිබිණ.
“අපොයි ඔව්”
“හරී. ටක් ගාල ස්ට්‍රෝං ටී එකක් හදන්නං”
සැන්සවේරියා බඳුන දෑතින් වැළඳගෙන ම මම ගෙතුළට ගියෙමි. ආදිල් ගේ දෑස් මා පසුපස එල්ලී එන බවක් දැනෙමින් තිබිණ.