Not Without You – 31

0
8915

ආච්චා මීට පෙර ද ගිලන් වූ අවස්ථා තිබේ. එහැම වරෙක ම ඇය ඉක්මනින් සුවපත් වූවා ය. නමුත් අද ඇගේ පෙනුම ඒ කිසිදු වතාවකට වඩා වෙනස් ය. පළමු මොහොතේ ම ඒ පෙනුම දුටු මා තුළ මහත් භීතියක් ඇති විය. නමුත් තනි ගැහැනියකට බිය, සංවේගය වැනි මානව හැඟීම් ප්‍රසිද්ධියේ පෙන්විය හැකි නොවේ. ලෝකයෙන් කෙසේ වී ද ඇය තමන්ගෙන් ම එකී සංවේදනා සඟවා ගත යුතු ව තියේ. බිය වීමෙන් ද දුක් වීමෙන් ද චිත්ත ශක්තිය හීන වී දුර්වල වී යත හැකි හෙයිනි. මම මගේ බිය මගෙන් ද ආච්චා ගෙන් ද මානෙල් ගෙන් ද සඟවාගෙන සිටියෙමි. කුණාටුව හැමුවේ ඇතුළාන්තයේ පමණකි.

 ජීවිතය සදාකල් අල්වා තබාගත නො හැකි බැව් මම දනිමි. අප කවුරුත් දිනෙක නික්ම යා යුතුව තිබේ. ආච්චාටත් එහෙම දවසක් එනු ඇත. නමුත් ඒ මා කිසිදාක නො සිතන දවසකි. මට චිත්ත රූපයකුදු මවාගත නො හැකි දවසකි. ඕ තොමෝ ලෝකයට  බොහොමයක් ලොකු සේවයක් කළ අම්මා කෙනෙකි. සිය දරුවන් හොඳින් තනා ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කළා පමණකුදු නොව ඇය සිය දියණිය ගේ දියණිය වන මා වෙනුවෙන් ජීවිතයේ සැඳෑ සමය මුළුමනින් ම කැප කළා ය. ඉතින් මගේ ආච්චා දැන් ම නික්ම යා යුතු නොවේ. මගේ ආයුෂ ද ගෙන ඇය නිදුකින් ජීවත් විය යුතු ය. අනිත් අතට තවමත් මට ඇගේ සිහිනය සැබෑ කළ නො හැකි විය. පැතුම ඉටු කළ නො හැකි විය. එවන් තත්වයකදී නික්ම යන්නට වුණෝතින් ආච්චා ගේ හිතට එය කෙතරම් නම් බරක් වනු ඇත්ද?

“සකී”

ඒ හඬ මට ඇසුණේ දුර ඈත මන්දාකිණියකින් සේ ය. දැඩි සත්කාර ඒකකය ඉදිරියෙහි කොරිඩෝරයේ බිත්තියක් දිගට තබා තිබූ අසුනක් මතට වැටී, ඉදිරියට නැඹුරු වී බිම බලාගෙන සිටි මට, ඒ හඬ කුමක් ද කියා එකවර සිහි කරගත නො හැකි වූ තරමි. වෛද්‍යවරයෙකු ද? ආච්චා ගැන නරක ආරංචියක් දෙන්නට ඔහු පැමිණියේ ද? ඔය තරම් කරුණාවකින් කතා කරන්නේ ඒ තිත්ත ආරංචිය කියන්නට ද? ඒත් ඔවුන් මගේ නම දන්නේ කෙසේ ද? ඉතාමත් ම දැඩි අසීරුවකින් මම හිස නගා බැලුවෙමි. මගේ දෑස් නිලංකාර වීමට ඔන්න මෙන්න ව තිබිණ. ආදිල්! ඔහු මා ඉදිරියේ පහළ වී සිටියේ දීර්ඝ වූ ශිශිරයක් කෙළවර පතිත වන ප්‍රථම හිරු කිරණ සේ ය.

මා අසුනෙන් නැගිටවිණ.

“අනේ ආදිල්”

මට කියවුණේ එපමණකි. කොහේ හිර වී තිබුණ කඳුළු ඇල්ලක් ද මන්දා මගේ දෑසින් ගලා යන්නට පටන් ගත්තේ මොහොතකිනි. ඊළඟ නිමේශයේ මා ඔහු ගේ පපුව මතට කඩා වැටී තිබිණ. ඒ තරමට හඬන්නට මට ඕන වී තිබුණ බව පවා ඔහු දකිනා තුරා මට දැනී තිබුණේ නැත. දරුණු වේදනා ගුලියක් පපුවේ හිර වී තිබිණ. එය ටික ටික ඉහළ ආවේ ය. හැපි හැපී රිදුම් දුන්නේ ය. මම ඉකි බිඳ බිඳ හැඬුවෙමි.

“ආච්චට සනීප වෙයි සකී”

ආදිල් මගේ සවන ළඟ මිමිණුවේ ය. ඇයිදෝ මන්දා ඒ වචන විශ්වාස කරන්නට මම වැඩියෙන් කැමති වීමි. ඔහු  පරිස්සමෙන් මා සිය පපුතුර රුවාගෙන සිටියේ ය. එක අතක් මගේ හිස කේ අතරේ දුවමින් දිව්‍යමය සුවයක් මට දනවමින් තිබිණ. එහෙම ම ඇස් පියවී සුව නින්දකට පවිසීමේ තෘෂ්ණා සහගත සිතිවිල්ලකින් මා භරිත වන බවක් දැනුණේ ය. ඒ සුවය තුළ  කෙතෙක් කල්මැරී ද කියා මා දන්නේ නැත.

“සකී… අපි පොඩ්ඩක් ඩොක්ටර් හම්බවෙලා එමුද…”

ඒ ස්වරය ලොව්තුරු සුවයක් දැනවී ය. මා ආදිල් ගේ උණුහුමෙන් මිදුණේ සංසාරයකට ඔහු ට බැඳෙමිනි.

“අනේ මට බයයි ආදිල්”

දෙවියනි මා බිය කියන දේ හැඳින ගත්තේ ඒ මොහොතෙහි ද?

“අනේ මට ආච්ච නැතිකරගන්නනං බෑ ආදිල්. එහෙම වුණොත් කවුද ඉන්නෙ මට… අම්මයි තාත්තයි දෙන්නම නැති වුණත් මාත් එක්ක මේ වෙනකල් එයා හිටිය. මට මුකුත් අහන්න බෑ ඩොක්ටගෙන්. ආච්ච අමාරුවෙන් හුස්ම ගන්නහැටි මං දැක්කනෙ. අනේ මගෙ ආච්චට මුකුත් වෙන්නෙපා… මට මේක දරාගන්න බෑ දෙයියනේ…”

“සකී… ආච්චට මුකුත් වෙන්නෑ. මාව විශ්වාස කරන්නකො. මං ඉන්නවනෙ… බය නැතුව ඉන්න. අපි ඉස්සල්ලම ගිහිං ඩොක්ට එක්ක කතා කරමුකො”

ඔහු මා හැඳ සිටි කමිසයේ කර සැකසී ය. ඊළඟට අවුල් වී තිබි හිස කේ රොද එකලස් කළේ ය.

“එන්නකො”

කියා මගේ අතින් අල්වා ගත්තේ ය. මෙතුවක් මවිසින් අල්වාගෙන සිටිනා ලද හයිය ආදිල් අස දිය වී ගිහින් තිබේ. ඔහු ඉන්නා තැනෙක මට මා අමතක කොට මගේ හිස මත වූ වගකීම් වල බර ඔහු ට පවරා සිටිත හැකි වී තිබේ.

වෛද්‍ය අදහස වූයේ ආච්චා ඉක්මන් සුව ලබමින් සිටිනා බවයි. ඇයව දැඩි සත්කාර ඒකකයට අනුයුක්ත කොට තිබෙන්නේ හුස්ම ගැනීමේ අපහසුව හා ඇගේ වයස සලකා ය. තව හෝරා කිහිපයක් තුළ ඇයව සාමාන්‍ය ගිලන් කුටියකට මාරු කරනා බවක් දැනගැනීම මට මහත් ම අස්වැසිල්ලක් විය.

“ඒකනෙ මං කිව්වෙ”

කියා ආදිල් සිනහවකින් කීවේ ය. මා බිම බලාගත්තේ ඔහු ගේ පපුතුර ගත කළ විනාඩි කිහිපය සිහි වී ඒ ගැන මඳ අපහසුවකිනි.

මා කෙතරම් පෙරැත්ත කළ ද ආදිල් දිවා ආහාරය සඳහා ගෙදර නො ගියේ ය. ආපසු හෙවන්ලි ඉන්ටීරියර්ස් වෙත හෝ නො ගිය ඔහු ආසන පේළියෙහි මා පසෙකින් වාඩි වී මා සිනහ ගැන්වේ යයි සිතිය හැකි කතා කියමින් සිටියේ ය. කැබ් රියක නංවා මම මානෙල් ව ගෙදර යැව්වෙමි. මගේ මිතුරියෝ යමක් කන ලෙස මට බල කොට සිටියහ. ආදිල් කෙතරම් වද කළ ද මට ආහාරයක් ගත හැකි වූයේ නැත. රෝහලේ ආපන ශාලාවෙන් කෝපි එකක් බීවා පමණකි.

“ආච්ච ආයෙත් පුරුදු විදිහට සකී කියල කතා කරනකං මට කන්න බෑ ආදිල්… බල කරන්නෙපා ප්ලීස්…”

යළිත් මගේ ඇස් වලට කඳුළු පිරුනේ ඇසිල්ලකිනි.

හැන්දෑවේ මුද්‍රා ද පීහු ද රෝහලට පැමිණියහ. ආච්චාව ගිලන් කුටියකට මාරු කරනා ආරංචිය පැමිණියේ ඊටත් පස්සේ ය.

“දැං ඉතිං හරිනෙ. බය වෙන්නෙපා හරිද…”

කියමින් මගේ මිතුරියෝ මා වැළඳගත්හ. තනිකම කෙතරම් භයානක ද කියා දැනෙන්නේ තනි වෙන්නට වෙත්දී ය. ඔවුන් ගෙන් තොර වූ විට මගේ ජීවිතයෙහි සතුටක් කියා දෙයක් කොහි ද?

ආච්චා සිනහ වෙවී ට්‍රොලියෙහි පැමිණියා ය. හරියට කිසිවක් ම සිදු නොවූවා මෙනි.

“ඔයා දැං හිනා වෙනව. දෙයියනේ මං බය වෙච්ච තරං”

මම ඇගේ සුදු කොපුලක් සිප ගතිමි. ආච්චා මා වැළඳගත්තා ය.

“මේ කෙල්ල මේ පාරත් මාව මේ පැත්තට ගෙනාව දරුවනේ… හැබැයි මං දන්නෑ ආයෙ මාරය මට එහෙම චාන්ස් එකක් දෙයිද කියල”

“අනේ ඕන්නැති කතා කියන්නෙපා ආච්ච. ඔයාට මොනාත් වෙන්නෑ”

තමන්ගේ අය කියන්නේ සැපතේ දී නැත ද දුකක දී කරදරයක දී හයියකි. පීහු හා මුද්‍රා මට මගේ ම අය වන්නේ එබැවිනි. නමුත් ආදිල්! ඔහු මට කවුරුන් ද?

රෑ බෝවන්නට පෙර මමිතුරියෝ නික්ම ගියහ. ආදිල් ට ද ගෙදර යන්න ය කියා කීවාට ඔහු ඊට එකඟ වූයේ නැත.

“මට ඉන්න පුළුවං. ඔයා ගිහින් නිදියන්න”

“මටත් ඉන්න පුළුවං ඉතිං”

ඔහු හිතුවක්කාර වූයේ ය. ආච්චා සිනහ වූවා ය.

“ආදිල් පුතා හිටියදෙං සකී”

එක මොහොතකට මා හා ආදිල් උනුන් ගේ මුහුණු බලාගතිමු.

“පුතා ඉන්න එක මට හිතට හයියක්. මොනා වුණත් මේ කෙල්ල ළඟ පුතා ඉන්නවනෙ කියන බය එතකොට මට නෑ”

මගේ උගුර පාමුල ගිනියම් ගුලියක් හිර වූයේ ය. ආදිල් ලස්සනට සිනහ වී ආච්චා අස පුටුවෙහි හිඳගත්තේ ය.

“මොනා වෙන්නද දැන් ඉතිං… ආච්චට හොඳ නිසානෙ වෝඩ් එකට දැම්මෙ. ඒ වුණාට ඔය දෙන්න ළඟින් මං ඉන්නව. මාත් එක්ක මුල ඉඳංම ඔය දෙන්න හිටිය වගේ. මෙයා ටිකක් ආඩම්බර වුණාට මාව එලෝගන්නෙකක් නෑ ආච්ච. අනං මනං හිතන්නැතුව ආච්ච රෙස්ට් කරන්න. හොඳට නිදාගන්න. අපි මෙතනම ඉන්නව”

ආදිල් ආච්චා ගේ හිස පිරිමැද්දේ ය. මම ඇගේ පාද පාමුලට වී දෙපා පිරිමැද්දෙමි. ආච්චා දීර්ඝ වූ සුව නින්දකට එළඹෙමින් සිටියා ය. රෝහල් කාර්ය මණ්ඩලය වරින් වර පැමිණ ඇගේ සිරුර ට සම්බන්ධ කොට තිබූ වෛද්‍ය උපකරණ  වල ක්‍රියාකාරී තත්වය ගැන විපරම් කොට ගියහ.

“දැන් බයවෙන්න දෙයක් නෑ. ආච්චි අම්ම හරි වේගෙන් නෝමල් වෙනව”

මට ද සාමාන්‍ය තත්වයට පත් වීමට ඔවුන්ගේ ඒ ප්‍රකාශය හේතු විය. රාත්‍රියේදී මම කුසට යමක් දමාගතිමි. නමුත් ආච්චා තනිව සිටියදී ඇස් පියවා ගන්නට නම් හැකි වූයේ නැත.

ගිලන් කුටියෙහි වීදුරු කවුළුවෙන් රාත්‍රී අහසෙන් පදාසයක් දර්ශනය වේ. කෝටි ගණනක් තාරකා අධිකතර ශීතලෙහි වෙව්ලමින් හිඳී. ඊට යටින් කණාමැදිරි තිත් සේ විදුලි පහන් දැල්වෙන නො නිදන කොළඹ ය. මගේ වම් පසින් ආදිල් ගේ උණුහුම දැනිණ. අපි ටික වෙලාවක් අපිට ළඟින් අනන්ත විශ්වයෙහි විශ්වීය අංශු බවට පත් වීමේ සැහැල්ලුව අත්වින්දෙමු.

“මුකුත් හිතෙන්නැද්ද…”

මඳ වෙලාවකට පස්සේ ආදිල් මුණිවත බින්දේ ය. ඒ ස්වරයෙහි ගැහැනු ආත්මයක් සුසර කරවනා සරාගික පිරිමි බවක් තිබිණි. මම වහා නෙතු ඔසවා බැලුවෙමි.

“මට ඔයාව ඕනෙ කියලවත්… ඔයාට මාව ඕනෙ කියලවත් දැනෙන්නැද්ද…”

ඒ නම් අනපේක්ෂිත විදාරණයකි. මම අතිශය තිගැස්සී ගියෙමි. මගේ ඇස් වල ගැස්මක් මිස ලවන් මත සිනහ පොදකුදු නො වන්නට ඇත.

“ඒත් මට හිතෙනව මං ඔයාට ආදරේ කරනව කියල”

ජීවිතේ හොඳම කාලයෙන් වසර ගණනාවක් කට්ට කළුවර තට්ට තනිකමක දුක් විඳි කෙල්ලකට එහෙම වචන ටිකක්වත් ඇසිය යුතු ය. එහෙම තිගැස්මක්වත් දැනිය යුතු ය. මියෙන්නට පෙර එහෙම හැඟීමක් පපුව පුරා විඳින්නට ලැබිය යුතු ය. පපුව පිටාර ගලන්නට හැදූ හැඟුමන් ප්‍රවාහය  සිතිවිලි වේලි බැඳ වළකා ගන්නට තරම් මා සමත් වූයේ නැත. මගේ මුව මගේ ම අතකින් වැසිණ. ඒත් ඉකිබිඳුමක් ළඟා වූවා නොවේ. මම එහෙම ම මහිස ඔහු වෙතට බර කළෙමි. ආදිල් ගේ පපුවෙහි යන්තමින් එය තැවරිණ. ඔහු සිය සුරත මා වටා යවමින් මාව ඔහු වෙතට වඩාත් තද කොට ගත්තේ ය. මගේ දෑත් ආදිල් ගේ බඳ වටා ගොස් වෙළිණ. ඔහු ගේ නිකට මගේ හිස මත නැවතී තිබෙනු මට දැනුණේ හුඟක් වෙලාවකට පස්සේ ය. අපි ඒ නිශ්චල රාත්‍රියෙහි සොබාදහම වෙනුවෙන් මැවුණු අංශුවක් වී සොබාදහම තුළ මුහු වී සිටියෙමු. එය පාවීමකි. ආදිල් කිහිප විටක් මහිස තදින් සිපගනු මට දැනිණ. ඒ විදිහට එහෙම ම රැය පහන් කරන්නට තිබුණා නම් මම නො සෙල්වී එහෙම ම ඉමි. ජීවිතය කියන්නේ එපමණට සැහැල්ලු වූ යමක් බව ඊට පෙර මට දැනී නො තිබි බව ඉඳුරා පැවසිය හැක.

එක් ක්ෂණික නිමේශයක අපට වහා අපෙන් මිදෙන්නට සිදු වූයේ දොරට දැමුණු කුඩා තට්ටුවක් නිසාවෙනි. හෙදියක ආච්චා ගේ රුධිර පීඩනය මිනුම් කිරීමට පැමිණ සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here