රාත්‍රියත් දහවලත් අතරේ පැහැදිලි රේඛාවකින් වෙන් කළ හැකි වෙනසක් වන්නේ ය. ඒ වෙනස ආලෝකයට හා අඳුරට පමණක් අදාල වූවක් නොවේ. දහවලට වන්නේ එක ලෝකයකි. රාත්‍රියට තව ලෝකයකි. රාත්‍රිය සෞම්‍ය ය. සිහිලැල් ය. සුළඟ පවා සරාගික ය. මල් පිපෙන්නේ සඳ එළියට හා තරු කැල්මට පෙමිනි. හිරු එළියේ පිපෙන මල් වලට වඩා සඳපානේ පිපෙන මල් වල සුවඳ වැඩි ය. ඒ සුවඳ කෙතරම් මන බන්ධනීය ද කියා දන්නේ රාත්‍රියට ගෙතුළින් පිටතට විත් සොබා දහම සමග මුහුවෙනා කෙනෙකු පමණකි. රෑ පිපෙන මල් ඒ තරම් සුවඳවත් වීමට සොබා දහමේ හේතුව නම් බමරුන්ට සුවඳ ඔස්සේ විත් මල් සොයාගත හැකි වීමයි. සූර්යාලෝකයේ දී මල් වල ලස්සන පෙනේ. වර්ණවත් බව පෙනේ. බිඟුන් වසඟ වී ඇදී එනුයේ ඒ ලස්සන වෙනුවෙනි. එතකොට හිරුට පිපෙන මල් සුවඳ වූව ද නැත ද එක ය. නමුත් අඳුරේ දී මල් වලට ඊට වැඩිය කාර්ය භාරයක් සිය පරාගනය වෙනුවෙන් කරන්නට සිදු වේ.
ස්ත්‍රීන් හා මල් අතරේ වෙනසක් නැතැයි මට සිතේ. ඇතැම් මල් වල ආකර්ෂණීය පෙනුම පුරුෂයන් ඇද බැඳ ගැනීමේ හේතුව වේ. ලස්සන නැත්නම් ඔවුන් ගුණයෙන් සුවඳවත් විය යුතු වේ. පුරුෂයන් ස්ත්‍රී පෙනුම ද ගුණ සුවඳ ද විමසා බලන බැවිනි.
අපේ වත්තේ රෑට පිපෙනා මල් වර්ග බොහොමයකි. ඇට්ටේරියා හා රුක්අත්තන මල් සුවඳ ඒ අතරින් මා වඩාත් ම රිසි සුවඳ වේ. ඇට්ටේරියා ද රුක්අත්තන ද දේව වෘක්ෂ යයි ආච්චා කියනු මා අසා තිබේ. දේව වෘක්ෂ වල දෙවියෝ වැඩ සිටිති!
ආදිල් ගේ කාමරය තවමත් වසා දමා නැත. ඔහු හෙට උදයේ ගෙදර යාම සඳහා සූදානම් වෙයි. සමීපතම ඥාති සොයුරියක ගේ විවාහ මංගල්ලයක් යෙදී ඇති බැවිනි. මංගල්ලයෙහි පළමු දින උත්සවයට ද දෙවෙනි ගමනට ද සහභාගී වීමට සූදානම් වී ගෙදර පැමිණෙන ලෙස ඔහු ගේ මව් විසින් දැනුම් දී තිබේ.
“හෝම් කමින් එකට මං ඉන්න ඕන නෑනෙ අම්ම. මං වෙඩින් එකට ඇවිත් යන්න එන්නං”
දුරකතනය ඔස්සේ ආදිල් එසේ කියනු මට ඇසිණ. නමුත් අම්මා ඊට එරෙහිව අරගල කරන්නට ඇත. දෙවන ගමනට ද සිය පවුල සමග යන්නට ඔහු ද සිටිය යුතු යයි බල කොට සිටින්නට ඇත. අම්මලාගේ එවන් බලපෑම් ඉදිරියේ දරුවන්ට අසරණ වෙන්නට සිදු වේ. එකඟ නොවුණොත් දැන් දරුවන් දෙමාපියන් ගේ සතුට ගැන නො සිතතැයි ඔවුන් චෝදනා කරනා බැවිනි.
දෙතුන් දිනකට ආදිල් කොළඹින් පිට වී සිටීම හිතුවාට වැඩි රිදුමක් මා තුළ ඇති කරනා හේතුවක් වී තිබේ. නමුත් මම එය මා තුළ දරාගෙන හිඳිමි. ඔහු ව හුණු වටයක් තුල තබා අම්මා සමගින් ඔහු දෙපසට ඇදිය නො හැකි බැවිනි.
දෙව්නි ට මානසික ප්‍රතිකාර අවශ්‍ය වන තරමට දුරදිග ගොස් ඇත්තේ ද නැන්දම්මා හා සැමියා අතරේ ඈ පිටස්තරියක වීමේ ගැටළුවකි. ඇය ඒ ගැන මා හා කී දවසේ, සචින් අයියා සමග බෝ වෙලාවක් මම ඒ ගැන කතා කළෙමි. මෙලොව කිසිදු මනුෂ්‍යයෙකු තවත් කිසිවෙකු සමගින් සැසඳෙන්නට කැමති නැත. තමන් වීමේ අයිතිය ඕනෑ ම කෙනෙකුට තිබිය යුතු වේ.
“සකී… රෑ වෙලානෙ ගොඩක්”
කියාගෙන ආදිල් මවෙත ආවේ ය.
“මෙච්චර වෙලා බැගේජ් එක රෙඩි කළේ… සතියක් විතර ඉන්න බලං යනව වගේ නේ…”
එය ඇනුම් පදයකි. මගේ දෙතොල් මත්තේ ආයාස සිනහවක් තිබිණි.
“සීරියස්ලිද එහෙම කිව්වෙ ආ…”
කියාගෙන ඔහු මගේ මූණට එබුණේ ය.
“ඔව් ඉතිං. හරි ආසාවෙන්නෙ යන්න හදන්නෙ. තව කවුරු යනවද දන්නෙත් නෑනෙ”
මා ඒ අන්තිමට කීවේ එතෙක් හිතකවත් තිබුණ දෙයක් නොවේ. කල්පනී ඔහු සමගින් නුවර යනවායි මේ මොහොතේ ද මා සිතන්නේ නැත. නමුත් මට එහෙම කියන්නට ඕනේ විය. එයින් ඔහු රිදවන්න ද නැත්නම් අහේතුකව මාව ම රිදවා ගන්න ද මට ඕන වුණේ කියාත් මම නො දනිමි. එය මොන විදිහේ ගැහැනු හැඟීමක් ද කියා විශ්ලේෂණය කරන්නට ද මම නො දනිමි.
ආදිල් ගේ දෙතොල් අතරේ නලියන මඳහසෙහි සැක බිය හෝ අවිනිශ්චිතකම ගැන කතාවක් විය. කෙසේ මගේ හිතිවිල්ල වෙනස් කරන්න ද කියා ඔහු ට හිතා ගත නො හැකි වන්නට ඇත. ඔහු ව ඒ අපහසුවෙහි හෙළීමෙන් මම විකෘති සතුටක් ලැබුවෙමි. ප්‍රේමයෙහි එවන් ස්වරූපයකුත් වන්නේ ද?
“මේ මනස්ගාතනං හිතන්නෙපා හොඳේ. මං යන්නෙ තනියම. ඔයා හිතනවද මං ඒ වගේ ඩබල් ගේම් කාරයෙක් කියල… ආ…”
තවමත් ඒ සිනහව ඔහු හැර ගොස් නැත. මම පිළිතුරක් නොදී ඉවත බලාගතිමි. ආදිල් දෙතුන් දිනකට මගෙන් දුරස් වීම මා තුළ එවන් ඉච්ඡා භංගත්වයක් ඇති කොට තිබිණැයි, ඒ විදාරණය වන තුරු ම මා නො දැන සිටි බව ඉඳුරා පැවසිය හැක.
“මට නිදිමතයි. මං යනව නිදියන්න”
ඇත්ත ම ඇත්ත නම් මට නිදිමතක් වූයේ ම නැත. ඕනෑ වූයේ එතැනින් පලා යන්නට පමණකි. ගෙතුළට යන්නට මා හැරෙත්දී ම ආදිල් මගේ අතක් තද කොට අල්වා ගත්තේ ය.
“ඔහොම ඉන්න. මේක විසඳගෙන යන්න. නැත්තං කොහොමත් ඔයාට නින්ද යන එකක් නෑනෙ”
“මට හොඳ නිදිමතක් තියනව. වැටිච්ච ගමං නින්ද යයි. යන්න දෙන්…න…”
මම මගේ අත නිදහස් කරගන්නට වෙර දැරුවෙමි. මඳ වේලාවකින් ඔහු සිය අදහස අතහැර මා මුදා හළේ ය. මම මහ දොර වසාගෙන මතු මහළට දිව ගියෙමි.
මා කළ මෝඩ කමකැයි පසුතැවුණේ කාමරයට ගිය ඉක්බිතියි. මා ඒ තරම් මුරණ්ඩු වූයේ ඇයි? ආදිල් කල්පනීව සිය රියෙහි දමාගෙන නුවර කැටිව යනු ඇතැයි සැකයක් හිතේ නො තිබීත් බොරු සැකයක් ඔහු ට හැඟවූයේ ඇයි? ඒ ගින්න තුළ තවත් දැවෙන්නට ඕනෑ වූයෙන් මම ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත කළෙමි.
රාත්‍රිය ගෙවී අලුත් දිනකට අරුණ උදා වෙන්නට වෙනදාට වැඩියෙන් කාලය ගත වූයේ ය. මට ඇහැ පියවුණා නම් ඒ පාන්දර යාමයේ ය. ආදිල් උදයෙන් ම නික්මෙන්නට නියමිත බැව් සිහි වී පිබිදෙන විටත් ඔහු අවදි ව සූදානම් වෙමින් සිටියේ ය. තේ සූදානම් කරගෙන මා කාමරයට යන විට ඔහු හැඳ පැළඳ යහන මත හිඳ සිටියේ ය.
“තේ එක බීල යන්න”
කියාගෙන මම ඔහු වෙත ගියෙමි. තියුණු බැල්මකින් මා විනිවිද බලා සිටි හෙතෙම මග් එක අතට ගෙන අනිත් අතින් මා ඇද යහනෙහි හිඳුවාගත්තේ ය. අපි නිහඬව තේ උගුරු කිහිපයක් බීවෙමු.
“මං පාන්දර යන්න හිතුවෙ ට්‍රැෆික් වලට අහුවෙන්නැතුව යාගන්න ඕන නිසා. ට්‍රැෆික් වල ඩ්‍රයිව් කරනකොට මාර විදිහට ස්ට්‍රෙස්”
ටික වෙලාවකට පස්සේ ඔහු නිදහසට කාරණා කියන ස්වරයකින් මිමිණුවේ ය. මා කීවේ ඊට හාත්පසින් ම වෙනස් කතාවකි.
“පාන් ටෝස්ට් කළා. කාල යනවද නැත්තං බොක්ස් එකකට දාල දෙන්නද ගෙනියන්න…”
“මෙච්චර පාන්දර කන්නනං බෑ සකී”
“එහෙනං මං දාං එන්නං”
“ඔයාට මං ගැන සැකයිද…”
මා නැගිටින්නට පෙර ආදිල් මගේ අත මතින් අතක් තබා ඇසුවේ ය. හදවත හෝස් ගා ගින්නකට හසු විය. මම නැතැයි හඟවන්නට වහා හිස සැලීමි.
“පිස්සු කෙල්ල”
කියමින් ඔහු මගේ හිස් මුදුන පිරිමැද්දේ ය.
ටෝස්ට් කළ පාන් සහිත පෙට්ටිය ද උතුරවා ගුරුලේත්තුවට දමන ලද වතුර පිරවූ බෝතලය ද ගෙන යළි කාමරයට යන විට ඔහු එහි සක්මන් කරමින් සිටියේ ය. ගමන් මල්ල දොරකඩ සූදානමේ තිබිණ.
“මේ දෙක කා එකෙන් දානවා. මගදි කන්න. වතුර එක ඔක්කොම බොන්න”
ආදිල් ඒ දෙක දෑතින් ගෙන මේසය මතින් තැබුවේ ය. ඉන් පසු මා ඔහු ළඟට ගත්තේ ය. ඒ පපුතුර මුහුණ හොවාගෙන මා ඔහු තදින් බදා ගත්තේ හැඟීම් ප්‍රවාහයකට මුළුමනින් නතු වෙමිනි.
ඒ පපුතුර උණුහුම් ය. සුවඳ ය. සුවදායක ය. මොහොතකටවත් ඉන් මිදෙන්නට මට සිත් නො වීම ගැන පුදුම විය යුතු නැත. හිතා ගන්නට බැරි මේ සමුගැනීමේ මොහොතෙන් පස්සේ දෙතුන් දිනක් කොහොම ඒ හුදෙකලාව දරා ගන්න ද කියා ය.
“පුළුවන් කමකට ඔයාව දාල යනව නෙවෙයි”
කොයි තරම් වෙලාවක් එසේ හිඳීමෙන් පස්සේ ද මන්දා ඔහු මිමිණුවේ ය. ආදිල් ගේ අතැඟිලි මගේ ගෙල පාමුලින් හිස පිටුපස පිරිමැද්දේ ය. එය සදෙව් සුවයක් දනවන පිරිමි සංස්පර්ශයකි.
“ඒත් මේක මගාරින්න පුළුවන් වෙඩින් එකක් නෙවෙයිනෙ. එහෙම වුණොත් දවස් තුනකට නෙවේ අවුරුදු තුනකටවත් මට අපේ අම්මගෙ කන්දොස්කිරියාව අහන්න වෙයි”
“පරිස්සමෙන් ගිහින් එන්න”
“මං යන්නෙ තනියම… හරිද… විකාර හිතන්නෙපා. මට ඔයා ඇති. මං හිතන්නෙ තව ආත්ම ගාණකටම මට ඔයා ඇති”
“මට පාළු වෙයි”
“මටත්… ඔයා නැතුව ගෙදර යන අන්තිම වතාව මේක වෙයි මැණික”
“පරක්කු වෙනවනෙ… එහෙනං යන්න”
එහෙම කීවාට මා ඔහු ව අතෑරියේ නැත. අතාරින්නට බැරි ලෝභකමකින් මුළු හිත ම පිරී තිබිණි.
“මට ශර්ට් එකක් දීල යන්න”
තත්පර කිහිපයකට ආදිල් නිශ්ශබ්ධ වූයේ ය.
“ශර්ට් එකක්… ඇයි…”
“ඔයා එනකල් මට තියාගන්න”
ඉතා තදින් මා වැළඳ ඔහු මගේ හිස ද දෙකොපුල් ද සිපගත්තේ ය.
“යන්න හිතෙන්නෑ අප්ප”
අන්තිමට මගෙන් මිදුනේ එහෙම කියමිනි. මම මහත් ආදරයක් දරා සිටියෙමි. ඒ වගේ බරක් ආදරය විෂයේ කිසි දා මට දැනී නැතිවා විය යුතු ය.
ආච්චා ගේ කාමරයට ගිය ඔහු ඇගේ හිත සැනසෙන කතා ද කීවේ ය.
“ආච්චට සනීප නිසා මං බයක් නැතුව යනව. හැබැයි ඕනම වෙලාවක දුවං එන්න ලෑස්තියෙං ඉන්නෙ. ඕනකමක් වුණොත් මට කතා කරන්න ආච්ච. මං සචින්ටත් කියලයි තියෙන්නෙ දවසකට දෙසරයක්වත් මේ පැත්ත බලන්න කියල”
“අනේ අපි ගැන ඔය තරං වද වෙන්න එපා පුතා. ඔය ගමන සැනසිල්ලෙ ගිහින් එන්නකො. ඊට පස්සෙ අපි මේ කාරණා ගැන පුතාගෙ දෙමව්පියො එක්ක කතා කරන්නත් දවසක් දාගමුකො”
ආච්චා සතුටෙන් ඔහු ට සමු දුන්නා ය. මම රිය පසු කොට ගොස් ගේට්ටුව විවර කළෙමි. පාරට දමන්නට පෙර ගේට්ටුව අස රිය නතර කළ ආදිල් නැවත ද මගේ කොපුලකට ඉක්මන් හාදුවක් දුන්නේ ය.
“පරිස්සමෙං…බුදු සරණයි”
මම මිමිණුවෙමි.