Not Without You – 33

0
6257

සකී ආන්‍යා තඹරවිල
සෙනසුරාදා අපේ ගෙදරදී හමු වන්නට මගේ මිතුරියන් දෙදෙන විසින් යොදා ගන්නා ලද්දේ ආච්චා අසනීප නිසා ය. ආච්චාව බැලීම එක හේතුවකි. සාමාන්‍යයෙන් වෙනදාට අප පිටත දී හමු වන්නට සති අන්තය යොදා ගත්තා ට මෙවර මට ආච්චා නිසා පිටතට යා නො හැකි වීම අනිත් හේතුවයි. පිටත වුවත් අපේ ගෙදර වුවත් අප එක් වූ විට වෙනසක් නැත. කොතැනත් එක ම සිනා කතා සයුරකි.
කාර්යාලයක අභ්‍යන්තර සැකසීමක් වෙනුවෙන් එය පරීක්ෂා කිරීම සඳහා එදා උදයෙන් ම ආදිල් නික්ම ගියේ ය. මිතුරියන් සමග බොහෝ දේ කියවන්නට ඇති නිසා මට එය පහසුවක් විය.
“මොනාද කියන්නෙ කල්පනීව උස්සමුද…”
බරාඳයේ බිම වැතිරීගෙන නිදහස් සුවය විඳිමින් දොඩමළු වන අතරේ මුද්‍රා විමසුවා ය.
“ෂ්… ආච්චට ඇහෙයි”
මම දෙතොල් මත දබරැඟිල්ල තබා ඇය නිහඬ කරවන්නට උත්සුක වීමි.
“ඉතිං… ආච්ච සතුටු වෙයි. මේ ලෙඩ ගානෙ ඉන්න එකේ මූව කරේ එල්ලන්න පව්කාරයෙක් හම්බුණා කියන්නෙ ඒ මනුස්සයට තව කාලෙකට චිර ජීවනය ලැබුණ වගේ තියෙයි”
“ආච්ච අපිට දැංම කඩේ ගිහිං රතිඤ්ඤා ගේන්න කියයි”
ඔවුහු මා විහිළුවට ගෙන සිනහ වූහ.
“මොනා වුණත් හැබැයි ආදිල් දැනගන්න ඕනෙ ඒ ප්‍රශ්නෙ ඉවරයක් කරගන්න. දවසක ඔය කල්පනී ගෑනි තමුසෙට පාට් එකක් දාගෙන ආවොත්නං මං ඕකිගෙ අත කඩනව ආදිල්ට උණගන්න”
“එක අතකට කිව්වහම තේරුං ගන්නැති ගෑනියෙක් කියන්නෙ නට් කේස් එකක් වෙන්නම ඕනෙ. නැත්තං ඉතිං පිරිමියෙක් අෆෙයා එකක් කන්ටිනිව් කරන්න බෑ කියල හේතු ඇතුව කිව්වහම තමංගෙ තත්වෙ තියාගෙන අයිං වෙන්න ඕනනෙ. මං කියන්නෙ සාධාරණ හේතු ඇතුව කතා කරල සම්බන්දෙකින් එළියට යන්න කාට වුණත් අයිතිය තියනවනෙ. ඒක ඇතුළෙ ඉඳගෙන රැවැට්ටුවොත්නෙ ඒක වංචාවක් වෙන්නෙ”
“ඒ ගෑනි කොයි වෙලාවක හරි ඔයා ගැන දැන ගන්න පුළුවන් සකී. අන්න එදාට ඇත්තටම ඔයා ඉස්සරහට එන්න පුළුවන් හොඳේ. ඔයාව බය කරන්න කියනව නෙවෙයි මේ. මේ සම්බන්දෙ නවත්තන්නයි කියල එයා ත්‍රෙට් කළොත් කෙලින්ම කියාං එයාට නවත්තන්න කියල”
“නැත්තං කියාං යාළුවො දෙන්න හරි වසයි කියල”
නැවත ද සිනහවකි. මොන තරම් බරපතල ප්‍රශ්න වී ද ඔවුන් ගේ සිනහව අස එහි බරපතලකම් අහෝසි වී යන්නේ ය.
ආදිල් පැමිණියේ අප එසේ බරාඳයේ පෙරළීගෙන විවේක සුවයෙන් සිටියදී ය. රිය නැවතෙත්දී මම බිම හිඳගතිමි.
“අන්න දැක්කද නංගි… නිදහස අහිමි වීමේ පළමු පියවර… දැං ඔයාට මේ අපි වගේ මෙහෙම නිදහසේ බිම පෙරළිලා ඉන්නත් බෑනෙ. දැක්ක ගමං නැගිටින්න වෙනව”
“පිස්සුද මන්ද”
මම ඔවුන් ට රැව්වෙමි. ආදිල් ඇවිත් බරාඳ පුටුවක අසුන් ගත්තේ මගේ මිතුරියන් ගේ සිනහ කවටකම් මැද්දේ ය. ඔහු ගේ අඩ සිනහවට ආගන්තුක ලැජ්ජාශීලී බවක් එක් වී තිබිණ.
“ඔන්න නිකංම ශේප් වෙන්න බෑ මස්සිනා. ඉස්සෙල්ලම අපිව හොඳ රෙස්ටොරන්ට් එකකට ගිහින් හොඳට කන්න අරං දෙන්න ඕන”
“කන්නනං මොනාද නේ සකී…”
ඒ මිමිණුම බෙහෙවින් අහිංසක වූයේ ය. ඒ ගෙල තදින් වැළඳගෙන සිපගන්නට තරම් දැඩි ස්නේහ හැඟීමක් මට දැනිණ. ඔහු දෙස බලා හිඳිනා මගේ දෑස් ඒ ආදරය ගැන ආදිල් ට කීවාට සැක නැත.
“කන්න විතරක් නෙවේ. ඇයි බොන්න… බොන්නෝන වැටෙන්න. අපේ එකා කවදාවත් බඳින්නෑ කිය කිය ඉඳල එක පාරටම මෙහෙම වෙනස් වුණා කියන්නෙ… ඔයා සෙල්ලං කොල්ලෙක් නෙවේ හොඳේ”
ආදිල් මදෙසට මුදු ආදරවන්ත බැල්මක් පා කොට එව්වේ ය. මා හිටියේ ඔහු හිඳගත් පුටුව ආසන්නයේ ම බිම හිඳගෙනයි. මගේ අතැඟිලි ඒ සුදු පාද වල ගෑවී, නො ගෑවී තිබිණ. හෙමිහිට ඒවා සපර්ශ කරන්නට ඇති වූ සිතිවිල්ල උපන් ගෙයි ම ගබ් සා කොට දමන්නට මට සිදු විය.
“වෙඩින් එකේදි අපි දෙන්නව ෆ්ලවර් ගර්ල්ස්ලටවත් ගනිංල හරිද…”
“ඔව්… සචින් පේජ් බෝයි”
ඔවුන් ගේ කටවල් වලට නිවනක් වූයේ නැත. බරාඳයෙහි ගෑනු සිනා දෝරෙ ගලමින් තිබිණ. ආදිල් සිටියේ මඳ අපහසුවක් තුළ ද කියාත් මට නො සිතුණා නොවේ. ඔහු ඒ අපහසුවෙන් මුදවා ගැනීම මගේ යුතුකමක් සේ මට දැනිණ.
“ඔයා ගිහිං වොශ් දාං එන්න. මං ලන්ච් රෙඩි කරන්නං”
“ආ… කොහොමද ඒක…”
ආදිල් සිනහවකින් නැගිට ගත්තේ කෙල්ලන් දෙදෙනෙකුට හසු වී ගැලවීගන්නට ලැබීමේ වාසනාව ගැන හිතින් මට පින් දෙමින් විය යුතු ය. එතකොට ආච්චා මානෙල් සමගින් රෝද පුටුවෙන් බරාඳය වෙත එමින් සිටියා ය.
“මෙන්න ආච්ච බෙඩ් රෙස්ට් කරන හැටි”
ඒ ආදර නෝක්කාඩුව ආදිල් ගෙනි. ආච්චා කුඩා දැරියක වාගේ මුව පුරා සිනහ වූවා ය.
“මේ කෙල්ලංගෙ කැකිරි පැලිල්ල මට රූම් එකට වෙලා ඉන්න දෙන්නෑ පුතා. මෙහෙට ඇදිල එවනව. මුං තුන්දෙනා නිසා මාත් තව තරුණ වෙන එකයි වෙන්නෙ”
“ආච්ච කෙල්ල එන්න එන්න. ඔයා නැතුව කොහොමත් අපේ කැකිරි පැලිල්ල කම්ප්ලීට් නෑ”
“ආච්චට කියන්න කාරණා කීපෙකුත් තියෙනෝ නේ මුද්‍රා…”
“ආ ඔව් ඔව්. ඒ ගැන දැනුවත් කරන්නත් ඕනෙ”
“මොනාද දරුවනේ…”
මගේ දෑස් පවා සිනහ වූවාට මා ඒ හිනැහෙන දෑසින් මගේ මිතුරියන් වෙතට හෙළුවේ තරවටු බැල්මකි.
“අපි හවසට ඒ ගැන කතා කරමු. එහෙම හොඳයි නේද ආදිල්…”
ඔහු සිනහවක් තියා ඉක්මන්කොට කාමරයට වැදුණේ ය. මම නැගිට කෑම මේසය සූදානම් කිරීමට ගියෙමි. මා පසු පස පීහු පැමිණියා ය. මුද්‍රා ආච්චාව කෑම මේසය වෙත ඇරලුවා ය.
ඒ දිවා ආහාරය මාත් මගේ මිතුරියනුත් විසින් පිසූවකි. ආච්චා ඉක්මන් සුව ලබමින් සිටීමේ සතුට නිමිත්තෙන් ඇයට අගුණ නොවන ඇය ආසා විදිහේ ආහාර වේලක් පිළියෙල කිරීම අපේ අරමුණ විය. සැබවින් ආච්චා සතුටෙන් සිටියා ය.
“මාරය ඇවිත් අතින් අල්ලන් යන්න හදද්දිත් මට මතක් වුණේ මේ කෙල්ල තනියම දාල මට දැන්ම යන්න බෑ කියලයි..”
“බෑ බෑ. ඔයාට එහෙම දැන්ම යන්න දෙන්න බෑ”
පීහු ආච්චා වෙතට නැඹුරු වී ඇගේ උරමඬල වටා අතක් යවා ගෙන කීවා ය.
“සකී ඉන්නෙ ළමයි දුසිං බාගයක්වත් හදන්නලු ආච්ච. ඒක නිසා එහෙම ඉක්මං ගමන් ගැන හිතන්නවත් එපා”
මේසය යටින් මම ඇගේ කකුල පෑගුවෙමි.
“කකුල පාගන්න එපා බං රිදෙනව”
ඇය ප්‍රසිද්ධියේ කීවා ය.
ඒ කාලෙකට පස්සේ මා වැඩියෙන් ම සතුටු වූ භෝජන සංග්‍රහයයි. ආච්චා කෑම මේසයේ ඇයට හිමි ප්‍රධාන අසුනේ හිඳ සිටියා ය. ඇගේ වම් අත පැත්තේ මගේ මිතුරියන් දෙදෙන අසුන්ගෙන සිටියහ. දකුණු අත පැත්තේ මා ද මට යාබද ව ආදිල් ද සිටියේ ය. අප හැම කෙනෙකු ගේ ම ආදරය ද විශේෂ සැලකුම් ද ලබන්නට තරම් ආච්චා වාසනාවන්ත වූවා ය. අප හැම කෙනෙකුට ම ඇය නො මඳ ආදරයකින් සංග්‍රහ කළා ය. කතා බහ නිසා ආච්චා ගේ ලෙඩ සම්පූර්ණයෙන් ම වාගේ ඈතට පලා ගොස් ඇය නිරෝගීබවක් පෑවා ය.
“ආච්චට කියන්න දෙයක් තියනව. මන්දන්නෑ ආච්චගෙ අසනීපෙත් එක්ක දැන්ම මේක කියන එක හොඳයිද නරකයිද කියලනං”
ආදිල් අලුත් තැනකින් අලුත් කතාවක් පටන් ගත්තේ කොහෙත් ම මා බලාපොරොත්තු නොවූ මොහොතකයි. එක මොහොතකට කෑම මේසය අල්පෙනෙති තුඩක් බිම පතිත වූවත් ඇසෙනා තරම් නිහඬතාවයක ගිළිණි. ආච්චා සිය වියපත් දෑස් කුඩා කොට බලා සිටියා ය. මා පසු වූයේ හුස්ම ගන්නට බැරි දෙගිඩියාවකයි.
“හොඳයි හොඳයි. මේක තමයි හොඳම වෙලාව ආදිල්. ගෝ අහෙඩ්”
මුද්‍රා අනුබල දුන්නා ය. පීහු බොරුවට කැස්සා ය.
“කියන්න ආදිල් පුතා. මොකද්ද…”
මගේ ආදරණීය ආච්චා ගේ හඬ වෙව්ලා ගියේ ය. මම මගේ නිදහස් අතින් ඇගේ වමත තද කොට අල්වා ගතිමි.
“මං… සකීව මැරි කරන්න කැමතියි ආච්ච. අපි අතරෙ සම්බන්දයක් ඇති වෙලා තියෙනව. ආච්චගෙ ආශිර්වාදය ලැබෙනවනං…”
ඔහු ඒ ටික කියාගත්තේ ඉතාමත් අසීරුවෙනි. මට ආදිල් ගේ පිට පිරිමැද ඔහු සනසන්නට තරම් ආදරයක් දැනිණ.
“අනේ ඉතිං මගෙ ආශිර්වාදෙ නොලැබෙන්නෙ ඇයි දරුවො… මේක මොනතරං සුබ ආරංචියක්ද… මගෙ කෙල්ලව බලාගන්න ඒ කෙල්ල තරමටම හොඳ හිතක් තියන පුතෙක් ලැබුණයි කියන්නෙ… දෙවියන් වහන්සෙට කොච්චර ස්තූති කළත් මට මදි. ආශිර්වාද වෙන්න ඕනෙ දරුවනේ… හැමදාමත් ආදරෙන් සතුටෙන් දරුමල්ලො හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ඕනෙ. මාත් පුළුවන් තරං කාලයක් ඒ ලස්සන ජීවිත දිහා බලාගෙන ඉන්නව”
ආච්චා ගේ හඬ බිඳී ගියේ ය. ඇගේ රැල් නැඟුණු කොපුල් තලා දිග කඳුළු වැල් දෙකක් ලිස්සා ගියේ ය.
“අනේ ඉතිං අඬන්නෙපා”
කියමින් ඇගේ ගෙල වටා දෑත යවා මම ඈ වැළඳගතිමි.
“කලිං කිව්වනං කෑමට කලින් අපි රෙඩ් වයින් ටිකක් බීල සව්දිය පුරනවනෙ… නේද කෙල්ලනේ…”
“දවසක් දාගමු ආච්ච ඒකට. අපි බීල නටමු. වෙරි වෙලා වැටෙමු. මුන් දෙන්න අපේ වමනෙ සුද්ද කරල අපේ කකුල් වල දෙහි ගාන්න ඕනෙ. හොඳට බොමු ආච්ච”
“ඒ වුණාට අර අසිත තවුසටද කාටද වගේ… මගෙ එක ඇහැක් හිනා වෙලා අනික් ඇහැ අඬනව ආච්ච. අපේ එකා කසාද බැන්දට පස්සෙ අපිට නැතිවෙයිද කියන සාධාරණ බයක් ඇති වෙලා තියෙන්නෙ”
“සචින්ව වගේ”
“පිස්සු අනේ ඕගොල්ලොන්ට”
එහෙම කීවාට මගේ ඇස් වල කඳුළක තෙත විය. ආදිල් ගේ ඇස් මත ප්‍රේමයෙන් අධි සාන්ද්‍ර වූ පිරිමි බැල්මක් තිබී මට හමු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here