සකී ආන්‍යා තඹරවිල
ජීවිත වලට එක එක ඍතු උදා වේ. මල් නගන වසන්තයන් ද පත් සිඳෙන ශරදයන් ද ඒ අතරේ විය හැක. නමුත් අභාග්‍ය නම් මල් නො පිපෙනු පමණකුදු නොව පත් ද සිඳෙනා වසන්තයන් ද උදා විය හැකි වීමයි. මගේ ජීවන වසන්තයෙහි ද පසුගිය වසර ගණනාව මල් නොපිපි පත් සිඳුණු එකකි. අම්මාත් තාත්තාත් කෙටි කාල පරතරයක් ඇතිව ජීවිතයෙන් සමු ගත්තා පමණකුදු නොව, ප්‍රථම ප්‍රේමය පවා මුලාවක් බව දැන හැඳින ඉන් පිටමං වන්නට මට සිදු විය.
කාලයකට පස්සේ අලුත් මලක් අතු පතර පිපෙන්නට අරාඳින බව දැනුණ විට පවා වසන්තය ගැන ලොකු විශ්වාසයක් මට නොවී ය. දීර්ඝ හේමන්ත නිද්‍රාවක කෙළවර මම සන්සුන් ව බලාගෙන හිටියෙමි. නමුත් මලක් නොව වසන්තයක් ම ගෙන ආදිල් මන්රූ රත්නායක මගේ ජීවිතයට පැමිණ තිබේ!
“මං දන්නෑ ආච්චා මං ආයෙමත් ගත්තෙ හරි තීරණයක්ද කියල… කල්පනී කෙනෙක් එයාට ගැලවීමක් නොදී පස්සෙන් පන්නන බව දැන දැනත්…”
ආච්චා මගේ හිස මත අතක් තැබුවා ය. මා සිටියේ ඇගේ උකුල මත හිස තියාගෙන බරාඳයෙහි බිම හිඳ ය. ආච්චා ගේ ආදරයෙන් සන්තෘප්ත අතැඟිලි මගේ හිස කේ අතරේ එහේ මෙහේ වූයේ ය.
“ඒ සම්බන්දෙ කෙළවරකට ඇවිල්ල නිසා අපි ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ සකී. සමහර ගෑනු ඉන්නව ඔහොම… ළඟින් හිටියත් පිරිමින්ගෙ ඔළුව කන… අයින් වෙන්න නිදහස් වෙන්න දෙන්නෙත් නැති. ඔය කල්පනී කියන්නෙත් එහෙම ගෑනු ළමයෙක් වෙන්න ඇති. කොහොමත් ඉතිං බලෙං කාගෙවත් ඇඟේ එල්ලෙන්න බෑනෙ. ඒ ප්‍රශ්නෙ ආදිල් පුතා විසඳගනී. ඒ දරුව සම්බන්ධකං දෙකක් එකපාර කරගෙන යන ජාතියෙ පිරිමියෙක් නෙවෙයි කියලනං මට විශ්වාසයි”
ආච්චා කෙනෙකු ගැන ලෙහෙසියෙන් තක්සේරුවක් කරන්නේ නැත. ඇය යම් කෙනෙකු ගැන පැහැදෙන්නේ සැලකිය යුතු දැන හැඳිනගැනීමකින් පස්සේ ය. ඉතින් ආදිල් සම්බන්ධයෙන් ආච්චා එවන් සහතිකයක් ලබා දීම මට අස්වැසිල්ලක් විය.
“අවශ්‍ය වුණොත් මං වුණත් මැදිහත් වෙන්නංකො. සකී බය නැතුව ඉන්න. සකී ඔය තෝරගෙන තියෙන්නෙ ඔයාට මේ භවේදි ලබන්න පුළුවන් හොඳම පිරිමියවයි කියල මගෙ හිත මට කියනව. ඒ දැනෙන දේ වැරදෙන්න විදිහක් නෑ. සකී දන්නවනෙ අර හසන්තය ගැන මුල ඉඳලම මට කිසිම පැහැදීමක් තිබුණෙ නෑ කියල”
ආච්චා ගේ උකුලෙන් මා හිස නගා බැලුවේ ගේට්ටුවේ හඬක් නැගුණ නිසා ය. සචින් අයියා හා දෙව්නි ගේට්ටුව වසාගෙන අපේ ගේ දෙසට එමින් සිටියහ. ඒ දර්ශනය විශ්වාස කරගත නො හැකිව මා පාෂාණිභූත වී සිටියාට සැක නැත.
“ආ… මේ අලි බබා ආච්චගෙ උකුලෙ හුරතල් වෙනවද…”
බරාඳයට ගොඩ වෙමින් සචින් අයියා විහිළුවක් කළේ ය. ආච්චා තරමක් හඬ නගා සිනහ වූවා ය.
“එන්න එන්න පුතාල. ඉඳගන්න. අපි දෙන්නට ඉතිං හුරතල් වෙන්නයි අඬන්නයි ඔක්කොමට අපි දෙන්නනෙ ඉන්නෙ පුතා”
“දෙව්නි අක්ක ඉඳගන්න”
මා නැගී සිටිමින් දෙව්නි ට විශේෂ ආරාධනාවක් කළේ විවාහ වී සචින් අයියා වෙත පැමිණි තෙක් ඇය අපේ ගෙදරට ගොඩ වූ ප්‍රථම වතාව එය වන නිසා ය.
“කොහොමද ආච්ච දැන්… ගොඩක් සනීපයි නේද… මේ දෙව්නිටත් ආච්ච අසනීප වුණා කිව්වම බලන්න එන්න ඕන කිව්ව”
එය අමුතු ආරංචියකි. සචින් අයියා ආච්චා බලන්නට දෙවරක් ම රෝහලට ආවේ ය. ආච්චා ගෙදර පැමිණි දවසේ ම අසල්වැසි අනෙකුත් හිතවතුන් සේ ම සචින් ගේ අම්මා හා තාත්තා ද මෙහි පැමිණ ගියහ. නමුත් ඔවුන් සමග දෙව්නි පැමිණියේ නැත.
“කොච්චර හොඳද දුව මාව මතක් වෙලා එහෙම ආපු එක… අපි පුතාලගෙ ගෙදරට ගොඩවුණ වෙලාවක ඉඳහිට දුවව දැකල තිබුණ විතරනෙ ඉතිං”
“එතකොටනෙ අගේ වැඩිවෙන්නෙ නේ…”
මා එසේ කියමින් දෙව්නි කෙරේ විශේෂ ලැදියාවක් පෙන්වූයේ ආච්චා ගේ වචන ගැන ඇය නො රිස්සුම් වන්නට වුව බැරි නැතැයි සිතුණ බැවිනි.
“කෝ මේ ආදිල් නැද්ද…”
සචින් අයියා ඉස්සරහා කාමරේ පැත්තට නැඹුරු වෙමින් පිළිවිසියේ ය.
“ආදිල් පුතා ගියා උදේම… වැඩකට ඕනකරන බඩු වගයක් ගන්න පෙටා වලට යනව කියලයි ගියේ මගෙ හිතේ… නේද සකී…”
“ඔව්. දවල් වෙද්දි එනව කිව්ව. අපි තේ ටිකක් බීල ඉමු නේ… මානෙල් අම්මා… තේ ලෑස්ති කරනවද මේ සචින් මහත්තයලටත් එක්ක…”
මා එහෙම ම සිට ඇතුල් ගෙට කෑගැසුවෙමි.
“සකී ලස්සනට ගේ තියං ඉන්නව නේ…”
දෙව්නි මුලින් ම කීවේ ඒ වචන ටිකයි.
“අපොයි ඔව්. එයාගෙ සතුට ඉතිං ඕක තමයි. සකියකට සැරයක් ගේ අනිත් පැත්තට හරෝනව”
මා වෙනුවෙන් පිළිතුරු දුන්නේ ආච්චා ය. මම දෙව්නි වෙතට ගොස් ඇයට මගේ සුරත පෑවෙමි.
“එන්න ගේ පෙන්නන්න. උඩ සැන්සවේරියා ගාඩ්න් එක බලන්නත් යං”
පෙරැත්ත කරන්නට පෙර ඇය මට අත දෙමින් නැගී සිටියා ය. මම සචින් අයියා දෙස බැලුවෙමි. ඔහු ගේ ඇස් වල විමතියකුත්, තොල් මත අවිනිශ්චිත මඳහසකුත් ඇඳී තිබිණි. අපේ ආලින්දයේ වන ගෘහ භාණ්ඩ වලින් අවම හිස් බව දෙව්නිගේ ඇස් වලට ද දැනී තිබිණ. ඒ අල්පයක් ගෘහ භාණ්ඩ මනා නිමාවකින් යුත් දුර්ලභ ඒවා වීම ඕනෑ ම කෙනෙකුගේ හිත් පැහැර ගන්නකි. පවුලේ ඡායාරූප බිත්තිය ළඟ නතර වී ඇය එදෙස බලාගෙන සිටියා ය. මගේ මව් පියන්ව ද සීයලා හා අනිත් ආච්චීව ද මම ඇයට හඳුන්වා දුන්නෙමි. මගේ විවිධ වයස් වලදී අම්මලා විසින් එකතු කොට ලොකු කොට රාමු කරනා ලද පින්තූර ගණනාවක් ද එහි විය. සචින් අයියාත් මාත් අපේ යොවුන් වියෙහි දී එක්ව සිට ගන්නා ලද සේයාරුවක් ළඟ දෙව්නි ගේ ඇස් නතර වී තිබිණ.
“ඔය තමයි මට ඉන්න එකම සහෝදරය. මගෙ අයිය”
දෙව්නි කිසිත් කීවේ නැත. ඇගේ හදවතේ යම් වෙනසක් සිදු වන්නට ඇත. මඳහසකින් ඈ ඒ වසාගෙන සිටියා ය. මඳ වෙලාවක් යන තෙක් ඇය වචනයක් පිට කළේ නැත. මගේ ආලින්දායහි තැන් තැන්වල නතර වී බලා සිටියා පමණකි. මසිතට දෙගිඩියාවක දැවටුණු ඉසිහින් බියක් නො දැනුණා ම නොවේ.
“අපි යං උඩට”
මම ඇගේ අතකින් අල්වාගෙන ම පියගැට පෙළ නැගෙන්නට වීමි. සචින් අයියා හැරී අප දෙස බලා උන්නේ නළල රැලි නංවාගෙනයි. දෙව්නි කිසියම් කලබලයක් කරාවියි ඔහු ගේ සිතේ සාධාරණ බියක් තිබෙන්නට ඇත. මම ඇස් වලින් ඔහු ට සිනහවක් දුන්නෙමි. අපේ සංඥා භාෂාවන් කාලයක් තිස්සේ අපි හොඳින් හඳුනමු.
“ඇත්ත තමයි සචින් ගෙ අම්ම කියන්නෙ…”
අප මතු මහලට පිවිසෙත්දී ම දෙව්නි කී ඒ කතාව මා තුළ අනපේක්ෂිත කැළඹීමක් ඇති කළේ ය. සැබවින් ඈ අදහස් කළේ කුමක් දැයි මට හරියට ම වැටහුණේත් නැත. එබැවින් මා සිටියේ හරස් පද ප්‍රහේළිකාවක් මැද්දේයි.
මා ඇගේ මූණ දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි. දෙව්නි මඳහසක් නගාගෙන දිගට ම කතා කළා ය.
“ගෑනු ළමයෙක්නං සකී වගේ වෙන්නෝනෙ කියල මං ඔය ගෙදරට ආපු දවසෙ ඉඳන් මට ඇහෙන්න කී පාරක් එයා කියල තියෙනවද කියල මං දන්නෑ. මං මොනා කළත් ඒකෙ ඇදයක් දකින එකයි ඒක ඔයා කළානං කොහොම කරයිද කියල වර්ණනා කරන එක තමයි එයා හැමදාම කළේ. හරියට නිකං…මං නිසා ඔයාව එයාගෙ ලේලි කරගන්න බැරි වුණා වගේ කේන්තියක් හිතේ තියාගෙනයි එයා හැම වෙලේම මාත් එක්ක ගනුදෙනු කරන්නෙ. ඇත්තටම මට ඇති වෙලා හිටියෙ. ඒත් දැං මාත් පිළිගන්නව සකී. මං ඇත්තටම ඔයා වගේ නෑ. කොච්චර මහන්සි වෙලා උදේ ඉඳං රෑ වෙනකල් ගෙදර වැඩ කළත් මෙහෙම ඔයා වගේ ලස්සනට ගේ තියාගන්නවත් මං දන්නෑ. එයාල හරි”
ඇය හැඬුවා නොවේ. නමුත් ඇගේ හඬ බිඳී ගියේ ය.
“අනේ… මොනාද දෙව්නි අක්ක ඔයා මේ කියන්නෙ… මේ ලෝකෙ කිසිම මනුස්සයො දෙන්නෙක් එක වගේ ඇති කියල මං හිතන්නෑ. ඉතිං ඇයි ඔයා මං වගේ වෙන්නෙ… ඔයා ඔයාමයි. ඔයා වගේ වෙන කිසි කෙනෙක් මේ ලෝකෙ නෑ. ඔයා යුනික් වෙන්නෙ වෙන කිසි කෙනෙක් වගේ නොවී ඔයා වගේ ඉන්නකල් විතරයි”
මා කතා කළේ ඇගේ මුහුණට එබීගෙන ඉතාමත් මෘදු වූ ආදර භාෂිතයකිනි. මට ඇයට කතා කළ හැකි උපරිම හොඳ සීමාව එය යයි මම සිතමි.
“ඒත් සකී… ඒ ගෙදරට ආපු දවසෙ ඉඳන් සකී කියන නම පවා මට කොච්චර මානසික වදයක් වුණාද කියල දන්නෙ මං විතරයි”
“මට තේරෙනව දෙව්නි අක්ක. ඔයා ඉන්න තැන මං හිටියනං මට වුණත් එහෙම දැනෙයි. ආන්ටි පොඩි කාලෙ ඉඳලම මට හරි ආදරෙයි. සචින් අයිය මට මගෙම අයිය වගේ. ආන්ටි අතින් එහෙම දෙයක් කියවුණානං ඒ ඔයාට රිද්දන්නයි කියල මං හිතන්නෑ. එයා මට තියන ආදරයයි මගෙ විදිහට එයාගෙ තියන කැමැත්තයි නිසා එහෙම වෙන්න ඇති. අනික ඉතිං නැන්දම්ම ලේලි ප්‍රශ්න කියන එක මේ ලෝකෙ බිහි වුණ දවසෙ ඉඳලම තිබුණ දෙයක් කියලයි අපේ ආච්ච කියන්නෙ. ඒක නිසා ඔයා ඕව ගණං ගන්නෙපා. අනිත් එක එයාල දැන් වයසට යමින් ඉන්න අයනෙ. ඒ අයගෙ අතින් ඔය වගේ පොඩි දේවල් වුණත් අපි ඒව අමතක කරල අතෑරල දාමු. වෙන කවුරුවත් නිසා අපේ හිතේ සාමය නැති කරගන්න ඕන නෑනෙ. අනික ඒක ඔය දෙන්නගෙ ෆැමිලි ලයිෆ් එක අන්හෙල්දි වෙන්න වුණත් බලපාන්න පුළුවන්නෙ අක්ක”
දෙව්නි ගේ ඇස් වල පිටතට නො ගැලූ තුනී කඳුළු පටලයක් වූයේ ය. ගැහැනුන් වී උපන් සියලු ම ගැහැනුන් ගැන මා තුළ ඇති වී නැති වී ගියේ තුනී ශෝක හැඟීමකි. දෙව්නි ද සචින් ගේ මව් ද මා ද මගේ යෙහෙළියන් ද ආච්චා ද කල්පනී ද ගැහැනු ආත්ම දරාගෙන උපන්නෝ වෙමු. නමුත් එක් එක් භූමිකාව තුළදී අපගේ ධනාත්මක හා ඍණාත්මක චර්යාවන්ගේත් චින්තනයන්ගේත් වෙනස්කම් සිදු වේ. අම්මා ගේ භූමිකාව ඉතා ඉවසිලිමත් ගැහැනියක ගේ නැන්දම්මා භූමිකාව යක්ෂණියක් විය හැක. එසේ ම දියණියක ලෙස අවිහිංසක භූමිකාවක් රඟ දක්වන්නියක ලේලියක ලෙස භයානක තැනැත්තියක විය හැක. මේ සියලු චරිත නිරූපනය කිරීමේ දී අපට ඉතාමත් සමීප මිනිසුන්ට අසාධරණයක් නොවෙන හා ඔවුන්ගේ හිත් බිඳීමකට ලක් නොවෙන අයුරින් හැසිරෙන්නට අප උපරිම උත්සාහයක් නො ගත යුත්තේ ඇයි?