සාගර තරංගා – 30

0
3268

මේධංග සාගරව හම්බෙන්න ආවේ තරංගාව බය කරන්න බැරිවෙච්ච එකේ සාගරව හරි බයකර මේ දික්කසාද වෙන්න ගත්ත තීරණේ වෙනස් කරනවා කියා සිතමිනි.එදා සාගරවත් තරංගාවත් ෆලෝ කරගෙන ආ දවසේම මේධංග තරංගාගේ නවාතැන සොයාගත්තා වගේම සාගරගේ නවාතැනත් සොයාගත්තේය. අද මේ ගමන යන්න මේධංග යොදාගත්තේ ඒ අනුවය.

මේධංග කිසිසේත්ම තමාව හමුවන්න ඒවි කියා සාගර හිතා තිබුනේ නැත. අනෙක් අතට මේධංගව ගෙදර ඉස්සරහ දොර ලඟ දකිද්දී සාගර බය වුණේත්, තිගැස්සුණේත්, අමුත්තක් පෙන්වුවේත් නැත. 

“මම මේධංග, කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. තරංගා මං ගැන ඉතින් ඔක්කොම හොඳ නරක කියන්න ඇතිනෙ” කියා මේධංග අමුතුම තාලෙකින් කතා කරද්දිත් සාගර උන්නේ නිහඬවම මේධංගවත් ඔහුගේ හැසිරීමත් නිරීක්ෂණය කරමිනි.

“මේධංග මාව හම්බුවෙන්න ආවෙ මොකක් හරි හදිසියකටද?” කියා සාගර තමන්ගේ සුපුරුදු නිස්කාන්සුවට බර හඬින් අසද්දී ඇත්තටම මේධංග මොහොතකට තිගැස්සුණේය. ඒ සංසුන් කටහඬේ තිබුනේ මේධංග සාගර වැන්නෙකුගෙන් බලාපොරොත්තු වෙච්ච දේ නොවේ. ඊට එහා ගිය මහා නිවි සැනසුන, වරදක් නොකල මිනිසෙකුගේ ආත්ම ප්‍රකාශනයකි. හිත අස්සෙන් ගිනි අරගෙන දැවෙමින් උන් මේධංගට ඒ නිවුණ සංසුන් වචන දැනුනේ සැනසෙන්න හේතුවක් ලෙස නොව තව තවත් දැවෙන්න හේතුවක් ලෙසිනි.

“මං ආවෙ තමුසෙට මගේ ගෑණිවයි ළමයවයි අතාරින්න කියන්න. ලැජ්ජ නැද්ද මිනිහො කසාද බැන්ද ගෑණුන්ව අල්ලගෙන පවුල් කඩන්න හදන්නෙ?” කියමින් මේධංග නිස්කාරණේ පුපුරා හැලෙද්දිත් සාගර තමන්ගේ නිවුණ බව මොහොතකටවත් කලබල කරගත්තේ නැත. මේ වනාහි එහෙම කලබල වෙලා විසඳන්න බැරි දේවල් බව සාගර දනී. අනෙක් අතට තමන් වරදක් නොකර තියෙද්දි බයවෙන්න, කෝප ගන්න හේතුවක් නැති බවත් සාගර හිතුවේය.

“මේධංගට තරහත් ගිහිල්ලා ඉන්න එකේ අපි පොඩ්ඩක් වාඩිවෙලා කතා කරමු, එන්න” කියමින් සාගර කිසි බයක් නැතුව දොර හැරියේත් තමන් ගැන තිබ්බ ඒ විශ්වාසය හන්දාමය. 

“වාඩිවෙවී කතා කර කර ඉන්න නෙවෙයි ඕයි මං ආවෙ, තමුසෙ හිතුවෙ මං මේ මගුලක් කතා කරන්න ආව කියලද වාඩි වෙවී ඉන්න කියන්නෙ? මේ ඕයි මං ආවෙ තමුසෙට තුට්ටු දෙකේ වැඩ කරන්න එපා කියන්න. ලැජ්ජ නැද්ද ඕයි අනුන්ගෙ ගෑණුන්ව උස්සල වාහනවල දාගෙන යන්නෙ.තමුසෙට ඕව පුරුදු උනාට අපිට ඕව පුරුදු නෑ. දොස්තර පට්ටමට වහංවෙලා තමුසෙලා කරන මගෝඩි වැඩ හැමෝම ඉවසන් ඉන්නෙ නෑ ඕයි. හොරට බෙහෙත් දෙන ඒව මදිවට දැන් තමුසෙල හොර ගෑණු බිස්නසුත් කරනවා නේද?” කියමින් මේධංග කෑගහද්දි උනත් සාගර කලේ ඔහුව හොඳින් නිරීක්ශණය කර එක පමණකි. 

“ඔයාගෙ ඔය ඉවසීම තමයි සාගර ඇත්තටම මට තියෙන ලොකුම හෙඩේක් එක. ප්‍රශ්නයක් වුනාම වෙන පිරිමි වගේ කෑගහල රණ්ඩු කරලා පොඩි ඩ්‍රාමා එකක් දාන්න ඔයාට බැරිද? අපේ අම්මිල කිව්වට සාගර හොඳට ඉවසන මනුස්සයෙක්, මැරේජ් ලයිෆ් විල් බී ඊසි ෆො යූ කියලා මට දැන් ඇත්තටම මට බේ ඩල් ලයිෆ් එක එපා වෙලා තියෙන්නෙ. ඔයා ඔය හැම ප්‍රශ්නෙම ආදරෙන් කරුණාවෙන් විසඳන්න ගියාට හැම ලේඩිම ඒවට කැමති වෙන්නෙ නෑ සාගර, විමෙන් වෝන්ට් ඩ්‍රාමා, ඉෆ් යූ වර් අනවෙයාර් අබවුට් දැන් දැන්වත් දැනගන්න” කියමින් තිශාලි ඉස්සර තමන්ගේ මේ සංසුන් ගතිගුණ වලට පරිභව කරපු එකත් මේධංග දිහා බලන් ඉද්දී සාගරට මතක් වුණේය. එහෙත් තමන්ගේ බිරිඳ නිසාවත් වෙනස් කරගත්තේ නැති මේ ගතිගුණ මේධංග වැනි තමන්ට කිසිම සේත් සම්බන්ධ නැති මිනිහෙකු වෙනුවෙන් වෙනස් කරගන්නටවත් සාගරට උවමනා උනේ නැත.

මේධංග එදා ගියේ තමන්ට කරන්න පුලුවන් උපරිම තර්ජන කර බව දැනගෙන උන්නත් සාගර ඒ විත්තිය තරංගාට කියන්න හිතුවේ නැත. ඒ “තරංගා කලබල වෙයි” කියා හිතුව එකටත් වඩා “තරංගාව කලබල කරන්න උවමනා නෑ” කියා යටි හිත කිව්ව මොකක් හෝ හේතුවක් නිසාවෙන් ය. 

සාගර තරංගාගෙන් ඔය විත්තිය වහං කරගෙන ඉන්න හිතුවත් සාගර නොදන්නවා උනාට මේධංග කතාකර තරංගාගේ හිත අස්සෙත් ගින්න පත්තු කරේය. 

“තමුසෙනෙ අහන්න අකමැති උනේ මං කිව්ව කාරණාව. මං අන්න තමුසෙගෙ මහ ලොකු හොර දොස්තරට ගිහිල්ලා කිව්වා අනුන්ගෙ ගෑණුන්ව උස්සන්න ප්ලෑන් කරොත් මිනිහට හොඳ පාඩමක් උගන්නන විත්තිය. තමුසෙ හිතන් හිටියට මාව දන්නව කියල තමුසෙ මාව දන්නෙ නෑ තරංගා. හොඳින් හරි නරකින් හරි තමුසෙට ආයෙ මං ගාවට එන්න වෙනවා. ඒ ඇවිල්ලත් තමුසෙට බැල්ලියෙක් වගේ මං දෙන ඉඳුල් කකා ඉන්න වෙන විත්තිය අමතක කරන්න එපා” කියා මේධංග දුරකතනය තියද්දී තරංගා උන්නේ ගල් ගැසීය, මේ අවමානයෙන් දැවෙන්නේ තමන් පමණක් නොවන බව හිතෙද්දී ඕන දෙයක් වෙද්දෙන් කියා ආයෙම මේධංග එක්ක සෙට්ල් වෙන්න තරංගාට නොහිතුනා නොවේ. මොක උනත් තමන්ට තමන්ගේ කියා මේ කොලඹ ඉන්නෙ දරුවා පමණකි. අනෙක් මිනිස්සුන්ට තමන්ගේ කරදර නිසා විඳවන්න ඉඩ දෙන්න පුලුවන්කමක් නැත.

තරංගා කේතකීව ඇමතුවේ මේකට කරන්න පුලුවන් හොඳම දේ මොකද්ද කියා අහන්න වෙන කෙනෙක් නැති හන්දාය.

“මේධංගට ඔයාට වෙන අෆෙයාර් එකක් තියෙනව කියල ඔප්පු කරන්න විදියක් නෑ කිව්ව එක නිසා අවුලක් නැතිවෙයි. හැබැයි මේ වගේ තැන්වලදි අපි සෑහෙන කෙයාෆුලි වැඩ කරන්න ඕන තරංගා. පොඩ්ඩ එහා මෙහා උනොත් අන්තිමේ අපි හිතුවෙවත් නැති දෙයක් වෙන්න පුලුවන්. ඒ නිසා අපි කෙයාෆුලි ගෙවන්න ඕන දවස් කීපයක් තමයි මේ ඇවිත් තියෙන්නෙ. ඔයාට බයක් තියෙනම් මේධංග මොකක් හරි ත්‍රෙට් කරාවි ඉස්සරහටත් ඕර් වෙන කරදරයක් කරාවි කියලා අපිට ප්‍රොටෙක්ශන් ඕඩර් එකකට යන්න පුලුවන්”

“එහෙම දේකට යන එක එයාව තව අවුස්සන්න හේතුවක් වෙනවනෙ. මට තියෙන බය ඒක මැඩම්. ඔය වගේ දෙයක් කරලා එයාව තව අවුස්සගන්නවද එහෙම නැත්තම් සද්ද නැතුව ඉන්නවද කියන එකයි මට දැන් ඇත්තටම හිතාගන්න බැරි”

මේධංග එදා ඇවිත් තමන්ට සද්දයක් දැම්ම බව සාගර නොකිව්වට තරංගා ඒ ගැන සාගරගෙන් ඇසුවාය. තරංගා ඒ ගැන සමාව ඉල්ලුවත් සාගර කිව්වේ “මං නම් එයා කිව්ව කිසිම දෙයක් මට ප්‍රශ්නයක් කියල භාරගත්තේ නෑ තරංගා. මං ඇත්තටම කල්පනා කලේ මිනිහා ඉන්න මෙන්ටලිටි එක අනුව මිනිහා ඔයාලට මොන වගේ කරදරයක් කරාවිද කියලා” කියාය.

අනතුරුව ගෙවිච්ච කාලයේ මේධංග කිසිම සද්දයක් බද්දයක් දැම්මේ නැත. තරංගා සාගර එක්කත් කතාබස් කර සනුකිව ස්පෙශල් නීඩ්ස් කිඩ්ස්ලා වෙනුවෙන්ම ඇති පාසලක කින්ඩර්ගාට්න් සෙක්ශන් එකකට ඇතුලත් කරාය. කොහොමටත් අම්මාගේ උනන්දුවත්, අර්ලි ඉන්ටර්වෙන්ශන් ප්‍රෝග්‍රෑම් එකෙන් ඉගෙන ගත්ත දේවලුත් එක්ක වෙනදාට වඩා ප්‍රගතියක් පෙන්නමින් උන් සනුකි නිසා මේධංග හිත අස්සෙ අවුලුවන්නට හේතුවෙච්ච ගින්නෙන් අඩක් නිවා ගන්න තරංගාට පුලුවන් උනාය. සනුකි වෙනදාට වඩා ඉක්මනට දේවල් වලට රෙස්පොන්ඩ් කරන බවත්, වෙනදා වගේ සද්ද බද්ද නැතුව, හිනා කතා නැතුව ඉන්නවා වෙනුවට පොඩි පොඩි දේවල් වලින් පවා සතුටක් පෙන්වන බව දකිද්දී තරංගාට ඊට එහා සතුටක් ජීවිතේ තිබ්බෙ නැත.

“මං මෙච්චර දවසක් හිතන් හිටියෙ මගෙ ජීවිතේ මං වැඩිපුරම සන්තෝසෙන් හිටියෙ ග්‍රැජුවේශන් එක, වෙඩින් එක, සනුකි හම්බෙන්න ඉඳපු දවස්වල කියල උනාට මං ඇත්තටම ගෑණියෙක් විදියටයි, අම්මා කෙනෙක් විදියටයි දෙවිදියටම සන්තෝස උනේ අක්කෙ සනුකි මගෙ උදව්වක් නැතුව බිල්ඩින් බ්ලොක්ස් වලින් ප්ලේන් එකක් හදලා ඒ සන්තෝසෙට අත්පුඩි ගහ ගහ හිනාවෙනවා දැක්ක දවසෙ” කියා තරංගා දෙණියායට කතා කර අක්කාටත් මේ විත්තිය කියන්න අමතක කරේ නැත.

දික්කසාද නඩුවේ පලවෙනි නඩු වාරය ආවේ ඔය හැමදේම අස්සේය. හිතේ යම් අවිනිශ්චිත බවක් තිබ්බත් තරංගා දරුවාව කොළඹ ඇවිත් උන් නර්මදා අක්කා අතට දී උසාවියට ගියේ අයියා එක්කය.

එහෙත් බලාපොරොත්තුවෙන් උන්නු විදියට ඒ නඩු වාරයට මේධංග ආවේ නැත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here