ආදිල් මන්රූ රත්නායක
සකී ට ඒ වෙලාවෙ අවංක වෙන එක කරන්න ම ඕන දෙයක් කියලයි මං හිතුවෙ. අඩු ගානෙ එතකොට එයා තනි නෑ කියන හැඟීම එයාට දැනෙයි. අනික මං මේ වෙද්දි හොඳට ම දැනං හිටිය එයාගෙ හිතේ පිරිච්ච ආදරයක් තියනව කියල. කෙල්ලෙක් විදිහට ඉස්සර වෙන්න එයාට බැරුව ඇති. පිරිමියෙක් විදිහට තවත් බලං ඉන්න එක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වෙන එකක් වෙන්න කියල ඒ මොහොතෙ මං ඒ තීරණේ ගත්තෙ ඒකයි. ඒ මොහොතින් පස්සෙ, අයිස් කුට්ටියක් වගේ මිදිල හිටිය සකී දිය වෙන්න පටන් ගත්ත කියන එක මට හොඳටම දැනුණා.
ඊට පස්සෙ වෙනදා නො තිබුණ වගකීමක් මගෙ ඔළුවෙ පැටවුණා කියන එකත් පිළිගන්න ඕනෙ. නමුත් ඒකට මම සම්පූර්ණයෙන් ම සූදානම් බව මං දැනං හිටිය.
මට තිබුණ එක ම ගැටළුව කල්පනී. අපේ සම්බන්ධය එක පැත්තකින් සම්පූර්ණයෙන් ම නිමා වෙලා තිබුණත් කල්පනී ඒකට සූදානමක් නොපෙන්වපු එක හිතට පහසුවක් වුණෙ නෑ. විශේෂයෙන් ම කල්පනී ගෙ චර්යාවත් සකී ගෙ චර්යාවත් අහසට පොළොව වගේ සම්පූර්ණයෙන් ම වෙනස් වීම මගෙ හිතට බරක් වුණා. යම් කිසි මොහොතක කල්පනීගෙන් සකී ගෙ හිත රිදෙන්න බැරිකමක් නෑ. නමුත් තව දුරටත් සකීව දුරට කරල තියන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ. මේ එයාට මාව ඕන ම වෙලාව!
පහුගිය ටිකේ ම කල්පනී හෙවන්ලි ඉන්ටීරියර්ස් වලට එනව. මගෙ මේසෙ ඉස්සරහ ඉඳං ඉන්නෙකම මට හිසරදයක් වෙලා තිබුණෙ.
“ඉතිං මටත් මෙතන ජොබ් එකක් දෙන්නකො”
කියල කියනව මං බණිනකොට. මනුස්සයෙකුට වද දිදී කූඩැල්ලෙක් වගේ ඇඟේ එල්ලිලා ඉන්නෙක කිසිම මනුස්සයෙක් කරන්න ඕන දෙයක් නෙවෙයි. අන්තිමට මං යාළුවෙක්ට කියල කල්පනී ට ජොබ් එකක් සෙට් කළා. ඒක එයා වෙනුවෙන් කරපු දේකට වඩා මං වෙනුවෙන් ම කරගත්ත දෙයක්.
සකී ආන්‍යා තඹරවිල
ආච්චා සුවය ලබා දෙදිනකට පසු ගෙදර පැමිණියේ මා වරා මලක් තරම් සැහැල්ලු ගෑනු ළමයෙකු බවට පත් කරමිනි. ගලක් වගේ හයිය වෙන්නට වූ විට ගැහැනු ඒ හයියෙන් ලෝකය ම දිනති. මම ද එහෙම හයියකින් පසුගිය වසර ගණනාව පුරා ජීවිතයෙහි එල්ලීගෙන සිටියෙමි. නමුත් මා කෙතරම් මටසිළිටි කෙල්ලක ද කියා දැනෙන්නේ ඒ හයිය දිය වෙන්නට හැර සාමාන්‍ය තත්වයට පත් වෙත්දී ය. යකඩ හැව හැර ගැහැනු සිතින් ලෝකය විඳිත්දී ය.
ආච්චා රෝහලෙහි සිටි දෙදින ම ආදිල් සිය ආයතනයට පුරුදු පරිදි ගියේ නැත. දවල් කාලයෙහි ඉක්මනට එහි ගොස් පැමිණියා පමණකි. එබැවින් මේ උදයේ පුරුදු ලෙස ඔහු එහි යන්නට නියමිත වූයේ ය. මම වෙනදාට වැඩිය උදයෙන් අවදි වීමි. ආච්චා ගේ පිරිසිඳු කිරීම් කටයුතු මගේ දෑතින් ම සිදු කොට ඇඳුම් මාරු කරවා ඕඩිකොලෝන් දමා හිස පීරා ඇයව යළි යහනට කළෙමි.
“සකී මේවට නැහෙන්න ඕන නෑ. මේ මානෙල් කරයි”
කියා ආච්චා දෙතුන් වරක් ම කීවා ය. සේවකයින් ට මුදල් ගෙවා වැඩ කරගත හැකි ය. නමුත් තමන්ගේ හැඟීමෙන් සාත්තු සප්පයම් කළ හැක්කේ තමන්ගේ කෙනෙකුටයි. ඒ ඇප උපස්ථාන වල ආදරය තැවරී තියේ. ඉක්මන් සුව ප්‍රාර්ථනා මුහු වී තියේ.
“හොඳටම හොඳ වුණාම වෙනද වගේ මානෙල් අම්මත් එක්ක කරගන්නකො. දැං මං කරන්නං ඉතිං. මං ඔයාගෙ මිණිපිරීනෙ”
“මේ ආත්මෙ මිණිපිරී වෙලා උපන්නට ගිය ආත්ම වල සකී මගෙ දුවෙක්ම වෙලා ඉන්නැති. දරුවෙක් අම්ම වෙනුවෙන් නොකරන තරං දේවල් සකී මං හින්ද කරනව”
ආච්චා ගේ හඬ බිඳී ගියේ ය.
“ඔය ඉතිං… එහෙම තමයි අනේ… අපිට ඉන්නෙ අපි විතරනෙ”
“අනේ අර ආදිල් පුතත් හරියට මහන්සි වුණා. මොනා වුණත් මං හිතේ සැනසීමෙං හොස්පිට්ල් එකේ හිටියෙ ඒ දරුව නිසා”
මුණිවත රකිනා එක යමක් පවසනවාට වැඩියෙන් හොඳ වූයේ ය. ආච්චා ගේ කටයුතු අවසන් වන විට, මානෙල් තේ පිළියෙල කිරීමට සූදානම් කොට තිබිණි. තේ හදා ආච්චාගේත් ආදිල් ගේත් මගේත් තේ මග් තුන බන්දේසියක තබාගෙන ආච්චා ගේ කාමරයට ගියෙමි.
“අනේ අර ළමයගෙ තේ එක නිවෙනව සකී. ඉක්මනට ඕක ගිහින් දෙන්නකො”
ඇය මා ඉක්මනින් පිටත් කොට යැව්වා ය. ආදිල් යහන මත හිඳගෙන සිටියේ ය. තවමත් ඔහු හෙවන්ලි ඉන්ටීරියර්ස් වෙත යාමට සූදානම් වී සිටියේ නැත.
“යන්නැද්ද අදත්…”
ඔහු මදෙස බලා සිටියේ ඇස් ඉහළට ඔසවාගෙනයි. එතකොට නළලෙහි රැලි කිහිපයක් නැගී තිබිණ. සිනහවක් නැති ඒ බැල්මෙහි පිරිමි සරාගයක් තැවරී තිබිණ.
“යන්න හිතෙන්නෑ වගේ. ගෙදරට වෙලා මෙහෙම ළඟ දැවටි දැවටි ඉන්න හිතෙනව අප්ප. මේව ඇවිල්ල උගුල්”
“ආ… ඔයා උගුලක අහුවෙලාද…”
මා තේ බන්දේසිය මේසය මතින් තබත්දී ඔහු අඩ සිනහවකින් නැගිටගත්තේ ය. මඳක් මවෙත නැඹුරු වී මගේ කොපුලක් තදින් සිප ගත්තේ කොහෙත්ම මා බලාපොරොත්තු නොවූ ලෙසයි. රැවුල් කොට ඇනී කොපුල අමුතු මිහිරකින් නැහැවිණ.
“ඇත්තටම යන්න හිතෙන්නෑ”
ඒ සිතිජ දෑස් ලෝභී හැඟීමකින් මා පාර පාරා මට ඉස්මත්තෙන් පායා තිබිණ. තේ මග් එක ගෙන මම ඔහු වෙත පෑවෙමි.
“තේ එක බීල යන්න ලෑස්ති වෙන්න. කස්ටමර්ස්ලව කඩා ගන්නෙපා වැඩ පටංගත්ත ගමන්ම. කෝ ඇඳුං තියන්න මං අයන් කරන්න. මානෙල් අම්ම ඉඳිආප්ප හදනව කාල යන්න”
හැඟීම් වලට යට නොවී මම ඔහු ගේ අවධානය ඔහු ගේ ව්‍යාපාරය කෙරේ යොමු කළෙමි. මා උමතු කරවන ඒ බැල්මත් අඩ සිනහවත් නො දුටුවා සේ ඉන්නට එහි දී සිදු විය.
සූදානම් වී ඔහු ආච්චා ගේ කාමරයට ආවේ කුමාරයෙකු සේ ය. මම දෑස් පිරෙන්නට ඒ රුව දෙස බලා සිටියෙමි.
“මං ගිහිං එන්නං ආච්ච. පුළුවන් තරං ඉක්මනට ලන්ච් වලට එනව. ඒ අතරෙ ඕනකමක් වුණොත් විනාඩි දහයකින් මං මෙතන හොඳේ. බය වෙන්නෙපා කිසි දේකට. හොඳට කාල බෙහෙත් බීල ඉන්න”
ඔහු ආච්චා ගේ හිස සිපගත්තේ ය. ඇස් වලින් කඳුළු එන්නට තරම් දැඩි මගේ කමක් මට ඔහු ගැන දැනිණ. ආච්චා දෑත් විදා ආදිල් ව වැළඳගත්තා ය.
“පුතා ඔහොම කියනකොට මට යෝධ හයියක් දැනෙනව දරුවො. තව කාලයක් මං ජීවත් වෙන්නෝනෙ කියල හිතෙනව”
“අනිවාර්යෙන්ම. ආච්ච තව කොච්චර කල් ඉන්න ඕනද… සකීගෙ බබාල නළවන්නෙ කව්ද ආච්චා නැතුව… බෙහෙත් බීල සනීප වෙමු හොඳේ”
“රත්නත්තරේ පිහිටයි මගෙ පුතාට”
ආදිල් නැගිට බරාඳයට යන විට මම ඔහු පසුපස ගියෙමි. “අනේ තව ටිකක් ඉඳල යන්නකො” යි කියමින් හිත කෙඳිරිලි නැගුවේ ය. නමුත් මම ඒ කෙඳිරිලි වලට කන් දෙන්නට නො ගියෙමි.
“එහෙනං මං ගිහිං එන්නද…”
කියා ඔහු බරාඳය මැද නතර වෙත්දී නම් මුළු හිත ම කඩා වැටෙන්නට ගියේ ය. ඒත් මම මඳහසක් නගාගතිමි. ආදිල් මගේ කොපුල් දෙපසින් අල්වා මලක් සේ නළලත සිප ගත්තේ ය. දෑස් පියවෙන සුවයක් මට දැනිණ.
“ඕන වුණොත් මට කතාකරන්න ඕනෙ හරිද…”
මම එකඟතාවය හඟවමින් හිස සැළුවෙමි. නැවත ද ඔහු කොපුලක් සිප ගත්තේ ය. ඊළඟට ඉක්මනට මගෙන් නික්මුණේ ය.
“පරිස්සමෙන් ගිහින් ඉන්න”
බරාඳ කුළුණට හේත්තු වෙමින් මම මිමිණුවෙමි. ආදිල් ගේ රිය ගේට්ටුවෙන් පිට වූ ගමන් මගේ දුරකතනයට වට්සැප් පණිවිඩයක් ආවේ ය.
“ආදරෙයි”
එහි ලියැවී තිබිණ.
“මාත්!”
හිත වෙනස් වෙන්නට පෙර විගස මම ඒ යැව්වෙමි.
ඒ සැබෑවක් ද නැත්නම් සිහිනයක් ද කියා මට හරියට ම නො වැටහුණු තරමි. ඒ සිහිනයක් නම් අවදි වෙන්නට ලෝබ හිතෙනා විදිහේ සිහිනයකි. ඒ සැබෑවක් නම් කිසි දිනෙක හීනයක් වී මැකී නොයා යුතු හැබෑවකි. මගේ හදවත හැඟුමන් කෝටි ගණනකින් පිරී තිබිණ. නමුත් ඒ සියල්ලට යටින් පැවති භීතියක් ඉඳහිට නිදිගැට කඩමින් ඇස් හැර බැලුවේ ය. ඇසින්වත් දැක නොමැති කල්පනී කෙනෙකු හීන ඉරිතලා දමමින් හිත මත බර අඩි තැබුවා ය. ඇස් නිද්‍රාවෙන් පියවීගෙන එන යාමයක පවා ඇය බාබායිගා යකින්න සේ මා බියපත් කරවූවා ය.